තෛපොංගල් දිනය අදයි

0
24

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ.

ලොවපුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සැමරීම සිදුකරනු ලබයි.

සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ විශේෂත්වයයි.

හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද තෛපොංගල් උත්සවයේ දී සිදුකෙරේ.

කිරි උතුරවා යාමට සලස්වමින් සියලුදෙනාට සෞභාග්‍ය උදාවේවා යන්න ප්‍රාර්ථනා කිරීම තෛපොංගල් උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වන අතර මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව ලෙස සැලකේ.

සොබාදහමට කෘතවේදිත්වය දක්වන තෛපොංගල් උත්සවය

මනුෂ්‍යයාගේ පැවැත්ම, සොබාදහම සමඟ බද්ධ වූවකි. සොබාදහමෙන් තොරවූ පැවැත්මක් මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව අනෙක් සතා සිව්පාදීන්ටද කිසිසේත්ම නැත.

එහෙයින් මානව වර්ගයාගේ පැවැත්ම රඳාපවතින සොබාදහමට යම් ආකාරයක කෘතගුණ සැලකීමක් දැක්වීම උදාර මානව චරිත ලක්‍ෂණයක් ලෙස හඳුනාගත හැකිය. එකී උදාරතර වූ කෘතගුණ සැලකීමක් පෙරටුකරගත් උත්සවයක් ලෙස දෙමළ ජාතිකයන් විසින් සමරනු ලබන “තෛපොංගල් උත්සවය” හඳුන්වා දිය හැකිය.

තෛපොංගල් යන්නෙහි අර්ථය

‘තෛ’ යන්න මෙහිදී අර්ථ දෙකක් භාවිත කෙරේ. එහි එක් අර්ථයක් නාමාර්ථයක් වන ‘ජනවාරි මාසය’ හැඟවීමට භාවිත කෙරෙන අතර, අනෙක් අර්ථය ‘මහනවා’ යන ක්‍රියාර්ථය හැඟවීමට භාවිත කෙරේ. ‘පොංගල්’ යනු උතුරා යෑම නොහොත් පිටාර ගැලීමයි (Spill Over) ‘පොංගල්’ යන්න හඳුන්වා දී ඇති විවිධ අර්ථකථන අතර පහත සඳහන්ව ඇති අර්ථකථන ද්විත්වයෙන් එහි අර්ථය මොනවට පැහැදිලි වෙයි.

‘පොංගල් යන්නෙන් දෙමළ භාෂාවෙහි ඉතිරවීම යන්න හැඟවෙයි. අස්වැන්න නෙළන සමයේදී, අලුත් සහල් උතුරා යන තුරු රත් කෙරෙන මෙම චාරිත්‍රය වැදගත් සංස්කෘතික අංගයකි. (INDIAN ART AND CULTURE, Nitin Singhania, Third Edition, 2021)

පොංගල් සැමරීම සිදුකෙරෙන්නේ, දෙමළ තෛ මාසයේ පළමු දින වන අතර එහිදී සහල්, හකුරු හෝ ලුණු එකට පිස හිරු දෙවියන් උදෙසා පූජා කිරීම සිදුවේ.

‘පොංගල්’ යනුවෙන් තමිල්නාඩු වැසියන් මෙම උත්සවය හැඳින්වුවද, බෙංගාල, කේරළ, කර්ණාටක, ඔරිස්සා, මහාරාෂ්ට්‍ර සහ මනිපුර් වැසියන් ‘මකර සංක්‍රාන්තිය’ (Makara Sankranthi) යනුවෙන්ද, ගුජරාටි සහ රාජස්ථාන වැසියන් ‘උත්තරායන’ (Uttarayana) නමින්ද, හිමාචාල් සහ පන්ජාබ් වැසියන් ‘ලොහ්රි’ (Lohri) යනුවෙන්ද මෙම උත්සවය හඳුන්වනු ලබයි.

එසේම ඇසෑම් ප්‍රදේශයේ ‘මැග් බිහු’ හෙවත් ‘භෝගාලි බිහු’ (Magh Bihu or Bhogali Bihu) නමින් හැඳින්වෙන මෙම උත්සවය නේපාලයේ ‘මැග්හේ සංක්‍රාන්ති’ (Maghe Sankranthi) ලෙසින් හඳුන්වනු ලැබේ.

