ලිංගික අපරාධකරුවන්ට දඬුවම් දීමෙන් නොනැවතී ගතයුතු ඉදිරි පියවර ! – Free Women

0
26
| නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සංවිධායක ලේකම් හේමමාලී අබේරත්න

ලිංගික අපරාධකරුවන්ට දඬුවම් දීමෙන් නොනැවතී හිංසකයන් බිහිකරන අපරාධකාරී සමාජය වෙනස් කලයුතු බව ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ අවධාරණය කර සිටියි.

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් අපයෝජනය වීම සම්බන්ධයෙන් ”නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය” (Free Women!) අද ( 12 ) දින පස්වරු 12.00ට නුගේගොඩ දී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එම ව්‍යාපාරයේ සංවිධායක ලේකම් හේමමාලී අබේරත්න එබව සඳහන් කළාය.

හේමමාලී අබේරත්න එහිදී මෙසේද පැවසුවාය.

කාන්තාවන් සමාජය තුළ අනාරක්ෂිතයි කියන කාරණය නැවත වටයකින් තහවුරු වුනා…

”අනුරාධපුර රෝහලේ සිදුවීමත් එක්ක කාන්තාවන් සමාජය තුළ අනාරක්ෂිතයි කියන කාරණය නැවත වටයකින් තහවුරු වුනා. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර හැම තප්පරේකදිම හැම විනාඩියකදීම මෙවැනි සිදු වීම් වෙනවා.

නමුත් ඒ ගැන සමාජයක් සංවේදී වෙන්නේ මේ වගේ කලාතුරකින් අවස්ථාවක විතරයි. 1971 මනම්පේරී සහෝදරිය බරපතළ ලිංගික හිංසනයන්ට ගොදුරු කරලා ඝාතනය කිරීම, ඊලඟට කෝනේශ්වරීලා, ඉස්ප්‍රියාලා, අපයෝජනය කරලා ඝාතනය කිරීම මේ හැම එකක් පිටිපස්සෙම එක පෙළට දිවයන කතාව තමයි කාන්තාව මේ සාමාජය තුළ අතිශයින් අනාරක්ෂිතයි කියන කතාව. මේ වර්තමානයේ දී අපිට අහන්න ලැබුණු සේයා සදෙව්මි, විද්‍යා සිවලෝකනාදන් වැනි ගැහැනු දරුවන්ගේ සිද්ධීන්වලත් තියෙන්නේ ඒ කතාවම තමයි.

අපරාධකරුට දඬුවම් දීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳෙයි සහ වින්දිත කාන්තාවන්ට යුක්තිය සහ සාධාරණය ඉෂ්ඨ වෙයි කියන මතයේ තමයි සමාජයේ බහුතරයක් ඉන්නේ. අපි පිළිගන්නවා මෙවැනි අමානුෂික සිද්ධීන්වලට සම්බන්ධ සියල්ලන්ටම දඬුවම් ලැබෙන්න ඕන. හැබැයි ඒ දඬුවම් දීමෙන් විතරක් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නෑ. මේ මොහොතෙත් බස් රථය තුළ, කෝච්චිය තුළ, මහපාරේ, වැඩ් බිමේ, පාසලේ හැම තැනකදිම කාන්තාවන්ගෙන් 90%ක් අපයෝජනයන්ට විවිධ හිංසනයන්ට ලක් වෙනවා. මෙන්න මේ තත්වය වෙනස් කරන්නේ කොහොමද ? කාන්තාව ඒ හිංසනයන්ගේ ගොදුරක් වීම නවත්වන්නේ කොහොමද ? කියන සාකච්ඡාව තමයි අපි ගන්න ඕන.

