විවාහක දූෂණය ඉන්දියාවේ අපරාධයක් වෙයිද?

0
14

ඉන්දියාවේ විවාහක දූෂණය අපරාධයක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට පෞද්ගලික පනතක් හඳුන්වා දීමට එරට කොන්ග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී තරූර් පියවර ගෙන තිබෙනවා.

විවාහය තුළදී පවා කැමැත්ත ලබා දීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කාන්තාවකට ඇති අයිතිය අහිමි කළ නොහැකි බවයි තරූර් අවධාරණය කළේ.

ඔහු ඉල්ලා සිටින්නේ ඉන්දියාව ‘නැත යනු නැත’ (‘no means no’) යන තත්ත්වයෙන් බැහැර වී ‘ඔව් පමණක් ඔව්’ (‘only yes means yes’) යන තත්ත්වයට මාරු විය යුතු බවයි.

තිරුවනන්තපුරම් කොන්ග්‍රස් මන්ත්‍රී ශෂී තරූර් ප්‍රකාශ කළේ විවාහක දූෂණය යනු විවාහය ගැන නොව, ප්‍රචණ්ඩත්වය ගැන බවත්, සෑම කාන්තාවකටම විවාහය තුළදී ශරීර ස්වාධීනත්වයට සහ ගෞරවයට ඇති මූලික අයිතිය හිමි විය යුතු බවයි.

විවාහක දූෂණයට අදාළ මෙම ව්‍යතිරේකය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිය ඉදිරියේ සමානත්වය තහවුරු කරන 14 වන වගන්තියට සහ ජීවත් වීමේ සහ අභිමානයට ඇති අයිතිය සුරක්ෂිත කරන 21 වන වගන්තියට පටහැනි බව ථරූර් පෙන්වා දෙනවා.

විවාහයක් තුළදී පවා පුද්ගලයෙකුට තම ගෞරවය හෝ පෞද්ගලිකත්වය අහිමි නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙම නීතිමය හිඩැස හේතුවෙන්, ඉන්දියාව විවාහක දූෂණය පිළිබඳ කිසිදු ප්‍රතිපාදනයක් නොමැති රටවල් 34 අතර සිටිනවා.

එයින් බොහොමයක් සංවර්ධනය වෙමින් පවතින ජාතීන්.

කෙසේ වෙතත්, රටවල් 185 න් 77 ක් නීතිය මගින් විවාහක දූෂණය අපරාධයක් කර තිබෙනවා.

තවත් රටවල් 74 ක් තම ස්වාමිපුරුෂයන්ට එරෙහිව පැමිණිලි කිරීමට කාන්තාවන්ට ඉඩ සලසා තිබෙන බව සඳහන්.

ඉන්දියාවේ ජාතික පවුල් සෞඛ්‍ය සමීක්ෂණයට අනුව, ලිංගික හිංසනයට මුහුණ දුන් වයස අවුරුදු 18-49 අතර කාන්තාවන්ගෙන් 83% ක්ම තම ස්වාමිපුරුෂයා අපරාධකරු ලෙස නම් කර තිබුණා.

රජය මීට පෙර තර්ක කර ඇත්තේ විවාහක දූෂණ ව්‍යතිරේකය ඉවත් කිරීම විවාහය නැමැති ආයතනය විනාශ කරනු ඇති බවයි.

නමුත් තරූර්ගේ තර්කය වන්නේ ආයතනයක් එහි ව්‍යුහය හේතුවෙන් ප්‍රචණ්ඩත්වය නීතිගත කිරීමට උත්සාහ කරන්නේ නම් එය ප්‍රතිගාමී වන අතර, එය පවතින සදාචාරය සමඟ පරිණාමය විය යුතු බවයි.

hirunews

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here