අසරණ සතුන් ඉදිරියට දමා බඩ වඩා ගැනීමේ ‘කලාව’ | Enokaa Sathyangani

    0
    12

    සාධනීය නෛතික පදනමක් හෝ යාවත්කාලීන වූ සත්ව ආරක්ෂිත ක්‍රමෝපායන් හා මෙරට සත්ව සුබසාධන ක්ෂේත්‍රයේ නිසි පැවැත්මක් හෝ නියාමනයක් නොමැතිකම නිසාම, එහි ආදීනව ලෙසින් තවමත් වීදි සතුන් මහමඟ අසීමිතව දුක් විඳින අතරේ,

    ‘සත්ව සුබසාධනය’ නමින් කුඩා, මධ්‍යම හා මහා පරිමාණ වශයෙන් වීදි සතුන් ඉලක්ක කරගනිමින් ලාභ ලබන ව්‍යාපාරයක් මෙරට ගොඩනැගී තිබේ.

    එය සංවිධාන මට්ටමින් සේම හුදෙකලා පුද්ගල මෙහෙයුම් ලෙසින් ද රට පුරා ව්‍යාප්තව පවතියි. ආණ්ඩුව මැදිහත් වී කළ යුතු කාර්යභාරයක් පෞද්ගලික මෙහෙයුම්කරුවන් විසින් සිදු කිරීම සුබවාදී ප්‍රවණතාවක් ලෙස මතුපිටින් පෙනුණත්, සතුන්ට පිළිසරණ වන අතරේ එකී කර්තව්‍යය ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම බාහිරින් නිරීක්ෂණය කිරීමෙන් එකවර හඳුනාගත හැකි තත්ත්වයක් නොවේ.

    මේ තුළින් ඇතැමුන් (සුළු පිරිසක්) සත්ව ප්‍රේමය හෝ සත්ව කරුණාව මත සිදු කරන සද්කාර්යයක් ලෙසින් කිසියම් මෙහෙවරක් සිදු කරනු ලැබුවත්, තවත් පිරිසක් එය තම බඩගෝස්තරය පිණිස ජයග්‍රාහී ලෙස සිදු කරමින් පවතියි. එවැනි යටි අරමුණු සහිත පාර්ශ්වකරුවන් වෙත දෙස්-විදෙස් සත්ව ප්‍රේමී පරිත්‍යාගශීලීන් සිය මූල්‍ය ආධාර නිර්ලෝභීව ලබා දෙන අතර, මතුපිටට දෘශ්‍යමාන නොවන වැරැද්ද වන්නේ එසේ ලබා ගන්නා ප්‍රතිපාදන සතුන්ගේ සුඛවිහරණය සඳහා පමණක් (හෝ විශාල කොටසක් සතුන්ට) ලබා නොදී, ඒ ආධාර තුළින් තම පෞද්ගලික අරමුණු ඉටු කරගැනීමේ මෙහෙයුම් රට පුරා සිදුවෙමින් පැවතීමයි. ඇතැම් මෙහෙයුම් ආයතනික පදනමක් සහිතව සාධාරණ ලෙස කටයුතු කරනවා යැයි පිටතට මවාපාමින් සිදු කරන නිසාම, ඒ යට ඇති ලාභ ඉපයීමේ අරමුණු සත්ව ප්‍රේමී පරිත්‍යාගශීලීන් හඳුනා ගන්නේ නැත.

    රටේ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අදාළ ක්ෂේත්‍රය සම්බන්ධ දැනුමක් හෝ පුහුණුවක් අවශ්‍ය මුත්, මෙකී කර්තව්‍යයේ නිරත ඇතැමුන් ඉතා අනාරක්ෂිත ලෙස සතුන් රඳවා තබාගෙන, සතුන්ගේ මූලික අවශ්‍යතාවන්වත් ඉටු කිරීමට නොපෙළඹී කටයුතු කිරීම, සත්ව හිංසනයට එරෙහිව පෙළගැසුණු පිරිස් විසින් අවබෝධ කරගත යුතු කටුක යථාර්ථයකි. මුල් අරමුණ යහපත් එකක් විය හැකි මුත්, අවසානයේ සතුන් ගොඩගැසීමෙන් එකී සතුන්ට අවශ්‍ය මූලික ආහාරපාන පවා ලබා දීමට ශක්තියක් නොමැතිව, විශාල සතුන් ප්‍රමාණයක් ගාල් කරගෙන අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන සත්ව වධකාගාර වැනි සත්ව අනාථාගාර දිවයිනේ තැන තැන තිබීම කනගාටුවට කරුණකි.

