ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වෙන 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පිරිනැමෙන ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් වාර්තාගත අයුරින් වැඩිකර තිබෙනවා.
තරගාවලියේ සමස්ත ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 13.88ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන අතර මෙය 2022 වසරේ නවසිලන්තයේ පැවති පසුගිය කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රදානය කෙරුණු ඩොලර් 3.5 ත්‍යාග මුදලේ සිට සියයට 297ක දැවැන්ත වැඩිවීමක්. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙවර සමස්ත ත්‍යාග මුදල මීට දෙවසරකට පෙර ඉන්දියාවේ පැවති පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිරිනමන ලද ඩොලර් මිලියන 10 පවා අභිබවා යාම.

මේ අතර, මෙවර තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමේ ත්‍යාග මුදල ද ඩොලර් මිලියන 4.48ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. මෙය ද, 2022 වසරේ ඔස්ට්‍රේලියාව ශූරියන් බවට පත්වෙමින් උපයා ගත් ඩොලර් මිලියන 1.32 ත්‍යාග මුදල හා සසඳන විට සියයට 239ක වැඩිවීමක්.
තරගාවලියේ අනුශූරියන්ට පිරිනැමෙන ත්‍යාග මුදල ඩොලර් මිලියන මිලියන 2.24ක්. මෙය ද ඉතා විශාල වැඩිවීමක් වන්නේ මීට තෙවසරකට පෙර එංගලන්තය ට හිමිවූයේ ඩොලර් 600,000ක් වීම නිසාවෙන්.
අවසන් පූර්ව වටයේ පරාජිත කණ්ඩායම්වලට ඩොලර් මිලියන 1.12 බැගින් හිමිවන අතර මූලික වටයේ තරගවලට සහභාගි වන සියලුම කණ්ඩායම්වලට ද 250,000ක් ලැබෙනවා. මූලික වටයේ සෑම ජයග්‍රහණයක් වෙනුවෙන් ම අමතර ඩොලර් 34,314ක් හිමිවනවා.

තරගාවලියේ 5 සහ 6 වැනි ස්ථානවලට පත්වන කණ්ඩායම්වලට 700,000 බැගින් හිමිවන අතර 7 සහ 8 ස්ථාන වෙනුවෙන් 280,000 බැගින් ලැබෙනවා.
ත්‍යාග මුදලේ මේ වැඩිවීම කාන්තා ක්‍රිකට් ගමනේ ඉතාමත් වැදගත් අවස්ථාවක් බව ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ ෂා පවසනවා. “ත්‍යාග මුදලේ මේ ක්‍රම හතරක වැඩිවීම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරන සිදුවීමක් මෙන්ම මේ ක්‍රීඩාවේ දීර්ඝ කාලීන ව්‍යාප්තිය වෙනුවෙන් අපේ තිබෙන කැපවීම පිළිබිඹු කිරීමක්.”
“කාන්තාවන් මේ ක්‍රීඩාව වෘත්තීය වශයෙන් තෝරා ගත්තොත් ඔවුන්ටද පිරිමින් හා සමානව සලකන බව කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දැනගත යුතුයි. අපේ අභිලාෂය වන්නේ ඊළඟ පරම්පරාවේ ක්‍රීඩික ක්‍රීඩිකාවන් හා ක්‍රීඩා ලෝලීන් ප්‍රබෝධමත් කරන ලෝක තත්ත්වයේ තරගාවලියක් ඉදිරිපත් කිරීමයි” යනුවෙන් ජේ ෂා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සැප්තැම්බර් 30 වැනි දින ගුවහාටි නුවර පැවැත්වෙන තරගයෙන් 13 වැනි කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වනවා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]