ගුරුවරයා තෘප්තිමත් නොකොට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක වේවි ද? | ඉෂංඛා සිංහආරච්චි

    0
    49

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ කතිකාවක් පැන නගින්නේ විෂය මාලාවෙන් ඉතිහාසය හා සෞන්දර්ය ඉවත් කළ බවට වූ රාවයත් සමඟය. ඇතැම් ගුරු සංගම්, දේශපාලන පක්‍ෂ නියෝජිතයෝ පමණක් නොව සරසවි ඇදුරෝ පවා ඊට එරෙහිව විරෝධය දැක්වුහ.


    ඇත්ත වශයෙන් අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් හි ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඉවත් කොට නොමැත. එහෙත් මෙම විෂයන් තෝරා ගැනීමේ රැකියා වෙළඳ පොළ අරම්භයා දැනටමත් දෙමාපියන් හා ළමුන් කටයුතු කරද්දී ඒ සඳහා බලපෑම් සහගත නොවන මෙවැනි අනිවාර්ය නොවන විෂයන් කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදැක්වීමය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන යම් යම් කරුණු හෙළිදරව්වුයේ ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් පිලිබඳ පැන නැගී ගැටළුවට ආණ්ඩුවේ පැහැදිලි කිරීමෙන් ඉන් අනතුරුවය.

    ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින් මේ ඉදිරිපත් කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කඩිමුඩියේ සම්පාදනය කළ දෙයක් නොව එය 2018 වසර දක්වා දිවෙන්නකි. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන යටතේ යහපාලන ආණ්ඩු සමයේ ඇරඹි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාකච්ජා ගෝඨාභය රාජපක්‍ෂ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන් යටතේ ද ඉදිරියට ඇදෙමින් තිබිණි.

    එහෙත් ආසියානු සංවර්ධන බැංකුවේ අපේක්ෂාව වුයේ අදාළ ප්‍රතිසංස්කරණ 2023 වසර වන විට මුදුන් පමුණුවා ගැනීමය. රට අභ්‍යන්තරයේ පැවති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන්, වසර දෙකක් ඉක්ම ගිය ද, එය හමාර කරන්නට නොහැකි වී ඇත.  දැනටමත් සම්පාදනය කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුවටය.    

    මැතිවරණ ප්‍රකාශණයක් ලෙස ජාතික ජනබලවේගය ද ඔවුන්ගේම වූ අධ්‍යාපන ප්‍රතිපත්තියක් සම්පාදනය කොට මහජනයාට පිළිගන්වා තිබේ. 2029 වසර තෙක් වසරින් වසර නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නියමිත පෙර සකස් කළ වැඩසටහනකි.

    වසර දහයෙන් දහයට අධ්‍යාපන ක්‍රමය කාලයට ගැලපෙන අයුරින් ප්‍රතිසංස්කරණය කිරීම ලොව පුරා සෑම රටකම ආණ්ඩු විසින් නොපමාව කෙරෙන්නාවූ කාර්යකි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමේ දී  ආණ්ඩුව ප්‍රමුඛතා අනු පිළිවෙලින් ආණ්ඩුව ප්‍රකාශයට පත් කොට ඇති කාර්යන් පහකි. චක්‍ර ලේඛ මගින් නව මාර්ගෝප දේශ හඳුන්වා දීම, මානව සම්පත් සංවර්ධනය, පාසැල් යටිතල පහසුකම් දියුණු කිරිම, විභාග හා ඇගයීම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා නව සංශෝධන ගැන මහජනයා දැනුවත් කිරීම  යන එකී පස් වැදෑරුම් ක්‍රම වේදය වේ.  

