WAVE හරහා හෙළිවන වෙළඳ කලාපයේ ශෝකාන්තය | ඉෂංඛා සිංහආරච්චි

    0
    45

    ”පොදු කරාමයෙන් ඇඟ සෝදාගත් අර්චනා යළි කාමරයට පැමිණ ඇඳුම් මාරු කරන්නට වුවාය.

    ඇඳුම් මාරු කර අවසන් වනවාත්ම තරුණයෙකු ඇඳ යට සිට කාමරයෙන් පිටව යනවා ඇය දුටුවාය. ඔහු විසින් අර්චනා ඇඳුම් මාරු කරන අයුරු වීඩියෝ ගත කර ඇත. මෙම තරුණයා ඇය ඇඟ සේදීමට යන අයුරු නිරීක්ෂණය කර උපක්‍රමශිලිව කාමරයට ඇතුල්වී ඇඳ යටට රිංගා ඇඳුම් මාරු කරන අයුරු වීඩියෝ ගත කිරීමට සැලසුම් කර තිබේ.

    මහත් කලබලයට පත් අර්චනා මේ ගැන නවාතැනේ අනෙක් අයට පැවසීමට උත්සහා දැරූ මුත් දෙමළ බස හැර සිංහල හොඳින් හසුරුවන්නට නොහැකි ඇයට තම අදහස් නිරවුල්ව කියන්නට නොහැකිවිණි. එහෙත් අර්චනා තමන්ට හැකි අයුරින් සිදුවූ දේ පැහැදිලි කරන්නට උත්සහා කළාය.

    එහෙත් සිදුවුයේ තමන්ට සිදුවූ අකරතැබ්බය පැහැදිලිව කියා ගන්නට නොහැකි වීම නිසා සෙස්සෝ ඇයට වරද පටවමින්, තරුණයාගේ පාර්ශවය ගත්හ. පොලිසියට පැමිණිලි කළවිට, ඔවුන් ද සැළකිල්ලට ගෙන ඇත්තේ එම තරුණයාගේ  ප්‍රකාශය පමණි. සිංහල බස හසුරුවීමට නොහැකි කමින් සිය අදහස නිරවුල්ව කියා ගැනීමට නොහැකිව අර්චනා පොලිසිය ඉදිරියේදීද අසරණ වුවාය. ”

    හරිරාමන් අර්චනා, රාගල, බෘක්සයිඩ් වත්තේ මලෛයහ ප්‍රජාව නියෝජනය කරන තරුණියකි. දිළිඳු බවේ පතුලටම වැටී සිටින බොහෝ තරුණ තරුණියන් මෙන්ම ඇය ද  වත්තේ උරුමයට පිටුපා රැකියාවක් සොයා නිදහස් වෙළඳ කලාපයට පැමිණියේ වෙනත් විකල්පයක් නොමැති නිසාය. දෙමළ බස පමණක් වහරන ඇයට ආගන්තුක පලාතක ජිවිතයට හුරුවන්නටද  බලකෙරිණි.

    කෙසේ නමුත් ඇයට පිහිටට පැමිණියේ කටුනායක ස්ටෑන්ඩ් අප් ව්‍යාපාරයේ මගින් කම්කරුවන්ගේ ගැටළු ක්ෂණික ඉදිරිපත් කිරීමට හදුන්වා දුන් “WAVE” යෙදවුමය. ඒ ඔස්සේ සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, `ස්ටෑන්ඩ් අප්` මැදිහත් වීමෙන් යළිත් පොලිසියට පැමිණිලි කෙරිණි. ඒ අනුව අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව අර්චනා වෙත වන්දියක් ගෙවීමට ද නියම විය.

    “WAVE” මගින් ඇය විසින් තමන්ට වූ  අසාධාරණය ගැන දැනුවත් නොකළේ නම් ඇයට සිදුවන්නේ හානිය මෙන්ම නින්දා, අපහාස විඳදරා ගනිමින් සිටින්නට හෝ රැකියාව අත්හැර යළි වත්තේ ලයින් කාමර වෙත යාමටය.

