ජයනි නටාෂලා නයෝමි මිචෙල්ලා නිදහස් කළාට මාලිගාව ළග පාර තවමත් වැසී ඇත

    0
    27

    ජයනි නටාෂාගේ මූලික අයිතිවාසිකම් නඩුව අවසන් වුණේ මූල ධර්මවාදින් විසින් පාලනය කළ මිනිස් අයිතිය පිළිබද පුලුල් කතිකාවකට මග පාදමිනි.


    ලංකාවේ ක්‍රියාත්මක වලංගු නීතිය සැමට සමානය. එය රටේ කාටත් ඉහළින් යයි යළි යළි පුනරැච්ඡාරණය කළාට, නීතිය දෙකට නවා තමන්ගේ කිහිල්ලේ ගසා ගැනීම් පැවති බවට ජයනි නටාෂා එදිරිසූරියාගේ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව දැක්විය හැකිය. ජයනි නටාෂා අත් අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කළේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී තම අදහස වඩාත් පැහැදිලි කිරීමට ඉදිරිපත් කළ උදාහරණයක් විසවීම නිසාය.

    කුඩා දරුවන්ට අසාමාන්‍ය පීඩනයක් දෙමින් මෝඩ ආකල්පයෙහි සිර වූ ලංකාවේ අම්මලාගේ නැනස පාදමින් ජයනී නටාෂා එදිරිසූරිය මෝඩාභිමානය ප්‍රහසනයේදී දැක්වූ උපහාසාත්මක උදාහරණයේදී සුද්ධෝදනගේ ළමයා, සුද්ධෝදනගේ පොඩි එකා සහ සුද්ධෝදනගේ කොලු පැටියා ආදි වදන භාවිතා කළාය. ඇයගේ කරුමයට සුද්ධෝන නමින් රජ්ජුරු කෙනෙක් පුරාණ ඉන්දියාවේ ජීවත්වීම සහ එකී මහ රජ්ජුරුවන් වහන්සේ ශ්‍රමණ භවත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ පියා වීම ඇයට හානිකර වුණේ ලංකාව බෞද්ධ රාජ්‍යයක් හැටියට නීතිගතව තිබීමය.

    මෙකී කරුණු කාරණා අනුව, 2023 මැයි 28 වෙනිදා අලුයම 1.20ට කටුනායක ගුවන් තොටුපළේදී අත් අඩංගුවට ගෙන අනීතිකව පොලිස් අත් අඩංගුවට පත් කර බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ජයනි නටාෂා පොලිසියට හෙවත් ආණ්ඩුවට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගයද අවසන්ව ඇති අතර මේ කෙරෙන්නේ ඒ පිළිබද කරුණු විමසා බැලීමකි.

    ජයනී නටාෂා උපුටා දැක්වූ සුද්ධෝදන යන පුරුෂ ලිංගික නාම පදය ශ්‍රමණ භවතුන් හෙවත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ පියා වීමෙන් බුදධාගමට අපහාසයක් සහ බෞද්ධයන්ට මොකක්දෝ එකක් සිද්ධ වුණා ය යන්න ජයනි නටාෂාට සිද්ධි කාරණාව එරෙහි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව රටේ නීතිය පිළිබද විශිෂ්ඨ නඩු තීන්දුවකට මුල් වීම රටේ වාසානාවකි.

    ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ජයනි නටාෂා අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ලිඛිතව ඇය ගෙන් සමාව ගැනීම හෝ එකී ක්‍රියාව ගැන කණගාටුව ප්‍රකාශ කළ බව වාර්තා විය. මෙහිදි වාර්තා වූ වැදගත්ම දේ නැවත එවැනි අනීතික දේ සිදු නොවන විදියට නීති පැනවීම හෝ පවත්නා නීතිය සංශෝධනය කළ යුතු බවට ජයනි නටාෂා කළ ඉල්ලීමට උපරිමාධිකරණයේදී සාධනීය ප්‍රතිචාර ලැබීමය.

