සිරගෙයක බිත්ති අතර කොටු කර ඇති ඉරාන කතුන්ගේ නිදහසේ සිහිනය: නර්ගීස් මොහොමඩි

    0
    23

    තමන් වෙනුවෙන් නොව අන්‍යයන්ගේ නිදහස වෙනුවෙන් කැප වී ක්‍රියා කරන කාන්තාවකට, නිදහස යනු තවමත් සිහිනයක් පමණක් වී ඇත.

    එම ශෝචනීය තත්ත්වය සමාජ යථාර්ථයක් කරමින්, ඉරානයේ මානව හිමිකම් වෙනුවෙන් අඛණ්ඩව හඬ නඟන නොබෙල් සාම ත්‍යාගලාභී නර්ගීස් මොහොමඩිට එරෙහිව එරට අධිකරණය විසින් යළිත් වසර හතහමාරක සිරදඬුවමක් නියම කර තිබේ.

    ඇයගේ නීතිඥ මොස්තාෆා නිලි විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු කරන ලද පරිදි, ඊසානදිග මාෂාඩ් නගරයේ අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත. මෙහිදී “රැස්වීම් පැවැත්වීම සහ කුමන්ත්‍රණය කිරීම” යන චෝදනාවට වසර හයක් ද, “රාජ්‍ය විරෝධී ප්‍රචාරක කටයුතු” සම්බන්ධයෙන් වසර එකහමාරක් ද වශයෙන් මෙම නව දඬුවම් නියම වී තිබේ. නමුත් මේ සම්බන්ධයෙන් කාන්තාවන්ගේ දොස් සමාජගත කිරීම පිණිස අතිශය උනන්දුවක් පළ කරන ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන් එතරම් උනන්දුවක් දක්වා නැත.

    වයස අවුරුදු 53ක් වන නර්ගීස් මොහොමඩි, 2023 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලබා තිබේ. ඒ ඉරාන කාන්තාවන්ට එරෙහිව නිරතුරුවම සිදුවන මර්දනයට එරෙහිව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය උදෙසා ඇය දැක්වූ අප්‍රතිහත ධෛර්යය හේතුවෙනි. එහෙත් සමාජයීය වශයෙන් එම ගෞරවය භුක්ති විඳීමට හෝ ඇයට නිදහසක් නැත.

    වෘත්තියෙන් ඉංජිනේරුවරියක සහ භෞතික විද්‍යා උපාධිධාරිනියක වන ඇය, මේ වන විටත් ටෙහෙරානයේ කුප්‍රකට ‘එවින්’ (Evin) බන්ධනාගාරයේ වසර 31ක සිරදඬුවමක් විඳිමින් සිටින්නීය. ඉරාන බලධාරීන් පවසන්නේ පසුගිය දෙසැම්බරයේ පැවති අනුස්මරණ උත්සවයකදී “ප්‍රකෝපකාරී ප්‍රකාශ” කිරීම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත්, එම අත්අඩංගුවට ගැනීමේදී එල්ල වූ පහරදීම් හේතුවෙන් ඇයට රෝහල්ගත වීමට පවා සිදු වූ බව ඇයගේ පවුලේ සාමාජිකයෝ පවසති. මෙය දියුණු මානව ශිෂ්ටාචාරයක කෙසේවත් සිදු නොවිය යුතු තත්ත්වයකි.

    ඉරාන කාන්තාවන්ට නිදහස ලබා දීම පිණිස නර්ගීස් සිදු කරන මෙම අරගලය සඳහා ඇය සිය පෞද්ගලික ජීවිතය මුළුමනින්ම පාහේ කැප කොට තිබේ. නර්ගීස් මොහොමඩි 1999 දී මාධ්‍යවේදියෙකු සහ ක්‍රියාකාරිකයෙකු වන ටැගී රහ්මානි සමඟ විවාහ වූ අතර, ඔහුට ද දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් වසර ගණනාවක් සිරගතව සිටීමට සිදු විය.

    වඩාත් සංවේදී පුවත වන්නේ ඇයගේ නිවුන් දරුවන් වන අලි සහ කියෙන්නා පිළිබඳවයි. සිය මව සිරගතව සිටීම හේතුවෙන් වසර අටක් තිස්සේ ඔවුන්ට සිය මව දැක ගැනීමට අවස්ථාව ලැබී නැත. දැනට ප්‍රංශයේ වෙසෙන මෙම දරුවන්ට සිය මවගේ ආදරය විඳීමට ලැබී ඇත්තේ දුරස්ථව ලැබෙන ආරංචි හරහා පමණි. නමුත් මවක ලෙස තමන් විඳින වේදනාව, තමන් කැප වී ක්‍රියා කරන පොදු අරමුණ හමුවේ මවුකිරි දුන් ළමැද තුළ සඟවාගෙන හිඳින බවක් පෙනෙයි. ඉංජිනේරුවරියක වශයෙන් සාර්ථක වෘත්තීය ජීවිතයකටත්, බිරිඳක වශයෙන් සාර්ථක ගෘහ ජීවිතයකටත් හිමිකම් කීමට තිබූ ස්වාභාවික හිමිකම, ඇය ඉරාන කතුන් හට සැනසුම් සුසුමකට ඇති හිමිකම උදෙසා මේ වන විටත් පුද දී හමාරය.

    මේ වන විට 13 වතාවක් නර්ගීස් මොහොමඩි අත්අඩංගුවට ගෙන ඇති අතර 5 වතාවක් වරදකරු කර තිබේ. එහෙත් යදම්වලට ඇයගේ හඬ යටපත් කළ නොහැකි බව ලෝකයම දනී. ඇයගේ මෙම නවතම සිරදඬුවම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර, ඇයව වහාම නිදහස් කරන ලෙස ලෝක ප්‍රජාව බලකර සිටියි. ඒ සඳහා ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ දායකත්වය ද හිමි වීම සමස්ත ලෝකවාසී කාන්තා පරපුර වෙනුවෙන්ම කරන උත්තරීතර කැපවීමක් වනු නියතය. එමෙන්ම මේ දිනවල ඉරානයේ පවත්නා දැඩි දේශපාලන අවිනිශ්චිත වාතාවරණය යටතේ ඇය සමස්ත ඉරාන කාන්තාවන්ට උදා කරදීමට වෙර දරන නිදහසේ අරුණාලෝකය නුදුරේ දීම පැහැදිලි යථාර්ථ්යක් බවට පත් වීමේ පැහැදිලි අවකාශයක් පෙන්නුම් කරයි.

    සිරගෙයක බිත්ති අතර කොටු වී සිටියද, නර්ගීස් මොහොමඩි මේ වන විටත් ඉරාන කාන්තාවන්ගේ නිදහසේ සංකේතය බවට පත්ව හමාරය. යකඩ කූරුවලට සිර කළ නොහැකි ඇයගේ අධිෂ්ඨානය, තම මූලික නිදහස පතා පෙළගැසෙන සමස්ත ලෝකවාසී කාන්තාවන්ට ජීවමාන ආදර්ශයකි.

    (සටහන | ෆාතිමා හලල්දීන්)

    උපුටා ගැනීම – vinivida.lk

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here