ශ්‍රී ලංකාව යනු දකුණු ආසියාතික කළාපික රටකි. බහු ජාතික, බහු ආගමික රටක් වන ලංකාවේ ලාංකීය සමාජ සංස්කෘතිය රාමුවේ පදනම “සිංහළ-බෞද්ධ” ජාතිකත්වයයි (Nationalism).
ඒ බෞද්ධ අභාශය නිසාම, අතීතයේ සිටම දකුණු ආසියාතික කළාපයේ අනෙක් රට වල කාන්තාවන්ට සාපේක්ෂව ලංකාවේ කාන්තාවන්ට නිසි තැන සහ සමාජ ගෞරවය තිබුන රටකි. මක්නිසාද යත් ඉස්ලාම් හෝ හින්දු ආගම් වලින් හැඩ ගැන්වුන සමාජයක නැති නිදහසක්, සැමට සමානාත්මතාත්වතාවය යන මූලික සංකල්පය බෞද්ධ දර්ශණයෙන් ලැබෙන නිසාය. එබැවින්, ලංකාවේ කාන්තාවන්ට එම කළාපයේ අනෙක් රටවල කාන්තාවන්ට, කාන්තාවක් වීම නිසා තිබෙන සමාජ හා සංස්කෘතික ගැටලු බලපෑවේ නැත.

.
ලංකාවේ සමාජ ව්‍යුහයේ මූලික ඒකකය වන්නේ පවුලයි. එනම් අපේ රටේ ඇත්තේ “පවුල් කේන්ද්‍රීය සමාජයකි (Family-centric society). බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිතය පවුල වටා කැරකෙන අතර, න්‍යෂ්ඨික පවුල වාගේම, විස්තෘත පවුල සමඟ ඇති ශක්තිමත් සබඳතා ඉතා අගය කොට සලකනු ලැබේ. ශ්‍රී ලංකාව යනු කණ්ඩායම් සමගිය සහ පවුලේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන සාමූහිකවාදී සමාජයකි.
“පීතෘ මූලික සමාජය” සමාජ අකෘතියේ පිළිගත් සංකල්පමය ව්‍යුහය වුවද, ගෘහ ව්‍යුහය ගත් කල මව ප්‍රධාණ ගෘහ අධිකාරිය දරයි. කුටුම්බය පවත්වාගෙන යන ප්‍රධාණ නියමුවා ඇයයි. “ගෙදර බුදුන් අම්මා” යන සමාජ සම්මතයෙන් තහවුරු කරන්නේ එයයි. බුදුන් යනු බෞද්ධ සමාජයක ඇති ඉහළම හා වටිනාම තනතුරයි. ලාංකීය සමාජය කාන්තාව තබා තිබුනේ එම ස්ථානයේය. අවාසනාවකට, අද එම සමාජ තත්වය ලාංකික කාන්තාවට නැතිව යාමේ තර්ජණයකට වැටී ඇත.
ලාංකීය ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් පැරණි ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස දක්වා විහිදෙන අතර, වසර 3,000 ක් පැරණි ලේඛනගත ඉතිහාසයක් ඇත. එම ලේඛන ගත ගත් කල, ලංකාවේ අනාගතය, දේශපාලනය සහ දිශානතිය තීරණය කල කාන්තාවන් බොහොමය. වීර පරමාදර්ෂී චරිත බොහොමය. කුවේණියගේ පටන්, අනුලා දේවිය, විහාර මහා දේවිය, සුගලා දේවිය, සෝමා දේවිය වැනි අභීත වීර ලාංකීය කාන්තාවන් අපේ රටේ ඉතිහාසයේ නොමැකෙන සළකුණු තැබූවන්ය. ඔවුන් සැබෑ ස්ත්‍රී වාදීන්ය. ලංකාවේ බෞද්ධ ඉතිහාසය දෙස බලන කළ, ලංකාවේ බෞද්ධ සමාජයේ අතිශය පූජනීය වස්තූන් වන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ශ්‍රී දන්ථ දාතූන් වහන්සේ ලංකාවට වැඩම කරවූයේ කාන්තාවන් දෙදෙනෙකු විසිනි. ඒ සංඝමිත්තා මහා තෙරණින් වහන්සේ හා හේමමාලා කුමරියයි. අද එම අමිල පූජා වස්තූන් ලෝක උරුමයන් ලෙස සැළකේ.

