ඔලිම්පික් රන් පදක්කම්ලාභී රග්බි ක්‍රීඩිකාව සංක්‍රාන්ති පිරිමියෙකු ලෙස නැවත ක්‍රීඩාවට

0
47

ඔලිම්පික් රග්බි රන් පදක්කම්ලාභී එලියා ග්‍රීන් (Ellia Green) ලිංගික සංක්‍රාන්තියකින් පසුව පිරිමියෙකු ලෙස නැවත ක්‍රීඩාවට පිවිස සිටිනවා.


මීට තෙවසරකට ඉහතදී කාන්තාවකව සිට පිරිමියෙකු දක්වා සංක්‍රාන්ති වීමෙන් පසුව ක්‍රීඩාවේ විශ්‍රාමයෙන් මිදී මේ වසරේදී නැවත ක්‍රීඩාවට පැමිණීමට තීරණය කිරීමට පෙර තමා සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ බව ඔස්ට්‍රේලියාවේ එලියා ග්‍රීන් කියා සිටිනවා. ඊට හේතු වූයේ ජීවිතය කඩා වැටෙන සිද්ධි මාලාවක් බව 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා රග්බි සෙවන්ස් ශූරිය කියනවා.


බ්‍රසීලයේ සිට නැවත පැමිණීමෙන් පසුව පිළිකාවකට ගොදුරු වූ ග්‍රීන්ගේ මව ඊට එරෙහි සටනින් පැරදුනා. එහි වේදනාව වැඩි කරමින්, සිවු වසරකට පෙර රන් පදක්කම දිනා ගත් තරගයේ ගෝලයක් ලබා ගත් මේ රග්බි සෙවන්ස් සුපිරි ක්‍රීඩිකාව ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා වන සංචිතයට නම් කෙරුනේ නැහැ.

New Zealand Warriors කණ්ඩායම සමග 2020 වසරේ NRLW තරගාවලියේ ක්‍රීඩා කර තිබියදීත්, එම වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තෝරා නොගැනීමෙන් ග්‍රීන් මහත් කම්පාවට පත්වුනා.

ඔස්ට්‍රේලියානු රග්බි සෙවන්ස් ඉතිහාසයේ ට්‍රයි 141ක් ලබා ගෙන වැඩිම ට්‍රයිලාභිනිය හා වැඩිම ලකුණුලාභිනිය (739) ලෙසිනුයි ග්‍රීන් 2022 වසරේදී වෘත්තීය ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියේ.

“මාව සංචිතයට තෝරා නොගත් අවස්ථාවේ මට දැනුනේ මම ඉතාමත් අසාර්ථක කෙනෙක් කියලයි” ග්‍රීන් පවසනවා.

“වෘත්තීය ක්‍රීඩිකාවක වීමේ පීඩනයට අමතරව මම, මාරාන්තික රෝගයකින් පෙළෙමින් සිටි මගේ මවත් රැක බලා ගත්තා.”

“මම මා ගැන ප්‍රමුඛතාව දිය යුතු බවට සිතන්න මාව යොමුකළේ මගේ ජීවිතය අවසන් කිරීමට මා ගත් උත්සාහයන්.”


ග්‍රීන් ඇගේ සහකාරිය වන Vanessa Turnbull-Roberts සමග ඔවුන්ගේ දියණිය Waitui ලෝකයට පිළිගැනීමට සූදානම් වෙමින් සිටියේ මේ කාලයේ.

පිරිමියෙකු වශයෙන් සංක්‍රාන්ති වීමට ග්‍රීන් එම වසරේ තීරණය කළ ද අවාසිදායක ප්‍රතික්‍රියාවන්ට බියෙන් ඒ බව ප්‍රසිද්ධියේ කීමට 2024 වසර එළඹෙන තුරු බලා සිටියා.

ඉක්බිති 32 හැවිරිදි ග්‍රීන් ගෝලීය සිරස්තල මැවුවේ ලිංගික සංක්‍රාන්තියක යෙදුනු පළමු ජනප්‍රිය ඔලිම්පික් ක්‍රීඩා චරිතය වෙමින්.


“ලිංගිකව සංක්‍රාන්ති වන පුද්ගලයින්ව බොහෝ තැන්වල පිළිගැනෙන්නේ නැහැ. ඔවුන්ට හිරිහැර කරනවා. මම ජනතාවට මේ බව කියා සිටීම යනු මේ අනතුරට මුහුණ පාන ඊළඟ පුද්ගලයා මම වීමයි.”


වසර හතරක විශ්‍රාමයකින් පසුව නැවත බූට්ස් පැළඳීමට කාලය පැමිණ ඇති බවට ග්‍රීන් මේ වසරේ මාර්තු මාසයේ තීරණය කළා.

පසුගිය වසරවල මුහුණ දුන් කරදරවලින් පසුව, පිරිමි NSW උපනාගරික රග්බි තරගාවලියේ Sydney Convicts කණ්ඩායම සමග එක්වීම තමාගේ දෙවැනි ක්‍රීඩා දිවියකට මෙන්ම තමා රන් පදක්කමක් දිනා ගත් ඔලිම්පික් තරගයට ද සමාන බව ග්‍රීන් පවසනවා.

“මෙය මම මගේ බලය නැවත ලබා ගැනීමක් හා මම කවුද කියා මට මතක් කර දෙමින්, මම දක්ෂයෙකු වන ක්‍රීඩාවේ නැවත නියැලීමක්” යැයි ග්‍රීන් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත්, නැවත ක්‍රීඩාවට පැමිණීමෙන් පසුව ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ධනාත්මක වූවත්, ක්‍රීඩාවේ සිටින සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ව තේරුම් ගැනීම හා පිළිගැනීමේ ආවේණික අඩුවක් තවමත් තිබෙන බව ග්‍රීන් කියනවා.

“සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් ගැන වැඩි අමාරුවක් තිබෙන්නේ ඔන්ලයින් පුද්ගලයන්ට බව මට පෙනී ගොස් තිබෙනවා” ග්‍රීන් සඳහන් කරනවා.

“මෙයින් වැඩි හානියක් එන්නේ කොහෙන්ද කියායි කවුරුත් නොදන්නේ.”


“ජනතාවට ඔවුන්ගේ මතයන් තියාගන්න පුළුවන්. නමුත් එයින් තවත් කෙනෙකුගේ ජීවිතය, අනන්‍යාතාව හා ආත්මය නැතිවෙනවා නම් එයින් සිදුවන හොඳක් තියෙනවාද?”

“ඔව්, සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබිය යුතුයි!”

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here