සිළුමිණ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරාණී ගේ සේවය අත්හිටුවීම වහාම අවලංගු කරන්නැයි නියෝගයක්

0
72

සිළුමිණ කර්තෘ මණ්ඩලයේ පිටු සැකසුම් අංශයේ සේවකයකුගේ වෛද්‍ය නිවාඩුවක් අනුමත කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමකට

ලක්ව සිටි සිළුමිණ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරාණි ජයවර්ධන මේ මොහොතේ සිට නැවත සේවයේ පිහිටුවන්නැයි කොළඹ ප්‍රධාන දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන විසින් අගෝස්තු ඊයේ (07) නියෝග කරන ලදී.

විනිසුරුවරයා වාරණ නියෝගය නිකුත් කරමින් පවසා සිටියේ මේ සේවා අත්හිටුවීම ලේක්හවුස් පරිපාලනය විසින් අසද්භාවයෙන් යුතුව කරන ලද සේවා අත්හිටුවීමක් බව බැලූ බැල්මට පෙනී යන බවයි.

2005 ජනවාරි තුන්වන දා දාතමින් ජනවාරි 07වන දා ලබා දුන් ලිපියකට අනුව සුමුදු චතුරාණී ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියට මාරු කළේ ය.

සිය ජනමාධ්‍ය වෘත්තීය ක්‍රියාකාරීත්වයට සිදුවූ හානිය වෙනුවෙන් ඇය SC/FR/17/2025 අංකය යටතේ මානව හිමිකම් හිමිකම් නඩුවක් ගොනු කළේ ඉකුත් ජනවාරි 30වන දා ය.

අධිකරණ නියෝගයට පටහැනිව ක්‍රියා කිරීම

SC/ FR/ 17/2025 නඩු අංකය යටතේ ගොනු කළ මේ නඩුවේ දී වගඋත්තරකාර ලේක්හවුස් ආයතනය පැමිණිලිකාර සුමුදු චතුරාණී ජයවර්ධන සමග සමථයකට එළැඹුමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීම ප්‍රකාර ව ඇය යළිත් 2025 ජුනි 01වන දා සිට බලපැවැත්වෙන පරිදි සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ධුරයට පත් කළේ ය.

අනතුරුව සේවා මාරුව ලබාදීමට ප්‍රථමව පවරා තිබූ කාර්ය සාධන විස්තරය (KPI)  වෙනුවට ඇයට පාලනාධිකාරිය විසින් නව රැකියා විස්තරයක් (Job Description) ලබා දෙන ලදී. නව රැකියා විස්තරය අනුව ඇයට පුවත්පත් ප්‍රවර්ධන සහ අභ්‍යන්තර මාධ්‍යකරණ කටයුතුවලට අමතරව සියලු පරිපාලන පැවරීම් යොමුකර තිබිණි.

අසීමිත වැඩ පැවරුම තමා වෙත ද්වේශ සහගත ලෙස පළිගැනීම සඳහා පවරන ලද්දක් බව පවසමින් ඇය ශ්‍රේෂ්ඨාධිකරණ සමථකරණයේ නව දිගුවක් ලෙස SC/FR/144/25 අංකය යටතේ මානව හිමිකම් නඩුවක් ගොනු කර තිබුණේ ඉකුත් ජූලි 11වන දා ය. ඉටු කළ නොහැකි හා දැරිය නොහැකි රාජකාරී පැවරුමක් ලබා දී හිතා මතා අපහසුතාවට පත්කරමින් ද්වේශ සහගත ලෙස දිගින් දිගටම ලේක්හවුස් පාලනාධිකාරිය විසින් තමාව හිංසනයට ලක් කරන ලද බව ඇය විසින් සඳහන් කර තිබිණ.

පැමිණිලිකාරිය යළි අධිකරණයට  

ඒ අනුව ඉකුත් ජූලි 22 වැනිදා සිළුමිණ පිටු සැකසුම් අංශයේ බිබිලදෙණිය නමැති පුද්ගලයා ගේ වෛද්‍ය නිවාඩුවක් අනුමත කිරීම සම්බන්ධයෙන් ඇය වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කෙරිණි. අනතුරුව සිය වැඩ තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් සුමුදු චතුරාණී ජයවර්ධන විසින් කොළඹ ප්‍රධාන දිස්ත්‍රික් අධිකරණයේ DSP/258/25 අංකය යටතේ නඩුවක් ගොනු කරනු ලැබී ය. අගෝස්තු මස 07වනදා එකී නඩුව කැඳවනු ලැබී ය.

පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති  නීතිඥ සාලිය පීරිස් ලේක්හවුස් ආයතනයේ විනය නීති සංග්‍රහය උපුටා දක්වමින් පවසා සිටියේ පැමිණිලිකාරිය අනුමත කළ වෛද්‍ය  නිවාඩුව ඕනෑ ම ආයතනයක ප්‍රායෝගික නිවාඩු අනුමත කිරීමේ ක්‍රමවේදයේ ප්‍රායෝගික තලය බවත්, එය බරපතළ විෂමාචාර ගනයට නොවැටෙන බවත් ය.

එමෙන්ම පැමිණිලිකාරිය විධායක ශ්‍රේණියේ නිලධාරිනියක වන බැවින් ඇයට වැඩ තහනම් කිරීමේ ලිපියක් යොමු කරන්නේ නම් එය කළ යුතු වන්නේ සභාපතිවරයා හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු විසින් වන බව ද, මේ ලේඛනය උපුටා දක්වමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.

නමුත් මේ වැඩ තහනම් ලිපියට අත්සන් තබා ඇත්තේ ජ්‍යෙෂ්ඨ මානව සම්පත් කළමනාකරු ය. මෙය ඇය හිතාමතා අපහසුතාවට පත්කිරීමේ අරමුණින් ද්වේෂ සහගතව සද්භාවයෙන් තොරව කරන ලද පළිගැනීමක් බව ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් ගරු අධිකරණය ඉදිරියේ කරුණු පැහැදිලි කරන ලදී.

ගරු අධිකරණයේ තීන්දුව

වෛද්‍ය හේතූන් මත යම් සේවකයකුට නිවාඩු අනුමත කිරීම කිසිසේත් ම බරපතළ විෂමාචාරයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් සිය සේවා දායිකාවගෙන් ප්‍රකාශයක් සටහන් කොට මූලික විමර්ශනයක් හෝ නොපවත්වා එලෙස වැඩ තහනමට ලක්කිරීම පළිගැනීමේ චේතනාවෙන් සහ ඇය පීඩාවට පත් කිරීමේ චේතනාවෙන් සිදුකර ඇති බවත් පෙන්වා දෙමින් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම වාරණ නියෝගය නිකුත් කළේය.

එම පෙත්සමේ විත්තිකරුවන් ලෙස සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී වරුෂමාන, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවිටියාගල, නීති අධ්‍යක්ෂ චාමර නානායක්කාරවසම්, මෙහෙයුම් අධ්‍යක්ෂක චාමර පීරිස්, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, සිළුමිණ සංස්කාරක උදේනි සමන් කුමාර, නියෝජ්‍ය කර්තෘ තාරක වික්‍රමසේකර සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ගීතාංග ලක්මාල් රත්නායක නම් කර තිබිණි.

සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතුවරිය ලෙස රාජකාරි කළ සිය සේවාදායිකාව වසර 22ක පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක බවත්, ඇයව සිටි හැටියේ මාධ්‍යවේදිනියක ඉටු කළ යුතු කාර්යභාරය පසෙකලා සිළුමිණ පුවත්පතට සම්බන්ධ සෙසු සේවකයින්ගේ නිවාඩු අනුමත කිරීමේ වගකීම ඇතුළු අසීමිත වගකීම් රැසක් පවරා තිබුණ ද ඒවා පිළිබඳව නිසි දැනුවත් කිරීමක් හෝ පුහුණුවක් ඇයට ලබාදී නොතිබූ බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය කරුණු දැක්වීම මගින් විනිසුරුවරයාට වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

පැමිණිලි පාර්ශ්වය මිලියන 10ක වන්දියක් ඉල්ලයි

එම විත්තිකරුවන්ට පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා අතුරු තහනම් දැන්වීම් සහ නොතීසි යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේය. නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂයක මුදලක් මෙන්ම විත්තිකරුවන් ගෙන් රුපියල් මිලියන 10ක වන්දියක් ද ඇයගේ වෘත්තිය ජීවිතයට සිදුවූ අගතිය වෙනුවෙන් අයකරදීමට නියෝගයක් කරනා ලෙසට ද එමඟින් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

එකී පෙත්සම ලබන අගෝස්තු 21 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

පෙත්සම්කාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සාලිය පිරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ ශරින්ද්‍ර ජයවර්ධන, නීතිඥ හිමේෂ් තාරුක ඇතුළු නීතිඥ කණ්ඩායමක් නීතිඥ භාග්‍යා පීරිස් මඟින් පෙනී සිටි අතර විත්තිකාර ලේක්හවුස් ආයතනය වෙනුවෙන් නීතිඥ අමිල පෙරේරා පෙනී සිටියේය.

theleader

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here