අප දන්නා නූතන දේශපාලන ඉතිහාසයේ ප්‍රමුඛස්ථානය ගන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි. 1960 දී ඇය ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය බවට පත්විය. දශක ගණනාවක් ප්‍රමුඛ දේශපාලන චරිතයක් වූ ඇය අඛණ්ඩව වාර තුනක් සේවය කළ අතර රටේ පුළුල් පරාසයක සමාජවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළාය. ශ්‍රී ලංකාවේ පළමු කාන්තා කැබිනට් අමාත්‍යවරිය ලෙස තේරී පත්වුනේ විමලා විජේවර්ධන මැතිණියයි. ඇය 1956 දී සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ලංකාවට සේවය කල කාන්තාවකි. 1931 දී පාර්ලිමේන්තුව නියෝජනය කල, ඇඩ්ලින් මොලමුරේ මැතිණීය තවත් පරමාදර්ෂී චරිතයකි. ඇය ලංකාවේ පළමු කාන්තා නීති සම්පාදිකාව වූවාය. ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයක් වූ විවියන් ගුණවර්ධන මැතිණිය ශ්‍රී ලංකාවේ පළමු සමාජවාදී කාන්තා සංවිධානය ආරම්භ කළාය. ලංකාවේ නිදහස් සටනටද නියමුවරියක් වූ ඇය ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සහ ලංකා සම සමාජ පක්ෂය තුළ නායිකාවක් ලෙස, දුප්පතුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළාය. සූරිය මල් ව්‍යාපාරයේ නිර්මාතෘ ඇයයි. ශ්‍රී ලංකාවේ පළමු සහ එකම කාන්තා ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණියයි. ඇය 1994 සිට 2005 දක්වා අගමැති සහ ජනාධිපති ධූරයන් දැරුවාය.

අද වන විට ලංකාවේ ජනගහනය මිලියන 23.2 කි. එයින් පිරිමින් ප්‍රමාණය මිලියන 11.2 වන අතර, කාන්තාවන් ප්‍රමාණය මිලියන 12 කි. ස්ත්‍රී පුරුෂ අනුපාතය කාන්තාවන් 100 ට පිරිමින් 93.7 කි. ලංකාවේ ජනගහනයෙන් 19.5% පමණක් නාගරික ප්‍රදේශවල ජීවත් වන අතර, 80.5% ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශ වලය. 2024 ප්‍රකාශිත දත්ත වලට අනුව, ශ්‍රී ලංකිකකයින් මිලියන 1.2 පමණ මැද පෙරදිග රට වල සේවය කරන බවට ඇස්තමේන්තු කර ඇති අතර, එයින් නම ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් නියෝජණය කරයි. එම අවුරුද්දේදී ඔවුන් ලංකාවට එවූ මුදල් ප්‍රමාණය ඇ.ඩො. බිලියන තුනක් වූ අතර, එය මුළු ඩොලර් ආධායමෙන් 46% කි. එනම් ලංකාවේ ආර්ථිකයට කාන්තා දායකත්වය ලඝු කල නොහැකිය. මේ අරාබි කළාපයේ රැකියා සඳහා යන බොහොමයක් ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වන, අඩු අදායම්ලාභී පවුල් වල කාන්තාවන්ය. එනම් රටේ ජනගහනයෙන් 80.5% ජීවත් වන ප්‍රදේශ වලින්ය. මෙම නීතිය මගින් පහර වදින්නේ ඔවුන්ටය. ඔවුන්ගේ ආර්ථිකයටය. ඔවුන්ගේ පවුල් වලටය.
මීට අමතරව පහු ගිය වසර කිහිපය ඇතුලත, රැකියා සඳහා ආසියාතික රට වලට, යුරෝපයට, ඔස්ට්‍රේලියාව වැනි රට වලටද කාන්තාවන් යෑමේ ප්‍රවණතාවයක්ද අලුතින් ඇති වී ඇත. ඒ සාත්තු සේවය, වැඩිහිටියන් බලා ගැනීම, ගොවිපළ ආශ්‍රිත රැකියා වැනි දේ සඳහාය. මෙම නීතිය මගින් ඔවුන්ද අගතියට පතිවනු ඇත.