    ඒ අනුව 2026 වසර වන විට නව විෂය නිර්දේශයක් හඳුන්වා දිය යුතුය. සාමානයෙන් වසර අටකට වරක් පාසැල් විෂය නිදේශ සංශෝධනය කෙරෙන අතර එය අවසන් වරට සිදුව 2016 වසරේදීය. 2023 වසරේදී නව විෂය නිර්දේශයක් හදුන්වා දිය යුතු වුවද එවකට පැවති ආණ්ඩුව එය කළ දැමිය. ඒ අනුව දැනට පාසැල් වල උගන්වන්නේ වසර දෙකක් කල් පැනගිය විෂය නිර්දේශ වේ. මේවා කඩිමුඩියේ සකස් කිරීමට ඇති හැකියාව ඉතාමත් ප්‍රශ්නකාරිය. එහෙත් මේ යල්පැන ගිය විෂය මාලා ප්‍රතිසංස්කරණය කිරීම ආණ්ඩුවේ අත්හල නොහැකි වගකීමකි.

    එහෙත් ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු විදුහල්පති වෘත්තීය සංගම් පෙන්වා දෙන්නේ අදාළ නව විෂය මාලා සංශෝධනයට මෙතෙක් පියවර ගෙන නොමැති බවය. කෙසේ වෙතත් පවතින යටත් විජිත අධ්‍යාපන ක්‍රමයේ  විෂය මාලා සංශෝධනය ජාතික අධ්‍යාපන ආයතනයට පැවරෙන  කාර්යභාරයකි. එය නිසි ලෙස ඉටුවන්නේද යන්න තරමක් ප්‍රශ්නකාරිය.

    වෘත්තිමය බව රකින ගුරුවරයෙක්

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ හඳුන්වා දෙනු ලබන නව විෂයන්ට අදාළව ගුරුවරුන් හා සෙසු සේවකයන් පුහුණු කිරීම ඉතා වැදගත්ය. ඒ  සියලු වැඩසටහන් අවසානයේදී ශිෂ්‍යන් වෙත ගෙන යනු ලබන්නේ ගුරුවරුන් බැවිනි. ගුරුවරුන් ලක්ෂයක් මේ වෙනුවෙන් පුහුණු කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කර තිබුන ද ඒ වෙනුවෙන්වූ කිසිදු සුදානමක පෙරනිමිත්තක් නොමැති බවටද ගුරු වෘත්තීය සමිතිවල චෝදනාවකි.

    ලංකා ගුරු සංගමය පෙන්වා දෙන පරිදි  දිවයින පුරාම පාසැල් වල 43000 ක ගුරුවරු හිඟයක් පවතී. ආණ්ඩුව පවසන පරිදි අලුතෙන් ගුරුවරු බඳවා ගැනීමේදී උපාධිය අනිවාර්ය කෙරෙනු ඇත. එහෙත් දැනට සේවයේ යෙදෙන ගුරුවරුන්ගෙන් උපාධියක් හිමි ගුරුවරුන්ට පුහුණුවක් නොමැති අතර පුහුණු ගුරුවරුන්ට උපාධියක් නොමැත.

    අනෙක උපාධියක් ලබා ගත් පමණින් ළමුන්ට ඉගැන්වීමට සුදුසු වන්නේ නැත. ඒ සඳහා ළමා අධ්‍යාපනය සහ මනෝ විද්‍යාත්මක දැනුමක්  හා මනා පුහුණුවක් තිබිය යුතුය. දැනට සේවයේ යෙදෙන  සියයට හැට පහක් පමණ මේ ගැන අවබෝධයක් නොමැත. එය ඔවුන්ගේ වරදක් ද නොවේ. අදාළ පුහුණුව නිසි පරිදි ඔවුන්ට ලබා නොදීම ඊට හේතුවේ.