    නඩුව අවසානයේ ජයනි නටාෂාගේ ප්‍රකාශයක්  උපුටා දැක්වූ මාධ්‍ය වාර්තා අනුව ඇයට අවශ්‍ය වුණේ වන්දි නොව රටේ පවත්නා යම් අයහපත් නීති තත්වයක් වෙනස් කරවා ගැනීමය. මෙහිදී තවත් යමක් අවධාරණය කළ යුතුය. දිලිත් ජයවීර කලකට පෙර ප්‍රසිද්ධ වේදිකාවකදී ජයනී නටාෂා මෙන් යම් කරුණක් තහවුරු කිරීමේදී ‘‘සිද්ධාර්ථ ලොසෙක්“ දැයි කළ ප්‍රකාශය පිළිබ‍දව හෝ ජනාධිපති මැතිවරණයක් ආසන්නයේ දෙරණ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ රජ මහා විහාරයක් පාදක කොට කැලණි ගගෙන් නයි මතු කරමින් නැටූ විකාරය ගෝඨාභය රාජපක්ෂලාට කිසිවෙකු රටේ රාජ්‍ය ආගම වූ බුද්ධාගම පදික වේදිකාවේ දමා සිල්ලරට විකිණිම ගැන නඩුවක් නො පැවරිණ. එසේම බෝධිය ගැන පිළිම වන්දනාව ගැන ජනතා විමුක්ති පෙරමුණු න්‍යායාචාර්යන් කළ අසාධු ප්‍රකාශ ගැනද කිසිදු පොලිස් කොට්ඨාශයක් හෝ බෞද්ධ භික්ෂුන් නීතියේ නාමයෙන් සැලකිලිමත් නොවීම යනු විමසිය යුතු කරුණකි.

    ජයනී නටාෂා මෙන්ම තවත් ගැහැනියක වූ නයෝමි මිචෙල් කෝල්මන් නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් 2014 අප්‍රේල් මස 05 වෙනිදා කටුනායකදි අත් අඩංගුවට ගෙන දින 4ක් රදවා තබා ගැනීමෙන් පසුව ලංකාවෙන් පිටුවහල් කරනු ලැබීය. ඇය අත් අඩංගුවට ගත් හේතුව සිය දකුණු බාහුවේ උර හිස සමීපයෙහි බුදුන්ගේ යැයි සැක කළ හැකි රෑපකායක් පච්චයක් කොටාගෙන සිටීමය. වෘත්තියෙන් මානසික සෞඛ්‍ය විෂය පිළිබද හෙදියක වූ මිචෙල් තමන්ට සිදු කළ අපහාසය සම්බන්ධව සාධාරණයක් ඉල්ලා පවරණ ලද නඩුව අවසානයේ  ‘‘අනීතිකව අපකීර්තිමත් සහ භයානක ආකාරයට“ එකී විදේශික කාන්තාවට සලකා ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම්කාරියට රුපියල් 800,000ක හෙවත් බ්‍රිතාන්‍ය පවුම් 4000ක වන්දියක් ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළේය.

    ඉහත කී නඩු දෙකම කාන්තාවන් දෙදෙනෙකුට සිදු කළ සාපරාධි අපහාසයට එරෙහි කතාන්තර හැටියට සැලකිය හැකිය.

    ලංකා මාර්ග සිතියමේ A 26 හැටියට හැදින්වෙන ප්‍රධාන පාර අද ආරම්භයේදි අවහිර වන ආකාරයට තාප්ප බැ‍ද හරස් කිරීම තහනම්ය. මේ නීතිය කඩ කරමින් මහනුවර ප්‍රසිද්ධ ක්වින්ස් හෝටලය අසලින් ආරම්භ වන A 26 මාර්ගය දළදා මාලිගාවේ දිය වඩන නිලමේගේ ඉල්ලීමට වසා දමා තිබිම සහ එය තමන් විසින් තීන්දු කරන පිරිසකට පමණක් ගමන් කිරීමට භාවිතා කිරීම හේතුවෙන් කදු ශීකර අතර සිර වූ මහනුවර නගරය මිනිස් ශරීරයට අහිතකර විස දුමෙන් පිරි යතී යයි විශේෂඥයන් පෙන්වා දුන් අවදානමට විකල්පයක් හෝ බලධාරින් ලබා දී නැතද, එකී මාර්ගය දසකයකට ආසන්න කාලයක් මිනිස් සංහතියට නිගාවකි.

