ඔබ නොදන්නවා නම්, ඇය කඹුරුපිටියේ විනීතා

    0
    33

    වික්‍රමසිංහ ආණ්ඩුව 2002 සාම සාකච්ඡා ආරම්භ කරන්නේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හැදූ පසුබිමෙහි නොවේදැයි ඒ දිනවල මට නිතර සිතුනකි. සාම සාකච්ඡා සාර්ථක කර ගැනීම වෙනුවෙන් දෙවැනි පථයේ (Track 02) පසු පෙළ ක්‍රියාකාරකම් සතු වැදගත්කම අනුව ඒ දිනවල මම නිතර කිලිනොච්චි ගියෙමි.

    වික්‍රමසිංහගේ යූ.ඇන්.පීය 2001 දෙසැම්බර් මහ මැතිවරණයෙන් ආණ්ඩු බලයට පත් වූ විගස, ප්‍රභාකරන් දෙසැම්බර් 25 නත්තල් දින සටන් විරාමයක් ඒක පාර්ශවීයව ප්‍රකාශ කළේය. පෙබරවාරි 22 වන දින එය ද්වි-පාර්ශවීය නිල සටන් විරාමය බවට පත් විය. මෙවර පළමු වරට, සටන් විරාමය නිරීක්ෂණයට ජාත්‍යන්තර සටන් විරාම නිරීක්ෂණ කමිටුවක්ද නිල වශයෙන් පත්කර තිබිණ.

    බොහෝ දෙන එල්.ටී.ටී.ඊ සටන් විරාම ගැන කියන්නේ, දුර්වල වූ විට, නැවත සංවිධානය වීමට අවශ්‍ය කාලය ලබා ගැනීමට ප්‍රභාකරන් සටන් විරාම වලට එකඟවනවා යැයි කියා ය. නමුත් 2001 දෙසැම්බරයේ ඔහු ඒක පාර්ශවීයව සටන් විරාම ගිවිසුම ප්‍රකාශ කෙරුවේ දුර්වල වූ අවස්ථාවක නොව, හමුදාමය වශයෙන් ශක්තිමත්ව සිටි අවස්ථාවකය. 2000 අප්‍රේල් මාසයේ එල්.ටී.ටී.ඊය, මාන්කුලම් සිට කිලිනොච්චිය පසුකර නුවර A-9 පාරේ අලිමංකඩද ඇතුළුව මුහමලෙයි දක්වා මුළු ප්‍රදේශයම අල්ලා ගෙන තිබිණ.

    කරිකාලන්

    ඒ ගැනත් පොඩි කතාවක් ලියා තැබිය යුතු යැයි සිතමි. 2002 වෙසක් දිනයේ මම පොතුවිල්, අරුගම්බේ හා පානම ප්‍රදේශයෙහි එල්.ටී.ටී.ඊ දේශපාලන ක්‍රියාකාරීන් හමුවන්නට ගියෙමි. රාත්‍රියෙහි මා නතර වූයේ අරුගම්බේ පිහිටි විශේෂ කාර්ය සාධක බලකායේ කඳවුරෙහි ය. කැමති නම්, එල්.ටී.ටී.ඊයේ නැගෙනහිර දේශපාලන නායක කරිකාලන් හමුවන්නට කොක්කඩිචෝලෙයි යා හැකියැයි විශේෂ කාර්ය සාධක බලකායේ ප්‍රාදේශීය ප්‍රධානියා මට කියුවේය. එසැණින් මම ඒ අවසරය ලබා ගෙන පසුදින කොක්කඩිචෝලෙයි ගියෙමි. එහිදී ඉතිහාසයේ ප්‍රථම හා එකම අවස්ථාව වූ එල්.ටී.ටී.ඊ නායකයෙකු සිංහලෙන් සාකච්ඡාවක් කෙරුවේ මා සමගින් ය.