    පවතින පාසැල් පද්ධතිය තුල ගුරුවරුන් දෙවර්ගයක් පෙන්වා දිය හැකිය. තමන් කියන දේම කෙසේ හෝ සිසුවා කළ යුතුය යන මතයේ සිටින, දැඩි විනයක් අපේක්‍ෂා කරන ගුරුවරුන් හා රැකවලුන් ලෙස සිසුන් කෙරෙහි සානුකම්පිකව බලනා ගුරුවරුන් ලෙසය. එහෙත් මේ තත්වය ඉක්මවා ගිය වෘත්තීමය ගුරුවරුන් ලෙස මනා පුහුණුවක් ලබා දෙන තෙක්  පාසැල් අධ්‍යාපනයේ ප්‍රගතියක් අත්කර ගත නොහැකි වනු නියතය. සිසුවාට කුමක්ද උගන්වන්නේ කොහොමද උගන්වන්නේ යන්න ගුරුවරයා තුල නිර්මාණය කර ගත හැක්කේ මනා පුහුණුවකින් අනතුරුවය. ඒ වෙනුවෙන් ගුරුවරුන්ට යාවත්කාලින කෙරෙන පුහුණුව අතවශ්‍ය සාධකයකි.

    අනෙක් අතට ගුරුවරයා තම සංස්කෘතික, ආගමික හා දේශපාලනික විශ්වාස හා මතවාද සිසුන්ගේ මනසට ඇතුල් කිරීම නිසා නිරවුල් අධ්‍යාපනයකට එය බාධාවකි. ලංකාවේ රජය යටතේ පවතින ජනප්‍රිය පාසැල්, නගරබද පාසැල්, ගම්බද පාසැල්, වතු පාසැල් වශයෙන්  විෂමතාවන් පෙන්වා දිය හැකිය. මේවායේ ඉගෙනුම ලබන සිසුන් විවිධ සංස්කෘතීන්  ආගම් හා ජනවර්ග නියෝජනය කරන්නන්වේ. එබැවින් ගුරුවරයා මෙහිදී වෘත්තිමය ගුරුවරයෙකු ලෙස මැදිහත්ව සිය ඉගෙන්වීමේ යෙදීම වැදගත්වේ.

    අනෙක් අතර  ලංකාවේ පාසැල්  බෞද්ධ, කතෝලික, හින්දු සහ මුස්ලිම් ආගමික වශයෙන් මෙන්ම පිරිමි සහ කාන්තා ලෙස ද බෙදා වෙන්කොට ඇත.

    මෙවැනි පරිසරයක් හමුවේ නිදසුන් ලෙස එක්තරා පංති කාමරයක සිටින සිසුන්ගෙන් සියයට අනුපහක්ම බෞද්ධ සිසුන් විය හැකි අතර සියයට පහක් කතෝලික සිසුන් විය හැක. එවැනි අවස්ථාවන්හිදී බොහෝ විට සිදුවන්නේ ගුරුවරයා බහුතරයක් වූ බෞද්ධ සිසුන්ට අවධානය යොමු කරමින්, සුළුතරයක් වූ කතෝලික සිසුන් නොසලකා හැරීමය. මේ තත්වය හින්දු, මුස්ලිම්, කතෝලික සිසුන් බහුතරය සිටින පංති කාමරයකදී අනෙකුත් සුළුතර සිසුන් නොසලකා ඉගැන්වීම කෙරේ. වෘත්තිමය වශයෙන් පිරිපුන් ගුරුවරයෙකු නම් ඔහු හෝ ඇය මේ සියළුම සිසුන් කෙරෙහි සංවේදී වනු නියතය.

    සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් සහිත පින්ලන්තය, ස්වීඩනය,ජර්මනිය මෙන්ම ආසියාතික රටක් වන ජපානයේ දී ගුරුවරුන්ට අවම වශයෙන් මාස හයකවත් විදේශ පුහුණුවක් ලබා දීම කෙරෙහි අවධානයක් යොමු කිරීම වැදගත්ය. එසේ විදේශ පුහුණුව ලබා ගන්නා ගුරුවරුන් හරහා  අනෙකුත් අය පුහුණු කර ගැනීමේ හැකියාව ලැබේ.

