නර්තනය – බෙර හඬ කියන්නේ මගේ හුස්ම පොද

    0
    47

    අපේ තාලය, අපේ බෙර හඬ ඇසෙන මානෙක සිටින කෙනකුට දැනෙන රිද්මය, දෙපා නළියවන ඒ හැඟීමක අපූර්වත්වය පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රකට වූයේ වයස ඉක්මවූ ඒ පාරම්පරික නර්තන භේරි වාදන උරුමයක ප්‍රභාවෙන් ඇලලුණු මෙතුමිය තුළින් බව ඇතැම්විට ඒ වීඩියෝව රසවිඳි බොහෝ දෙනා නොදන්නවා විය හැකියි. ඇය නර්තන කලා ක්ෂේත්‍රය තුළ ප්‍රකට වන්නේ වෛද්‍යවතී රාජපක්ෂ නමිනි.

    මහනුවර ‘අමුණුගම’ නර්තන පරපුරෙන් පැවත එන ඇය අමුණුගම සුරබා රාජපක්ෂ නර්තන ගුරුන්නාන්සේගේ දෙවැනි දියණියයි. ඇයගේ මව සුමින්දා චාරුකාරත්නයි. මේ වනවිට නර්තන තිලක, කතක් විශාරද, සම්මානිත මහාචාර්ය, ආචාර්ය අමුණුගම රාජපක්ෂ වෛද්‍යාලංකාර ගණිතගෙදර රත්නාදීපති වෛද්‍යවතී රාජපක්ෂ නම් වන මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ නර්තනාචාර්යවරිය සිය පරපුරෙන් උරුම වූ බෙර වාදන කලාවත්, සාම්ප්‍රදායික උඩරට නර්තන කලාවත් පරතෙරට හදාරමින් ඒවායෙහි පර්යේෂණ කාර්යයන්හි ද නිරත වන්නීය. ඇය කුඩා කල මහනුවර අමුණුගම මහා විද්‍යා‍ලයෙන් ද පසුව මහනුවර උසස් බාලිකා සහ මහාමායා බාලිකා විද්‍යාලවලින් ද අධ්‍යාපනය හදාරා මෙරට උපාධි රැසක් ද, ඉන්දියාවට ගොස් කතක් නර්තන විශාරද උපාධිය ද ලැබුවා ය. භරත නර්තන කලාව ද ඇය උගත්තා ය.

    “නටන්න, බෙර ගහන්න ඉගෙන ගන්න පටන් ගත්තේ මට වයස අවුරුදු හතේදී. ඒ කාලේ ගැහැනු ළමයින්ට නටන්න අවසර දුන්නේ නැහැ. නමුත් මගේ පියා, ඒ වගේම පියාගේ මල්ලි ශ්‍රී ජයනා ගුරුන්නාන්සේ අපි නටනවාට විරුද්ධ වුණේ නැහැ. පාරම්පරික ගුරුකුල අධ්‍යාපනය මම හොඳින් ලැබුවා. පුංචි කාලේ අපේ ගෙදර මිදුලේ හැන්දෑවට නැටුම් උගන්වන්න පටන් ගත්තා ම මහා රෑ වෙනකන් ළමයි ඇවිත් මිදුලේ නටනවා. තව පිරිසක් බෙර ගහනවා. ළමයි බෙර ගහන්න, නටන්න ඉගෙන ගන්නවා. මගේ පියා, බාප්පා, වැඩිහිටි ළමයි ඉගැන්වීම් කළා. මමත් ඒ අය අතර පුංචිකමට හරි හරියට පද පාගලා නටනවා. බෙර ගහනවා. තාත්තාගේ ශිල්පය අපේ පරපුරේ උරුමය මම හොඳින් ඉගෙන ගත්තා. පාසලේදීත්, විශ්වවිද්‍යාලවලදීත්, ඉන්දියාවේදීත් මම අපේ ගුරුකුලේ නොවන මෙරට අනෙකුත් නැටුම් කලාවන් වාගේ ම ජාත්‍යන්තර නැටුම් කලාවන් සහ සංස්කෘතීන් ඉගෙන ගත්තා.

    මට මුලින්ම නැටුම් ඉගැන්වීම් සඳහා පත්වීමක් ලැබුණේ පොල්ගොල්ල ගුරු අභ්‍යාස විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙස. ඊට පස්සේ 1968 ඔක්තෝබර් 08 වැනිදා රජයේ ලලිත කලා විද්‍යාලයට පත්වීම ලැබුණා. එහි පළමු නර්තන ගුරුවරිය වුණේ මම. පසු කාලෙක ඒක ලලිත කලා විශ්වවිද්‍යාලය බවට පත් වුණාට පස්සෙත් මම එහි ඉගැන්වීම් කළා. මහනුවර දළඳා මාලිගාවේ තේවාව පිළිබඳ ප්‍රධාන වශයෙනුත්, තවත් බොහෝ පාරම්පරික කලාවන් පිළිබඳවත් මම පර්යේෂණ කරනවා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දර්ශනශූරී සහ ආචාර්ය උපාධිත්, ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාද් උපාධියත් මම ලබා ගත්තා.