    ප්‍රභාකරන්

    කරිකාලන්ට සිංහල හොඳින් කතා කළ හැකියැයි මට කියුවේද විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරියෙකි. එහෙත් ප්‍රතිපත්තිමය වශයෙන් එල්.ටී.ටී.ඊය සිංහල භාවිත කරන්නේ නැත. සාම සකච්ඡා සහ එල්.ටී.ටී.ඊයේ බලාපොරොත්තු මොනවාදැයි දකුණේ ජනතාවට කීමට, එල්.ටී.ටී.ඊ නායකයෙකුගේ වචන වලින්ම මට සිංහලෙන් එය අවශ්‍යයැයි කියා සිටියෙන් එම අවස්ථාව ලැබුණේ කරිකාලන් ඒ වෙනුවෙන් කිලිනොච්චියේ සාම ලේකම් කාර්යාලයෙන් ලබා ගත් විශේෂ අවසරය සමගය. ඉන් දෙසතියකට පසු එම සාකච්ඡාව ඉරිදා ලංකාදීප පත්තරයෙහි පළ විය. ස්වාධීන රූපවාහිනියේද විකාශනය කෙරිණ.

    ඔහු සිනහවී කිව්වේ, ඔහුව රදවාගෙන නොසිටි බවත් ඔහු දෙසතියක් මුලතීව්හි රැඳී සිටියේ A-9 පාර පූර්ණ වශයෙන් විවෘත කිරීමට නැගෙනහිර එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන්ගේ විරෝධය දැන්වීමට බවත් ය. මාන්කුලම්, කිලිනොච්චි. එලිෆන්ට්-පාස් ඔවුන් අල්ල ගත්තේ වන්නියේ තරුණයින් යුද්ධ කර නොවේ යැයි ඔහු අවධාරණය කළේය. “ඒ යුද්ධ සඳහා විශල වශයෙන් ජීවිත කැප කෙරුවේ අපි නැගෙනහිරින් යවපූ අපේ තරුණ සටන්කාමීන්. A-9 පාර සම්පූර්ණයෙන් විවෘත කෙරුවම, ඒ කැප කෙරුව තරුණ ජීවිත වලට අපි වගකියන්නෙ කොහොමද? ඒ තරුණයින්ගේ දෙමාපියන්ට, භාර්යාවන්ට, සහෝදරයින්ට අපි කියන්නෙ මොනවද?” ඔහු කියුවේ ඒ ප්‍රශ්නයට ප්‍රභාකරන්ගේ විසඳුම රැගෙන එන්නට ඔහු දෙසතියක් මුලතිව්හි රැඳුණු බවය. “ඔමන්තායි ඉඳලා මුහමලෙයි දක්වා A-9 පාර අපි පාලනය කරන්න තීන්දු කෙරුවේ ඒ නිසයි” ඔහු කීවේය.  

    සිරිතුංග ජයසූරිය

    කොළඹ අප කිහිප දෙනෙකු මහේන්ද්‍රන් ලෙස හඳුනාගෙන සිටි ඔවුන්ගේ පොලිස්පති නඩේසන්ගේ දුරකතන අංකය මා ඉල්ලා ගත්තේ කරිකාලන් ගෙන් ය. මා නඩේසන් හඳුනා ගත්තේ සිරිතුංග ජයසූරියගේ නිවසේදී වූ හමුවීමකදී ය. ඒ 1978 දී පමණය. එවිට ඔහු පොලිස් කොස්තාපල්වරයෙකු වූයෙන් නව සමසමාජ දේශපාලනයට ඉතා රහසිගතව සම්බන්ධව සිටියෙකි. ඔහු පක්ෂය සමග සම්බන්ධය තබාගෙන සිටියේ සිරිතුංග සහෝදරයා මගින්ය. එහෙත් මා හමුවීමෙන් පසු ඔහු “කුසල් අයියා” යැයි කීමට තරම් මා සමග කුළුපග වූවෙකි. මා මහරගම ගුරු විදුහලේ සිටියදී ඔහු මහරගම පොලීසියට අනුබද්ධව සිටියේය. ඒ කාලයේ ඔහු ඉඳහිට මා හමුවන්නට මහරගම ගුරු විදුහලේ කැන්ටිමට එන්නේය.