    ගුරුවරයාගේ කාර්ය වනුයේ සිසුවා අසමත් කරන්නේ කෙසේද යන්න නොව ඔහුට හෝ ඇයට වැටහෙන ලෙස පහදා දී සමත් කිරීමය.

    තරඟ විභාග හා අඛණ්ඩ ඇගයීම්

    පහ වසර ශිෂත්වය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන් සඳහා ඇත්තේ උද්වේගකර තරඟයකි. බලවත් පීඩනයක් ගෙන දෙන මෙම තරඟ විභාග අධ්‍යාපන ක්‍රමය තුල බොහෝ විට ජයගන්නේ යහමින් මුදල් වියදම් කළ හැකි දෙමාපියන්ගේ දරුවන්ය. කුඩා අවධියේ සිටම තරඟයට හුරුකරවන පහ වසර ශිෂ්‍යත්වය තරමක් විවාද පන්නය. ජනප්‍රිය පාසැලකට ඇතුලත්වීමේ දොරටුව දුගී දුප්පත් සිසුන්ට විවර වී ඇත්තේ මේ ඔස්සේ බැවින්, දරුවාට කෙතරම් පීඩනයක් ගෙන දුන්නත් එය අහෝසි කිරීමට බොහෝ දෙනා එකඟ නොවෙති.

    එහෙත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල පහේ ශිෂත්වය විභාගය තුලින් දරුවන් තුල ඇති කරනු ලබන පීඩනය සමනය කරනු වස් අඛණ්ඩ ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඒ  තුලින් දරුවන්ගේ පීඩනය සමනය වුවද එය කඩා වැටෙන්නේ දෙමාපියන්ගේ උර මතය. සිය දරුවාට ඇගයීම් යටතේ වැඩි ලකුණු ලබා ගැනීම පිණිස  ගුරුවරුන්ට තුටු පඬුරු ලබා දීමට දෙමාපියෝ පෙළඹෙති. පවතින තත්වය යටතේ තෑගි බෝග ලබා ගැනීමට බොහෝ ගුරුවරු කැමැත්තක් දක්වන අතර ඒ තුලින් අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වලට සාධාරණයක් ඉටුවේ යැයි සිතිය නොහැක. අවශ්‍යම නම් පමණක් ඉතාමත් අවම වටිනාකමකින් යුත් තෑගී පමණක්, බාර ගෙන සෙසු ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කිරීම යහපත් ගුරුවරයෙකුගේ ආචාර ධාර්මික වටිනාකමකි.

    එමෙන්ම දරුවා ඇගයීමට ලක් කෙරෙන සෑම අවස්තාවකදීම යම් ලකුණු ගණනක් ලබා දීම ගැන ප්‍රශ්න කිරීමේදී, එසේ ලබා දුන්නේ ඇයිද යන්න යුක්තිසහගත කිරීමට ගුරුවරයා සතුව වාර්තා තබා ගැනීම යෝග්‍යය. ඇගයීම් ක්‍රමය යටතේ ලකුණු ලබා දීමේ එක් එක් කාර්යන් වෙනුවෙන් නිර්නායකයන්  ඉදිරිපත් කිරීම අධ්‍යාපන බලධාරීන් ගේ වගකීමක් වන අතර  ලකුණු ලබා දීම ගැන එසේ ප්‍රශ්න කිරීමේ අයිතිය දෙමාපියන්ට හෝ වෙනත් පාර්ශවයන්ට හිමිවිය යුතුය. මේ මගින් තෝරා ගත් ළමුන් කෙරෙහි වැඩි සැලකිලි දැක්වීමේ ඇතැම් ගුරුවරුන්ට ඇති අවස්ථාවට වැට බැඳෙනු ඇත.  