2021 අවුරුද්දෙ විතරක් රට ඇතුළේ දරුවන් අපයෝජනය වීම් 11,000ක් වාර්තා වෙනවා. ඒ සිද්ධිවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගියාම ඒ අතරතුරත් වෙන්නේ ඒ දරුවන් තව තවත් කායික සහ මානසික හිංසනයන්ට ලක් වීම, සමහරවිය වයස 7දි 8දි වෙන සිද්ධියක නඩු අහල තීන්දුව ප්‍රකාශ කරද්දි ඇගේ වයස අවුරුදු 20යි. ඒකට හේතුව තමයි කාන්තා හිංසන සහ අපයෝජන සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීතය ඉතාම ලිහිල්. ඒ නීතියෙන් පවා වෙන්නේ වින්දිතයා පීඩාවට පත් වෙන එක. අපරාධකරු හිඩැස් වලින් රිංගලා බේරෙනවා. මෙවැනි සිදුවීමකදි ඒ සිද්ධියට මුහුණ දුන්න කාන්තාවට පොලිසියේදි රෝහලේදි අධිකරණයේදී නැවත නැවත ඒ පිළිකුල්සහගත සිද්ධිය ගැන කියන්න වෙනවා. ඒ නිසාම ඇයට ඇතිවන මානසික බලපෑම මොනතරම් ද කියලා අපිට ගණනය කරන්න පුලුවන් ද ? පිරිමියෙක් සම්බන්ධයෙන්, ලිංගිකත්වය සම්බන්ධයෙන්, පවුල, නීතිය, ඇතුළු සමස්ත සමාජය සම්බන්ධයෙන්ම කාන්තාව ගොඩනගාගත් විස්වාසය සම්පූර්ණයෙන් අහිමි වෙන විදිහට තමයි අන්තිමට මෙවනි සිදු වීම් විසඳෙන්නේ. ඊටපස්සෙ වෙන්නේ ඇයට මේ සමාජය තුළ විස්වාසයෙන් ජීවත් වෙන්න නොහැකි වීම.

ජාත්‍යන්තර කාන්තා දිනය සමරලා දවස් 4කින් තමයි මේ සිද්ධිය වාර්තා වුනේ. මේ එකක් විතරයි. ජාත්‍යන්තර කාන්තා දිනය දවසෙත් මෙවැනි සිදු වීම් ඕනෑතරම් වෙන්න ඇති. මේ අනුරාධපුර සිද්ධිය වගේම සිද්ධියක් තිලිප්පලේ රෝහලේදිත් වාර්තා වුණා. මේ සිදුවීම් එකින් එක වෙන වෙනම අරගෙන උත්තර හොයනව මිසක් කවුරුත් මේ සියලු සිද්ධීන් එකට අරගෙන එහි සමස්තයට හේතුව හොයන්න සූදානම් නෑ. ප්‍රශ්නයේ සැබෑ මූලය තියෙන්නෙ එතන.

මේ නවලිබර් ආර්ථිකය තුළ කාන්තාව කියන්නේ තවදුරටත් වෙළඳභාණ්ඩයක් විතරයි. ඇයගේ මානුෂීය අයිතිවාසිකම් අහිමි කරලා ඇය පුරුෂයා යටතේ ජීවත් විය යුතුයි කියන තැනට තමයි සමාජය පත් කරල තියෙන්නේ. කාන්තාවට ස්වාධීනව තීරණ ගන්න තියෙන අයිතිය පවා සමාජයෙන් අහිමි කරලා ඉවරයි. පාසලේ, වත්තේ ලැයිමේ, මැද පෙරදිග සේවයේදි පවා ඇය හිංසනයට සහ පීඩාවට ලක් වෙන්නේ මෙන්න මේ සමාජ ක්‍රමය නිසා.

දැන් ආණ්ඩුව කියනවා අපි හිංසනයට ගොදුරු වුණ කෙනාගේ අනන්‍යතාවය ආරක්ෂා කරන්න මැදිහත් වෙනවලු. අපි කියනවා ඔව් ඒක හොඳයි. නමුත් අන්න්‍යතාවය ආරක්ෂා කිරීමෙන් විතරක් කාන්තාවට යුක්තිය ඉටු වෙන්නෙ නෑ. ඒ යුක්තිය ලැබෙන්නේ කාන්තාවන් හිංසනයනන්ට පීඩාවන්ට ගොදුරු කරන මේ සමාජ ආර්ථික දේහය වෙනස් කිරීමෙන්. ඒ සඳහා මැදිහත් වෙමු කියන යෝජනාව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විදිහට අපි ඔබට කරනවා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here