‘මාමිනි මා දෙයියා’ ගයද්දී විනිසුරුවරු එකවරම මගේ පැත්තට හැරුණා

0
70

උපේන්ද්‍රා මේ දිනවල ෆින්ලන්තයේ ජනප්‍රිය චරිතයක් වෙලා නේද? කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?

මේ දවස්වල මං ගැන හැමෝම අතරම කතාබහට ලක්වෙලා. ඒ මං මෙවර ෆින්ලන්තයේ ‘ද වොයිස් ඔෆ් ෆින්ලන්ඩ්’ වැඩසටහනට සහභාගි වීමත් එක්ක. මීට කලින් මං ලංකාවේ විවිධ තරග, රියැලිටි වැඩසටහන් සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා.

ඒ හරහා යම්තාක් දුරකට ශ්‍රී ලාංකේය ජනතාවගේ මතකයේ රැඳෙන්න මට අවස්ථාවක් ලැබුණා. එයත් මට මේ අවස්ථාවේ ලොකු පන්නරයක් වුණා කිව්වත් හරි.

ඔබ ෆින්ලන්තයේ වාර්තා පොතට එක් වුණා කියන කතාව මොකක්ද?

ඔව්. ෆින්ලන්ත ඉතිහාසයටම ‘ද වොයිස් ඔෆ් ෆින්ලන්ඩ්’ තරගයකට ශ්‍රී ලාංකිකයෙක් ඉදිරිපත් වුණු පළමු අවස්ථාව මේක. ඒකත් සීසන් 14කට පස්සෙ.

ඊටත් වඩා විශේෂිතම කාරණය වුණේ ‘ද වොයිස් ඔෆ් ෆින්ලන්ඩ්’ ඉතිහාසයටම තරගකරුවෙකුට ලැබුණු වේගවත්ම බසරය නාද කරවාගැනීමේ වාර්තාව මා සතු කරගැනීමට මට හැකිවීම. ඒ හරහා මගේ නමත් ෆින්ලන්ත වාර්තා අතරට එකතු වුණා.

බ්ලයින්ඩ් ඔඩිෂන් වටයෙදි සියලුම විනිසුරුවන් ඉතා ඉක්මනින් ඔබට මනාපය පළ කළා. ඒකට හේතුව විදිහට ඔබ දකින්නේ මොකක්ද?

එදා මං ගායනා කළ ‘මාමිනි මා දෙයියා’ ගීතයට විනිසුරුවරුන්ගේ සහ පැමිණ සිටි ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ද වොයිස් ඔෆ් ෆින්ලන්ඩ් වේදිකාව මත එම ගීතය ගායනා කරමින් විනිසුරුවරුන් හතර දෙනාවම මගේ පැත්තට හරවාගන්න මට හැකියාව ලැබුණා. ඒක තමයි මං ලබපු ලොකුම ජයග්‍රහණය. මොකද එම විනිශ්චය මණ්ඩලයේ සිටින තරු විනිසුරුවරුන් හතර දෙනාම ෆින්ලන්ත සංගීත ක්ෂේත්‍රයේ ඉහළම ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින සංගීතවේදීන්. අපේ රටේ ජන සංගීතය ඇසුරින් නිර්මාණය වුණු ගීතයකට ඔවුන්ගේ අවධානය යොමු වෙලා ඇගැයීමට ලක්වුණා කියන්නේ අපේ රටේ දේශීය සංගීත කලාව ලබපු විශාල ජයග්‍රහණයක්.

ඒකට හේතුව වෙන්න ඇත්තේ මගේ පෙර සූදානම් වීම කියලා මට හිතෙනවා. මේක දේශීය ගීතයක් වුණත් එම විනිශ්චය මණ්ඩලය ගැන පෙර අධ්‍යනයක් කරලා, එම ගීතයේ මුල් තනුවට හානියක් නොවන විදිහට මං යම් යම් කොටස් අලුතින් එකතු කළා.