ලංකාවේ දැනට පවතින දත්ත වලට අනුව ලංකාවේ කාන්තාවන් තම පළවන දරුවා ලැබීමේ මධ්‍ය වයස අවුරුදු 25-26 අතරය. පළවන දරුවා අවුරුදු 25 දී ලබන කාන්තාවක්, තම දෙවන දරුවා ඊට අවුරුදු දෙකකට පසු ලැබුනොත්, ඔවුනට අවුරුදු අවම අවුරුදු හතක් යන තුරු විදේශ රැකියාවකට යාමට නොහැකිය. තෙවන දරුවෙකුද ලැබුනොත්, එම සීමා කාළය අවුරුදු දහයකට ආසන්නය.
මෙම නීතිය බලපාන්නේ රැකියා සඳහා පමණක්මද, කුමන තරාතිරමේ රැකියා සඳහාද යන්න පැහැදිළි නැත. ලංකාවට නිදහස ලැබීමෙන් පසු ගතවුන වසර 78 ක කාළය තුල ලාංකිකයන්ට ලැබුන ප්‍රධාණම සහ මිළ කල නොහැකි ප්‍රතිලාභයක් වන්නේ නොමිලේ ලබා දෙන අධ්‍යාපනයයි. එම නිසාම අද, විවිධ ක්ශේස්ත්‍ර තුල සෑම අංශයකම, සෑම තරාතිරමකම රැකියා කරන කාන්තාවන් දක්නට ඇත. විදේශ රටවල ඉහළ රැකියා සඳහා යන කාන්තා රජයේ වෘත්තිකයන්ට, ඉහළ පෙළේ සමාගම්වල රැකියා සඳහා යන කාන්තා වෘත්තිකයන්ටද මෙම නීතිය එක ලෙස බලපානවාද? වෘත්තිකයන් වැඩි දුර අධ්‍යාපනයට හෝ පුහුණුවකට විදේශ ගත වීමට මෙම නීතිය බලපාන්නේ කෙසේද? රජය මෙම නීතිය හරිහැටි ක්‍රියාත්මක කලොත්, රැකියාවකට හෝ මොනයම් හේතුවකට, මව විදේශගත වීම නැවැත්වීමට මෙම නීතියට හැකියාව තිබෙනවා යන්න මාගේ හැගීමයි.

මේ නිසා අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන්ට රැකියා වලින් සහ රැකියා ස්ථාන වලින් වැඩිදුර අධ්‍යාපනයට හා විදේශ පුහුණු අවස්ථා නොලැබී යාමේ අවධානමක් ඇතිවේ. එය ඔවුන්ගේ වෘත්තීය දියුණුවටද සෘනාත්මක ලෙස බලපායි. මෙම නීතිය නොමැති පරිසරයකද, දරුවන් ලැබීමට සහ දරුවන් රැක බලා ගැනීමේ වැඩි වගකීම කාන්තාවට ඇති නිසා රැකියා වෙළඳපොළේ ඇති රැකියා අවස්ථාවල අසාමානාත්මතාවයද, වෘත්තීන් වල යෙදෙන කාන්තාවන්ට සේවය බිඳ වැටීම නිසා සිදුවන අසාධාරණයට විසදුම් සොයමින් සිටින සමාජයක මෙම නීතිට “ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වාගේ” යන කියමනට සමාන අයස්ථාවක් දැයි මට සිතේ. විදේශ රටවල තෘතියික සහ පශ්චාත් උපාධිය හැදෑරූ, නූතන අදහස් ඇති ස්ත්‍රීවාදී අගමැති කෙනෙකු ප්‍රමුඛ රජයකින්, එතුමිය දැනුවත්ව, ලංකාවේ කාන්තාවන්ට මෙවැනි අවාසනාවන්ත ඉරණමනට මුහුණ දීමට සිදු වීම ඉතාම කණගාටුවට කරුණකි.
