උපේන්ද්‍රා සිරිවර්ධන: Voice of Finland ‘ඉතිහාසගත වාර්තාවක්’ තැබූ ශ්‍රී ලාංකික ගායන ශිල්පිනිය

0
45

Voice of Finland වැඩසටහන හරහා ෆින්ලන්තය පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද උපේන්ද්‍රා සිරිවර්ධන නමැති ශ්‍රී ලාංකික සංගීත ශිල්පිනිය එකරැයින් ජනප්‍රියත්වයක් ලැබුවා ය.

ඒ, එම වැඩසටහනේ Blind Audition අදියරේදී විනිසුරුවරුන් සිව් දෙනාගේ ම කැමැත්ත ලබා ගනිමින් ඔවුන්ගේ අගැයීමට ලක්වීම හේතුවෙනි.

ඇය එහිදී ගායනා කළේ, ‘හිතක පිපුණු මල්’ නමැති චිත්‍රපටයේ ඇතුළත් වූ වැදි ගී ඇසුරින් නිර්මාණය කරන ලද විමල් ජේ. සාගර ගායනා කළ, ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවත් කළ ‘මාමිනි මා දෙයියා’ නමැති ගීතය යි.

Voice of Finland නිල ෆේස්බුක් පිටුවෙහි පළ කර ඇති ඇය එහිදී කළ ගායනය ඇතුළත් වීඩියෝව මේ වන විය මිලියන 1.1 වාරයක් නරඹා තිබේ.

ශ්‍රී ලංකාවේ සංගීත සම්ප්‍රදාය ජාත්‍යන්තර තලයට ගෙන ගිය උපේන්ද්‍ර සිරිවර්ධන ෆින්ලන්තයේ සිට බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් විය.

උපේන්ද්‍රා තැබූ වාර්තාව

වසර 14ක් පුරා පැවැත්වෙන Voice of Finland වැඩසටහනේ වාර්තාවක් පිහිටුවීමට උපේන්ද්‍රාට පළමු වටයේදී ම හැකි විය.

ඒ, ඇය පවසන පරිදි මෙතෙක් Voice of Finland වැඩසටහන් ඉතිහාසයේ ගායනය ආරම්භ වී අඩු ම කාලයක් තුළ විනිසුරුවරයෙකු හැරී කැමැත්ත පළ කර ඇත්තේ, ඇයට ය.

ඇය ගායනය අරඹා තත්පර 5ක් තුළ විනිසුරුවරයෙකු හැරී කැමැත්ත පළ කරන අයුරු වීඩියෝවෙන් දැකගත හැකි ය.

“මේක මම විතරක් නෙවේ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ම ලබපු ජයග්‍රහණයක් කියල යි මට හිතෙන්නේ. මොක ද ඒ රටේ සංගීතඥයෝ ශ්‍රී ලංකාවේ ජන සංගීතය ශෛලිය ගැන දැන ගත්තා ඒ හරහා. ඒ වගේ ම ඔවුන් ඒ සංගීත ශෛලිය ගොඩක් අගය කළා. ඒ ගැන මට ගොඩක් සතුටු යි,” උපේන්ද්‍ර සිරිවර්ධන පැවසීය.

කවුද මේ උපේන්ද්‍රා සිරිවර්ධන?

This image has an empty alt attribute; its file name is image-200.png
උපේන්ද්‍රා සිරිවර්ධන

මොනරාගල ප්‍රදේශයේ උපත ලබා ඇති උපේන්ද්‍රා සිරිවර්ධන, අපොස සාමාන්‍ය පෙළ මොනරාගල රාජකීය ජාතික පාසලෙන් ද, උසස් පෙළ මොනරාගල මහානාම ජාතික පාසලෙන් ද හැදෑරීය.

ඇයගේ පියා සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යන අතර, මව ගෘහණියකි.

පියාගේ ද ආභාසය සහිතව ඇය සංගීතය හැදෑරීම ආරම්භ කර ඇත්තේ, 3 හැවිරිදි වියේ සිට ය.

පාසල් අධ්‍යාපනය නිම කර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඇය, 2016 වසරේදී ප්‍රාසංගික කලා විශේෂ උපාධියක් හිමි කර ගත්තා ය.

ඇය පසුව ගුරු වෘත්තිය තෝරා ගත් අතර, පළමු පත්වීම ලැබුණේ, ඇතිමලේ මධ්‍ය මහා විද්‍යාලයට ය. ඉන්පසු ඇය විවාහ වීමෙන් පසුව, වාද්දුව ප්‍රදේශයේ පදිංචි වූ අතර, මග්ගොන ශාන්ත මරියා විද්‍යාලයේ සංගීත ගුරුවරියක ලෙස සේවය කළා ය.