මුල් ආලාප කොටසෙ ඒ වෙනස දකින්න පුළුවන්. ඒත් මුල් විනිසුරුවරුන් තුන් දෙනාම හැරෙන්නෙ ඒ වෙනස ඇහෙන්නත් කලින්. එම අවස්ථාවෙදී ෆින්ලන්ත ජනතාවගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාරය විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මුළු ප්‍රේක්ෂකාගාරයම වගේ අසුනින් නැඟිටලා නොනවත්වා අත්පොළසන් දෙමින් ඔවුන්ගේ ප්‍රසාදය සහ පුදුමය පළ කළා. ඒක නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

‘මාමිනි මා දෙයියා’ වගේ ගීතයක් තෝරාගැනීම අභියෝගයක් වුණේ නැද්ද?

ඇත්තටම ඒක විශාල අභියෝගයක් වුණා. ඒ ගීතයේ නියම රසය ඉස්මතු වන විදිහට ගායනා කිරීම සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයකුට වුණත් තරමක් අසීරුයි. ඊටත් වඩා තත්පර 90ක කාලයකින් ගීතය නිම කළයුතු වීම නිසා ගීතයේ වැඩි කොටසක් ගායනා කිරීමේ අවශ්‍යතාවය මත ගීතයේ රිද්මය තරමක් වැඩි කරන්නත් වුණා. ගීතයේ වචන උච්චාරණයත් අසීරුයි. ඒ නිසා ඒක වේග රිද්මයක් වීමෙන් වැඩේ තවත් අසීරු වුණා. ඒකම තමයි මට ලොකුම අභියෝගය වුණේ.

කොහොම වුණත් මට අවශ්‍යතාවය තිබුණේ ෆින්ලන්තය තුළ මගේ රටේ අනන්‍යතාව ගොඩනඟන්න. ඒ නිසා අභියෝගයක් වුණත් දෙවරක් නොසිතා නොපැකිළව මං ඒ අභියෝගය භාර ගත්තා.

අපේ ජන සංගීතය ෆින්ලන්ත විනිසුරුවන්ට තේරුම් ගන්න පුළුවන් වේවි කියන විශ්වාසය ඔබට තිබුණද?

ඇත්තටම මට ලොකු විශ්වාසයක් තිබුණා විනිසුරුවරුන් හතර දෙනාවම හරවා ගන්න පුළුවන් වේවි කියලා. ඔවුන්ව වගේම ඔවුන්ගේ සංගීත රසයන් හොඳින් අධ්‍යයනය කරලා ගීතයේ මුල් තනුවට හානියක් නොවන පරිදි ගීතයට යම් යම් කොටස් එකතු කරලා ඔවුන් කැමති වේවි කියල හිතෙන විදිහට මං ගීතය හදාගත්තා.

විනිසුරුවන්ගේ ප්‍රතිචාර ගැන සඳහන් කළොත්?

විනිසුරුවරුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර අතිවිශිෂ්ටයි. සන්නි කියන විනිසුරුවරිය කිව්වේ මොනවා කියන්නද කියලා හිතාගන්නවත් බැරි විදිහට විශ්මයට පත්වූ බව සහ වචන පිට කරගත නොහැකි තත්ත්වයට පත්වූ බව. ෆින්ලන්තයේ කොහේ කොතැනක මේ ගීතය ඇසුණත් ඕනෑම කෙනෙක් ඔවුන්ගේ පුටු සහ හිස් නිසැකවම මා දෙසට හරවන බව එලස්තිනෙන් විනිසුරුවරයා පැවසුවා. මයියා කියන විනිසුරුවරිය පැවසුවේ ඇයගේ මනසේ විවිධාකාර ලෝක මවන්නට මගේ ගීතය සමත් වුණු බව. මෙය මෙම තරගාවලිය තුළ අසන්නට ලැබුණු සුවිශේෂීම ගායනයක් බව පැවසූ අර්ත්තු විනිසුරුවරයා මෙම ගීත ශෛලිය අධ්‍යයනය කරන්නත් කැමැත්ත ප්‍රකාශ කළා. මට වගේම මගේ රටට ඔවුන් දක්වන ආදරය දකින්න ලැබීම මට ලොකූ ගෞරවයක් සහ සතුටක්.