    ඉන්දියා‍වේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් කතක් නර්තනය පිළිබඳ විශාරද උපාධිය ලැබුවා. මහනුවර පිහිටි ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය නැතහොත් සිබා (SIBA) විශ්වවිද්‍යාලයෙන් මට මහාචාර්ය පදවිය ලැබුණා. මහනුවර දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අදහසකට අනුව, මල්වතු හා අස්ගිරි උභය මහා විහාර මහානායක මාහිමිවරුන්ගේ ආශීර්වාදයෙන් ආරම්භ කළ එම විශ්වවිද්‍යාලය මඟින් අපේ පාරම්පරික නර්තන ගුරුකුල අධ්‍යාපනයෙන් ඉගෙනගත් නර්තන හා බෙර වාදන ශිල්පය වගේම අනෙකුත් ගුරුකුල අධ්‍යාපනයෙන් පැවත එන ගායන, වාදන, සියලු සම්ප්‍රදායන්ට අයත් නර්තන, ගොක් කලාව, වෙස් ගැන්වීම්, රංග වස්ත්‍රාභරණ ශිල්පය, ශාන්තිකර්ම ශිල්ප ඇතුළු සියලු කලාවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනවා.

    එහි උපාධි සඳහා ජාත්‍යන්තර වටිනාකමක් ලැබෙනවා. ගුරුකුල අධ්‍යාපනයෙන් ඉගෙනගත් නර්තන හා බෙර වාදන ශිල්පය වගේම අනෙකුත් ගුරුකුල අධ්‍යාපනයෙන් පැවත එන ගායන, වාදන, සියලු සම්ප්‍රදායන්ට අයත් නර්තන, ගොක් කලාව, වෙස් ගැන්වීම්, රංග වස්ත්‍රාභරණ ශිල්පය, ශාන්තිකර්ම ශිල්ප ඇතුළු සියලු කලාවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනවා. එහි උපාධි සඳහා ජාත්‍යන්තර වටිනාකමක් ලැබෙනවා. ගුරුකුල අධ්‍යාපනය පාරම්පරික ගුරුකුලවල ශිල්පීන් මඟින්ම මෙහිදී දරුවන්ට උගන්වන අතර නූතන වේදිකාවට පාරම්පරික කලාවන් ගෙන එන ආකාරය පිළිබඳවත් දරුවන්ට කියා දෙනවා. මේ වනවිට මම මෙම විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කරනවා. විදේශික ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ පිරිසක් මෙහිදී නර්තන, වාදන කලාව ඉගෙන ගන්නවා. ඔවුන් විදේශ රටවල් කිහිපයකම පැවැත්වූ එවැනි ප්‍රසංගවලට මමත් සහභාගි වෙලා නර්තනයෙන් දායක වුණා. ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය වැනි රටවලට ගිහින් ඒ රටවල සිටින විදේශික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බොහෝ කාලයක් අපේ නර්තන කලාව ඉගැන්වීම් කළා. ”

    “මෙවැනි ඇගයීමක් කරන බව මම දැනගෙන හිටියේ නැහැ. මේ සම්මානය මට විතරක් දුන්නු සම්මානයක් නෙවෙයි. පරම්පරා ගණනාවක් තිස්සේ අපේ පාරම්පරික කලාව රැකගනිමින් මේ තාක් සහ අනාගතයටත් එය රැගෙන යාමට යෝධ ශක්තිය වූ අමුණුගම ගුරු පරම්පරාවට පිරිනැමුණු සම්මානයක් හැටියට මම එය පිළිගන්නවා. ඔවුන් පතුල්වල දියපට්ටා එනතුරු නටමින් සහ දෑත්වල දියපට්ටා එනතුරු බෙර ගසමින් මේ කලාව රැකගත්තා. මේ සම්මානය ඔවුන්ට උපහාරයක්. අපේ තාත්තලා මහනුවර දළඳා මාලිගාවේ තේවාව කළ පාරම්පරික ශිල්පීන් හැටියට ගුරුකුල ඉතිහාසයක් ඇති අය.

    අපේ ගෙදර තිබුණු කලායතනය ලංකාවේ නිල වශයෙන් සොල්බරි සාමිවරයා විසින් විවෘත කරන ලද ප්‍රථම කලායතනය.. මහනුවර ‘අමුණුගම මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලය’ ලෙස එය හැඳින්වෙනවා. මේ වගේ පාරම්පරික කලාව උගන්වන කලායතන ගණනාවක් තියෙනවා. ඒවායේ ඉගෙන ගන්න දරුවන්ටත් අපේ උරුමය සමඟ ජාත්‍යන්තර තලයට යන්න මේ විශ්වවිද්‍යාලය නිසා අද හැකි වී තිබෙනවා. අපේ පාරම්පරික ශිල්පීන් රැකගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් අවශ්‍ය යි. ඒ වෙනුවෙන් අපි බොහෝ ඉල්ලීම් කර තිබෙනවා. අනාගතයේ එය ඉටුවේවි කියා සිතනවා. නර්තනය, බෙර හඬ කියන්නේ මගේ හුස්ම පොද යි.”

    තුෂාරී කළුබෝවිල

    rasanduna

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here