කුල සාධකය සඟවා, එය ම න්‍යෂ්ටිය කරගත් ‘ආකාස පාළුව’

    0
    43

    කුමන තරාතිරමක හෝ ස්ත්‍රියක සහ පුරුෂයකු අතර ඇතිවන ආකර්ෂණීය බැඳීම (බොහෝ පිරිස් මෙය ආදරය යැයි හඳුන්වති.) ඔවුනොවුන්ගේ ජීවිත කාලය ම සතුටින් පවත්වාගෙන යෑමට ඉවහල් වෙනවා සේ ම ආකර්ෂණයෙන් බැඳුණු දෙදෙනා මතු නොව ඔවුනොවුන් ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ සමස්ත ජීවන පද්ධතිය ම කඩා බිඳ දැමීමට තරම් දරුණු වන අවස්ථා අනන්ත ය; අප්‍රමාණ ය.


    එම අවස්ථාව දරුණු ත්සුනාමි රළක් සේ කඩා වැදීමට පිළිවන; ඇතැම් විට මහා සුළි සුළඟක් සේ කඩා වදින්නට පිළිවන; තවත් විටෙක සැඩ ගංවතුරක් සේ කඩා වදින්නට පිළිවන. එසේත් නොවේ නම් පවුලක සියලු සාමාජික සාමාජිකාවන් තද නින්දේ පසුවද්දී හටගත් මහා ගින්නක් සේ විනාශය ළගා කර දිය හැකි ය.

    බොහෝ විට මෙවන් අවස්ථා උදා වන්නේ චිරාත් කාලයක සිට මිනිස් මනසේ ඇලී ගැලී පවත්නා ආකල්ප ය; එම ආකල්පවලින් මිදී නව්‍ය මිනිසකු ලෙස ස්ත්‍රී පුරුෂ බැඳීම් දෙස බලන්නට, එවන් අවස්ථාවල කටයුතු කරන්නට ස්ත්‍රී පාර්ශ්වයේ හෝ පුරුෂ පාර්ශ්වයේ පිරිස් නොපෙළඹීම ය.

    ඒබඳු ක්‍රියාකලාප හේතුවෙන්: අසරණ භාවයට, දුඃඛිත භාවයට ඇද වැටෙන මිනිස් සම්පත් පිළිබඳ සිතන්නට ඇති අවකාශ අහුරන්නේ ම යට සඳහන් කළ සමාජමය ආකල්ප ය. අතීතයේ සට මේ දක්වා මිනිස් ජීවිත පසුපස හඹා එන එබඳු ආකල්ප කිසිදු ආකාරයකින් මිනිස් ප්‍රජාවගේ යහපැවැත්මට උපස්තම්භක වන්නේ නැත; අත් කර දෙන්නේ ම බිහිසුණු ඛේදවාචක ය; සානුකම්පිත සිදුවීම් ය. ඒ කුමක් සිදු වුව ද ඒ සියලු ඛේදවාචකවල වගකීම පැවරෙන්නේ ඒකිනෙකාට ආකර්ෂණය වූ ස්ත්‍රියට සහ පුරුෂයාට ය; එසේත් නොවේ නම එම දෙපළගේ මා – පිය නෑ සියන් වෙත ය.

    බැලූ බැල්මට එය සාධාරණ යැයි කිසිවකු පැවසිය හැකි ය; ඒ, යට සඳහන් කළ පරිදි එබඳු සබඳතා කෙරෙහි දක්වන ආකල්පමය තත්ත්වය හේතුවෙනි. එසේ නොකර මඳකට හෝ සාම්ප්‍රදායිකත්වය අභිභවන්නට කිසියම් පාර්ශ්වයක් යත්න දරන්නේ නම් යට සඳහන් කළ ආකාරයේ ඛේදජනක සිදුවීම් අසන්නට, දකින්නට මතු නොව ලියන්නට පවා නොහැකි වනු ඇත. නමුත් සිදුව ඇත්තේ කුමක් ද…? සමස්ත පෘථිවිය ම විශ්ව ගම්මානයක් වුව ද ආචීර්ණ කල්පිත ආකල්පවලින් මිදෙන්නට මිනිසා යත්න නොදැරීම ය; එකිනෙකාගේ වාසියට හෝ අවාසිය උදෙසා තව තවත් එකී ආචීර්ණ කල්පිත තුළ ම ගුළි ගැසීම ය; රාමු ගතවීම ය.

