අපේ අපිරිසුදු භාජන සේදීමට අප භාවිත කරන කුස්සියේ තිබෙන තෙත ස්පොන්ජ් කැබැල්ල කුණුවලින් පිරුණු එකක් වන අතර එය බැක්ටීරියා වර්ධනයට පරිපූර්ණ පරිසරයකි. එසේ නම් ඒ වෙනුවට ඔබ පාවිච්චි කළ යුත්තේ බුරුසුවක් ද?
ඕනෑ ම බැක්ටීරියා විශේෂයක් අපහසු පරිසරයක ජීවිතය රැක ගන්නා ආකාරය දනියි. ඇතැම් ඒවා [බැක්ටීරියා] පෘථිවි පෘෂ්ඨයේ ගැඹුරින් හෝ අධික උණුසුමක් සහිත ජාල තාපාංක වාතාශ්‍රයේ ශක්තිමත් වී ඇති අතර, ඇතැම් බැක්ටීරියා අධික ශීතලක් සහිත අයිස් මිදුණු තැන ඔවුන්ගේ නිවස ලෙස යොදා ගනිති. කෙසේ වෙතත්, බැක්ටීරියා වර්ධනය වීමට වැඩි වශයෙන් කැමැත්තක් දක්වන දේ ගැන විමසීමක් කළහොත් කුස්සියේ ඇති ස්පොන්ජ් කැබැල්ල එම ලැයිස්තුවේ ඉහළින් ම තිබෙනු ඇත.
අපගේ පිඟන් සහ වීදුරු පිරිසුදු කිරීමට භාවිත කරන මෙම මෙවලම බැක්ටීරියාවලින් පිරී ඇති බව දැකි ය හැකි ය. ස්පොන්ජ් කැබැල්ලක් යනු බැක්ටීරියාවලට පාරාදීසයකි. ඒවා උණුසුම්, තෙතමනය සහිත ක්ෂුද්‍ර ජීවීන්ට පෝෂ්‍යදායී ආහාර කැබලිවලින් පිරී තිබේ.

2017 දී, ජර්මනියේ ෆර්ට්වැනන් විශ්වවිද්‍යාලයේ ක්ෂුද්රජීව විද්‍යාඥයෙකු වන මාර්කෝස් ඊගාර්ට් විසින්, මුළුතැන්ගෙයි ස්පොන්ජ් කැබලිවල බැක්ටීරියා ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ නව දත්ත ප්‍රකාශයට පත් කරන ලදී. ඔහු එම ස්පොන්ජ් කැබලිවල ක්ෂුද්‍ර ජීවීන් විශේෂ 362ක් සොයා ගත් අතර, ඇතැම් ස්ථානවල බැක්ටීරියා ඝනත්වය වර්ග සෙන්ටි මීටරයකට ක්ෂුද්‍ර ජීවීන් බිලියන 54කට ආසන්න විය.
“මේක සැහෙන්න ලොකු ප්‍රමාණයක්. මනුස්සයෙක්ගේ මළපහ සාම්පලයක තියෙන බැක්ටීරියා සංඛ්‍යාවට මේක සමාන යි,” ඊගාර්ට් පවසයි.
ස්පොන්ජ් කැබලි සිදුරුවලින් පිරී ඇති අතර, එම එක් එක් සිදුරු ක්ෂුද්‍ර ජීවීන් ප්‍රජාවකට පදිංචි වීමට අවකාශයක් සපය යි.
ඩියුක් විශ්වවිද්‍යාලයේ සංස්ලේශී ජීව විද්‍යාඥයෙකු වන ලිංචොං යූ සහ ඔහුගේ කණ්ඩායම 2022දී අධ්‍යයනයක් සඳහා ස්පොන්ජ් කැබැල්ලක සංකීර්ණ පරිසරය ආකෘතිකරණය කිරීමට පරිගණක භාවිත කළ හ. විවිධ ප්‍රමාණයේ සිදුරු සහිත ස්පොන්ජ් කැබලි ක්ෂුද්‍ර ජීවී වර්ධනයට වැඩි වශයෙන් දිරිගන්වන බව ඔහු සොයා ගත්තේ ය. ඉන්පසු ඔහුගේ කණ්ඩායම සෙලියුලෝස් ස්පොන්ජ් කැබලිවල විවිධ E.coli මාදිලිය [බැක්ටීරියා වර්ගයක්] වර්ධනය කිරීමෙන් මෙම ප්‍රතිඵලය තහවුරු කළේ ය.