අනෙක් අතට, ලංකාව වාගේ රටකට දැරිය නොහැකි තරම් වියදමක් රජය නොමිලේ අධ්‍යාපනය ලබා දීමට වැය කරයි. පාසල් වලත්, විශ්වවිද්‍යාලවලත් ප්‍රතිශතයක් ලෙස වැඩිම ප්‍රමාණයක් ඉගෙනුම ලබන්නේ කාන්තාවන්ය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් ඝෝලීය වෙළඳපොළට හා ලංකාවේ නූතන අවශ්‍යතාවයට සරිලන ඵලදායී ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට සාකච්ඡා කරන පරිසරයක, මෙම යෝජිත නීතිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඵලදායීතාවයට බල පාන්නේ කෙසේද යන්න ගැටලුවකි.
කාන්තාවන් රැකියා කිරීමේ ප්‍රතිශතය ලෝකයේ දියුණු රටවල 55% වන අතර, ලංකාවේ කාන්තාවනගෙන් රැකියා කරණු ලබන්නේ 31% පමණි. එනමුදු, සමස්ත කාන්තා සාක්ෂරතාවය 99% කි. එහි තේරුම නම් අධ්‍යාපනයක් ඇති, හැකියාවන් ඇති කාන්තාවන් රටේ ප්‍රගමනයට, නිශ්පාදනයට දායක නොවන බවය. මේවාට විවිධ සමාජීය හා පෞද්ගලික හේතූන් බලපායි. එය දීර්ඝ වශයෙන් කතා කල යුතු මාතෘකාවකි. රජය කල යුත්තේ එම හේතූන් වලට හැකි පමණ විසදුම් ලබා දී කාන්තාවන් ශ්‍රම බලකායට බදවා ගැනීම විනා, ඔවුන්ට නිදහසේ රැකියා කිරීම නීති මගින් අධෛර්යමත් කිරීමද?

රටක ප්‍රගමණයට බාධාවන ප්‍රධාණ කාරණයක් වන්නේ යල් පැනගිය ආකල්පයි. එයින් ප්‍රධාණ කාරණයක් වන්නේ තවමත් දකුණු ආසියාතික කළාපයේ ඇති යල් පැන ගිය, ගතානුගතික ගැහැනු සහ පිරිමි භූමිකාවයි. ගල් යුගයේ තිබූ “Hunter-gatherer” සංකල්පය අපි පසු කලේ අවුරුදු දහස් ගානකට පෙරය. මෙම යෝජිත නීතිය මගින්, දරුවන් බලා ගැනීමේ සම්පූරණ වගකීම මව මත පවරා අපගේ සමාජය නැවතත් එම යුගයට රැගෙනයාම යත්කාළීන සමාජයකට උචිත වන්නේ කෙසේද? පියාගේ රාජකාරීය මුදල් හරි හම්බ කිරීම පමණක්මද? දරුවන් බලා ගැනීමට ඔහුගේ දායකත්වයක් නොමැතිද? නීතිය මගින්ම ඔවුන් එම වගකීමෙන් නිදහස් කීරීම තුලින් කාන්තාවට “සම තැන” තියා කලින් පැවති “නිසි තැන” පවා නැති කොට, කාන්තාව “ගේ මුල්ලට” තල්ලු කරන ගමන්, සාමූහික පවුල යන සංකල්පයට පහර ගහනවාද?