    මෙබඳු ඛේදවාචක: සාහිත්‍යකරණයේ යෙදෙන, කලා නිර්මාණකරණයේ යෙදෙන ප්‍රජාව හට නිර්මාණ අනුභූති සැපයීමට බොහෝ සේ ඉවහල් වන්නේ ය. යට කී ප්‍රජාව මෙබඳු අනුභූති පදනම් කරගනිමින් සාහිත්‍ය කලාකරණයේ නිරත වෙති. ඒ සාහිත්‍ය කලා නිර්මාණ: කියවන, අසන, නරඹන; පාඨක ප්‍රේක්ෂක සහ රසික ප්‍රජාවෝ ද කිසියම් වින්දනයක් විඳිති; කම්පනයට පත්වෙති; සුසුම් ලති. එමතු නොව ‘දෙවියනේ මෙහෙම දේවල් වෙන්න පුළුවන් ද…?’ යැයි සිතන්නට, කතා බහ කරන්නට සහ වාද විවාද කරන්නට ද පෙලඹෙති.

    ඒ සියලු දේ කරන මිනිස් ප්‍රජාව ම ඊළඟ වටයේ දී නැවත නැවතත් යට කී ආකාරයේ ආදිකල්පිත ආකල්ප සහ මත මනසෙහි තැන්පත් කරගෙන කටයුතු කරති. එසේ නොමැතිව: තමන් කියවූ, නැරඹූ හෝ ඇසූ සාහිත්‍ය කලා නිර්මාණයෙන් උකහා ගත හැකි කිසිදු යහපත් පිළිවෙතක් උකහා නොගනිති. සාහිත්‍ය කලා නිර්මාණකරණයේ යෙදෙන පිරිස් ද ඇතැම් විට තමන් ඉදිරිපත් කළ ආකාරයේ ඛේදවාචක ම තවකකුට අත් කර දිය හැකි ය; එසේත් නොමැති එබඳු පිරිස් වෙත සහයෝගය දැක්විය හැකි ය. යට කී චක්‍රය නවතින දිනක් එළඹෙන්නේ කවදා දැයි සිතිය නොහැකි තරමට මෙම චක්‍රය භ්‍රමණය වෙමින් පවතී. ඉදින් එය නතර කළ හැක්කේ කෙස් ද, එය ඇරඹිය යුත්තේ කෙසේද යන්නට එදා මෙදා තුර පිළිතුරක් නොමැත; අනාගතයේ දී පිළිතුරක් තිබේද යන්න පවා සැක සහිත ය.

    මිනිසා තාක්ෂණික පාර්ශ්වයෙන් කෙතරම් දියුණු වුව ද මනසෙහි තැන්පත් වී ඇති ආචීර්ණ කල්පිත අදහස් මිය නොයයි; මරා දැමීමට ද බොහෝ පිරිස් යත්න නොදරති.

    යට කී අදහස් අකුරු කරන්නට සිදුවුයේ: මෙතෙක් කිවිඳියක ලෙස සාහිත ක්ෂේත්‍රයේ නමක් රඳවාගෙන සිටි වින්යා මැණිකේ ජයසේකර විසින් රචිත ඇගේ කුලුඳුල් ප්‍රබන්ධ කතාව හෙවත් නවකතාව වන ”ආකාස පාළුව” කියවා රස විඳීමෙන් ඉක්බිති මසිත පැන නැගි ගැටලු හේතුවෙනි.

    මෙබඳු කතා මා මෙන් ම ඔබත් අනන්ත අප්‍රමාණ කියවා ඇතැයි යන්න මගේ විශ්වාසය යි. එය සිංහල නවකතාවේ ආරම්භයේ සිට ම සාහිතය කලා නිර්මාණ සඳහා පාදක කරගත් අනුභූතියකි. එහෙත් එකී අනුභූතිය ඉතා දැඩි ලෙස පාඨක සිත් සතන් කම්පනය කරන්නට තරම් සාර්ථක නිර්මාණ බිහි වූයේ නම් ඒ, එක් අතක ඇඟිලි ප්‍රමාණයට අඩු තරම් ය. මා හට මේ මොහොතේ මතකයට නැගෙන එබඳු නිර්මාණ දෙකක් පිළිබදව සඳහන් කරන්නේ උදාහරණයක් වශයෙනි. ඉන් එකක් නම් දර්ශනා ශම්මි විජේතිලක විසින් රචිත ”ගිරග සසල විය” ප්‍රබන්ධය යි; අනික තරංගා දිසානායක විසින් රචිත, මෑතක රූපවාහිනි නිර්මාණයක් ලෙස ද විකාශනය වූ ”කදුළු කුණාටුව” (රුපවාහිනී නාට්‍ය නම් කර තිබුණේ ”ඉරගිනි මද්දහන” යන මැයෙනි) ප්‍රබන්ධ කෘතිය යි.