“කුස්සියේ තියෙන ස්පොන්ජ් කැබලිවල විවිධ ප්‍රමාණයේ සිදුරු තිබීම [බැක්ටීරියා වර්ධනය දිරිමත් කිරීම සඳහා] සැබවින් ම සුවිශේෂී දෙයක් බව ඔවුන් සොයා ගත්තා,” ඊගර්ට් පවසයි. “මේකේ ගත යුත්තක් තියෙන බව පේනවා, මොක ද ක්ෂුද්‍ර ජීවීන් සඳහා, තනිව ම වර්ධනය වීමට කැමති බැක්ටීරියා වැනි පුද්ගලවාදීන් ඉන්නවා වගේ ම අන් අයගේ ඇසුර අවශ්‍ය බැක්ටීරියා ඇති නිසා. ස්පොන්ජ් එකක් තුළ සෑම කෙනෙක්ට ම සතුටු වෙන්න පුළුවන් විවිධ ව්‍යුහයන් හෝ අවකාශයන් රාශියක් තියෙනවා.”
ස්පොන්ජ් කැබලි නිසැකව ම බැක්ටීරියා සඳහා කදිම නිවසකි. කෙසේ වෙතත්, එයින් අදහස් වන්නේ මෙම මෙවලමෙන් අපට සෞඛ්‍ය අවදානමක් තිබෙන බව නොවේ.
අපගේ සම මත, පසෙහි සහ අප අවට වාතය ඇතුළු සෑම තැනක ම බැක්ටීරියා පවතියි. ඔවුන් සියල්ල හානිකර නොවන අතර, සැබවින් ම බොහෝ බැක්ටීරියා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරයි. වැදගත් ප්‍රශ්නය වන්නේ මේ නිසා ස්පොන්ජ්වල ඇති බැක්ටීරියා ගැන කරදර වීමට අවශ්‍ය ද? යන්න ය.

2017 දී ඊගර්ට් සිදුකළ අධ්‍යයනයේදී, ඔහු වඩාත් සුලභ [බැක්ටීරියා] විශේෂවල DNA අනුපිළිවෙළ සකස් කළේ ය. එක් එක් බැක්ටීරියාවේ නිශ්චිත විශේෂය හඳුනා ගැනීමට නොහැකි වුවත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ පුද්ගලයින් තුළ ආසාදන ඇති කිරීමට වඩාත් සම්බන්ධ වන බවට ප්‍රසිද්ධ බැක්ටීරියා විශේෂ දහයෙන් පහක් ම සමීපව නිර්ක්ෂණය කළේ ය. සමහර බැක්ටීරියා ඉවත් කළ ද, අනෙකුත්, වඩාත් ප්‍රතිරෝධී මාදිලි වර්ධනය වීමට ඉඩ සලසන බැවින්, මයික්‍රෝවේව් උඳුනක රත් කිරීම හෝ උණුසුම් සබන් වතුරෙන් සේදීම වැනි විශේෂ පිරිසිදු කිරීමේ පියවරයන්ගෙන් ද වැඩක් වූයේ නැත.
“අපි උපකල්පනය කරන්නේ, ජීවිතය බේරාගත්ත [බැක්ටීරියා] කිහිපයට විශාල ප්‍රමාණයක් දක්වා වර්ධනය විය හැකි ක්‍රියාවලියකට මග පාදන බව යි,” ඊගාර්ට් පවසයි. “ඔයා මේක කිහිප වතාවක් කළොත්, පිරිසිදු කිරීමට වඩා හොඳින් අනුවර්තනය වන බැක්ටීරියා තෝරා ගැනීමකට මේක මග පාදන්න පුළුවන්.”
ඊගර්ට් විසින් සොයා ගන්නා ලද බැක්ටීරියා කිසිවක් ආහාර විෂවීමකට හෝ දරුණු රෝගාබාධවලට සම්බන්ධ නොවන බව සැලකීම වැදගත් ය. සැබවින් ම ආහාර මගින් බෝවන රෝග හේතුවෙන් රෝහල්ගත වන රෝගීන්ගෙන් 90%ක ම රෝග කාරක පහක් පමණක් සොයා ගත හැකි අතර, එයින් තුනක් එස්චෙරිචියා කෝලි, සැල්මොනෙල්ලා සහ කැම්පිලොබැක්ටර් යන බැක්ටීරියා වේ. නමුත් වඩාත් සතුටුදායක කරුණක් නම් ස්පොන්ජ් කැබලිවල මේවා සොයා ගැනීම දුර්ලභ වීම ය.