වයස අවුරුදු 5 ට අඩු වඩාත්ම අවදානමට ලක්විය හැකි කාණ්ඩයේ දරුවන් ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සහතික කිරීමට කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමයි. ඒ සඳහා දැනටමත් පවතින, හරි හැටි ක්‍රියාක්මක නොයන නීති ක්‍රියාවට නැංවීමයි. දරුවන් රැක බලා ගැනීමේ යාන්ත්‍රණය වැඩි දියුණු කිරීමයි. පාරම්පරික න්‍යෂ්ඨික පවුල සහ විස්තෘත පවුල සමඟ ඇති සබඳතා ශක්තිමත් කිරීම සහ ප්‍රවර්ධණය කිරීම තුලින් පවුල සහ සමාජය තුල දරුවන්ගේ ආරක්ෂාව ස්ථාපිත කිරීමයි. දියුණු රටවල ක්‍රම වේද තුලින් ඉගෙන ගෙන ලංකාවට ගැලපෙන නව ක්‍රම වේද හදුන්වා දීමයි. කොටින්ම කියතොත් මව්වරුන්ට තම දරුවා බලා ගැනීමට ස්ථිර ක්‍රියා මාර්ග සපයාදී, දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කර දී ඔවුන්ට රැකියා කිරීමට සතුටු දායක සහ හිතකර පරිසරයක් නිර්මාණය කර දීමයි. රට ඉදිරියට ගෙන යන රජයක වගකීම එයයි. ඒ වෙනුවට, මෙම නීතිය මගින් සිදු වෙන්නේ විවිධ දුෂ්කරතා මැද, රටේ පැවැත්මට, ආර්ථිකයට දායක වන ලාංකික කාන්තාවන් පීඩාවට පත් වීමයි. අධෛර්යයට පත් වීමයි.
දින කිහිපයකට ඉහතදී රජයේ අමාත්‍ය වරයෙක් ප්‍රකාශ කර සිටියේ, ලංකාවේ පවුල් වලින් බහුතරයක් අස්වැසුම සඳහා අයදුම් කර ඇත. මට වටහා ගත හැකි ආකාරයට මෙම අයදුම්කරුවන් සුදු කර පටි රැකියා කරන පවුල් නොවේ. අදායම් අඩු දුප්පත් පවුල්ය. මෙම නීතිය මගින් ඉලක්ක කර ඇත්තේ සහ අගතියට පත් වන්නේ මැදපෙරදිග හෝ වෙනත් රටවල රැකියා සඳහා සංක්‍රමණය වීමට අවශ්‍ය දුප්පත් කාන්තාවන් පමණක්නම්, මේ මගින් එම පවුල් වලට ඇතිවන ආර්ථික බලපෑමට වන්දි ගෙවීමට ක්‍රමවේදයක් රජය සතුව තිබෙනවාද? එම පවුල් රැක බලා ගැනීම, දරුවන් පෝෂණය කිරීම, ආර්ථික අපහසුතා නිසා ඇතිවන මානසික සහ සමාජීය ව්‍යාකූලතාවන්ට මුහුණ දීමට රජය සතුව විධිමත් වැඩ පිළිවෙලක් මෙම නීතිය සමගම ක්‍රියාත්මක කරණවාද? ඒ සඳහා මූල්‍යයමය සම්පාදන සපයා ගන්නේකෙසේද?

මේ නීතිය මගින් අප සමාජයට වන භයානකම ව්‍යවසනය ඇති වන්නේ අප සමාජයේ මූලික ඒකකය වන පවුලටය. පහුගිය කාළයේ ලංකාවේ දැරියන්ට ආදර්ශයට ගත හැකි පරමාදර්ෂී කාන්තා චරිත පිළිබඳ කතිකාවතක් පාර්ලිමේන්තුවේද ඇති විය. දරුවන් බිළිබඳ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් වලට අනුව ගැහැනු දරුවෙකු පළමුවෙන්ම ආදර්ශයට ගන්නේ තම මවය. මව රැකියාවක් නොකරන පවුල් වල දූවරුන් බොහෝ විට රැකියා නොකිරීමටත්, හරි හැටි ඉගෙන ගැනීමට උනන්දුවක් නොදක්වන්නේත් ඒ නිසාය. දරුවන් නිසා මව්වරුන්ගේ වෘත්තිමය ජීවිතය අඩාල කිරීමෙන් විනාශ වන්නේ ඔවුන්ගේ ජීවිත පමණක්ම නොවේ. අපගේ ඊළග පරම්පරාවල ජීවින රටාවටද එය බලපායි.
