නැගී එන චීන පිහිනුම් තාරකාවක වන යූ සිඩි (Yu Zidi) ලෝක ජලක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ ළාබාලතම පදක්කම්ලාභිනිය බවට පත්ව සිටිනවා. ඇගේ වයස තවමත් අවුරුදු 12 යි.
සිංගප්පූරුවේ පැවැත්වෙන 2025 ලෝක ජලක්‍රීඩා ශූරතාවලියේදී ඇය එදා මෙදා තුර ළාබාලතම පදක්කම්ලාභිනිය බවට පත්වූයේ මීටර් 4×200 නිදහස්ආර සහාය පිහිනුම් ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත් චීන කණ්ඩායමේ සාමාජිකාවකව සිටිමින්. එම ඉසව්වේ අවසාන තරගයට සිඩි සහභාගි වුනේ නැහැ. එහෙත් ඇය ඇගේ රටට අවසාන තරගයට සුදුසුකම් ලබා දීම පිණිස මූලික වට තරගයේ පිහිනා තිබීම ඇයට පදක්කමක් ලැබීමට සුදුසුකම ගෙන ආවා.

ඊට පෙර කාන්තා මීටර් 200 සමනලආර පිහිනුම් ඉසව්වේදී සිඩි ට කේවල පදක්කමක් මඟහැරුනේ ඉතාමත් සියුම් ආකාරයෙන්. එහිදී ඇය සිවු වැනි ස්ථානයට පත්වූයේ තෙවැනි ස්ථානයට වඩා තත්පර 0.31ක් පමණක් පිටුපසින් සිටිමින්.
කාන්තා මීටර් 200 මෙඩ්ලි ඉසව්වේදී ද ඇයට ලෝකඩ පදක්කම අහිමි වුනේ තෙවැනි ස්ථානයට පත්වූ තරගකාරියට වඩා තත්පර 0.06ක් පිටුපසින් තරගය අවසන් කළ බැවින්. ලෝක ජලක්‍රීඩා ශූරතාවලියේ යූ සිඩිගේ සහභාගිත්වය මගින් එම තරගාවලියට සුදුසුකම් ලැබීමේ නීති සම්බන්ධයෙන් ගැටළු මතුකර තිබෙනවා. පිහිනුම් ක්‍රීඩාව පාලනය කරන ලෝක ජලක්‍රීඩා සම්මේලනය (World Aquatics) විසින් නියම කර තිබෙන පරිදි ලෝක ශූරතාවලියන් වෙනුවෙන් තරග කිරීම සඳහා අවුරුදු 14ක අවම වයස් ප්‍රමාණයක අවශ්‍යතාවක් තිබුන ද, සිඩිගේ කාලයන්හි වේගය කොතරම් ද යත් පවතින නීතිය කුමක් වුවත් ඇය එම ශූරතාවලියට සුදුසුකම් ලැබුවා.
ගෝලීය පිහිනුම් පාලකයන් ඔවුන්ගේ මාර්ගෝපදේශයන් පිළිබඳව අනාගතයේදී සමාලෝචනය කළ යුතුව ඇති බවට ලෝක ජලක්‍රීඩා විධායක අධ්‍යක්ෂ Brent Nowicki මේ ශූරතාවලිය පැවැත්වෙන අතරතුර පිළිගෙන තිබෙනවා.
යූ සිඩි පිහිනුම් ලෝකය මවිත කළේ මැයි මාසයේ පැවති චීනයේ ජාතික ශූරතාවලියේදී එකදිගට විශිෂ්ට කාලයන් සටහන් කරමින්.
ඔක්තෝබර් මාසයේදී 13 වැනි වියට පා තබන සිඩි, ජාතික ශූරතාවලියේ කාන්තා මීටර් 200 තනි මෙඩ්ලි ඉසව්වේ මිනිත්තු 2යි තත්පර 10.63ක් සටහන් කළ අතර එය මේ වයසේදී වාර්තා වූ ඉතිහාසයේ වේගවත්ම කාලය වුනා.

ඉන්පසු ඇය මීටර් 400 මෙඩ්ලි ඉසව්වේ ජයග්‍රහණය කරා ගියේ මිනිත්තු 4යි තත්පර 35.53ක කාලයක් සටහන් කරමින්. මෙය පසුගිය වසරේ පැරිසියේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිවු වැනි ස්ථානය ලබා ගැනීමට ප්‍රමාණවත් දක්ෂතාවක්.
සිඩි මීටර් 200 සමනලආර ඉසව්වේදීත් ඇදහිය නොහැකි පිහිනුමක් ප්‍රදර්ශනය කළ අතර එය ද පැරිස් ඔලිම්පික් පදක්කම් වේදිකාව යාන්තමින් මඟහැරෙන දක්ෂතාවක්. ඇයගේ මේ සුවිශේෂී දස්කම් පහසුවෙන්ම ඇයට සිංගප්පූරුවේ පැවැත්වෙන ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබා දුන්නා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]