    2022 වසර මැදදී හදුන්වා දුන් මේ  WAVE [ WOMEN ARE VOICES EVERYWHERE] යෙදවුම මගින්  සාර්ථක ප්‍රථිපල අත්කර ගැනීමට හැකිවූ බව ස්ටෑන්ඩ් අප් ව්‍යාපාරය පවසයි. ඒ පිළිබඳව වසර දෙකකට පසුව කරනු ලැබූ විපරමකින් අනතුරුවය. දේශීය ආර්ථිකයට විශාල පංගුවක් විදේශය විනිමය රැගෙන එන, සමස්ත කම්කරු බල ඇණියෙන් සියයට 15 ක් වූ ඇඟළුම් කම්කරුවන්ගෙන් සියයට 78 ක්ම ස්ත්‍රින්ය. ලෝක වෙළඳපොළ තුල ඇඟළුම් ක්ෂේත්‍රයේ නම ඉහලින්ම රඳවා ඇත්තේ ඔවුන්ට නිසි සමාජ ආරක්ෂණයක් නොමැතිව, ජිවන වියදමට සරිනොවන සොච්චම් වැටුපකට දහදිය හෙළමින්ය.

    වැඩබිමේත්, මහමගත්, තාකාලික නවාතැනේදිත් දෛනිකව හිංසනයට ලක් වෙන කම්කරු ස්ත්‍රීන්, ලිංගිකත්වය නිසාම හිංසනයට ලක්වීම නියත වූ සංක්‍රාන්ති ලිංගිකයන්, නිරන්තරයෙන්ම අනතුර සමග වැඩකරන්නට බල කෙරෙන මෑන් පවර් කම්කරුවන් ඇතුළු මේ සියලු දෙනාම ඇඟළුම් කර්මාන්තයේ ප්‍රගතියට වෙර දරන්නෝය. ඒ  වෙළඳ කලාපයේ කම්කරු අයිතීන් සම්පුර්ණයෙන්ම නොතකා හරිමින්, ශ්‍රම සුරා කෑම සාමාන්‍යකරණය වූ පරිසරයක් තුලය.

    භාෂා ගැටලුව

    උතුරු නැගෙනහිර යුද්ධය නිමා වීමත් සමගින්, එම ප්‍රදේශවල තරුණ තරුණියෝ  ද රැකියා සොයමින් දකුණට සංක්‍රමණය වන්නට වුහ. දශක ගණනාවක යුද්ධයෙන් පිඩාවට පත්ව සිටී ඔවුන්ට නිදහස් වෙළඳ කලාපයන්හි කර්මාන්තශාලාවල අවස්ථා උදාවිය. විශේෂයෙන් කටුනායකට සංක්‍රමණය වූ ඔවුන්ට බරපතල ලෙස මුහුණ දෙන්නට සිදුවුයේ භාෂා ගැටලුවටය. ජාතිය හා ලිංගිකත්වය ඉන් අනතුරුවය.

    “ඔහු නමින් ජගදිශ්වරන් ජීවිතා. මන්නාරමේ සිට කටුනායක වෙළඳ කළාපයට පැමිණි සංක්‍රාන්ති ලිංගික තරුණයෙකි. “බ්‍රා ටෙක්ස්” ආයතනයේ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ලෙස සේවයට එක්වීමේ අරමුණු ඇතිව සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියේය. ඊට පෙරම සිය මිතුරෙකු මාර්ගයෙන් තමන් සංක්‍රාන්ති ලිංගිකයෙකු බව ආයතන කළමනාකාරිත්වයට දැනුම් දුන් අතර එය කළමනාකාරත්වය අනුමත කර තිබිණි.  

    සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව මානව සම්පත් අංශය විසින් පිරවීමට අයදුම් පතක් ලබා දුනි. එය සිංහල භාෂා අයදුම්පතකි. ජිවිතා සිංහල නොදන්නා නිසා මිතුරෙකුගේ සහයෙන් එය සම්පුර්න කර ඇත. එහිදී ස්ත්‍රී පුරුෂභාවය සඳහන් තීරුවේ මිතුරා විසින් “පුරුෂ” යනුවෙන් සඳහන් කර ඇත. අනතුරුව මානව සම්පත් අංශය විසින් ඔහුගේ පළපුරුද්ද සහ ලියකියවිලි ආදිය පරීක්‍ෂා කොට සම්මුඛ පරීක්ෂණයෙන් සමත් කරනු ලැබිණි.

