අපට ජීවත් වීමට වෙනත් පෘථිවියක් නැත

    0
    9

    ලෝකයේ සියලු ජනමාධ්‍ය යුද්ධය ගැන කතා කරයි. පුපුරා යන මිසයිලවලින් අහසට නැඟෙන දුම්රොටු රූපවාහිනියේ අපි දකිමු. මියයන තුවාල වන මිනිස්සුන්ගේ ගණන් හිලව් පිළිබඳ නිරන්තරයෙන් වාර්තා වේ. එහෙත්, යුද්ධය පිටුපස ඇති බිහිසුණු පාරිසරික ඛේදවාචකය ගැන කිසිවෙක් කතා නොකරති. පෘථිවිය මානවයාගේ නිජබිම මෙන්ම සකලවිධ සත්ත්ව ලෝකයේද වාසභූමිය බව සියල්ලෝ අමතක කරති. යුද්ධය විසින් සකලවිධ ජීවීන්ගේ පැවැත්ම අනතුරේ හෙළා ඇති බව යුද්ධයට මැදිහත් වන බලවතුන් තුට්ටුවකට නොසලකන බව පෙනේ. පරිසර දූෂණය ගැන කතා කරපු ලෝක බලවත්හු නිහඬය; පරිසර සංවිධානද නිහඬය; ආගමික නායකයෝද නිහඬය.

    මැද-පෙරදිග යුද්ධයෙන් වඩාත්ම කම්පාවට පත් වන යුවතිය ස්වීඩනයේ ග්‍රේටා තන්බර්ග් බව සඳහන් කළොත් නිවැරදිය. ඒ අන් කවරක් නිසා හෝ නොව; පෘථිවියේ වායුගෝලයේ කාබන් විමෝචනය අවම කර ගැනීම සඳහා ඇය දිවි හිමියෙන් සටන් වැදුණු නිසාය. අද ග්‍රේටාට කතා කරන්නට ඉඩක් නොතබාම මැද-පෙරදිග අහසේ මිසයිල පියාඹයි.

    ග්‍රේටා තන්බර්ග් 2018 වසරේදී ස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට ‘පාසල් වර්ජනය’ ආරම්භ කරන විට ඇය 15 හැවිරිදි පාසල් සිසුවියකි. එහෙත් ඇය හුදෙක් දේශගුණික ක්‍රියාකාරිනියක පමණක් නොව, ලෝක බලවතුන්ගේ හෘදයසාක්ෂියට අභියෝග කරන ගෝලීය සංකේතයක් බවට පත් වූවාය. ඇය පරිසර සංරක්ෂණයෙන් ඔබ්බට ගොස්, ගෝලීය යුද ගැටුම් සහ පලස්තීන අර්බුදය වැනි මානුෂීය ගැටලු වෙනුවෙන් හඬ නැඟීම ලොව පුරා දැඩි අවධානයට මෙන්ම විවේචනයටද ලක් විය.

    දේශගුණික විපර්යාසයේ සැබෑ හඬ

    ග්‍රේටාගේ දේශපාලන ගමන්මඟ තේරුම් ගැනීමට නම්, අප ඇය ඉදිරිපත් කරන මූලික තර්කය වටහා ගත යුතුය. ඇය පවසන්නේ පෘථිවිය යනු හුදු දේපළක් නොව, අප ජීවත් වන නිවෙස බවයි. ‘අපේ නිවෙස ගිනි ගනිමින් පවතී’ (Our house is on fire) යන තම සුප්‍රසිද්ධ ප්‍රකාශය ඔස්සේ ඇය කාබන් විමෝචනය පාලනය කිරීම තවදුරටත් කල් දැමිය නොහැකි බව අවධාරණය කරයි.

    විද්‍යාත්මක දත්ත පදනම් කරගනිමින්, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට වඩා වැඩි වුව හොත් පෘථිවිය ආපසු හැරවිය නොහැකි විනාශයකට ඇද වැටෙන බව ඇය පෙන්වා දෙයි.

    ඇයගේ මේ අරගලය ලෝක නායකයන්ගේ හිස් පොරොන්දු විවේචනය කිරීමට තරම් නිර්භීත වූවාය. ‘ටයිම්’ (TIME) සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස තේරී පත් වෙමින් ඇය ලෝක ප්‍රජාවට පෙන්වා දුන්නේ අප ජීවත් වන ලෝකය රැක ගැනීමට සටන් වැදීමේදී වයස අභියෝගයක් නොවන බවයි.

    ග්‍රේටා මෑතකදී පලස්තීන අර්බුදය වෙනුවෙන් පෙනී සිටීම ඇතැමුන් දුටුවේ ඇය සිය විෂයපථයෙන් බැහැර වීමක් වශයෙනි. එහෙත් සැබෑව නම්, යුද්ධය සහ පාරිසරික විනාශය අතර ඇත්තේ වෙන් කළ නොහැකි සබඳතාවක් බවයි. යුද්ධය යනු පෘථිවියේ ‘කාබන් අයවැය’ වේගයෙන්ම කාදමන ක්‍රියාවලියයි.