    යට කී ආකාරයට මෙම අනුභූතිය බොහෝ ලේඛක ලේඛිකාවෝ සිය නිර්මාණ සඳහා පාදක කර තිබුණ ද පාඨක හද මනස සසල කරන්නට යට සඳහන් නිර්මාණ සමත් වී තිබිණ. වින්යා මැණකේ ජයසේකර ගේ ”ආකාශ පාළුව” ප්‍රබන්ධය ද පාඨක හද මනස කළඹවාලන්නට, සංවේගයෙන් අවුළුවාලන්ට සමත් නිර්මාණයකි. එලෙස වන්නට වැඩි දායකත්වයක් සපා ඇත්තේ ඇගේ වාග් විලාශය වන්නට ඇතැයි මම විශ්වාස කරමි. මන්ද ඇය සිය කාව්‍ය නිර්මාණ තුළින් වැඩි දියුණු කරගත් වාග් රිද්මය ඉතා මැනවින් ”ආකාස පාළුව” නිර්මාණයට ද උපස්තම්භක කරගෙන ඇත.

    මගේ හෘද සාක්ෂියට එකඟව පවසන්නේ නම් ප්‍රබන්ධයේ ආරම්භක පරිච්චේද කිහිපය තුළ මගේ මනසෙහි කිසිදු නව්‍යමය ස්වභාවයක් ජනිත නොකළේ ය; ඒ කතුවරිය තමන්ට පැවසිය යුතු දෑ පැවසීමට ප්‍රවේශය ලබාගැනීම සඳහා වැය කර තිබූ කාලය වැඩි බැවිනි. විශේෂයෙන් ම වර්ණපාල සමරනායක සහ මොරින් වෙරෝනිකා එක්ව ගොඩනගන පවුල් කුටුම්බයේ විශාලත්වය යි. එනම් දරුවන් සය දෙනකුගෙන් යුත් පවුල් කුටුම්බය යි.

    කතුවරිය කුමන අදහසකින් එම පවුල් කුටුම්බයට දරුවන් සය දෙනකු ඇතුළත් කරා ද යන්න අපැහැදිලි ය. ඒ ඇතැම් විට එක් එක් පුද්ගලයාගේ ගති සොබාව ඉස්මතු කිරීම සඳහා ද විය හැකි ය. කෙසේ වතුදු කෘතියේ මඳ දුරක් ගිය පසු ආරම්භයේ දී පැවති නීරස භාවය කෙමෙන් කෙමන් දියව ගොස් හෘද සංවේදි භාවය අවදි කරවන්නට කතුවරිය සමත්වන්නී ය.

    මගේ කියවීමට අනුව මෙහි න්‍යෂ්ටිය වන්නේ කුල සාධකය යි. චාන්දා සහ රවින්ද්‍ර අතර පැවති ප්‍රේම සබඳතාවට මාලිනි (රවින්ද්‍රගේ මව), කංචනා (රවින්ද්‍රගේ නැගණිය) සහ අමරපාල (රවින්ද්‍රගේ පියා) යන තිදෙනා ම අවි අමෝරා ගන්නේ ”නම්බුකාරකම” නමැති කිරුළ පළුදු වේ ය යන බිතියෙනි; එය රැක ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.

    සමස්ත කතාවේ සාරය ගතහොත් මෙය කුලසාධකය මත පදනම්ව , නමුදු එය කුල සාධකය පදනම් කරගත් බොහෝ ප්‍රබන්ධ රචනාවලට වඩා වෙනත් මානයකින් ඉදිරිපත් කරන කතාවකි. අනුභූතිය නැවුම් නොවුණ ද කතාවේ මුඛ්‍ය පරමාර්ථය කුල සාධකය ඉස්මතු නොකිරීම ම කුලසාධකය පදනම්ව මෙතෙක් ජනගත වූ ප්‍රබන්ධ අභිභවන්නට ”ආකාස පාළුව” සමත් වන්නේ ය

    (පිටපත | ජයසිරි අලවත්ත)
    නිදහස් ලේඛක
    [email protected]

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here