    එයින් අනතුරුව, ඔහුව සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා කර්මාන්ත ශාලාවේ හෙද නිලධාරිනිය වෙත යොමු කරන ලදී. ලියකියවිලි පරීක්‍ෂා කිරීමේදී අයදුම් පත්‍රයේ  පුරුෂ ලෙසත් සෙසු ලියකියවිලි වල ස්ත්‍රී ලෙසත් සටහන්ව තිබීම හෙදි නිලධාරිනියගේ නිරීක්ෂණයට ලක්වුවාය. ඒ ගැන ජිවිතා ගෙන් විමසීමේදී තමන්ගේ ලිංගික අනන්‍යතාව හෙළි කරමින්, මානව සම්පත් අංශය ද ඒ ගැන දැනුවත් බව ද පැවසීය. එහෙත් ඒ කිසිවක් අවධානයට නොගත් හෙදි නිලධාරිනිය අත්තනෝමතික ලෙස ජිවිතාගේ අකමැත්ත නොතකා සියලු ඇඳුම් ඉවත්කර ශරීරය පරීක්‍ෂා කර තිබේ. ඔහුගේ ශරීර අවයව පරීක්‍ෂා කරමින්, ඒ පිළිබඳව විවිධ අදහස් පළ කරන්නට වුයේ ජිවිතාව ඉමහත් අපහසුතාවට හා ලැජ්ජාවට  පත් කරමින්ය. මේ සිදුවීමෙන් හටගත් මානසික කම්පනයෙන් ඔහු එම ආයතනයේ රැකියාවෙන් ඉවත්විය.”

    තමන් මුහුණ දුන් හිංසනය පිළිබඳව ස්ටෑන්ඩ් අප් ව්‍යාපාරය හරහා පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම හෙද නිල්ධාරිනියව අත් අඩංගුවට ගැනිණි. තමන් වැරදි නොවන බවට ඇය ප්‍රකාශ කිරීමත් සමග ජිවිතාට සාධාරණයක් අපේක්ෂාවෙන් නඩුවක් ගොනු කර තිබේ. දැනට වසරක කාලයක් පුරා අධිකරණය ඉදිරියේ එය විභාග වෙමින් පවතී. ජිවිතාගේ කතාව නිදහස් වෙළඳ කලාපයෙන් වාර්තාවන එක් සිද්ධියක් පමණි.

    නිරෝෂන්, අශ්වින් සහ ඩිල්ශාන් යන තිදෙනාම සංක්‍රාන්ති ලිංගික තරුණයන්ය. මොවුන් තිදෙනා මාර්ගයේ ගමන් කරමින් සිටියදී එක්තරා පුද්ගලයෙකු පැමිණ මොවුන් අතරින් එක් අයෙකුගේ ඇඟේ හැප්පී ගොස් ඇත. සිද්ධිය නිසා දෙපාර්ශවය අතර බහින්බස් වීමක් වුනු අතර එහිදී තමන් සංක්‍රාන්ති ලිංගිකයන් බවට දැනුවත් කළ ද, විවිධ අසභ්‍ය වචන වලින් එම පුද්ගලයා විවිධ අසභ්‍ය වචන වලින් බැන වැදී, පහර දී තිබේ.

    ගැටුම සමථයකට පත්කරන්නට එක්වූ ප්‍රදේශයේ පිරිස් ද මෙම තරුණයන් තිදෙනාට පහර දෙන්නට වුයේ ඔවුන් සංක්‍රාන්ති ලිංගිකයන් වූ නිසාය. පොලිසියට පැමිණිලි කළ විට ඔවුන් ද පහර දුන් පාර්ශ්වයට සහාය දෙමින් මෙම තරුණයන්ට කියා ඇත්තේ එම පිරිස ප්‍රදේශයේ දාමරිකයන් බැවින් ඔවුන් තරහා කර නොගන්නා ලෙසය.