‘අස්වැන්න නෙළීමේ උත්සවය’ නමින් මුල් කාලයේදී ගොවි ජනතාව අතර බහුලව දැකගත හැකිවූ මෙම උත්සවය වර්තමානය වන විට ජාති, කුලභේදවලින් තොරව සමස්ත දෙමළ ජනයාගේ (දෙමළ ජාතිකයන් වාසය කෙරෙන, ශ්‍රී ලංකාව, කැනඩාව, සිංගප්පූරුව, මැලේසියාව, මොරිෂස්, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය ආදී රටවල පවා) ප්‍රධානතම උත්සවයක් බවට පත්ව ඇත.

විශේෂයෙන් දින තුන හතරක් පුරා දිවෙන මෙම උත්සව කාලය ජාතික නිවාඩු දිනයන් ලෙස රජය විසින්ම නම් කර ඇත. තමිල්නාඩුවේ පැවැත්වෙන උත්සව අතර සුවිශේෂ තැනක් තෛපොංගල් උත්සවයට හිමිව ඇත. මෙහිදී ජනවාරි මාසයේ දෙමළ ජාතිකයන් අස්වැන්න නෙළා පාරම්පරික වශයෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවය හඟවනු ලැබේ.

පොංගල් – ඉතිහාසය හා බැඳුණු සාහිත්‍ය කථා

තායි පිරණ්ඩැල් වාලි පිරක්කුම් – තෛ (ජනවාරි) මාසයේ උපත, නව අවස්ථා සඳහා මඟ පාදයි යන්න මූලික තේමාව කරගනිමින්, තමිලර් තිරුනාල් – දෙමළ ජනතාවගේ උත්සවය යනුවෙන් හඳුන්වනු ලබන මෙම උත්සවය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. අවම වශයෙන් වසර 1000ක පමණ ඉතිහාසයක් ඇති මෙම උත්සවය, වසර 2000කටත් වඩා පැරණි යැයි ඇතැමුන්ගේ විශ්වාසයයි. මෙය ජනවාරි මාසයේ 12වෙනි දින සිට 15 වෙනිදා දක්වා සමරනු ලබයි.

මෙම උත්සවයේදී ශිව හා ඉන්ද්‍ර දෙවියන් කැපී පෙනෙන චරිත දෙකකි.

මෙහිදී ශිව දෙවියන්ගේ ගවයා වූ භාසව හා සම්බන්ධ වූ ප්‍රධාන කථා ප්‍රවෘත්තියක්ද හමුවෙයි. එනම්,

දිනක් ශිව දෙවියන් විසින් භාසව නම් ගවයා අමතා පවරන ලද කාර්යයක් වූයේ පෘථිවියට ගොස්,

මිනිසුන්ට තෙල් සාත්තු කිරීම
දිනපතා ස්නානය කිරීම
මසකට වරක් ආහාර ගැනීම
යන පණිවුඩය ලබාදෙන ලෙසයි. එහෙත් භාසවට එය පැටලී,

මසකට වරක් තෙල් සාත්තු කර
මසකට වරක් ස්නානය කරන්න
දිනපතා ආහාර ගැනීම

යන වැරදි පණිඩුඩය ලබා දී ඇත. එයින් උරණ වූ ශක්‍ර දේවේන්ද්‍රයා භාසවට ශාප කළ නිසා මෙම ගවයාට පෘථිවියටම වී මිනිසුන්ගේ භව භෝග කටයුතුවලට ශ්‍රමය ලබාදෙමින් ජීවත්වීමට සිදු වී ඇත.

