ලංකාවේ සිසුන් පාසල් කාලය පුරා අත්විඳින දැඩි බුද්ධිමය සීමාවන් කෙතරම් විනාශකාරීද යත්, විශ්වවිද්‍යාලයට පැමිණෙන සිසුන්ගෙන් ‘ඔබ සිතන්නේ කුමක්දැයි?’ ඇසූ විට ඔවුන් ව්‍යාකූල වන බවත්, ඊට හේතුව, පාසල් අධ්‍යාපනයේ වසර 13 තුළ, කිසිවකු ඔවුන්ගෙන් ඒ ප්‍රශ්නය නොවිමසීම බවත් ආචාර්ය ප්‍රභා මනුරත්න ප්‍රකාශ කරයි.
ඉගෙනීම සඳහා වඩාත් ශිෂ්‍ය කේන්ද්‍රීය, අන්තර්කරණ ප්‍රවේශයක් කරා මාරුවීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ආචාර්ය මනුරත්න, අධ්‍යාපන ක්‍රමයේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතු බවද පෙන්වා දෙයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රිසි අධ්‍යයනාංශයේ හිටපු මහාචාර්ය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වූ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රභා මනුරත්න මේ අදහස් පළ කළේ, මාර්තු 11 වැනිදා කොළඹ පදනම් ආයතනයේදී පැවති, “ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති, ප්‍රතිපත්ති රාමු සහ ප්‍රතිසංස්කරණ යෝජනා පිළිිබඳ විශ්ලේෂණ වාර්තාව” එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.

අධ්‍යාපන සංවර්ධන සන්ධානයේ (CED) ආරාධනයෙන්, අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය ජයන්ත බාලසූරිය විසින් සම්පාදන කරන ලද “Analysis of Education Policies, Policy Frameworks, and Reform Initiatives in Sri Lanka: Strength, Relevance, and Gaps in Education Policies and Policymaking” නමැති මෙම වාර්තාව, නිදහසට පෙර යුගයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශ්ලේෂණයට ලක් කරමින්, අනාගත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අවධානය යොමු විය යුතු වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරයි.
වාර්තාව එළිදැක්වීමේ අවස්ථාව අමතමින් ආචාර්ය ජයන්ත බාලසූරිය සහ ආචාර්ය ප්‍රභා මනුරත්න අදහස් දැක්වූ අතර ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් අධ්‍යක්ෂ ජයනි ප්‍රසංගිකා, ශ්‍රී ලංකා තිරසර සංවර්ධන සභාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ චමින්ද කේ. උඩකුඹුර, හිටපු අමාත්‍යාංශ ලේකම් එස්. රනුග්ගේ ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ප්‍රතිපත්ති සැලසුම් අධ්‍යක්ෂවරයකුද වන ආචාර්ය ජයන්ත බාලසූරිය සිය ඉදිරිපත් කිරීමේදී අවධාරණය කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකදී සියලු පාර්ශ්වවල පුළුල් නියෝජනයක් තිබිය යුතු බවයි. අධ්‍යාපන ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ පුළුල් සමාජ ප්‍රතිසංස්කරණවලින් හුදකලා නොවිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. “අධ්‍යාපන ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සමාජ ප්‍රතිසංස්කරණයේ කොටසක් විය යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඕනෑම ප්‍රතිපත්තියක් හෝ ප්‍රතිසංස්කරණයක් එක රැයකින් ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ සඳහා ප්‍රවේශමෙන් සැලසුම් කිරීම, ප්‍රමාණවත් සම්පත් සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අවශ්‍යයි” ඔහු පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික අරමුණු සමග මෙන්ම, ජාත්‍යන්තරව එකඟ වූ සහස්‍ර සංවර්ධන ඉලක්ක (MDGs), සැමට අධ්‍යාපනය (EFA), තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ විවිධ ළමා ආරක්ෂණ ප්‍රඥප්ති වැනි ගෝලීය රාමු සමඟ සමපාත විය යුතු බවත්, තිරසාර ප්‍රතිසංස්කරණයක් සඳහා දේශපාලන චක්‍රවලින් ඔබ්බට කැපවීමක් අවශ්‍ය වන බවත් හෙතෙම අවධාරණය කළේය. නව ප්‍රතිසංස්කරණයක් සඳහා පූර්ව ප්‍රතිසංස්කරණ පිළිබඳ අත්දැකීම් සැලකිල්ලට ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ආචාර්යවරයා, මෙම වාර්තාව ඒ සඳහා පදනමක් වනු ඇති බවට විශ්වාසය පළ කළේය.
මෙවැනි වාර්තාවක් සම්පාදනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් කරුණු දැක්වූ ආචාර්ය ප්‍රභා මනුරත්න, පවතින අධ්‍යාපන ක්‍රමයෙහි පූර්ණ ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ, විෂයමාලා සංවර්ධනය සඳහා සිසුන් සම්බන්ධ කර නොගැනීම බරපතළ දුබලතාවක් බවත්, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඇතුළු සමස්ත යාන්ත්‍රණයම අසාර්ථක බවත් ඇය පැවසුවාය. “අපේ අධ්‍යාපන ක්‍රමය තුළ, කිසිම අවස්ථාවක සිසුන්ගෙන් අහන්නෙ නැහැ, ඔවුන්ගේ විෂය මාලාවෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලා. ඔවුන්ගේ අදහස්වලට කිසිම ඉඩක් නැහැ.”