ඔවුන් ගීතය තේරුම් අරන් ප්‍රතිචාර දැක්වුවා ද එහෙම නැත්නම් ඔබ ගායනා කළ විලාසයට ප්‍රතිචාර දැක්වුවද?

මගේ ගායන විලාශය තමයි ඔවුන් රස වින්දේ කියලා මම හිතනවා. මොකද ගීතය තේරුම් ගැනීමට හෝ එම සංගීත ශෛලිය තේරුම් ගැනීමට ඔවුන්ට එම තප්පර 90ක කාලය ප්‍රමාණවත් නෑ. නිසැකව ම ඔවුන් ඒ නාද මාලාව ඉතාමත් ඉහළින් රස වින්දා කියලා මම දැක්කා.

මෑතකදී ෆින්ලන්තයට ගිය උපේන්ද්‍රා එක මොහොතකින් ෆින්ලන්තයම වසඟයට ගන්නවා. කොහොමද ඒ හාස්කම සිදුවෙන්නේ?

මම ෆින්ලන්තයට යන්නේ 2023 වසරේ. ඒ මගේ සැමියාගෙ උසස් අධ්‍යාපන කටයුතු සඳහා. මං සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ සංගීත අංශයෙන් ප්‍රාසාංගික කලාවේදී (විශේෂ) උපාධිය ලබාගැනීමෙන් පසුව ඇතිමලේ මධ්‍ය මහා විද්‍යාලයට ගුරුපත්වීමක් ලැබුණා. පස්සේ මග්ගොන ශාන්ත මරියා විදුහලට මාරුවීමක් ලැබුණත් 2023 වසරේ විදෙස්ගත වීම සඳහා මං රැකියාවෙන් ඉවත් වුණා. පෞද්ගලික සංගීත ගුරුවරියක්, කටහඬ පුහුණුවරියක් විදිහට දැනටත් මං කටයුතු කරනවා. ඒ පසුබිම හරහා තමයි මං මේ තරගයට ඉදිරිපත් වෙන්නේ.

ලංකාවෙ රියැලිටි කලාවයි ෆින්ලන්ත රියැලිටි කලාවයි අතර ඔබ වෙනසක් දකිනවද?

ලොකු වෙනසක් නැහැ. සංස්කෘතිකමය වෙනස විතරයි මං දකින්නේ. තරගවල ගුණාත්මකභාවය ගත්තොත් රටවල් දෙකේම එක හා සමානයි. විශේෂයෙන්ම ලංකාවේ ‘ද වොයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන ගත්තොත් ජාත්‍යන්තර මට්ටමටම තියෙනවා. මම දැන් රටවල් දෙකේම වැඩසටහන්වලට ඉදිරිපත්වෙලා තියෙන නිසා මං ඒක අත්දැකලා තියෙනවා.

සංගීත කලාව තුළ ඔබ ආ ගමන්මඟ සිහිපත් කළොත්?

සංගීතය විෂයක් විදිහට හදාරන්න ගන්නේ මට අවුරුදු තුනේදී. අවුරුදු පහ වෙද්දී මම ඉන්දියාවේ භාත්කණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයේ විශාරද උපාධි පාඨමාලාවේ පළමු කඩඉම වන ප්‍රවේශිකා විභාගයට මුහුණ දීලා සාර්ථකව සමත් වෙනවා. ඊට පස්සේ තමයි පාසලේ සංගීතය විෂයක් විදිහට හදාරන්නේ. කලා විෂය ධාරාවෙන් උසස් පෙළට මුහුණදීලා සරසවි වරම් ලැබීමෙන් අනතුරුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයෙන්, ප්‍රාසාංගික කලාවේදී (විශේෂ) උපාධිය ලබා ගන්නවා. ඒ අතරේ මම ඉන්දියාවේ භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයෙන් විශාරද උපාධියත් ලබාගන්නවා. මීට අමතරව විෂය සමගාමී සහ විෂය පරිබාහිර කටයුතුවලට සක්‍රීයව දායක වීම හරහා ලබා ගත් දැනුමත් අතිවිශාලයි.