පොංගල් උත්සවයට ඉන්ද්‍ර (ශක්‍ර) හා ක්‍රිෂ්ණ දෙවියන්ද සම්බන්ධ වේ. ක්‍රිෂ්ණ දෙවියන් ළමා වියේදී දෙවියන්ගේ නායකයා වූ ඉන්ද්‍ර දෙවියන්ට පාඩමක් කියාදීමට සිතා, ගොපලු ජනයා අමතා ඉන්ද්‍ර දෙවියන්ට වැඳුම් පිදුම් කිරීමෙන් වළකින ලෙසට පවසා ඇත. ඉන් බලවත් සේ කිපුණු ඉන්ද්‍ර දෙවියන් වළාකුළු හා අකුණු ඉදිරියට යවමින් අඛණ්ඩව දින තුනක් මුළුල්ලේ ධාරානිපාත වර්ෂාව වැස්සවීමට සලස්වා ඇත. එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ක්‍රිෂ්ණ දෙවියන් ගොවර්ධන් කන්ද :ඵදමබඑ ඨදඩ්රාය්බ* ඔසවා ඉන්ද්‍රයන්ගේ වර්ෂාවෙන් මනුෂ්‍ය වර්ගයා මුදා ගෙන ඇත.

තෛපොංගල් උත්සවය

තෛපොංගල්හි ප්‍රධාන වශයෙන් දින සතරක් දැකගත හැකිය. එනම්,

පළමු දිනය – භෝගි (Bhogi)
දෙවන දිනය – පොංගල් (Pongal)
තෙවන දිනය – මාට්ටු පොංගල් (Mattu Pongal)
අවසාන දිනය – කාණුම් පොංගල් (Kaanum Pongal) යනුවෙනි.


උත්සවයට පෙරාතුව ස්වකීය ගේ දොර ශුද්ධ පවිත්‍ර කොට ඒ සඳහා සූදානම් වන දෙමළ ජාතියකන්, භෝගි ලෙස හඳුන්වනු ලබන පළමු දිනයේදී තමන් පරිහරණය කළ ඇඳුම් පැළඳුම් ආදිය පුළුස්සා දමා පරණ අවුරුද්දේ අවසානය සනිටුහන් කිරීම සාමාන්‍ය චාරිත්‍රයයි. එය වර්තමානය වන විට යම් ආකාරයක වෙනසක් දැකගත හැකිය.

පොංගල් නමින් හැඳින්වෙන දෙවන දිනය මෙම උත්සවය සැමරීමේ ප්‍රධානම දිනයයි. මෙය සර්කරෛ, වීඩු පොංගල් යනුවෙන්ද හඳුන්වනු ලබයි. අලුත් මුට්ටියක බත්, හකුරු හා නැවුම් එළකිරි දමා උතුරා පිසගනු ලබන ආහාරයට පසුව දුඹුරු සීනි, කජු හා වියළි මිදි යොදා අලංකරණය කරගනු ලබයි. මෙහිදී මෙම උත්සවය සඳහා ‘පොංගල්’ යන නාමය ලැබී ඇත්තේ උතුරා යාමේ චාරිත්‍රය මුල්කරගෙනය.

මෙසේ පිසගන්නා ආහාරය උතුරා යෑමේදී දෙමළ ජනතාව සම්ප්‍රදායක් වශයෙන් ‘පොංගලෝ පොංගල්’ යන්න කෑ ගසමින් සන්ගු යන සංගීත භාණ්ඩය ද වාදනය කරනු ලබයි. මෙයින් බලාපොරොත්තු වෙන්නේ නව වසර සෞභාග්‍යවත් වසරක් බවට පත් කර ගැනීමයි.

අනතුරුව මෙහිදී පිසගනු ලබන ආහාරයෙහි පළමු කොටස සූර්ය උදාවත් සමඟම, මෙතෙක් ස්වකීය ජීවිතවලට ලබාදුන් සහයෝගයට ස්තූති කරමින් සූර්යයාට හා ස්වභාව ධර්මයට පුදනු ලබයි. ඉන් අනතුරුව ඉතිරි කොටස නිවැසියන් සමඟ බෙදාගනු ලැබේ. මෙහිදී අනෙකාට සුබපැතුම් එක්කිරීම හා නෑගම් යාම වැනි ලක්ෂණ ද දැකගත හැකිය. වඩේ, මුරුක්කු හා පායාසම් විශේෂ වූ රසකැවිලි සාදනු ලබයි.

