වෘත්තීය අධ්‍යාපනය මේ රටේ තීරණාත්මක විෂයක් බවට පත් කරනවා – අගමැතිනිය

0
16

වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වන අවධානය ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේ දී මේ රටේ තීරණාත්මක විෂයක් බවට වෘත්තීය අධ්‍යාපනය පත් කරන

බවත්: අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ විධිමත් ආකර්ෂණීය ආයතන පද්ධතියක් ගොඩනැගීම වෙනුවෙන් දිවයින පුරා වෘත්තීය අධ්‍යාපන ආයතන කේන්ද්‍ර කර ගනිමින් Clean Sri Lanka ව්‍යාපෘතිය සමග එක්ව  අද (04) ගම්පහ කාර්මික විද්‍යාලයේදී ආරම්භ කළ “ශ්‍රම මෙහෙයුම” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය…

වෘත්තීය අධ්‍යාපනය රටේ සංවර්ධනයට අතිශයින් ම වැදගත්

”වෘත්තීය අධ්‍යාපනය කේන්ද්‍රකරගෙන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රම මෙහෙයුම වැඩසටහන  ලංකාව පුරා ආරම්භ කිරීමට කටයුතු කීරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රම මෙහෙයුම වැඩසටහන තුළින් ආරම්භයක් ලබාගත්තට අපි මේ උත්සාහ කරන්නේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට වැඩි අවධානය ලබා ගන්නයි; වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම ගැන රටටම පෙන්නුම් කරන්නයි.  

වෘත්තිය අධ්‍යාපන ක්ෂේත්‍රය තමයි ඉදිරියේ මේ රටේ තීරණාත්මක විෂය බවට පත්වෙන්නේ.  වැඩ ලෝකයට අවශ්‍ය  මානව සම්පත බිහිවෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන්.  හැබැයි අපි බොහෝ දෙනෙක් සහ රටත් බොහෝ වෙලාවට හිතන්නැති අවධානයක් දෙන්න නැති කොටස තමයි ඒ වැඩ ලෝකයට අවශ්‍ය  මානව සම්පත බිහිකරන වෘත්තීය අධ්‍යාපන අංශය.

අපි දන්නවා දැනට සමාජය තුළ ටෙක් එක ගැන  තියෙන්නේ  අර ඉස්කෝලෙ ගිහිල්ලා විශ්වවිද්‍යාලයට  යන්න බැරි උනොත් යන්න පුළුවන් තැනක් කියන මතය.  එහෙම නැත්නම් අනිත් තෝරා ගැනීම් ඔක්කොම කරලා ඒවා හරි ගියේ නැත්නම් නිකන් වැටෙන තැන වගේ අදහසක්.  එක හරිම වැරදියි. වෘත්තීය අධ්‍යාපනය  තෝරා ගැනීම අතිශයින්ම වැදගත් බුද්ධිමත් සහ රටේ සංවර්ධනයට  අතිශයින්ම වැදගත් තීරණයක්.

 අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නෙ දැවැන්ත වැඩක්

වෘත්තීය අධ්‍යාපනය හදාරන්න ගන්න තීරණය අහම්බයක් වෙන්න බෑ, නොදැනුවත්කමින් හෝ අන්තිම මොහොතේ ගන්න තීරණයක් වෙන්නත් බෑ. ඒක තමන්ගේ හැකියාව, තමන්ගේ කැමැත්ත තමා ලෝකය පිළිබඳව දරන අදහස් මේ සංකල්ප සියල්ලමත් එක්ක ගන්න ඉතාමත්ම වැදගත් තීරණයක් බවට පත්වෙන්න ඕනේ. ඒ නිසාම තමයි අපි 2026 තුළ ක්‍රියාත්මක කරන්න නියමිත ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වෘත්තීය අධ්‍යාපනයට විශේෂ තැනක් වෙන් කළේ.  

