යුද සමයේත් ඉන් අනතුරුවත් ශ්‍රී ලංකාවේ ලිංගික ප්‍රචණ්ඩත්වය ගැන තොරතුරු සහිත වූද, ප්‍රකාශයට පත් කිරීමට පෙර ශ්‍රී ලංකා රජයට ලබා දුන්නාවුද එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පිළිබඳ දැනුවත් භාවයක් නැතැයි ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
සිවිල් යුද්ධයේදී ඇති වූ ලිංගික ප්‍රචණ්ඩත්වයේ සැලසුම් සහගත ස්වභාවය සහ වගවීම සහතික කිරීමට ශ්‍රී ලංකා රාජ්‍යය දිගින් දිගටම අසමත් වීම ලේඛනගත කර ඇති එම වාර්තාව ලැබී ඇති බව පිළිගැනීම රජයේ මුල් පෙලේ අමාත්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
ඉහළ මට්ටමේ කැබිනට් අමාත්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති මුත්, ‘ශ්‍රී ලංකාවේ ගැටුම් සම්බන්ධ ලිංගික ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් වගවීම’ යනුවෙන් නම්කර ඇති වාර්තාව රජයට කල්තියා භාර දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහතික කර ඇත.
“සාමාන්‍ය ක්‍රමය අනුව මෙම වාර්තාව ශ්‍රී ලංකා රජයට කල්තියා භාර දී ඇත,” යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) ප්‍රකාශක ජෙරමි ලෝරන්ස් පැවසුවේය.
ආණ්ඩුවේ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ කළ විමසීමකට කෙටි ඊමේල් පණිවිඩයක් හරහා ප්‍රතිචාර දක්වමින්, OHCHR ප්‍රකාශක තහවුරු කර සිටියේ ජිනීවා හි ශ්‍රී ලංකා ස්ථිර දූත මණ්ඩලය වෙත එය යොමු කිරීම සාමාන්‍ය පිළිවෙත බවයි. එම වාර්තාව 2026 ජනවාරි 13 වන දින OHCHR වෙබ් අඩවිය ඔස්සේ ජනගත කර තිබිණි.
“ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අතරතුර සහ ඉන් පසු සිදු කරන ලද ලිංගික ප්‍රචණ්ඩත්වය හුදකලා සිදුවීම්වල හුදු එකතුවක් නොවන බවත්, හිතාමතා සිදු කළ, ව්‍යාප්තව තිබූ, සහ ක්‍රමානුකූලව සිදු වූ ප්‍රචණ්ඩත්වයේ රටාවක කොටසක් බවත්,” OHCHR වාර්තාව පවසයි.
එක්සත් ජාතීන්ගේ පණිවිඩ මුලින්ම ලැබෙන්නේ විදේශ අමාත්‍යාංශය බව පිළිගනිමින් අධිකරණ සහ නීතියේ ආධිපත්‍යය පිලිබඳව වගකිව යුතු අමාත්‍යවරුන් වාර්තාව අන්තර් ජාලයට මුදා හැර සතියකට වැඩි කාලයකට පසු පැවසුවේ ඔවුන්ට එය ලැබී නොමැති බව හෝ එවැන්නක් ඇති බව තමන් නොදන්නා බව යි.
“එම වාර්තාව විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී තිබෙන්නට පුළුවන්. එය කාට යොමුකර ඇත්දැයි තවමත් මම නිශ්චිත වශයෙන් දන්නේ නෑ. නමුත් මට වාර්තාව ලැබී නැහැ. වාර්තාව නිල වශයෙන් ලැබුණු පසු, විමර්ශනය කළ යුතු කරුණු ඇත්නම්, එය අදාළ ආයතන වෙත යොමු කරනු ඇති අතර අපට ප්‍රතිචාර දැක්වීමට හැකි වනු ඇත,” යනුවෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පුවත්පතක් වන සන්ඩේ මෝනිං වෙත පවසා තිබේ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල ගේ ප්‍රතිචාරය වී ඇත්තේ, “එක්සත් ජාතීන්ගේ ලේඛන අප වෙත සන්නිවේදනය කරන ක්‍රියාවලියක් තිබෙනවා. එය විදේශ අමාත්‍යාංශය ට ලැබෙන අතර, බොහෝ අවස්ථාවලදී විමසීමක් ඇත්නම් එම විමසුමට අදාළ අමාත්‍යාංශයට යොමු කරනවා. එම වාර්තාව තිබුනත්, විදේශ අමාත්‍යාංශය තවමත් අපට කිසිවක් යොමු කර නැත,” යන්නයි.