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගණිතය, විද්‍යාව හා භාෂාව පදනම් කරගත්, 9 වැනි ශ්‍රේණියේදී නිපුනතා ඇගයීම් විභාගයක් ජාතික මට්ටමින් පැවැත්වේ. 2029 වසරේ සිට එය ක්‍රියාත්මක වීමට නියමිතය. සාක්ෂරතාවය, ගණිතමය හැකියාව හා නිපුනතා ක්ෂේත්‍රයක වැඩිදුර අධ්‍යාපනයක නිරතවීමේ ප්‍රවනතාව පිලිබඳ අවධානය යොමු කරමින් සිසුන්ට තම ඉදිරි අධ්‍යාපනයේ දිශානතිය ගැන මෙහිදී කිසියම් විනිශ්චයකට ලක් කිරීමේ අවස්තාව හිමිවේ.

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය සඳහා නව ප්‍රතිසංස්කරණ යටතේ විෂයන් හතකට සිමාවේ. එයින් විෂයන් පහක් අනිවාර්ය වන අතර සිය කැමැත්ත අනුව විෂයන් නවයක් අතරින් දෙකක් තෝරා ගැනීමට හැකිය.

    මෙම ප්‍රතිසංස්කරණ යටතේද කඩඉම් විභාග පැවැත්වෙන බැවින් අධ්‍යාපනය තරඟකාරිත්වයෙන්  මුදවා නොමැත. පහේ ශිෂත්ව විභාගයේ සිට පවතින මේ තරඟය නිසා වැඩි වාසි අත්වි ඇත්තේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරුන්ටය. සාමන්‍ය පෙළ, උසස් පෙළ විභාග වලට පෙනී සිටින සිසුන් වෙනුවෙන් පැවැත්වෙන උපකාරක පංති සඳහා දෙමාපියන්ට සිය දරුවන් වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්නට සිදුවේ. නිදහස් අධ්‍යාපනයක් ගැන කතා කළද අතමිට මුදල් යහමින් නැත්නම් ඒ නිදහස් අධ්‍යාපනයේ පළ භුක්ති විදින්නට බැරිය.

    පාසැල් අඛණ්ඩ ඇගයීම් හා පැමිණීමේ ප්‍රතිශතය සලකා බැලීම හරහා නව ප්‍රතිසංස්කරණ හමුවේ උපකාරක පංති මාෆියාවට පහරක් එල්ල කර ඇතිමුත් එය සාර්ථක වනුයේ දෙමාපියන්ගේ ආකල්ප හා ක්‍රියාකාරිත්වය මතය. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි කඩඉම් තරඟ විභාග තවදුරටත් පැවැත්වෙන බැවින් උපකාරක පංති කෙරෙහි ළමුන්ගේ යොමුවීමත්, දෙමාපියන්ගේ පෙළඹවීමත් වළක්වා ලිය නොහැක.

    අධ්‍යාපන සම අවස්ථා හා අවම භෞතික සම්පත්


    “නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපන සම අවස්ථා“ යන්නන පදනම් කරගත් ජාතික ජනබලවේගයේ  අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව පවතින අවම භෞතික පහසුකම් අනුව දිවයිනේ සෑම දරුවෙකුටම සම අවස්ථා නොලැබෙනු ඇත. ඒ සඳහා දියුණු තාක්ෂනය දක්ෂ ගුරුවරු, ගමනා ගමන පහසුකම් මෙන්ම දරුවන්ගේ පෝෂණ මට්ටම ද වර්ධනය කළ යුතුවේ.

