ජවිපෙ හවුල් වී දියත් කළ යුද්ධයේ විනාශය ගැන ජාජබ ආණ්ඩුවේ අගමැතිනි දුක් වෙයි

0
25

උතුරේ දියත් කළ යුද්ධයේදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මුළුමනින්ම සහාය දුන් ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග රජයේ අගමැතිනිය යුද වින්දිත කාන්තාවන් සම්බන්ධයෙන් සිය කම්පාව ප්‍රකාශයට පත් කර තිබේ.


“යුද්ධය ඉවර වෙලා ගොඩක් කල්. ඒත් අපේ හදවත් වලට තාම ඒ සාමය සම්පුර්ණයෙන්ම ඇවිල්ලද කියන එක අපිට ඉතුරු වෙලා තියන ප්‍රශ්නයක්. අදටත් මේ රටේ ගැහැණුන් ඉන්නවා ඒ ගොල්ලන්ගේ පවුලේ සාමාජිකයන්ට මොකක්ද උනේ කියලා දන් නැතුව ප්‍රශ්න කරන, ප්‍රශ්න වලට උත්තර ලැබිලා නැතුව දුක්  වෙන කාන්තාවන් මේ රටේ ඉන්නවා. ඊටත් එහා ගිහිල්ලා තනියෙන් අමාරුවෙන් තමන්ගේ පවුල බලාගෙන, පවුල රැක බලා ගන්න, ගොඩක් මහන්සි වෙන කාන්තාවන් බොහෝමයක් මේ රටේ ඉන්නවා.”

යුද්ධයේ ප්‍රති විපාක අත් විදින්නට සිදුව ඇත්තේ කාන්තාවන්ට බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කර ඇත්තේ 2026 පෙබරවාරි 15 දින මන්නාරම අඩම්බන්හීදී  පැවති  මන්නාරම් දිස්ත්‍රික් කාන්තා හමුව අමතමිනි.

“ඉතින් ඒ නිසා යුද්ද කරන කොට අපෙන් අහලා නෙමෙයිනේ යුද්ද කළේ, යුද්ද පටන් ගත්තේ, නේද? හැබැයි ඒකේ ප්‍රති විපාක ගැහැණු අපිට අත් විදින්න සිද්ධ වෙලා තියනවා.”

යුද්ධය දඩ මීමා කර ගනිමින් රටේ පුරවැසියන් බෙදා වෙන් කළ බොහෝ  පාලකයන් හොදින් ජීවත් වු බවට චෝදනා කරන අගමැතිවරිය එහිදි තව දුරටත් සදහන් කර තිබුනේ රටේ සියළු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් වීම තහවුරු කිරීම සිය රජයේ වගකීමක් ලෙස දකින බවයි.

2009 මැයි 18 වැනිදා නිම කළ උතුරේ යුද්ධය සදහා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට සිය සහාය මුළුමනින්ම ලබා දීමේ පෙරමුණ ගෙන සිටි පක්ෂක් වුයේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාලන පක්ෂය වන ජාතික ජන බලවේගයේ ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙබරවාරි 15 දින මන්නාරමේදී වැඩි දුරටත් චෝදනා කර තිබුනේ මේ රටේ දේශපාලන බලවේග තවමත් බලය ලබා ගැනීම සදහා දකින එකම මාවත ජාතිවාදය ඇවිස්සීම බවයි.

“හැබැයි තාම ඒ ජාතිවාදී කදවුරු තාම දඟලනවා නැවත වතාවක් අපේ රට තුළ එවැනි මතවාදයක්, එවැනි එකිනෙකා අතර අසමගිය ඇති කිරීමට උත්සාහය තාම ඒ ගොල්ලෝ අත හැරලා නැහැ. මේ රටේ තාම ඉන්නවා දේශපාලන බලවේග ඒ ගොල්ලෝ බලය ලබා ගන්න දකින එකම මාවත ජාතිවාදය අවුස්සන එක.”

රටේ ආර්ථිකය තුළ වැඩි වැඩ කොටසක් කාන්තාවන් විසින් සිදු කළ ද ඔවුන්ට හිමි වන්නේ අඩුම පඩියක් බවත්, සියළු ක්ෂේත්‍රවල ඉහළ ප්‍රගතියක් කාන්තාවන් ලබාගෙන ඇති බවත්  මන්නාරම අඩම්බන්හීදී  පැවති  මන්නාරම් දිස්ත්‍රික් කාන්තා හමුව අමතමින් අගමැතිවරිය සදහන් කර තිබුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here