    ලොව පුරා හමුදා ක්‍රියාකාරකම් මඟින් මුදාහරිනු ලබන කාබන් ප්‍රමාණය මුළු ලෝක කාබන් විමෝචනයෙන් 5.5%කට වඩා වැඩි බව පර්යේෂණ පෙන්වා දෙයි. යුද ටැංකි, ප්‍රහාරක ජෙට් යානා සහ නෞකා සඳහා වැය වන අතිවිශාල ෆොසිල ඉන්ධන ප්‍රමාණය ලෝකයේ ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවල විමෝචනයටත් වඩා වැඩිය. එහෙත් බොහෝ දේශගුණික සම්මුතිවලදී හමුදා විමෝචන දත්ත වාර්තා කිරීම අනිවාර්ය කර නැති වීම බරපතළ ගැටලුවකි.

    බෝම්බ හෙළීමකින් පසු ඇති වන ගොඩනැඟිලි සුන්බුන් සහ දූවිලි වායුගෝලය දූෂණය කරනවා පමණක් නොව, ඒ නගර නැවත ගොඩනැඟීම සඳහා කොන්ක්‍රීට් සහ වානේ නිපදවීමේදී යළිත් අතිවිශාල කාබන් ප්‍රමාණයක් වායුගෝලයට මුදා හැරේ. එබැවින් යුද්ධය යනු පෘථිවියේ අනාගතයට එල්ල කරන ද්විත්ව ප්‍රහාරයකි.

    ග්‍රේටා තන්බර්ග් පෙන්වා දෙන පරිදි, දේශගුණික විපර්යාස අනාගත යුද්ධ සඳහා ප්‍රධානතම හේතුවක් වනු ඇත. ලෝක උෂ්ණත්වය ඉහළ යෑම නිසා ජල හිඟය සහ වගා බිම් අහිමි වීම සිදු වේ. මෙය රටවල් අතර සහ ජන වර්ග අතර සම්පත් බෙදා ගැනීම පිළිබඳ ගැටුම් උග්‍ර කරයි.

    පරිසරය වාසයට නුසුදුසු වන විට මිනිස්සු සංක්‍රමණය වීමට පටන් ගනිති. මේ මහා පරිමාණ සංක්‍රමණයන් දේශපාලනික අස්ථාවරත්වයට සහ ප්‍රචණ්ඩත්වයට නිසැක මඟපෑදීමකි.යුද්ධයට විරුද්ධ වීම යනු වක්‍රව පරිසරය සුරැකීමයි. එබැවින් ග්‍රේටා පලස්තීන හිතවාදි ස්කාෆයක් (Keffiyeh) පැලඳගෙන වීදි බැසීම පිටුපස ඇත්තේ ‘සියලු මනුෂ්‍යයන්ට ජීවත් වීමට සුදුසු සුරක්ෂිත ලෝකයක්’ යන අරමුණයි.

    ග්‍රේටාගේ දර්ශනයට අනුව දේශගුණික අර්බුදය හුදු තාක්ෂණික ගැටලුවක් නොවේ. එය යුක්තිය පිළිබඳ ප්‍රශ්නයකි.

    පීඩාවට පත් ජනතාව අමතක කර පරිසරය ගැන පමණක් කතා කිරීම අසම්පූර්ණ බව ඇය විශ්වාස කරයි. ‘මිනිසුන් මරා දමන, දරුවන්ගේ අනාගතය අහිමි කරන යුද්ධ පවතින විට, පරිසරය සුරැකීම ගැන පමණක් නිහඬව සිටීම කළ නොහැක්කක්’ බව ඇයගේ මතයයි.

    ග්‍රේටා තන්බර්ග් අපට පෙන්වා දෙන්නේ අප ජීවත් වන්නේ එකිනෙකාට සම්බන්ධ වූ ලෝකයක බවයි. කාබන් විමෝචනය අඩු කිරීම මෙන්ම ලෝක සාමය උදා කර ගැනීමද පෘථිවියේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධක වේ. යුද්ධයේ ගිනිදැල්වලින් සහ කාබන් විමෝචනයේ උණුසුමෙන් පෘථිවිය බේරා ගැනීමට නම්, ලෝක බලවතුන් සිය බලලෝභි අරමුණුවලින් බැහැර විය යුතුය.

    ග්‍රේටා පවසන පරිදි, ‘අපට වෙනත් පෘථිවියක් නැත’ (There is no Planet B). එබැවින් පරිසරය සුරැකීම මෙන්ම මනුෂ්‍යත්වය සුරැකීම වෙනුවෙන්ද අප එක ලෙස හඬ නැඟිය යුතුය. එය හෙට දවසේ උපදින දරුවන් වෙනුවෙන් අප සතු අවසාන වගකීමයි.

    silumina

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here