උපතින්ම අතක් අහිමිව රටක් ජය ගන්න වෙර දරන දියණියක්

    0
    24

    ඇය මෙලොව එළිය දකින්නේ වම් අතෙන් කොටසක් නොමැතිවය. නමුත් ඇය වයසින් වැඩෙද්දී තමන්ට අහිමිවූ අතේ අඩුව නොසලකා හරිමින් ජීවිතය ජය ගැනීමට ඉටා ගත්තාය. අද වන විට ඇය දෛවයට සරදම් කරමින් මලල ක්‍රීඩිකාවක් ලෙසින් ජයකෙහෙලි නංවමින් සිටින අතර, අාබාධිත අතේ වැළමිට සන්ධියේ සහයත් ලබාගනිමින් ගෙදරදොරේ වැඩපළ කිරීමට අමතරව මවුපියන්ගේ ගොවිතැන් වැඩවලටත් නන් අයුරින් සහය දෙන ඌව පරණගම සඳුනි ස්වර්ණමාලි දෙඅත් ඇති අප කාටත් ලබාදෙන්නේ කදිම ආදර්ශයකි.

    දෛවයට සරදම් කරමින් ජීවිතය ජය ගැනීමට වෙර දරන ඌව පරණගම, වැලිඋල්ල පදිංචි ජේ.ඇම්. සඳුනි ස්වර්ණමාලිගේ වයස අවුරුදු 22කි. පාසලේ 06 වන පන්තියේදි ගුරුවරුන්ගේ මඟ පෙන්වීම මත දිවීම හා දුර පැනීම වැනි ක්‍රීඩාවලට යොමු වූ ඇය, අද වන විට ජාතික ආබාධිත මලල ක්‍රීඩා තරගවලින් මීටර් 100 මීටර් 200 හා දුර පැනීම යන ඉසව් ත්‍රිත්වයෙන්ම ජාතික ශූරතාව හිමි කර‍ෙගන සිටින්නීය. මෙයට අමතරව නි‍ෙවසේ සියලුම වැඩ කටයුතුවලට අමතරව පියා සමඟ එක්ව එළවළු වගාවේද නියැළෙන්නීය. අතපය සතරම නිසි ලෙසට තබාගෙන තමන්ට ජීවත් වීමට අනුන්ගෙන් යැපීමට විවිධ කරුණු කියමින් බැගෑපත් වන සැමට මෙන්ම සමස්ත ජනතාවටම සඳුනි ලබාදෙන්නේ කදිම ආදර්ශයකි. “මගේ අප්පච්චි ජේ.ඇම්. චන්ද්‍රසිරි බණ්ඩාරයි. අම්මා කේ.ඇම්. ඉන්ද්‍රාකුමාරියි. මගේ මල්ලිගේ නම කල්හාර. මගේ මවුපියන් ගොවිතැන් කරන අතර, අම්මා පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගනිමින් සිටිනවා. මම දැනට ඌවපරණගම ආබාධිත සංගමයේ ලේකම්වරිය ලෙසටත් කටයුතු කරනවා. කුමන හෝ හේතුවක් මත මම ඉපදෙන්නේ වම් අතේ වැළමිට සන්ධියෙන් පහළ කොටස නැතිවයි. මේ නිසා මවුපියන් දැඩි මානසික පීඩාවකට පත්ව සිටියා. මුල් කාලයේදී මගේ අතේ අඩුව නිසා මගේ වැඩ කර ගැනීමට නොහැකිව මානසිකව පීඩාවකට පත්ව සිටියා. නමුත් මවුපියන්ගේ ද සහාය ඇතිව මම ක්‍රමයෙන් ඊට මුහුණ දීමට හුරුපුරුදු වුණා. අනෙක් සම වයසේ ළමුන් සමඟ දුව පැන සෙල්ලම්ද කළා. ඒ නිසාම මගේ වම් අතේ පහළ කොටසේ අඩුවට එතරම්ම දැනුණේ නෑ.