“අපට හමුවුණේ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට, වැඩිහිටියන්ට හෝ දරුවන්ට අනතුරුදායක විය හැකි ව්‍යාධිජනක බැක්ටීරියා විතර යි,” ඊගාර්ට් පවසයි. “සාමාන්‍යයෙන්, නිරෝගී පුද්ගලයෙකුට කුස්සියේ තියෙන ස්පොන්ජ් කෑල්ලේ ඇති බැක්ටීරියා හානිකර වෙන්නේ නෑ.”
2017 දී, ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රේරි වීව් විශ්වවිද්‍යාලයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මහාචාර්යවරියක වන ජෙනිෆර් ක්වින්ලන් සහ ඇගේ සහයකයෝ ෆිලඩෙල්ෆියාවේ නිවාස 100කින් කුස්සියේ භාවිත කරන ස්පොන්ජ් කැබලි එකතු කළ හ. එම ස්පොන්ජ්වල මිනිසුන් තුළ ආහාර විෂ වීමට සම්බන්ධ බැක්ටීරියා 1-2% ක් පමණක් අඩංගු බව ඇය සොයා ගත්තා ය. එසේ පරීක්ෂා කළ විට ඒවා තුළ අඩංගු වූයේ හානිකර බැක්ටීරියා සුළු ප්‍රමාණයක් පමණි.
2022 දී නෝර්වීජියානු ආහාර පර්යේෂණ ආයතනය වන Nofima හි විද්‍යාඥවරියක වන සොල්වෙයිග් ලැන්ග්ස්රුඩ් විසින් ස්පොන්ජ් සහ බුරුසුවලින් සේදීමේදී සොයාගත් බැක්ටීරියා සංසන්දනය කරමින් කරන ලද අධ්‍යයනයකින් මෙම සොයා ගැනීම සනාථ විය. ඇය මෙම සේදීම් ක්‍රම දෙකෙහි ම ඇසිනිටෝබැක්ටර්, ක්‍රිසියෝබැක්ටීරියම්, එන්හයිඩ්‍රෝබැක්ටර්, එන්ටිරෝබැක්ටීරියසි සහ සුඩොමොනස් ඇතුළු හානිකර නොවන බැක්ටීරියා සමූහයක් සොයා ගත්තා ය.

“ස්පොන්ජ් කෑලිවල තියෙන බැක්ටීරියාවලින් බහුතරයක් ලෙඩ රෝගවලට හේතු වන්නේ නෑ, ඒවායින් ගඳක් එනවා විතර යි. කාලයත් එක්ක ඒවා අප්‍රසන්න වෙනවා,” ක්වින්ලන් පවසයි. “එහෙම වුණත්, ස්පොන්ජ් කෑල්ලක් පාවිච්චි කරලා අමු මස් හෝ අමු කුකුල් මස්වල යුෂ පිස දැම්මොත්, ඒ මත ඒ රෝගකාරක බැක්ටීරියා තියෙන්න පුළුවන්. ඒ වගේ ම අධ්‍යයනවලින් හොයාගෙන තියෙන්නේ කුස්සියේ ස්පොන්ජ්වලින් රෝගකාරක බැක්ටීරියා ඈත් කරන්න පුළුවන් කියලා.”
එහෙයින්, ඔබේ ස්පොන්ජ් කැබැල්ලේ වැඩෙන බැක්ටීරියා සාමාන්‍යයෙන් හානිකර නොවන නමුත්, සැල්මොනෙල්ලා වැනි භයානක බැක්ටීරියා ඒ වෙත පැමිණියහොත් ස්පොන්ජ් කැබැල්ලේ ව්‍යුහය මෙම රෝගකාරකය වර්ධනය වීමට කදිම ස්ථානයකි.
මෙසේ සිදුවූ බවට සාක්ෂි තිබේ. ලැන්ග්ස්රුඩ්ගේ අධ්‍යයනයේදී පර්යේෂකයන් කුස්සියේ තිබූ ස්පොන්ජ්වලට සැල්මොනෙල්ලා යෙදු විට, ඒවා සශ්‍රීකව වර්ධනය වූ නමුත්, ඔවුන් මෙම බැක්ටීරියාව බුරුසුවලට එකතු කළ විට ඒවා මිය ගියේ ය. එයට හේතුව බුරුසු බොහෝවිට වඩාත් ඵලදායී ලෙස වියළී ගොස් සැල්මොනෙල්ලා බැක්ටීරියා විනාශ කරන අතර, ස්පොන්ජ් දිනපතා භාවිත කළහොත් එහි ඇතුළත තෙතමනයෙන් යුතු ව පැවතිය හැකි බැවිනි.
මෙම ව්‍යාධිජනක බැක්ටීරියාවලට ඔබේ ස්පොන්ජ් කැබැල්ලේ සිට පිඟන්වලට, කුස්සියේ මෙවලම්වලට සහ පෘෂ්ඨයන් මතට මාරු වීමට හැකි ය.
එහෙයින්, අපගේ කුස්සියේ තිබෙන ස්පොන්ජ් කැබැල්ල කොපමණ කාලයකට වරක් මාරු කළ යුතු ද? සනීපාරක්ෂක දෘෂ්ටිකෝණයකින් යුතුව ක්වින්ලන් තර්ක කරන්නේ, ඔබ එය සතිපතා මාරු කළ යුතු වුවත්, එය භාවිත කළ හැකි කාලය දීර්ඝ කිරීම සඳහා ඔබට කළ හැකි දේවල් ද ඇති බවට ය.

