ආදරය කියන්නේ දෙදෙනෙක් අතර ඇතිවෙන උත්තරීතර බැඳීමක් එහෙමත් නැත්නම් ගිවිසුමක් කියලයි අපි විශ්වාස කරන්නේ. ඒක එහෙම නෙවෙයි කියන්නත් බෑ. ඒත් ආදරය කියන දේ අපේ මනසට කාවැදිලා තියෙන්නේ අපේ සංස්කෘතියත් එක්ක. නමුත් ඉතා පැහැදිලිව කිව යුතු දෙයක් තිබෙනවා. එනම් අපේ මනසට එය කාවද්දලා තියෙන විදිය තුළම අර්බුදයක් තියෙනවා.
අපි මේ රකින සංස්කෘතියත් අපේ එකක් නෙවෙයි. මෙය ඉංග්‍රීසි පාලන යුගයේදී වික්ටෝරියානු සංස්කෘතියෙන් අපට උරුම වූ එකක්. අපි සුද්දන්ගේ අතීත සංස්කෘතිය රැකගෙන ඉදිරියට ගියාට සුද්දෝ ඒ සංස්කෘතිය අතහැරලා දැන් ගොඩක් කල්. නමුත් මේ කතා කරන්නේ සංස්කෘතිය වෙනස් කළ යුතුයි කියලා නෙවෙයි. ඒක මනෝ චිකිත්සකවරුන්ට අයිති කාර්යයකුත් නොවෙයි.
ආදරය විවාහයකින් කෙළවර විය යුතුයි කියලා අපේ සමාජය තුළ මුල් බැස ගෙන තිබෙන ආකල්පයත් මේ සංස්කෘතියෙන් ලැබුණු දෙයක්. ආදරය කියනදේ අපට සංස්කෘතිය විසින් කාවද්දලා තියෙන ක්‍රමය තුළම වරදක් තිබෙනවා.

ඇයි අපි එහෙම කියන්නේ?
ආදරය කියන්නේ හැම විටම ප්‍රේම සම්බන්ධතාවයක්ම නොවෙයි. විවාහය අරමුණු කරගෙන ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන තරුණියකගේ හෝ තරුණයකුගේ සිතක තවත් කෙනෙක් කෙරෙහි ප්‍රේමනීය ආදරයක් හට ගන්න පුළුවන්. ඒක සිතේ ඇතිවන හැඟීමක්.
ඒ තුළ කවදාවත් අයිති කර ගැනීම පිළිබඳ හැඟීමක් නොතිබිය හැකියි. ආදරය කියන හැඟීම නරක දෙයක් නොවෙයි. ඒ වගේම ඒක කොහෙත්ම අස්වාභාවිකත් නෑ. ඒක නරකයි වැරදියි කියලා අපි කියන්නේ සංස්කෘතිය විසින් කාවද්දලා තියෙන ආකල්ප නිසා. එක්කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන අතරේ තව කෙනෙක් එක්ක සාමාන්‍ය මිත්‍රත්වයට එහා ගිය ලෙන්ගතුකමක්, සුවිශේෂ හැඟීමක් ඇතිවීම අපේ සමාජයට අනුව අසම්මතයි. නමුත් මනෝ විද්‍යාව තුළ සිතිවිලි සහ හැඟීම් මිස සම්මත අසම්මත කියලා දෙයක් නෑ.

“මම ඔයාට විතරයි ආදරේ කරන්නෙ. මට ඉන්නෙ ඔයා විතරමයි” කියලා තමන් ගේ පෙම්වතාට පවසන පෙම්වතියන් වගේම එලෙස තම පෙම්වතියට පවසන පෙම්වතුන්ද සිටීම සුලභ සහ සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මෙහෙම කියන පෙම්වතෙක් හෝ පෙම්වතියක් වෙනත් කෙනෙක් ගැන ආදරයකට සමාන හැඟීමක් සිතින් ඇති කරගෙන ඉන්නව නම් එතන තියෙන්නේ අවංකකම පිළිබඳ ප්‍රශ්නයක් මිසක් ආදරය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. හේතුව එවැනි ආදරයක් හට හටගන්න පුළුවන්කමක් තිබෙන නිසයි.
බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක තමන් වහන්සේගේ දේශනාවකදී “ස්ත්‍රියක් කෙරෙහි බැඳුණු පුරුෂයා අන් ස්ත්‍රීන් කෙරෙහි ඇති ආශාවද අත් නොහලාක් මෙන්” යනුවෙන් උපමාවක් දක්වා තිබෙනවා. මෙයින් අදහස් කරන්නේ මෙය අනුමත කරනවාද නැද්ද කියන එක නොවෙයි. මෙවැනි දේවල් පැවතිය හැකි බවයි.
ලෝකයේ පවතින ප්‍රබලම දෙය ගැහැනුන් හා පිරිමින් අතර ඇතිවන ආකර්ෂණයයි. ජීව විද්‍යාත්මක වශයෙන් එය නතර කළ හැකි දෙයක් නොවෙයි. ඒ අනුව “කෙනෙකුට බැඳුනා කියා තවත් කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරගන්න බැරිකමක් නෑ” කියන එක ජීව විද්‍යාත්මක කාරණයක්. “එවැන්නක් සිදුවිය යුතු නෑ” කියන එක සමාජ විද්‍යාත්මක කාරණයක්.

නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස සලකන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මනෝ විශ්ලේෂණයේදී මනස කොටස් තුනකට බෙදා දක්වනවා.ඒ id (ඉඩ්), ego (ඊගෝ), super ego (සුපර් ඊගෝ) ලෙසින්.මේ idකොටස තමයි අපේ සිතට දැනෙන ආශාවල් සහ අප කැමති කැමති දේවල් පසුපස දුවන්නේ.ego කොටස id කොටසේ බලපෑමට අනුව ඒ කැමති කැමති හැම ආශාවක්ම ඉටුකර ගන්නට උත්සාහ දරනවා.
නමුත් super ego එහෙම ලේසියෙන් ego ට ඉඩ දෙන්නෙ නෑ. සමාජ සම්මතය අයිති super ego ට. එනිසා ego යමක් කරන්න ගියාම “ඕක කරන්න එපා. ඔය වැඩේ වැරදියි” ආදී වශයෙන් සමාජ සම්මතය මතක් කර දෙමින් ego කරන්න හදන දේවල් වළක්වන්නේ super ego. මෙහිදී super ego වල බලපෑම නිසා තමයි අපි සම්මත දේවල්වල කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හිරවෙලා ඉන්නේ.
මේ අනුව id කොටස කරනු ලබන පෙළඹවීම් සහ super ego කරනු ලබන වැළැක්වීම් හමුවේ ගිරයට හසුවූ පුවක් ගෙඩිය මෙන් ego දැඩිව පීඩාවට ලක් වෙනවා. මේ හේතුවෙන් තමන්ගේ සිතිවිලි, හැඟීම් මුදා හැරීමට නොහැකි වීම නිසා ego තුළ කාංසාමය (anxiety) තත්ත්වයක් නිර්මාණය විය හැකි බව ෆ්‍රොයිඩ් පවසනවා.

පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වන ආදරය කියන මේ හැඟීමට වයස, තරාතිරම ආදී කිසිවක් අදාළ වෙන්නේ නෑ. වයස තරාතිරම වගේ කාරණා සමාජ සම්මතයන් විතරයි. ඒවා විවාහය වගේ දේකට අදාළ වෙන්න පුළුවන් නමුත් ආදරයට අදාළ නෑ.
ආදර සම්බන්ධතාවයක් ගොඩනැගෙන්න අනෙක් පාර්ශවයේ භූමිකාවත් හරිම වැදගත්. අපි මෙහෙම උදාහරණයක් ගනිමු.
A නැමති පුද්ගලයෙක් සිටිනවා. මේ A ට B සහ C යන දෙදෙනාම ආදරය කරනවා. B සහ C ගේ හැසිරීම්, එයාලා ආදරය ගැන හිතන විදිහ, එයාලගේ දැක්ම, ඒ දෙන්නා A කෙරෙහි පවතින බැඳීම වැනි දේවල් මගින් තමන්ට වැඩියෙන් ආදරය කරන්නෙ කවුද කියලා A ට අවබෝධයක් ඇතිවෙනවා. ඒ හැඟීම් තමන්ගේ සිතිවිලි අනුව ගැළපෙනවා නම් “එයාව තමයි මගේ හිතට වැඩියෙන්ම දැනෙන්නේ” කියලා A උපකල්පනය කරනවා. ඒ අනුව එලෙස වැඩියෙන් දැනෙන කෙනාට A ළංවෙනවා.

මේ විදිහට තමන්ට වඩාත්ම දැනෙන්නේ තමන් විවාහ වීමට සිටින කෙනා නෙවෙයි නම් එලෙස සිතට දැනුනු කෙනා එක්ක සම්බන්ධය දිගටම පවතිද්දි අනෙක් කෙනා එක්ක කලින් පොරොන්දු වූ ආකාරයට විවාහ විය හැකියි. ඒත් වඩාත් හිතට දැනෙන කෙනාට සිතේ තියෙන බැඳීම තවදුරටත් පසුව වර්ධනය වන්නට බැරිකමක් නැත්තේ මිනිස් සිතට මොන විදිහකින්වත් වැට මායිම් නැති නිසයි.
සාමාන්‍ය සමාජය මෙවැනි සම්බන්ධතා හඳුන්වන්නේ අනියම් සම්බන්ධතා ලෙසින්. නමුත් මනෝ විද්‍යාව තුළ, විශේෂයෙන් උපදේශනයේ දී මේ කිසිදු සම්බන්ධතාවක් අනියම් වශයෙන් හෙලා දකින්නේ නෑ. අනියම් කියන වචනය තුළම පවතින්නේ හෙළා දැකීමක්, පහත් කිරීමක්. මේවා මනෝ විද්‍යාවට අනුව කිසිසේත් අස්වාභාවික නොවන මානුෂීය සම්බන්ධතා. එනිසා අනියම් යන වචනය වෙනුවට විවාහයෙන් පිට සම්බන්ධතා (extra marital effairs) ලෙසින් මේවා අර්ථ දක්වනවා.
යම් පුද්ගලයකුට එකවර දෙදෙනෙකුට ආදරය කළ හැකියි. නමුත් එය සමාජ සම්මතයෙන් පිට නිසා අප ජීවත්වන සමාජය අනුව එමගින් ගැටලු අර්බුද රාශියක් නිර්මාණය විය හැකි නිසා තමන් හා ජීවත්වන අනෙක් අයගේ යහපත වෙනුවෙන් කිසියම් නිශ්චිත තීරණයකට එළඹීමට විවාහකයන්ට සිදු විය හැකියි.

ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක
ආචාර්ය සුරංග අමරකෝන්

ඉන්දු පෙරේරා