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය  කියන එක පොඩි  වැඩක් නෙවෙයි. ඒක විෂයක් මාලාව වෙනස් කරන එකට එහා ගිය දැවැන්ත වැඩක්. පාසල් අධ්‍යාපනය තුළින්ම වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන්න  අපි සැලසුම් කරගෙන ඉන්නේ.  ඒ තුළින් රජය බලාපොරොත්තු වන  පුනරුද යුගයක අවශ්‍ය  මානව සම්පත බිහිකරන්න. ඒ මානව සම්පත දියුණු කරන්න අපි කටයුතු කරනවා. ඒ අනුව මේ රටේ  වෘත්තිය ආධ්‍යාපනය ඉහළ තලයක  ස්ථානගත කිරීමට කටයුතු කරමින් සිටිනවා.”

නූතන තරුණ්‍යයට ගැළපෙන ආයතන පරිසරයක් – වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ

”රජයේ ප්‍රතිපත්තිය වන ‘පෝසත් රටක් ලස්සන ජීවිතයක්’ තුළ පුනරුද යුගයක් කරා රට මෙහෙයවීම සඳහා  දැවැන්ත ප්‍රතිසංස්කරණ මේ කාලපරිච්ඡේදයේදී සිදු කරමින් පවතිනවා. එකී පරිවර්තනය රට තුළ සිදු කරන්න නම් ඉස්සෙල්ලම මේ ස්ථාන නවීකරණයට, නූතනකරණයට ලක් වෙන්න ඕන; තරුණ තරුණියන්  ආකල්පවලින් දියුණු වෙන්න ඕන.  

වර්තමාන තරුණ තරුණියන් තාක්ෂණයත් සමග ඉදිරියට ඇවිත් තිබෙනවා. නමුත්  ආයතන පද්ධතිය තියෙන්නේ ගව් ගණනාවක් පසු පසින්, ඒ නිසා අපි මුලින් ම  මේ නූතන තරුණ්‍යයට ගැළපෙන ආයතන පරිසරයක්  හදන්න  ඕනේ. ඒ නිසාම තමයි අද ලංකාවේ ආයතන 311ක දැවැන්ත ශ්‍රම මෙහෙයුමක්,   160,000කට අධික පිරිසක් එකතුවෙලා දිවයින පුරා  තමන්ගේ ආයතන පද්ධතිය හදාගන්න වැඩ ආරම්භ කරන්නේ.  මේක මෙතනින් නතර වෙන්නේ නෑ අපේ අපේක්ෂාව  මේ ක්ෂේත්‍රය හරහා දැවැන්ත පරිවර්තනයක් රට තුළ සිදුකිරීමයි.”

පුහුණු  ආයතනවලට සිසුන් අඩු වෙන්න හේතුවත් අධ්‍යාපන ක්‍රමයේ තිබෙන වැරැද්දක් – කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

”වෘත්තීය පුහුණුව ලබාදෙන රජයේ ආයතන තුළ පාඨමාලාවන් රැසක්  තිබෙනවා.  ඒ ආයතනවලට දිවයින පුරා දරුවන් එනවා.  සමහර විට  උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිසුන් පවා ඇවිල්ලා අද මේ ආයතනයවල අධ්‍යාපනය හදාරනවා.  සමහර පුහුණු  ආයතනවලට සිසුන්  නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි හිතනවා ඒකටත් හේතුව  අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන වැරැද්දක් කියලා. කම්කරු අමාත්‍යංශය යටතේ පුහුණු ආයතන තිබෙනවා ඉදිරියේදී ඒ ආයතනත් ශක්තිමත් කරලා පුහුණුව ලබා දෙන්න අවශ්‍ය කටයුතු අපි සිදු කරනවා.”

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න,  පාර්ලිමේන්තු මන්ත්‍රී  ලසිත් භාෂණ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, ගම්පහ  නගරාධිපතිතුමන්, දිස්ත්‍රීක් ලේකම්තුමන් ගම්පහ කාර්මික විද්යාලයේ විදුහල්පති පී.එම්. කේ. ගෝමස් යන අයසහ රාජ්‍ය නිලධාරීන්, දරුදැරියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here