ෆින්ලන්ත ජනතාවගේ පිළිගැනීම කොහොමද? අපේ අයත් ඒ අතර ඕන තරම් ඇති?

විශේෂයෙන්ම මම ජීවත් වෙන කොව්වොලා නගරයෙන් ලැබෙන ප්‍රතිචාරය සහ සහයෝගය අතිවිශාලයි. ඔවුන් මගේ ගායනයට දක්වන ප්‍රතිචාර අහන්න, දකින්න ලැබීම මං කරපු ලොකු පිනක්. ඒ වගේම ලොකූ ගෞරවයක්. ෆින්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගැනත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුමයි. ඔවුන් ගොඩක් ආඩම්බර වෙනවා මගේ ඉදිරිපත් කිරීම ගැන. ඔවුන් හරිම හැඟීම්බරව සහ හරිම ආදරෙන් මා වටා එකතු වුණා. ඒ වගේම ලංකාවෙන් බැහැරව වෙනත් රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගෙනුත් ගොඩක් උණුසුම් ප්‍රතිචාර සහ සුබ පැතුම් ගලාගෙන එනවා. මං තරගයට මුහුණ දීපු අවස්ථාව සමාජ මාධ්‍යවල පළ කරමින් සමස්ත ශ්‍රී ලාංකිකයන්ම මට දක්වන ආදරයට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට හරිම ආඩම්බරයි ඔවුන් නියෝජනය කරමින් ලංකාවේ නම ලෝකය ඉස්සරහ තියන්නට මට හැකියාව ලැබුණු එකට.

ඔබට තියෙන ඊළඟ අභියෝගය මොකක්ද?

ඊළඟට තියෙන්නෙ Battle Round වටය. මෙහිදී තවත් තරගකරුවෙක් සමඟ කරට කර තරගවැදීමට සිදුවෙනවා. මම හිතනවා battle වටයට ඉතාම අභියෝගකාරී ගීතයක් මට ඔවුන් හරහා ලැබෙයි කියලා. මේ වටයේ ගීතය නම් කරන්නේ විනිසුරුවරයා විසින්. සමහර විට ඔවුන්ගේ භාෂාවේ ගීතයක් වෙන්නත් පුළුවන්. මේ වෙද්දි මං ෆින්ලන්තයේ පාසලක භාෂාව ඉගෙන ගන්නවා. දැනට මට හොඳින් උච්චාරණය කිරිමේ හැකියාව තියෙනවා. කොහොමහරි කැපවීමෙන් පුහුණු වෙලා ඒකත් ජයගන්න මං උත්සාහ කරනවා. මෙය විදෙස් රටක පැවැත්වෙන තරගයක් නිසා දක්ෂතාව කෙසේ වෙතත් තරග ස්වභාවය අනුව ඕනෑම තීරණයකට එකඟවෙන්න මම සූදානමින් ඉන්නවා. මාමිනි මා දෙයියා ගීතය හරහා දැනටමත් මම ජයග්‍රහණය කරලා ඉවරයි කියල මට හිතෙනවා.

ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් දැන ගන්නත් කැමතියි?

මගේ සැමියා දේශාන් තිවංක ගමගේ. මගේ පියා ෂියන් සිරිවර්ධන. ඔහු ව්‍යාපාරිකයෙක්. ඒ වගේම සංගීත කලායතනයක් සහ පෞද්ගලික සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. ඔහුත් දක්ෂ ගායකයෙක් සහ ගිටාර් වාදකයෙක්. මගේ මව ගෘහණියක් වුණත් ගායනයට, නර්තනයට සහ චිත්‍රශිල්පයට ඇය දක්ෂයි. මට සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරයෙක් ඉන්නවා. මගේ බාල සහෝදරියත් ගායනයට දක්ෂයි. 2022 වසරේ මගේ කුළුදුල් ගීතය Vijja Devi හරහා මට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. ඒ වගේම මගේ අලුත් ගීතයේ වැඩ කටයුතුත් මේ අතරවාරයේම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

නාමලී ගමගේ

උපුටා ගැනීම රසඳුන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here