ෆින්ලන්තයට ගියේ ඇයි?

ඇය තමන්ගේ ගුරු රැකියාව ද අතහැර ෆින්ලන්තයට ගොස් ඇත්තේ, සැමියාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙනි.

Voice of Finland වැඩසටහන සඳහා අයැදුම් කිරීමට ඇයට සිතිවිල්ලක් පහළ වී ඇත්තේ, එහි සිටියදී ය.

ජාත්‍යන්තර තලයේ ගායිකාවක් විදිහට ගොඩ නැගෙන එක පොඩි කාලේ ඉඳලා තිබුණ ආසාවක්. ඒකට මං පොඩි කාලෙ ඉඳල මහන්සි වුණා. අවුරුදු තුනේදි තමයි සංගීතය ඉගෙන ගන්න පටන් ගත්තේ. මේ තැනට එන්න මං ගොඩක් මහන්සි වුණා. ෆින්ලන්තයට ආවට පස්සෙ මට හිතුණා දැන් වෙන රටකට ඇවිත් ඉන්න එකේ, මම ඒකට අයැදුම් කරන්න ඕනෙ කියලා. මගේ ගමන යන්න පළවෙනි පියවර හරි තියන්න ඕනෙ කියලා මම හිතුවා. ඒ හරහා තමයි, Voice of Finland තරගයට අයැදුම් කළේ,” උපේන්ද්‍රා පැවසීය.

විනිසුරුවරුන්ගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාර

Blind Audition අදියරේදී උපේන්ද්‍රා සිරිවර්ධනට ලැබුණු උණුසුම් ප්‍රතිචාර පිළිබඳව ද ඇය පැහැදිලි කළා ය.

“එක විනිසුරුවරියක් කිව්වා ඇයට මගේ ගායනය ගැන කියන්න වචන ගලපගන්න බෑ කියලා. ඒ තරම් ගායනය විශිෂ්ට යි කියලා ඇය කිව්වා.”

“තව කෙනෙක් කිව්වා මම කවුද කියල බලාගන්න ඕන වුණ නිසා හැරුණා කියලා. මේ සංගීත ශෛලිය ගැන ඔහු දන්නෙ නැති නිසා මාත් එක්ක එකතු වෙලා අපේ සංගීතය ඉගෙන ගන්න, එකට වැඩ කරන්න කැමති යි කිව්වා.”

“මගේ ගායනය හරහා විවිධ සංගීත රටාවල් මැවුණා කියල තවත් විනිසුරුවරියක් කිව්වා.”

“ඔවුන්ගේ අගැයීම සහ මගේ ගායනය පිළිගැනීම මම ලොකු භාග්‍යයක් විදිහට දකිනවා. ඔවුන්ට අපේ සංගීතය අගය කරන්න තරම්, රස විඳින්න තරම් මගේ ගායන හැකියාව වගේ ම සංගීත ශෛලියටත් ඔවුන් කැමති වුණා. ඒක ඉතා ඉහළින් අගය කළා. ඒක මට වගේ ම ලංකාවේ සංගීත සම්ප්‍රදායට ලැබුණ ලොකු ජයග්‍රහණයක් කියල මම හිතනවා. ලංකාවේ ජන ගී නාද මාලාවක් තියෙන නිසා ඒ ගීතය ගයපු එක වටිනවා.”

‘ඊළඟ වටවලින් ජය ගැනීම අභියෝගයක්’

“මම දැන් ෆිනිෂ් භාෂාව හදාරමින් ඉන්නවා. ඒක හරි ම අමාරු භාෂාවක්. කොහොම හරි මම දැන් 30%ක් විතර තේරුම් ගන්න පුළුවන් තරම් ඉගෙනගෙන තියෙන්නේ,” උපේන්ද්‍රා පැවසීය.

මේ අතර, ඇය සඳහන් කළේ, තරගයේ ඉදිරි වටවලදී බොහෝවිට ෆින්ලන්ත භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ගායනා කිරීමට සිදුවනු ඇති බව ය.

“ඊළඟ වටවලදී එස්.එම්.එස්. හරහා තමයි ජයග්‍රහණය තීරණය වෙන්නේ. ඒ නිසා වෙනත් රටක කෙනෙකුට කැමැත්ත පළ කරයි ද කියන අභියෝගය තියෙනවා. මොනවා වුණත් ෆින්ලන්තයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ මට ගොඩක් උදව් කරනවා. මම උත්සහය අත හරින්නෙ නෑ.”

(සටහන | කුමුදු ජයවර්ධන)
BBC සිංහල සේවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here