    එකී  විනාශය නතර කරවා ගැනීමට පවරා ඇති අංක CS FR 357/2016 දරන මූලික අයිතිවාසිකම් නඩුව ආසන්න වසර 10ට ආසන්න කාලයක් ගත වී ඇතද, 2014දී පීඩාවට පත් නයෝමි මිචෙල් කෝල්මන්ගේ නඩුව සහ 2023 ජයනි නටාෂා  එදිරිසූරියගේ නඩුව මෙන් අවසන් නොවීම සාධාරණත්වය අපේක්ෂා කරන හැම ගැහැනියකටම මිනිසෙකුටම ඇත්තේ දැඩි මනස්තාපයකි.

    මෙම පාර වැසූ කාලයේ මහනුවර නගරාධිපති එල්.බී. අලුවිහාරේ මහතා සහ නාගරික මන්ත්‍රීන් මල්වතු අස්ගිරි නා හිමිවරුන් හමුව ජනතාවට සිදුවී ඇති හානිය දක්වා එකි මාර්ගය විවෘත කරවා දීමට සහාය වන හැටියට අයැද සිටියහ. ඒ අවස්ථාවේ මල්වතු මහා නායක හිමියන් කීවේ මාර්ගය ජනතාවගේ පරිහරණය සදහා වහා විවෘත කළ යුතු බවය. එකී නියෝජිත පිරිසට අස්ගිරි මහා නායක ස්වාමින් වහන්සේ කීවේ අරුන්නැගේ වහපු පාර අරින්න කියන්නේ කොහොමද කියාය. උන් වහන්සේ අරුන්නැහේ කීවේ එවකට ආණ්ඩුකාරයාටද නැතහොත් දියවඩන නිලමේදටද එසේ නැත්නම් මහින්ද රාජපක්ෂටද කියා කිසිවෙකු අසන්නට ගියේ නැත.

    අංක CS FR 357/2016 දරන නඩුවේ එකතු කළ පාර්ශව කාරයෙකු ලෙස නගරාධිපති එල්.බී.අලුවිහාරේ මහතා ඉදිරිපත් වෙමින් රටේ පවත්නා තත්වය අනුව මාලිගාව අසලින් වසා ඇති මාර්ගය විවෘත කරන ලෙසට ආරක්ෂක ලේකම් විසින් 2009.12.23. දින තමා වෙත නිකුත් කළ ලිපියද තම පෙත්සම සමග එකී නඩුවට ගොනු කර ඇත. එකී ලිපියේ පිටපතක් දියවඩන නිලමේ නිලංග දෑල මහතාට යොමු කර ඇති අතර, තවදුරටත් දළදා මාලිගාව සම්බන්ධව යම් ආරක්ෂාවක් අවශ්‍ය නම් මාලිගාවේ වියදමින් එකී මාර්ගයට සමාන්තරව ආරක්ෂක බැම්මක් ඉදි කර ගන්නා ලෙස සහ එකී කාර්යට හය මාසයක කාලයක් වෙන් කර ඇති බවද එහි දැක්වේ.