තවද අවුරුදු දහස් ගාණනක ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලාංකික දැරියන්ට, ආදර්ශයට ගත හැකි කාන්තා චරිත බොහෝය. ලංකාවේ ප්‍රමුඛ දේශපාලන කාන්තා චරිත පවුල යන මූලික ඒකකය කේන්ද්‍ර කොට ගෙන “වැඩ කරන කාන්තාවන්” ලෙස ප්‍රකට වූ අයයි. ඒ නිසාම ඔවුන්ට අනෙක් කාන්තාවන් කෙරෙහි සහකම්පනයක් තිබිනි. රැකියා කරන මව්වරුන් විදින අපහසුතාවයන් තේරුම් ගැනීමේ හැකියාව තිබිනි. ඔවුන් පවුල යන මූලික ඒකකය රැක ගැනීමට කැපවූ අයයි.
මෙම නව නීතිය මගින් කාන්තාවට තෝරා ගැනීමක් කිරීමට බල කරයි. ඔවුන් මවක් විය හැක්කේ තම වෘත්තිය සීමා කිරීම් වලට යටත් වන්නේනම් පමණි. නිදහසේ වෘත්තියේ නියැළීමට නම්, එම නිදහස තබා ගැනීමට නම් දරුවෙක් ලැබිම පිළිබඳ ව දෙවරක් සිටිය යුතුය. පවුලක් විමට සිහින දකින බොහොමයකගේ බලාපොරොත්තුව දරුවෙකු හදා ගැනීමය. එය බටහිර හෝ ආසියාතික සංස්කෘතියේ හෝ සමාජයේ කියා වෙනසක් නැත. මෙම නීතිය හරහා පහර දෙන්නේ එම ප්‍රපංචයටය. දරුවෙක් යනු සතුට සැනසීම නොව, අනවශ්‍ය කරදරයක්, බරක් සහ බන්ධණයක් ලෙස කාන්තාවන්ට පෙන්වයි. එහි අරමුණ වන්නේ පවුල යන සංස්කෘතික හා සමාජීය සන්ධර්භයෙන් ඉවත්වී, “single career women” යන පුහු හිපි සංකල්පය දැරිවියන්, කාන්තාවන් අතර ප්‍රචලිත කිරීමද?

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, තමන් කැමති රැකියාවක් කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය නම් තමන් කැමති රටකට සංක්‍රමණය වීමට අයිතියක් සෑම මනුශ්‍යයෙකුටම ඇත. එම අයිතිය ස්ත්‍රී පුරුෂ භාවය මත තීරණය නොවිය යුතුය. දරුවෙකු කුඩා කළ රැක බලා ගැනීමේ වගකීම පවුල සතුය. රජය කළ යුත්තේ ඊට අවශ්‍ය වට පිටාව සකසා දීමය. නීතිය කාටත් පොදුය. රැකියාව කරනවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ කාන්තාව මිස රජය නොවේ. ගෙදර බුදුන් ලෙස ලාංකීය සමාජයේ පවුල තුල ගරුත්වයට පත් වෙන මාතෘත්වය ලැබීම යනු කාන්තාව සතුටින් සමරණ කාරණයක් මිස ඔවුන් සිරගත කරන සිර ගෙයක් නොවේ.
අද, සංවිධාණාත්මක ප්‍රොපගැන්ඩා මගින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සභ්‍යත්වය විවිධ ව්‍යාපාර තුළින් විනාශ කිරීමට උත්සහා කරන අතර මේ ස්ත්‍රී විරෝධී නීති මගින් පවුල යන සංකල්පය ලාංකීය සමාජයෙන් උපුටා දැමීමට උපක්‍රමශීලීව කටයුතු සිදු වෙනවාදැයි සැකයක් මතුවේ. ස්ත්‍රී වාදීන් යැයි කියා ගන්නා ඊනියා පාර්ශවයන් ශ්‍රී ලාංකීය සංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකීය කාන්තාව නැමැති චරිතයට ඇති ගරුත්වය සහ නිදහස සූක්ෂම ලෙස විනාශ කරනවාදැයි මට සිතේ.

සටහන | ආචාර්ය රසිකා කුමාරසිංහ)
ඔස්ට්‍රේලියාවේ Peter MacCallum Cancer Centre හි පර්යේෂණ ආචාරධර්ම ජේෂ්ඨ කළමණාකාරිනී
මෙල්බර්න් විශ්ව වීද්‍යාලයේ බාහිර කථිකාචාර්ය
[email protected]