ලංකාවේ නමගිය පොලිස් නිලධාරියෙක් නීතිඥයෙකු ගේ මූලික හිමිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දුවක් දුන්න.
විත්තිකරු රටේ මහජනතාවට වගේම සමහර විට අනිත් පොලිස් නිලධාරීන්ටත් නීතිය උගන්වන, නීතිඥ F.U. වුට්ලර්. ඔහු ලංකාවේ වත්මන් පොලිස් ප්‍රකාශකවරයා. තනතුරෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙක්.
චෝදනාව F.U. වුට්ලර් මීගමුව පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් සේවය කරමින් සිටියදී නීතිඥයෙකුගේ වෘත්තියට බාධා කිරීම.
ඒ අනුව පැමිණිලිකාර පියලාල් සිරිසේන නීතිඥවරයාට පුද්ගලික මුදලින් රුපියල් 60,000ක් ගෙවන්න කියල අධිකරණය සහකාර පොලිස් අධිකාරී වුට්ලර් ට නියෝග කළා. ඔහුට රුපියල් 30,000ක වන්දියක් ගෙවන්න කියල ඒ අවස්ථාවේ මීගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විදියට සේවය කරපු මධුශංක ඩයස් ටත් නියෝග කෙරුණා.

කොහොම වුණත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ ඒකමතිකව නෙවෙයි. විත්තිකරු වැරදිකරු කියල ජනක් ද සිල්වා සහ කුමුදුනී වික්‍රමසිංහ විනිශ්චයකාරවරු තීරණය කරද්දී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන තීන්දු කළේ ASP වුට්ලර් චෝදනාවලට නිවැරදිකරු කියල.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් බෙදුණ තීන්දුවක් දීම අසාමාන්‍ය දෙයක් නොවුණත්, අගවිනිසුරුවරයත් ඉන්න විනිසුරු මඩුල්ලක අගවිනිසුරුගේ මතයට එරෙහිව අනෙක් විනිසුරුවන් පිරිස තීන්දුවක් දීම අවධානයට ලක්වෙන කරුණක්. කොහොම වුණත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක දී අගවිනිසුරුට විශේෂ බලයක් හිමි නොවෙන නිසා – අගවිනිසුරු කියන්නේ first among equals නිසා – අවසාන තීන්දුව බවට පත්වෙන්නේ බහුතර මතය.
ලංකාවේ පොලිසියේ අධිපතිවාදී සහ ඇතැම්විට හිංසාකාරී හැසිරීම ගැන නිරන්තරයෙන් වාර්තා අහන්න ලැබෙන වාතාවරණයක ශ්‍රේෂ්ඨාධිකරණය දීපු මේ තීන්දුව නීතිඥවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පැහැදිලිවම වැදගත් පණිවිඩයක් දෙනව.

ඒත් පොලිසියේ මේ වගේ අඩන්තේට්ටම්වලට මුහුණ දෙන්නේ නීතිඥයින් විතරක් නෙවෙයි. සාමාන්‍ය ජනතාවට වගේම බොහෝ පොලිස් පොඩ්ඩන්ටත් ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් සිද්දවෙන හිරිහැර ගැන මම පහුගිය දවස්වල කිහිප වතාවක්ම වාර්තා කළා.
දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුග්‍රහය ඇතුව හුංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් පොලිස් කාන්තාවන්ට එල්ලවෙන හිරිහැර ඒ ගැන එක උදාහරණයක් විතරයි. ඒ ගැන මම විමසීමක් කළාම ASP වුට්ලර් කිවුවේ ඒ ගැන විමර්ශනයක් ආරම්භ කළා කියල. ඒත් ඒ විමර්ශනයේ ප්‍රතිඵලය මොකක්ද කියල තාමත් ආරංචියක් නැහැ. ඒ අතරේ පොලිස් පොඩ්ඩෝ, පොලිස් ලොක්කන්ගේ සපත්තුවට පෑගෙමින් ඉන්නවා.
ඇත්තටම රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න පොලිසිය කරන බොහෝ අපරාධ සහ වංචා සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටුවෙන්නේ නැහැ. අපරාධ කරලා, දූෂණ, වංචාවලට හවුල් වෙලා නීතියෙන් පැනල යන්න ඒ චෞර පොලිස් නිලධාරීන් සමත්වෙලා ඉන්නවා. බොහෝ වෙලාවට ඔවුන්ට දේශපාලන රැකවරණයත් ලැබෙනවා. මම මේ කතා කරන්නේ පොලිසියේ ඉන්න මහත්වරු ගැන නෙවෙයි.

පියලාල් සිරිසේන නීතිඥවරයාට අධිකරණයෙන් මේ විදියට සාධාරණය ඉෂ්ඨ වුණත්, වින්දිතයින් ආරක්ෂා කිරීමේ පොලිස් කොට්ටාශයේ නිලධාරියෙකුගෙන් අධිකරණයේදීම සිද්ද වුණ හිරිහැරයක් ගැන මානව හිමිකම් නීතිඥ අචලා සෙනෙවිරත්න කරපු පැමිණිල්ල ගැන මම දන්නා තරමින් තවමත් කිසිම විමර්ශනයක් වත් සිද්ද වෙලා නැහැ. ඒ වගේම රාජපක්ෂ කඳවුරේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ට විරුද්ධව කාලාන්තරයක් තිස්සේ ඇය අරගෙන යන අරගලය නිසා ජීවිත තර්ජනයකට මුහුණ දීල ඉන්න අචලා ට ආරක්ෂාවක් ලබාදෙන්න කියල කොයි තරම් ඉල්ලා සිටියත් ඇයට ආරක්ෂාවක් දීලත් නැහැ.
පොලිසියෙන් හිරිහැරයට පත්වුණ නීතිඥයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටුවීම පැහැදිලිවම අගය කළ යුතු දෙයක්. ඒත් රටේ නීතියේ ආධිපත්‍යය හොඳින් ස්ථාපිත කරන්න නම් අපිට තව ගොඩක් දුර යන්න තියෙනව.

(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
[email protected]
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්…)
2026 අප්‍රේල් 09