    මේ ලිපියේ තවත් පිටපතක් මධ්‍යම පළාත භාර පොලිස්පති වෙතද නිකුත් කර ඇති අතර අමු අමුවේ නීතිය කඩමින් ගෙවී ගිය වසර 17ක් තිස්සේ ගෙවී ගිය හැම තත්පරයක් පාසාම මහනුවර නගරය පැයකට ඇදී එන දෙදහසකට ආසන්න වාහන වල ඉන්ධන දහනය වීමෙන් නිකුත් වන විෂ වායුව ඇති කරන විනාසය කිසිම ප්‍රාතිහාර්යකින් වැළැක්විය නො හැකිය. ගෙවි ගිය එකී 17 වසර තුළ මහනුවර මලබාර් විදියේ සිට මාලිගාව පසු කර විනාඩි ගණනක් ඇතුළත මහනුවර  මහ රෝහලට යා හැකි අසාධ්‍ය රෝගින් රැගත් ගිලන් රථ මෙම පාර වසා දැමීම හේතුවෙන් වැව රවුමේ අධික වාහන තදබදය අතරින් මහ රෝහලට ළගාවීමට දිවා පාසල් කාලය අතර සමහර දිනවල පැයකට ආසන්න කාලයක් ගතවේ. මේ අතර අපේක්ෂිත හදිසි ප්‍රතිකාර නො ලැබිම නිසා ගිලන් රථ තුළදීම ජිවිතක්ෂයට පත්වූ රෝගින් ගැන කතා ඕනැ තරම් ඇසිය හැකිය. එවැනි සිද්ධියක් දෙකක් ඉහත කී නඩුවට ගොනු කර ඇතුවා විය හැකිය.

    කෝටි ගණන් වැය කර අධිවේගි මාර්ග තනමින් කාලයට සහ මිනිස් ජීවිත වලට වටිනාකමක් දෙන රටේ වසර සිය ගණනක් ජනතාව භාවිතා කළ ප්‍රසිද්ධ මහා මාර්ගයක් වසා දැමීමේ විහිලුව, උන්නැහේ ඇරපු පාර අරින්න කියන්න බෑ යනුවෙන් කළ සරල කතාව මල්වතු මහ නා හිමියන්ගේ දැක්ම සමග යථාර්ථවාදිව විමසන්නෙකුට මේ ගැටලුව ජාතියේ අමනකමට වඩා නීතියේ අධිපත්‍ය හෑල්ලුවට ලක් කිරීමකි.  එසේම A 26 මාර්ගය වසා දැමීමෙන් කෙටි කලක් තුළ සුප්‍රකට උඩවත්ත කැලේ වසර සිය ගණනක් පැවති මහ ගස් කපා දියවඩන නිලමේගේ බංගලාවට යාමට පාරක් කපා ගැනීම හෝ කපා දීමද මෙහිදී පාර වැසිමට අදාළ කරුණක් හැටියට සලකා බැලිය යුතුවේ.

    මහනුවර නගරයට දිනපතා පැමිණෙන පාසල් දරුවන් පදිකයන් සහ විවිධ වර්ගයේ පුරවැසියන්ට සිදු කරන හිරිහැරය ඉවත් කර දෙන ලෙස  අංක CS FR 357/2016 දරන මූලික අයිතිවාසිකම් නඩුව පවරා මේ වනවිට අවසර දහයකට ආසන්න නමුත් තවමත් එකී නඩු කටයුත්ත අවසන්ව නැත.

    ඇසල පෙරහැර කාලෙටවත් දවස පුරා වසා දැමුණේ නැති A 26 මාර්ගය රාජපක්ෂලාගේ තනි කැමැත්තට දියවඩන නිළමේගේ සින්නක්කරයට ලියා දීමෙන් මහනුවර ජීවත්වන ජනතාවගේ සෞඛ්‍ය තත්වය මෙන්ම නීතියේ ආධිපත්‍ය පිළිබද පවත්නා විශ්වාසය ද දුර්වල වෙමින් පවතී.

    නඩු කල් යාම ගැන මැසිවිලි නැගෙන රටේ ලංකාවේ මිනිස් ජීවිත ලක්ෂ ගණනාවකගේ මානුෂිය ඉල්ලීමක් ඇතුළත් මාලිගාව අසල පාර වැසීමේ රාජපක්ෂලාගේ තක්කඩිකමට එරෙහි මූලික අයිතිවාසිකම් නඩුව තීන්දුව දිසා අධිකරණයක පැවරුණ බෙදුම් නඩුවක් මෙන් පමා වන්නේ ඇයිද යන්නට වීදි සටන් හරහා උත්තර ලබා ගත නො හැකිය.

    (සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
    නිදහස් ලේඛක
    [email protected]

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here