    මම පාසලේ 06 වන පන්තියේ ඉගෙනුම ලබද්දී ගුරුවරුන් මාව පාසලේ පැවති නිවාසාන්තර තරගවලට ඉදිරිපත් කළා. එහිදී මගේ හැකියා‍වන් දුටු ගුරුවරුන් නිරන්තරයෙන් ක්‍රීඩා තරගවලට යොමුකරමින් මාව දිරිමත් කළා. වැලිමඩ කලාපයේ පාසල් අතර පැවැත්වු මලල ක්‍රීඩා තරගවලදී අතේ ආබාධිත තත්ත්වයේ පසුවන මම ශාරීරික සෞඛ්‍ය‍ෙයන් සම්පූර්ණ තරගකරුවන් සමඟ උරෙන් උර ගැටී තරග වැදී ජය ගත්තා. ඒ අනුව මම මීටර් 100 හා මීටර් 200 කෙටිදුර දිවීම මෙන්ම දුර පැනීමේ තරග ඉසව්වලට ඉදිරිපත් වීමට යොමුවුණා. මෙසේ ක්‍රීඩාවෙන් ජයකෙහෙලි නංවන අතරම මම අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලින්ද ඉහළින් සමත් වුණා. එසේම නි‍වසේ ඉවුම් පිහුම් හා අනෙක් සියලුම වැඩකටයුතු කිරීමටත් හුරු පුරුදු වුණා. මවුපියන්ගේ එළවළු වගා කටයුතුවලටත් සහාය වෙන්න පුරුදු පුහුණු වුණා.

    මෙවැනි පසුබිමකදී අම්මා පිළිකා රෝගයට ගොදුරු වුණා. අම්මා අදටත් පිළිකා රෝගයට ප්‍රතිකාර ලබනවා. අම්මා විසින් එතෙක් ගෙදර අප වෙනුවෙන් සිදු කළ රෙදි සේදීම ඉවුම් පිහුම් ඇතුළු නි‍ෙවසේ සියලුම වැඩ කටයුතු ඉටුකිරීමට මට නිතැතින්ම සිදු වුණා.

    මෙයට අමතරව අප්පච්චිගේ ගොවිතැන්වලටත් උදවු කරනවා. මට කැත්ත, උදැල්ලේ වැඩ කිරීමටත් හොඳ හැකියාවක් තිබෙනවා. මෙවැනි කටයුතු කිසිවකට මගේ වම් අතේ අඩුව කිසිම බාධාවක් කරගෙන නෑ.

    පාසලේ 06 වන පන්තියෙන් ක්‍රීඩාවට පිවිසුණු මම පාසල් මලල ක්‍රීඩා ඇතුළුව සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ආබාධිතයන් වෙනුවෙන් සංවිධානය කර පවත්වන දිස්ත්‍රික් හා ජාතික සෑම තරගයකින්ම මීටර් 100 මීටර් 200 හා දුර පැනීම යන තරග ත්‍රිත්වයට ඉදිරිපත්ව මුල් පෙළේ ජයග්‍රහණ අත්කරගෙන සිටිනවා. ඒ අනුව සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් 2016 හා 2017 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පවත්වන ලද ජාතික ආබාධිත මලල ක්‍රීඩා තරගයෙන් මීටර් 100 මීටර් 200 හා දුර පැනීම (මීටර් 3.88) යන තරග ත්‍රිත්වයෙන්ම පළමු ස්ථානය හිමිකර ගත්තා පමණක් නොව, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයත් මට හිමිවුණා.

    මට විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඉගැන්වීමේ ගුරුවරියක වීමට විශාල ආශාවක් තිබුණා. ඒ අනුව විද්‍යා පිඨ ගුරුවරියක වීමට ඉල්ලුම් කළා. මම සම්මුඛ පරීක්ෂණවලට කැඳවනු ලැබුවා. සම්මුඛ පරීක්ෂණයේදී එම පරීක්ෂකවරුන් කීවේ බඳවා ගැනීමේ ගැසට් පත්‍රයට අනුව මම ලබාගත් සහතිකවලට ලකුණු ලබාදීමට නොහැකි බවයි. මම බත්තරමුල්ල අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අභියාචනයක් ඉදිරිපත් කළා. පිළිතුරක් නැති නිසා මම බත්තරමුල්ල අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ගොස් අදාළ නිලධාරීන් හමු වුණා. ඔවුන් පැවසුවේ බඳවා ගැනීමේ ගැසට් පත්‍රයට අනුව මට උදවු කරන්න බැරි බවයි. ඔවුන් මගේ අතේ පවතින ආබාධය නිසා ගුරුවරියක් ලෙසට බඳවා ගත්තද සාරියක් ඇඳගැනීමේ අපහසුවක් ඇති වන බවත් එනිසා ගුරු තනතුරු සොයා රස්තියාදු වෙන්න එපා කියා පැවසුවා. වයස අවුරුදු 22 පසුවන මම ආබාධිත කියා කිසි විටක පසු බසින්නෑ. සියලුම බාධක වැට කඩුලු කඩාගෙන ඉදිරියට මම යනවා. අද මම පැමිණි ගමන දෙස ආපසු බැලීමේදී නිහතමානීව ආඩම්බරකමකින් ජීවත් වෙනවා.” යැයි දැඩි අධිෂ්ඨානයෙන් සඳුනි පවසා සිටියාය.