    වරක් ඔහු පැමිණියේ තරුණියක් සමගින්ය. කතා බහෙන් ඇය සිංහල යැයි මම හැඳින ගතිමි. ඇය විනීතා ගුණසේකර යැයිද, පොලිස් මූලස්ථානයේ දුරකතන අමතන්නියක් ලෙස සේවය කරන්නේ යැයිද කීවාය. ඔවුන් විවාහ ගිවිසගෙන ඉන්නා බවත් වෙල්වටිතුරෙයි සහ කඹුරුපිටියේ පවුල්වල සියල්ලන් ඊට දැඩි ලෙස විරුද්ධ බවත් නඩේසන් වරක් මා සමග කීවේය. ‘83 ජූලි දෙමළ සංහාරය දියත් කෙරෙන විට, දෙපාර්ශවයේ දැඩි විරෝධ නොතකා ඔවුහු විවාහ වී සිටියහ. ඔවුන්ගේ විවාහය මට කියා තිබුණත් මා ඊට සහභාගි නොවූයේ ඒ වන විට මා පූණ්ඩළුඔය සේවයට ගොස් සිටියෙනි. එය 1982 දී ඉතා නිහඬව කෙරුණු විවාහයකි. ඒ විවාහයෙහි දෙපාර්ශවයේ සාක්ෂිකාරයින් වූයේ සිරිතුංග සහ වාසුදේව දෙදෙනා ය. විවාහය සිදු කෙරුණේ තිඹිරිගස්යායේ සිරිතුංග සහෝදරයාගේ නිවසෙහි ය.

    නඩේසන් හා විනීතා ගුණසේකර

    අප ම්ලේච්ඡයින් ලෙස දියුණු ලෝකය හඳුන්වන්ට වූ “කළු ජුලිය” අවසන් වනවිට ඔවුන් යාපනයේ ස්ථිර පදිංචියට ගොස් තිබිණ. ඒ සමග ලෙන්ගතුකම් ඉතිරිව තිබුණත් හමුවීම් නොවුනි. අප නැවත හමුවන්නේ අවුරුදු 20 ට පමණ පසු 2002 සටන් විරාම ගිවිසුම අත්සන් කළ පසුව ය. ඒ වනවිට ඔහු එල්.ටී.ටී.ඊ පොලිස්පති ය. ප්‍රභාකරන්ගේ වඩාත්ම විශ්වාසදායි පුද්ගලයා ඔහු යැයි කිලිනොච්චියේ කතා බහ විය. මට එය වැදගත් වූයේ සාම සාකච්ඡා සඳහා අවශ්‍ය අන්‍යෝන්‍ය විශ්වාසය වර්ධනය කිරීමේ හා පරිපාලනමය ගැටළු හදුනා ගැනීමට එවැනි සමීප සබඳතා වැදගත් වූයෙනි.

    අප කාගෙත් ඉරණම් ගමන් තීන්දු වන්නේ අප තීන්දු කරන ප්‍රකාරම නොවේ යැයි මා තේරුම් ගත්තේ යුද්ධයේ අවසාන දින කිහිපයෙහි සුදු කොඩි ඔසවාගෙන යටත් වන්නට පැමිණි එල්.ටී.ටී.ඊ නායක පිරිසක් රජයේ හමුදා විසින් ඝාතනය කෙරුවේ යැයි හා ඒ අතර නඩේසන් හා විනීතාද සිටියේ යැයි වූ ආරංචිය සමග ය. 2002 දෙසැම්බර් ඔස්ලෝ සාම සාකච්ඡා වටයේදී සාමය වෙනුවෙන් ස්ථිර පදනමක් වැටේ යැයි වූ විශ්වාසය සමගින් නොවැම්බරයේදී කිලිනොච්චියෙන් පිටත්වූ මට, නඩේසන් හා විනීතා නැවත කොළඹදී හමුවන්නට ඉරණම් ගමනක් නොවුනි.

    නාට්‍යවේදී සුගතපාල ද සිල්වා

    2002 දෙසැම්බරයේ ශ්‍රී ලංකා ආණ්ඩුව හා එල්.ටී.ටී.ඊය අතර ෆෙඩරල් පන්නයේ විසඳුමකට අත්සන් තැබුණු ඔස්ලෝ ගිවිසුම අකර්මන්‍ය කෙරුණු ගෙවුනු වසර 06 ක පෙරැළිය එවැනි ය. මා හා වික්ටර් අයිවන් සමග ඔස්ලෝ නුවරදි ඇන්ටන් බාලසිංහම් කියූ, “සුගත්ලා (නාට්‍යවේදී සුගතපාල ද සිල්වා) අපි ඒ කාලේ කොළඹ ගත කළ සුන්දර ජීවිතය අපේ තරුණ කොල්ලන්ට අත් විදින්නට ලැබෙන එක තමයි මේ සාකච්ඡාවල වැදගත්ම කාරණාව” දැන් කෙසේ සිදුවේදැයි නොදනිමි.

    kusal perera2

    (සටහන | කුසල් පෙරේරා)
    ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
    [email protected]

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here