    ඇතැමුන් ප්‍රමිතිගත පදනම් මත පිහිටා කටයුතු කරනු ලැබුවත්, සතුන්ගේ පරිහරණයෙන් පරිබාහිරව උපයාගන්නා විශාල ලාභාංශ රටේ ආදායම් බදු ව්‍යුහයට ද හසු නොවී ජයග්‍රාහී ලෙස සිදු කරගෙන යාම ප්‍රශ්නගත නොවන යටි ව්‍යාපාරයකි.

    ඔටාරා ගුණවර්ධන වැනි ධනවත් ව්‍යවසායකයන් විසින් ස්වේච්ඡා මෙහෙයුමක් ලෙස ලාභ ලැබීම පරමාර්ථ කොට නොගෙන මෙරට ජනප්‍රිය තත්ත්වයට පත් කරන ලද වීදි සත්ව සුබසාධනය, මේ වන විට හතු පිපෙන්නා සේ තැන තැන බිහි වූ සත්ව සුබසාධන ‘ආවා-ගියෝ’ විසින් මූලික සාරධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. ලාභ ඉපයීමේ පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීමේ ප්‍රමුඛ අරමුණෙන්, සත්ව ක්‍රියාකාරිකයන් ලෙස පෙනී සිටිමින් සත්ව සුබසාධනය තුළ බලවත් ඒකාධිකාරයක් පිහිටුවීමේ වෑයමක එකී පිරිස් නිරතව සිටීම කටුක යථාර්ථයකි. 

    ඒ අනුව සෙසු සත්ව ක්‍රියාකාරිකයින්ට මානසික අල්ලස් සේම ඇතැම් විට සන්තෝසම් ලබා දෙමින්, ඔවුන්ගේ බල අධිකාරිය ව්‍යාප්ත කිරීමේ උත්සාහයක ඔවුහු නිරන්තරයෙන් ක්‍රියා කරමින් සිටිති. එපමණකින් නොසෑහී, මහජන මුදල් හෝ විදේශ මූල්‍ය ප්‍රතිපාදන මත යැපෙන්නේ නැති ස්වාධීන සත්ව ප්‍රේමීන් බිල්ලට ගැනීම ඔවුන්ගේ කූඨ මෙහෙයුම තුළ තවත් ඉලක්කයක් වේ. ඒ අනුව තම බල මූල අවකාශයෙන් බැහැරව සත්ව සුබසාධනයේ යෙදෙන ඕනෑම අයෙකු සෙසු පිරිස් අතරේ අප්‍රසාදයට පත් කරවන ආකාරයට ව්‍යාජ වෑයම් දරන ඔවුන්, එකී පුද්ගලයන් මූලික කරගෙන සැලසුම් සහගත ලෙස අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නේ ඔවුන් අදාළ ක්ෂේත්‍රය තුළ අකර්මණ්‍ය කිරීමේ ඒකායන අරමුණෙනි.