පාසල් කාලය පුරා සිසුන් අත්විඳින දැඩි බුද්ධිමය කොන්දේසි පිළිබඳව, ආචාර්ය මනුරත්න ගැඹුරු කනස්සල්ල පළ කළාය:
“අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ, විශාලතම අභියෝගය ඉගැන්වීම නොව උගත් දේ බැහැර කිරීමයි (unlearning). පළමු අධ්‍යයන වාරයේදී මම උත්සාහ කරන්නේ මගේ සිසුන් පාසලේදී ඉගැන්වූ දෙයින් නිදහස් කරන්න. ඔවුන් පාසලේදී වර්ධනය කරන බුද්ධිමය හා මානසික පුරුදු කොතරම් විනාශකාරීද කියනව නම්, මම ඔවුන්ගෙන් ‘ඔබ සිතන්නේ කුමක්ද?’ කියල ඇහුවම ඔවුන් ව්‍යාකූල වෙනවා. ඒකට හේතුව, පාසල් අධ්‍යාපනයේ වසර 13 තුළ, කිසි කෙනෙක් ඔවුන්ගෙන් එහෙම අහල නැහැ. සිසුන්ගෙ විතරක් නෙවෙයි ගුරුවරුන්ගෙ තත්ත්වෙත් ඒකමයි. මේක වෙනස් වෙන්න ඕන. මම ඉල්ලන්නෙ, ගුරු පුහුණු විද්‍යාලවල අවම වශයෙන් එක් ආරාධිත දේශනයක්වත් පවත්වන්න කියලා”
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මූලික අභියෝග පිළිබඳව සඳහන් කළ ආචාර්ය මනුරත්න, ප්‍රතිපත්ති සාකච්ඡාවලින් ඔබ්බට ගිය සැබෑ ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව සහ ඉගෙනීම සඳහා වඩාත් ශිෂ්‍ය කේන්ද්‍රීය, අන්තර්කරණ ප්‍රවේශයක් කරා මාරුවීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය.
මෙම වාර්තාව එළිදැක්වීම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ දිගුකාලීන අභියෝගවලට මුහුණ දීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි. අතීත ප්‍රතිපත්ති අසාර්ථකත්වයන් විවේචනාත්මකව විශ්ලේෂණය කිරීමෙන් සහ සියල්ල ඇතුළත් සහ හොඳින් ව්‍යුහගත ප්‍රතිසංස්කරණ සඳහා ඇති අවශ්‍යතාව ඉස්මතු කිරීමෙන්, මෙම අධ්‍යයනය රටේ අධ්‍යාපනයේ අනාගතය හැඩගැස්වීම සඳහා වටිනා අවබෝධයක් ලබා දෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන කොමිසම ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන්, මෙම මුලපිරීම අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වඩාත් ඵලදායී සහ තිරසාර ප්‍රවේශයක් පෝෂණය කිරීම අරමුණු කරයි.

ඉංග්‍රිසි භාෂාවෙන් සම්පාදනය කෙරුණු මෙම වාර්තාවේ සිංහල හා දෙමළ පරිවර්තනද ළඟදීම එළිදැක්වීමට නියමිත බව අධ්‍යාපන සංවර්ධන සන්ධානයේ සභාපති ආචාර්ය චන්දන බණ්ඩාර සඳහන් කළේය.
