පවුල් ආරවුල් සම්බන්ධයෙන් මහියංගණයට ලැබෙන පැමිණිලි අතරින් බොහොමයක්ම සැමියා උපයන මුදල් බිරිඳ විසින් අසීමිත ලෙස රූපලාවණ්‍ය කටයුතු සඳහා වැයකිරීම මත ඇතිවූ ආරවුල් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් 03 (මහියංගණය) සහකාර පොලිස් අධිකාරී ජී.ඩබ්.බී.එස්. පලිපාන පවසනවා.
ලෝක චර්ම සෞඛ්‍ය දිනය වෙනුවෙන් බදුල්ල ශික්ෂණ රෝහලේ 08 වැනිදින පැවැති වැඩසටහනකට එක්වෙමින් සහකාර පොලිස් අධිකාරිවරයා මේ බව කියා සිටියා.
රෝහල් කාර්යමණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා වූ මෙම වැඩසටහන ඌව සායනික සංගමය විසින් සංවිධානය කර තිබුණා.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.ඩබ්.බී.එස්. පලිපාන ;
“මහියංගණය ප්‍රදේශයේ අපි දකිනවා අද දකින ළමයා නොවෙයි හෙට ඉන්නේ. ගැහැනු ළමයි සුදු වෙලා අමුතුයි හිතාගන්න බැරි සුදක් තියෙන්නේ. මහියංගණයේ ඉස්සර එහෙම ළමයි හිටියේ නැහැ. රූපලාවණ්‍යවලට ගිහින් ස්වාභාවික ලස්සන නැතිකර ගන්නවා. වෛද්‍ය නිර්දේශයක් නැතිව රූපලාවණ්‍ය ද්‍රව්‍ය ෆාමසිවලින් හිතුමතේට නිකුත් කරනවා. ඒ නිකුත් කිරීම තුළින් ළමයිගේ හමේ තියෙන පැහැපත් බව නැති කරගන්නවා. සුදුවෙන්න ගිහින් ළමයි විතරක් නොවෙයි අම්මලාත් සුදුවෙන්න යනවා. මොන හේතුවක් නිසා එහෙම වෙනස් වෙන්න උත්සාහ කරනවා දැයි දන්නේ නැහැ. ක්‍රීම් වර්ග භාවිත කරල සමහර අයගේ මූණවල්වලින් ගන්න දෙයක් නැහැ විරූපී වෙලා.
රූපලාවණ්‍යවලට ගිහින් ගෙවල්වල ප්‍රශ්න ඇතිවෙලා පොලිසියට සමහර අය එනවා.ස්වාමිපුරුෂයා හම්බකරන මුදල බිරිඳගේ රූපලාවණ්‍ය කටයුතු සඳහා අසීමිත ලෙස වියදම් කරලා මේ ප්‍රශ්න ඇතිවූ බව විමර්ශනවලදී අනාවරණය වී තියෙනවා
එමෙන්ම මෙම වැඩසටහනට එක් වූ බදුල්ල ශික්ෂණ රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය කසුන් ජයසිංහ මහතා කියා සිටියේ වෛද්‍ය නිර්දේශ නොමැතිව භාවිත කරන ඇතැම් රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිසා බොහෝ දෙනෙක් අතුරු ආබාධයන්ට ලක්ව කාන්තාවන් බොහෝ දෙනකු රෝහල් සායනවලට පැමිණෙන බවයි.