“ඒවා පිරිසිදු කර ගන්න ලේසි ක්‍රම දෙකක් තියෙනවා. ඔයාට ඒවා සවස් වරුවට ඩිෂ් වොෂර් එකට දාන්න පුළුවන්. නැත්නම් වාෂ්ප පිටවන බව පෙනෙන තෙක් මිනිත්තුවක් මයික්‍රෝවේව් එකේ දාන්න පුළුවන්. ඒකෙන් ගොඩක් වෙලාවට රෝග කාරක විනාශ වෙනවා.”
නිසැක වශයෙන් ම, අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ, ඔබේ ස්පොන්ජ් කැබැල්ල පිඟන් සෝදන යන්ත්‍රය හෝ මයික්‍රෝවේව් උඳුනේ දැමීමෙන් බැක්ටීරියා අඩු කර ගත හැකි බවත්, ඔබේ ස්පොන්ජ් කැබැල්ල බ්ලීච් දියරවල පොඟවා ගැනීම වඩා ඵලදායී විය හැකි බවත් ය. නමුත් ඊගර්ට්ගේ අධ්‍යයනයෙන් පෙන්නුම් කළ පරිදි, විකල්ප ක්‍රම තෝරා ගත හැකි අතර, එමගින් කාලයත් සමග පිරිසිදු කිරීමේ ඵලදායී බව අඩු විය හැකි ය.
උතුරන වතුරට ස්පොන්ජ් කැබැල්ලක් දමා විෂබීජ නාශකයක් දැමීමෙන් බොහෝ බැක්ටීරියා විනාශ වන නමුත් විශේෂයෙන් ආරක්ෂිත ඇලෙනසුලු ජෛව පටල සාදන ඒවා නොනැසී පැවතිය හැකි ය. නමුත් මෙම ප්‍රවේශය සැල්මොනෙල්ලා වැනි රෝගකාරක අඩු කිරීමේදී ඵලදායී බව සොයාගෙන තිබේ.

අනෙකුත් උපදෙස් අතරට ස්පොන්ජ් එක සින්ක් එක තුළ ගබඩා නොකිරීම, භාවිත කිරීම අතරතුර වියළීමට ඉඩ දීම, ජලය හොඳින් මිරිකා හැරීම සහ ආහාර කැබලි ඉවත් කිරීම ඇතුළත් වේ. කෙසේ වෙතත්, ඇතැමුන්ට භාජන පිරිසුදු කිරීම සඳහා වෙනස් ම මෙවලමක් භාවිත කිරීම සලකා බැලිය හැකි ය.
“මම නම් කොහෙත් ම කුස්සියේ ස්පොන්ජ් පාවිච්චි කරන්නේ නෑ. කුස්සියේ පරිසරය ඇතුළේ ඒ වගේ උපකරණයක් භාවිත කරන එකේ තේරුමක් නෑ,” ඊගාර්ට් පවසයි. “බ්‍රෂ් එකක් ගොඩක් හොඳ යි. මොක ද ඒවාවල බැක්ටීරියා රැඳෙන්නේ අඩුවෙන්. ඒවගේ ම ඒවා ඉක්මනට ම වේළෙනවා. එක පිරිසිදු කරන්නත් ලේසි යි.”
(සටහන | ජැස්මින් ෆොක්ස්-ස්කෙලී)
උපුටා ගැනීම – BBC සිංහල සේවය