    ලංකාව පුරාම ඇති ශිෂ්‍ය සංඛ්‍යාව පනහට අඩු පාසැල් සංඛ්‍යාව එක්දහස් පන්සීය ගනනකි. එමෙන්ම  විෂයන් ඉගැනුමට  අවශ්‍ය ගුරුවරුන් නොමැති, ගොඩනැගිලි අබලන් වූ , විද්‍යාගාර, පුස්තල ස ඈත එපිට ගම්මානවල , වතුකරයේ මෙන්ම, නගර මධ්‍යයේ වුවද දක්නට ලැබේ. ඇතැම් පාසැල් වෙත පිවිසෙන්න සිසුන්ට පමණක් නොව ගුරුවරුන්ට පවා දුෂ්කරය. ප්‍රවාහන පහසුකම් නොමැතිව ගව්ගානක් පා ගමනින් යා යුත්තේ අලි රංචු ගැවසෙන, සතා සර්පයන් ගහන වන මන් ඔස්සේය.  ජීවිතය ගැට ගසාගන්නට එදිනෙදා වෙහෙසෙන දුගී දුප්පත් දෙමාපියන්ට පාසැල් පොත්, ඇඳුම්, පාවහන් මිලදී ගන්නට වත්කමක් නොමැත.

    බොහෝ පාසැල් වල සනීපාරක්ෂක පහසුකම්  පිලිබඳ ඇත්තේ ඉතාමත් ශෝචනීය තත්වයකි.  ඒවායේ වැසිකිලිවල  ජල  නල  පහසුකම් නොමැති අතර දොරවල් කැඩි බිඳී ගොස් ය.  මින් වඩාත් පිඩාවට පත්වන්නේ සිසුවියන් ය.

    සමස්ත  පාසැල් පද්ධතියේම භෞතික හා මානව සම්පත් සංවර්ධනය කරන තෙක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සිහිනයක් පමණකි. දිවයින පුරා පාසැල් වල පහසුකම් පිළිබඳව සමීක්ෂණයක් මගින් අනාවරණය කර ගැනීම වැදගත්ය.

    රජයේ ජනප්‍රිය පාසැල් වල පවතින ආදී ශිෂ්‍ය සංගම් මාෆියාව ද පාසැල් අධායපනයේ සංවර්ධනයට බාධාවකි. එවැනි පාසැල් වලට ළමුන් ඇතුලත් කරගැනීමේ සිට සියලු කටයුතු සිදුවන්නේ ආදී ශිෂ්‍ය සංගම් වල උවමනා එපාකම් මතය. පහ වසර ශිෂත්වය අහෝසි කරන්නේ නම් ජනප්‍රිය පාසැල් වල ප්‍රාථමික අංශය වසා දමා ඒවා සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ පංති වලට පමණක් සිමා කිරීම දුෂ්කර වුවද  අත්නොහැර කළ යුත්තකි. එමෙන්ම රජයේ වගකීම වන්නේ සෑම ගමකටම සියලු පහසුකම් වලින් යුත්  ප්‍රාථමික පාසලක් ගොඩනැගීමය.  

    අවධානය යොමු කළ යුතු අනෙක් කරුණ නම් පාසැල අවට පරිසරය. මෙය සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන්නකි. අද වන විට අයිස් වැනි මත්ද්‍රව්‍ය ප්‍රචලිත වී ඇත්තේ ශිෂ්‍ය ප්‍රජාව තුලය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉලක්ක කණ්ඩායමක් වන්නේ පාසැල් සිසුන්ය. පාසැල් අධ්‍යාපනයට බලපෑමක් කරනු ලබන අවට පරිසරය ගැන සමීක්ෂණයක් මගින් කරුණු අනාවරණය  කර ගත හැකිය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට එම කරුණු ඉවහල් වනු නියතය.

    පාසල් කාලය

    විනාඩි 30 කින්  පාසැල් පැවැත්වෙන කාලය දිගු කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ  දැක්වෙන යෝජනාවකි. ඒ අනුව එක් කාල පරිච්ජේදයක් විනාඩි 50 ක්වේ. එහෙත් විවේක කාලය තවමත් පවතින්නේ විනාඩි 20 කි. එයද කිසියම් වෙනසකට ලක් කලයුතුය. එමෙන්ම කාල පරිච්ජේද දෙකක් අතරවත් කෙටි විවේකයක් ලබා දීම සුදුසුය. උදේ හා දිවා ආහාරය පාසලේදී ලබා ගන්නට සිසු- සිසුවියන්ට අවස්තාව ලබා දීමට නම් සෞඛ්‍ය සම්පන්න, හොඳ තත්වයේ ආපන ශාලාවක් පාසැල් තුල පවත්වාගෙන යාම වැදගත්ය.