    සඳුනි ස්වර්ණමාලි දිරිය දියණියගේ මව වන කේ.ඇම්. ඉන්ද්‍රා කුමාරි මෙසේ පැවසුවාය. “මගේ වැඩිමල් දියණිය වන සඳුනි දුව උපතින්ම ආබාධිත වීම ගැන අපි දැඩිසේ දුක් වුණා. ඇය වයසින් වැඩෙද්දී අතේ අඩුව අමතක කර ගනිමින් ගෙදරදොරේ වැඩ ඉගෙන ගත්තා. අප්පච්චි සමඟ ගොවිතැන් වැඩත් කිරීමට හුරුපුරුදු වුණා. ඇය අද දෙඅත් සහිත පිරිමි ළමයකු ලෙසින් අප්පච්චි සමඟ එක්ව හරි හරියට ගොවිතැන් වැඩවල නියැළෙනවා. ඒ අතර ක්‍රීඩාවෙන් ජයකෙහෙලි නංවන විට අපේ හදවත්වල ඇතිවන ආඩම්බර සතුට කියා නිම කරන්න බෑ.” ඇගේ පුහුණුකරු මෙන්ම වැලිමඩ ක්‍රීඩා නිලධාරි ප්‍රසාද් විජේතුංග මහතා, “සඳුනි ස්වර්ණමාලි ක්‍රීඩිකාව කුමාර පට්ටිය රාජකීය විදුහලේ ඉගෙනුම ලබන අතරවාරේදී 17න් පහළ ක්‍රීඩිකාවක් ලෙසින් මා යටතේ පුහුණුව ලබනවා. ඇය ඉතාමත් දක්ෂතා සහිත අභියෝගවලට නොබියව මුහුණ දෙනවා. ඇය 2025 වසර වෙනුවෙන් බියගම රාජපක්ෂ ක්‍රීඩා පිටියේ පැවැත්වූ ආබාධිතයන්ගේ ජාතික තරගයට ගියේ සෙම් රෝගයත් තබාගෙනයි. ඇය තම රෝගී තත්ත්වය යටතේ මීටර් 100 දුර දිවීම හා දුර පැනීමේ තරග ඉසව්වලට ඉදිරිපත්ව දෙවන ස්ථාන හිමි කරගෙන තිබෙනවා. නමුත් මීටර් 200 දුර දිවීමේ තරගයේ පළමුවෙනියා ලෙසින් තරගය අවසන් කරන්න මීටර් 10ක් පමණ දුර තිබියදී සිහිසුන්ව බිම ඇදවැටීමෙන් ජය පෙනි පෙනී නැතුව ගියා. එසේ සිහිසුන් වූ ඇයට නැවත පියවි සිහිය එන්න විනාඩි 30ක පමණ කාලයක් ගතව තිබෙනවා. එයට හේතුව ඇගේ පෝෂණ ඌනතාවයයි. ඇය වයස අවුරුදු 22ක පසු වුවත් වයසට ගැළපෙන පෝෂණයක් නොමැති සිරුරක් තියෙන්නේ. ඒ අනුව ඇය ක්‍රීඩාවේ දරාගැනීමේ ශක්තියක් පවත්වා ගැනීමට සුදුසු පෝෂණයක් නොමැති තත්ත්වයක සිටයි පුහුණුවීම් හා ක්‍රීඩාවන්ට සහභාගි වෙන්නේ. එයට හේතුව පියා ගොවියකු ලෙසින් උපයා ගන්නා මුදලින් රෝගී බිරියට ප්‍රතිකාර වෙනුවෙන් මුදල් වැය කරන්න සිදු වෙලා. මේ නිසා පවුලේ සාමාන්‍ය වියදමට අමතරව ක්‍රීඩාවේ නියැළෙන දියණියගේ පෝෂණයට අවශ්‍ය අාහාර ලබාදීමේ ගැටලුවක් මතුව තිබෙනවා.”

    මෙම දිරිය දියණියගේ ක්‍රීඩා ජීවිතය ඔප් නංවා ගැනීමට අත දීමට කැමැති අයෙකු සිටීනම් ඇගේ දුරකතන අංක 0789343234ට අමතන්න.

    වැලිමඩ – කේ.ආර්.ආර්. රාජමන්ත්‍රී

    dinamina.lk

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here