‘සන්නිවේදනයේ බිඳවැටීමක්’ හේතුවෙන් ‘ඇමතිවරුන් සමග සන්නිවේදනය නොවීමක්’ සිදු වූයේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ කියා තිබුණි.
“OHCHR විසින් පැවැත්වූ උපදේශන හමුවලින් හෙළිවී තිබුනේ, දශක ගණනක සංස්ථාපිත දුෂ්ක්‍රියාකාරිත්වය සහ ආයතනික මට්ටමින් ඇති ප්‍රතික්ෂේප කිරීම් හරහා හැඩගැසුණු දණ්ඩමුක්තිය නොවැළැක්විය හැකි දෙයක් බවට පවතින විශ්වාසයක් ඇති බවයි. අධිකරණ පද්ධතිය වගවීමේ මාර්ගයක් ලෙස නොව, අපරාධකරුවන් ආරක්ෂා කරන යාන්ත්‍රණයක් ලෙස දකිමින්, දිවි ගලවාගත් පුද්ගලයන් විසින් එම පද්ධතිය කෙරෙහි විශ්වාසයක් නොමැති බව නිරන්තරයෙන් ප්‍රකාශ කර ඇත,” යනුවෙන් OHCHR සිය වාර්තාවේ සඳහන් කරයි.
දණ්ඩමුක්ති අඩිපාරේම අනුර කුමාර දිසානායක යටතේ ඇති වර්තමාන රජය ද යනු ඇති බවට වින්දිතයන් සහ මානව හිමිකම් පිලිබඳ ජාත්‍යන්තර ආයතන තුළ පවතින පොදු භීතිය ශ්‍රී ලංකාවේ ප්‍රතික්ෂේප කිරීම තුළින් තවත් ශක්තිමත් කර ඇත. ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අතරතුර සහ ඉන් පසුව ලිංගික හිංසනය මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රාජ්‍ය ක්‍රියාකාරීන්ට දඬුවම් නොලැබීමේ අඛණ්ඩ මාවතටම පෙරලා පැමිණ ඇති සෙයකි.
“එක්සත් ජාතීන් විසින් හෙළිකර ඇති දේ පිළිගැනීමට මෙලෙස අපොහොසත් වීම හරහා ජාත්‍යන්තර නීතිය යටතේ වන සහයෝගීතාව, කඩිනම් විමර්ශන සහ සද් විශ්වාසය සම්බන්ධ යුතුකම් උල්ලංඝනය කෙරෙයි,” යනුවෙන් සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් කලින් ට්විටර් ලෙස හැඳින්වුණු X සමාජ ජාලාව ඔස්සේ පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය දෙමළ දිවි ගලවාගත්තවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් ලේඛනගත කරමින් ජනවාරි 15 වන දින ITJP විසින් ද වාර්තාවක් නිකුත් කර තිබුණි.
‘සංවාදයක් ආරම්භ කිරීම: ගැටුම් සම්බන්ධ ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවාගත් පිටුවහල් කරන ලද දෙමළ ජනයාගේ යුක්තිය සහ හානිපූරණය සම්බන්ධ අවශ්‍යතා’ යනුවෙන් නම්කර ඇති පිටු 68 කින් යුත් වාර්තාව තුළ, පිටුවහල් වී දැනට එක්සත් රාජධානියේ ජීවත් වන පිරිමි සහ ගැහැණු 50 දෙනකු සමඟ වසර දෙකක කාලයක් පුරා පැවැත්වූ උපදේශන සාකච්ඡාවලින් ලබාගත් සොයාගැනීම් ද ඇතුළත් ය.