    පහර කෑමට ලක්වූ  දෙමළ තරුණයන් තිදෙනාට භාෂා ගැටලුව නිසා තමන්ට වූ අසාධාරණය පැහැදිලිව ප්‍රකාශ කර ගැනීමට නොහැකිව පොලිසිය ඉදිරියේ අසරණ වුහ. WAVE යෙදවුම ඔස්සේ ඔවුන්ගේ පැමිණිල්ල  ලැබීමෙන් අනතුරුව  ස්ටෑන්ඩ් අප් ව්‍යාපාරය මැදිහත්ව පොලිසිය වෙත යළි පැමිණිලි කරමින්, පහර කෑමට ලක් වූ තිදෙනා රෝහල ගත කෙරිණි. රෝහලේදී ද ඔවුන් තිදෙනාට සිදුවුයේ දෙමළ වීමත්, සංක්‍රාන්තික ලිංගිකයන් වීමත් නිසාවෙන් නොයෙක් ආකාරයෙන් අපහසුතාවට පත් වීමටය. කෙසේ වෙතත්, අවසානයේදී  පහර කෑමට තරුණයන් තිදෙනාට සමථ මණ්ඩලය හරහා යම් වන්දියක් ලබා ගැනීමට හැකි විය.

    ලිංගික සුරාකෑම

    රාගම නවාතැන් ගෙන සිටින වින්ද්‍යා, “මෑන් පවර්” කම්කරු ස්ත්‍රියකි.ඇගේ නවාතැන ආසන්නයේ වූ සිල්ලර වෙළඳසැලෙන්  ණයට බඩු ගන්නේ මුදල් ලැබුණු පසු එකතු වූ ණය මුදල් මාසිකව පියවීමට ඇය පුරුදු වී සිටියාය. දිනක් ඇගේ හැඳුනුම් පතේ කොපියක් ගැනීමට එම කඩයට ගියවිට මුදලාලි විසින් ණය මුදල් පිලිබඳ විමසා ඇත. එහිදී, එම මුදල් මාසික වැටුප ගත් විගස පියවන බව ඇය පැවසුවාය. එවිට මුදලාලි පවසා ඇත්තේ “ඔයා ණය ගෙවන්න ඕනේ නෑ. මාත් එක්ක ලිංගිකව හිටියොත් මම ඔයාට දිගටම ණයට බඩු දෙන්නම්. අනිත් අයත් එහෙම තමයි කරන්නේ. කොහෙවත් යන්න ඕනත් නෑ. ඒකටම කඩේ පිටිපස්සෙම කාමරයක් තියෙනවා.“

    මෙම අයුතු යෝජනාව නිසා මහත් අපහසුතාවයටත්, බියටත් පත්වූ වින්ද්‍යා ක්ෂණිකව ස්ටෑන්ඩ් අප් ව්‍යාපාරයේ කාර්යාලයට ගොස් සැළකර සිටියාය. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඇය අකමැති වුයේ තමන්ට තර්ජනයක් වේයැයි බියෙනි. මෙම සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන කම්කරු ස්ත්‍රීන්ගේ අසරණකම ප්‍රයෝජනයට ගනිමින් කෙරෙන ලිංගික සුරා කෑමයි. නිහඬව විඳ දරාගත්, එහි ගොදුරු බවට පත්වූ, හෙළිදරව් නොවුණු තවත් මෙවැනි සිදුවීම් කොතෙකුත් නම් වෙළඳ කලාප වටා පවතිනු ඇත.

    කලාපයේ ස්ත්‍රී කම්කරුවන් ගෙන් මෙතෙක් ලැබී තිබෙන පැමිණිලි කොටස් කිහිපයකට වර්ග කළ හැකිය. වැඩබිමේ හා ජිවත්වන වටපිටාව තුල සිදුවන ලිංගික හිංසනය මෙන්ම සාපරාධි ක්‍රියා, තම සහකරුවන්ගෙන් සහ සේවා සපයන්නන්ගෙන් වන ලිංගික හිංසනය ලෙස දැක්වේ.

    දෙමළ රාජ්‍ය භාෂාවක් ලෙස සැලකුව ද, නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා වලත්, ඒ අවට පොලිසිවලත්, රෝහල් ඇතුළු අනෙකුත් රාජ්‍යයතන වලත් දෙමළ බසට අවස්ථාවක් හිමිනොවේ. කලාපයේ රැකියා කිරීමත්, ලිංගිකත්වයත් මත වෙනස් ලෙස සැලකීම මෙකී රජයේ ආයතන තුල දක්නට ලැබේ.

    නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සේවා ලබා ගන්නා රජයේ හා පෞද්ගලික ආයතනවල නිලධාරින්ට සිංහල – දෙමළ සන්නිවේදනය, ස්ත්‍රී -පුරුෂ සමාජභාවය, ලිංගිකත්ව අසමානකම් පිළිබඳව දැනුමක් හා පුහුණුවක් ලබා දීම වැදගත්ය. ස්ටෑන්ඩ් අප් ව්‍යාපාරය ද තම වැඩපිළිවෙල ඔස්සේ එවැනි ක්‍රියාමාර්ගවලට දැනටමත් එළඹ ඇත.  

    නව තාක්ෂණය හා වෘත්තීය සමිති

    WAVE  හුදු පැමිණිලි කිරීමේ යෙදවුමක් පමණක් නොවන අතර එය වෙළඳ කලාප කම්කරු ස්ත්‍රීන් වෙනුවෙන් වූ නීතිමය හා මානුෂික අත්වැලකි. කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගැන දැනුවත් කරමින්, වඩාත් පුළුල් වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වයක් ගොඩනැගීම WAVE හරහා දැනටමත් ඇරඹි තිබේ.

    කම්කරු අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම්, අසාධාරණ වැඩ කොන්දේසි, සේවයෙන් දොට්ට දැමීම හෝ වැඩ අත්හිටුවීම මෙන්ම සේවක අර්ථ සාධක හා සේවක භාරකාර අරමුදල් නොගෙවීම් ගැන ද පැමිණිලි මේ ඔස්සේ පැමිණේ. පොලිසියට, මානව හිමිකම් කොමිසමට, කම්කරු විනිශ්චය සභාවට සහ සෙසු අධිකරණයන්ට පැමිණිලි කිරීමේදී  විධිමත් හා කාර්යක්ෂමබවක් WAVE හරහා සිදුවේ.

    “කම්කරුවන් 5 දෙනෙකුට අදාලව සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවීම ගැන පැමිණිල්ලක් WAVE හරහා ලැබිණි. ඔවුන් ඉන්ද්‍රා මෑන් පවර් යටතේ සයිකල් ප්‍රඩක්ෂන් පෞද්ගලික සමාගමේ වසර 3ක් සේවයට යොමු කොට තිබිණි.  

    මේ ගැන කම්කරු කොමසාරිස්වරයාට ඉදිරිපත් කිරීමෙන්  අනතුරුව එක් අයෙකුට හැර සෙසු අයට ගෙවීම ඉන්ද්‍රා මෑන් පවර් ආයතනය ප්‍රතික්ෂේප කරන ලදී. අනතුරුව මිගමුව කම්කරු විනිශ්චය සභාව වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව සියලු දෙනාට සේවක අර්ථ සාධක මුදල් ගෙවීමට මෑන් පවර් ආයතනය එකඟ විය.”

    | ‘ස්ටෑන්ඩ් අප්’ -විධායක අධ්‍යක්ෂිකා අෂිලා දන්දෙනිය

    මෑන් පවර් හා LGBTQ කම්කරුවන්ගේ  අයිතීන් කඩවීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරිමේ දී ලංකාවේ නීති නොමැති බැවින් ඒ කෙරෙහි අවධානයක් යොමු කරන්නට ස්ටෑන්ඩ් අප් ව්‍යාපාරය විසින් අදාළ බලධාරීන් දැනුවත් කර ඇත.

    නව තාක්ෂණයේ මෙවලම් යොදා ගනිමින් කම්කරුවන් වඩාත් සමීප කරගන්නට ඒ හරහා ඔවුන්ගේ ගැටළුවලට විසදුම් ලබා දෙන්නට දරන මේ මැදිහත් වීම ඉතා ප්‍රශංසනීයවේ. මෙම තත්වය වඩා පුළුල් කරමින්, තවත් ඉදිරි පියවර ගැනීම විශේෂයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයේ අත්හළ නොහැකි වගකීමකි.

    (සටහන | ඉෂංඛා සිංහආරච්චි)
    නිදහස්  මාධ්‍යවේදිනි
    [email protected]

    [මෙම ලිපිය ඉරිදා දිවයින සංග්‍රහයේ පළවුවකි]

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here