    2023 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙටුම් පතේ දැක්වෙන පරිදි වසර 13 ක් වූ අධ්‍යයන කාලසීමාව වසරකින් අඩුකොට වසර 12 ක් ලෙස පිළිගෙන තිබේ. නමුත් ජාතික ජනබලවේග ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති මේ ප්‍රතිසංස්කරණ වලදී එම යෝජනාව අත්හැර දමා ඇත. අපට ආසන්න ඉන්දියාවේ ද . යුරෝපයේ ඇතුළු බොහෝ රටවල් වල පාසැල් අධ්‍යයන කාල සීමාව වසර දොළහකි.

    ඒ අනුව වයස  අවුරුදු 18 වන විට දරුවෙකු සරසවි අධ්‍යාපනයට පිවිසේ.

    වසර මුලදී නොව වසර මැද දී අධ්‍යයන වර්ෂය ආරම්භ කිරීම ගැන ද කතිකාවට ලක් වන්නේ නම් ඉතා අගනේය. අධිකරණය තීන්දුවකින් සනාථ කොට ඇති එක් පන්ති කාමරයකට ළමුන් 35 කට පමණක් සිමා විය යුතුය.

    තෘප්තිමත් ගුරුවරයා

    නව අධ්‍යාපන ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන මෙහෙයුම දියත් වන්නේ ගුරු-විදුහල්පතිවරු  හරහාය. එබැවින් පළමුව  සිය රැකියාව ගැන ගුරුවරයාට තෘප්තිමත් බවක්  ඇතිවිය යුතුය. සිය ශ්‍රමයට සරිලන වැටුපක් ඇතුළු අනෙකුත් පහසුකම් ගුරුවරයාට ලබා දීමට බලධාරීන් සමත් නොවන්නේ නම් අවශ්‍ය ප්‍රතිසංස්කරණ නිසි ලෙස සාර්ථක නොවනු ඇත. අවශ්‍ය මානව හා භෞතික සම්පත් වල සංවර්ධනය කිරීම කෙරෙහිත්, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැනත්  පළමුව ගුරු -විදුහල්පති වරුන් සමග කතා බහ කළ යුතුය. ඔවුන් නියෝජනය කරන්නාවූ වෘත්තීය සමිති හා සම්මේලන සමඟ  මේ යෝජනා ගැන සාකච්ජා කොට ඔවුන්ගේ අදහස් ද ලබා ගෙන  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාර්ග සැලසුම වඩාත් පෝෂණය කළ හැකිය.

    කිසිවෙකු  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප නොකරති. අවශ්‍ය වන්නේ ඒ හා බැදුණු  විධිමත්  කතා බහකි. පාසැල් කාලය දීර්ඝ කරන්නේ නම් ගුරු -විදුහල්පතිවරුන්ගේ  වැටුප ගැන ද අවධානයක් යොමු කිරීම ආණ්ඩුවේ වගකීමකි. සියලු වෘත්තිකයන්  ගොඩ නගන්නට අඩිතාලම යොදන ගුරුවරයාගේ වෘත්තීය තත්වය ඉහළට ඔසවා තැබීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට ඇතුලත් විය යුතුම මග හැරිය නොහැකි කරුණකි.

    (සටහන | ඉෂංඛා සිංහආරච්චි)
    නිදහස්  මාධ්‍යවේදිනි
    [email protected]

    [මෙම ලිපිය ‘ඉරිදා දිවයින’ සංග්‍රහයේ පළ වුවකි]

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here