    එලෙස විවිධ උපක්‍රම තුළින් ඔවුන් උරගා බලන්නේ, තමන්ගේ ව්‍යාපාරික අරමුණු කෙරෙහි කිසිවෙකුගේ බලපෑමක් හෝ විවේචනයක් එල්ල නොවන ලෙස අවට පරිසරය සකස් කරගැනීමේ දැල එලන්නට ය. ඒ, තමන් සෘජු හෝ වක්‍ර ලෙස සේම, නියම හෝ අනියම් ලෙස උපයන ලාභාංශ මහා සමාජයෙන් සඟවා තබාගැනීමේ ප්‍රමුඛ අරමුණෙනි. ඒ අනුව ඔවුන් සාධනීය මෙහෙවරක යෙදෙන කැපී පෙනෙන සත්ව ක්‍රියාකාරිකයින් “බාගත කරගැනීමට” (මට්ටු කිරීමට/යටත් කරගැනීමට) සූක්ෂම වෙති. එවිට අවට සිටින බහුතරයක් පිරිස් වරදක් දුටුවත් නොදැක්කා සේ සිටින්නට කටයුතු කිරීම නිසා, තම මෙහෙයුම් සාර්ථකව තවදුරටත් දියත් කිරීම ඔවුන්ට පහසුවෙන් කරගෙන යා හැකි වනු ඇත.

    එසේම, ඇතැම් විට තමන් සමග තරඟකාරී ලෙස ගැටෙන හෝ තමන් සමග සටනට එළඹෙන ඇතැම් පාර්ශ්වයන් යාප්පුවෙන් හිතවත් කරගැනීමට තවත් විටෙක පෙළඹෙති. එය ඉතා සුළු උපකාරයක් වෙනුවෙන් බලෙන් ඉදිරිපත් වීම තුළින් එකී පුද්ගලයන් දිනාගැනීම විය හැක. “අපි ඔයා ගැන මෙතෙක් හිටියේ වැරදි වැටහීමක” යැයි චාටු බසක් මුමුණා, එකී පුද්ගලයාගේ පසමිතුරන් සමග එකට කමින්-බොමින් ලාභ බෙදාගනිමින්, සිය උප්පරවැට්ටියට හසු වූ පුද්ගලයා වෙනුවෙන් ජයපැන් බීම ඔවුන්ගේ සරල චාරිත්‍රයයි. ‘ගේම් ගැසීමේ’ හොඳම කලාව ප්‍රගුණ කරන ඔවුන් පිළිගන්නේ “සුළු හතුරන් මිතුරෙකු කරගැනීමේ” මහා කූඨ මෙහෙයුමයි. එවිට තම බල මෙහෙයුමට අභියෝග කරන ස්වාධීන සිවිල් චරිත ඒ ඔස්සේ හුදෙකලා කිරීම ඔවුන්ගේ උපක්‍රමික සැලැස්මයි.

    ඒ තුළ, වයින් බීම ප්‍රමුඛ කාරණාවත්, සුනඛයින් මුදවාගැනීම ද්විතීයික කාරණාවත් බව ප්‍රසිද්ධියේ වුව පිළිගනිමින් තම ඉලක්ක සපුරා ගැනීම ඔවුන්ගේ පිළිවෙතයි. ඒ තුළ ඔවුන් සැමදා ජයග්‍රාහකයින් ලෙස වැජඹීම වෙනස් නොවන සදාතනික ඉරණමක් ලෙස ඔවුන් උත්කර්ෂයෙන් යුතුව විශ්වාස කරනු ලබයි.

    “I JUST WANT TO DRINK WINE & RESCUE DOGS” (මට ඕනෙ වයින් බීලා බල්ලන්ව බේරගන්න විතරයි)

    ඔවුන්ගේ තේමා පාඨය ලෙස සව්දිය පුරමින් නිරන්තරයෙන් ගයන්නේ ඒ නිසා ය. ඒ හංස ගීතය මිහිරි යැයි විශ්වාස කරන ඔවුන් වටා ඒකරාශී කරගත් පිරිසක් විසින් ගීතයේ තාලයට අත්පොළසන් නගන්නේ, මේ දිය පොකුණේ මාළුවන් සදාකාලිකවම තම ගොදුරු පිණිස වෙන්ව ඇති බව ද විශ්වාස කරමිනි.

    (සටහන | ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද)
    ජාතික හා ජාත්‍යන්තර සම්මානනීය සිනමාවේදිනි

    [email protected]


    උපුටා ගැනීම :vinivida.lk

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here