මාට්ටු පොංගල් යනුවෙන් හැඳින්වෙන තෙවන දිනය විශේෂ වශයෙන් වෙන්වී ඇත්තේ ගවයන්ට තුති පිදීම සඳහාය. කෘෂිකර්මාන්තයේදී, ගවයන් තමනට ලබාදුන් දායකත්වයට කෘතගුණ දක්වමින් එකී සේවය ඇගයීම මූලික පරමාර්ථයයි. එසේම තමන්ගේ අස්වැන්න නෙළා ගැනීමේදී උදව් උපකාර කළ හිතමිත්‍රාදීන්ට ද කෘතගුණ සැලකීම ද මෙදින සිදු කරනු ලබයි.

මෙහිදී ගවයන් නෑවීම, මල්මාලා – සීනු හා තීන්ත භාවිත කරමින් අලංකාර කරන අතර, ඇතැමුන් රත්තරන් හා තඹ කොපු යොදා ගනිමින් ගවයන්ගේ අං සැරසීම ද කරනු දැකගත හැකිය. මෙදින විශේෂයෙන් ගවයන්ට නිදහසේ සැරිසැරීමට ඉඩ ලැබෙන අතර විශේෂ රසකැවිලි වර්ග ද දෙනු ලබයි. ඇතැම් ප්‍රදේශවල ‘ජල්ලි කාට්ටු’ නම් වූ මී හරකුන් හීලෑ කිරීමේ තරඟ ද පවත්වනු ලබයි.

කාණුම් පොංගල් ලෙස හඳුන්වනු ලබන තෙවන දිනයේදී දෙමළ ජනතාව ස්වකීය නෑදෑ හිතමිත්‍රාදීන් බැලීමට යෑම සාමාන්‍යයෙන් සිදු වෙයි. නාගරික ජනතාව නිවසින් පිටත යම් යම් ස්ථානවලට ගොස් විනෝදකාමීව කාලය ගත කරනු ලබයි.

කෝලම් ලෙස හැඳින්වෙන විශේෂ සැරසිලිවලින් ගෙමිදුල් අලංකරණය කර තිබෙනු අපට බහුල වශයෙන් දැකගත හැකිය.

දෙමළ ජාතිකයන් විසින් තෛපොංගල් උත්සවයෙන් සෞභාග්‍යය, සතුට, සමගිය, අන්‍යොන්‍ය සුහදත්වය වඩා වර්ධනය කරගැනීම හා කෘතවේදීත්වය පළ කිරීම අරමුණු කොටගෙන මහත් උත්සවශ්‍රීයෙන් සමරනු සමරනු ලබයි.

දකුණු ඉන්දියාවේ මහා කවියා ලෙස හැඳින්වෙන ‘මහාකවි භාරතියාර්’ මෙම උත්සවය සම්බන්ධයෙන් දක්වා ඇති අදහසක් මෙසේය.

‘උළවුක්කුම් තොළිලුක්කුම් වන්දනැ සෙය්වෝම් – වීණිල් උණ්ඩු කළිත්තිරුප්පෝරැ නින්දනැ සෙය්වෝම්’

(භාරතියාර් කවිදෛහළ්, සුදන්දිරප් පල්ළු 4, පිට 38)
සී සෑමටත් රැකියාවටත් වන්දනාමාන කරමු. අප එයට නින්දා කරන්නවුන් පැත්තකට කරමු.

මෙයින් කෘෂිකර්මාන්තය හා සම්බන්ධ කාරණාවලදී සාමාන්‍ය ජනතාව තුළ පැවති ආකල්පයන් මැනවින් අවබෝධ කරගත හැකිය.

සාම්ප්‍රදායිකත්වයට ගරුකරමින්, තෛපොංගල් උත්සවය හා සම්බන්ධයෙන් සිදුකෙරෙන චාරිත්‍රයන් අද දක්වාම දෙමළ ජාතිකයන් විසින් පවත්වාගෙන යන අයුරු සියසින් දැකබලා ගැනීමට හැකියාව ලැබීමෙන් මෙය වඩාත් ප්‍රත්‍යක්‍ෂ වූ බවද මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය.

අන්තර්ජාලය හා පොත පත ඇසුරිනි

(divaina | උඩගලදෙණියේ ධම්මවිමල)
ඉන්දියා – භාරතියාර් විශ්ව විද්‍යාලයේදීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here