යුද්ධයෙන් දිවි ගලවාගත් බොහෝ දෙනා චෝදනා කර ඇත්තේ, 2009 දී අවසන් වූ සන්නද්ධ ගැටුම අතරතුර සහ ඉන් පසු ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් බාල වයස්කාරියන් ඇතුළු කාන්තාවන් හා පිරිමින් දූෂණය කර ලිංගික වධහිංසා පැමිණවූ බවයි.
හමුදා ප්‍රකාශක වරුණ ගමගේ “හමුදාවට එරෙහි ලිංගික අපරාධ පිළිබඳ සියලු චෝදනා” ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ ඒවා පදනම් විරහිත, අභූත චෝදනා බවයි. ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළු යුද අපරාධ සම්බන්ධ විධාන වගකීම මත ජාත්‍යන්තර සම්බාධක පනවා ඇති හිටපු හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද පවසන්නේ ශ්‍රී ලංකා හමුදාව කිසි දිනක මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ වී නොමැති බව යි.
“හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා දීර්ඝ කාලයක් පුරා පවතින අතර, එවැනි ප්‍රකාශ සිදු කරන පුද්ගලයින්ට එරෙහිව රජය ක්‍රියා කළ යුතුයි,” යනුවෙන් ජෙනරාල් සිල්වා BBC යට පවසා තිබුණි.
කෙසේනමුත්, චෝදනා ප්‍රතික්ෂේප කරන අතරම, සේනාධිනායක ජනාධිපතිවරයා යටතේ ඇති ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා තිබුනේ ප්‍රවේෂන් සහගතවය.
“මින් අදහස් වන්නේ වාර්තාවේ සියලුම අන්තර්ගතයන් ප්‍රතික්ෂේප කිරීමට අප අදහස් කරන බව නොවේ. වාර්තාවේ සඳහන් කරන කරුණු නිල වශයෙන් විසඳීමට අප අවධානය යොමු කළ යුතුව ඇත,” යනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් සන්ඩේ මෝනිං පුවත්පතට පවසා තිබේ.
OHCHR සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ ආයතන සහ අනෙකුත් ක්‍රියාකාරීන් විසින් පුන පුනා නිර්දේශ කර තිබියදීත්, දිවි ගලවා ගත් අය තවදුරටත් නිහඬව දුක් විඳින අතර, අර්ථවත් ප්‍රතිසංස්කරණ තවමත් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි.
“දණ්ඩමුක්තිය සහ ප්‍රතික්ෂේප කිරීම අවසන් කිරීම සඳහා සහ පවතින මර්දනය හමුවේ නිහඬතාවය බිඳ දැමීම වෙනුවෙන් ධෛර්යෙන් පසුවන දිවි ගලවා ගත් අයගේ හඬ වඩාත් තීව්‍ර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින උල්ලංඝන කෙරෙහි නොබිඳෙන අවධානයක් පවත්වා ගන්නා,” ලෙස ITJP එක්සත් ජාතීන්ගේ සංවිධානය, එහි සාමාජික රටවල් සහ ශ්‍රී ලංකාවට ආධාර දෙන රටවලින් ඉල්ලා ඇත.
එක්සත් ජාතීන්ගේ වාර්තාව නිර්දේශ කරන්නේ, “ජාතික මට්ටමේ බලධාරීන් ක්‍රියා කිරීමට අපොහොසත් වන විට, ජාත්‍යන්තර නීතියට අනුව අපරාධකරුවන්ට එරෙහිව ඉලක්කගත සම්බාධක පනවමින්, සාමසාධක හෝ ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා සලකා බලනු ලබන පුද්ගලයන් දැඩි සුපරීක්ෂාවට භාජනය කරමින්, සහ දිවි ගලවාගත් පුද්ගලයන්ට සහ සිවිල් සමාජ සංවිධානවලට තිරසාර සහයෝගය සහතික කරමින් ජාත්‍යන්තර ප්‍රජාව විසින් සුදුසු අවස්ථාවලදී විශ්වීය හෝ බහිර්භෞමික හෝ නීතිය ක්‍රියාත්මක කරමින් වගවීමට සහාය දිය යුතු බව” යි.


