ගීතයෙන් ගීතය – (රාණි හී ගයාන් හා රිචඩ් ගයන ගීතයේ පසුබිම් කතාව) | උදන් ප්‍රනාන්දු

    0
    43

    හඳගම එක්ක මං රාණි එකේ දෙබස් ලියද්දි (ඒ ගැන පොඩි විස්තරයක් මං කලින් ලිව්වා –  අසෝක බාස්ට බදාම ඇනීම), මම ගොඩක් ම ආස කළ අවස්ථාව තමයි රිචඩ්, ගයාන් සහ මනෝරානි පොඩි ඩ්‍රින්කෙකක් ගන්න ගමන් කියන සින්දුව තියෙන දර්ශනය.

    මෙතන දී හඳගම මට දෙබස් ලියනවාට වඩා වැඩි කොටසකුත් පැවරුවා. ඒ තමයි ඒ දර්ශනයට ඕන සින්දුවකුත් තෝරා ගැනීම.

    මේ වෙනකොට චිත්‍රපටයේ වර්කින් ටයිටල් එක ලෙස අපි යොදාගෙන තිබුනේ ම’විසින් යෝජනා කරන ලද O Absalom My Son යන්න (ඇත්තෙන් ම ෆිල්ම් එක ෂූට් කරේ මේ ටයිටල් එකෙන්. පසුව රාණි කියන ඊට වඩා ගැලපෙන නම අපට හමුවුණා).

    ඒ නිසා මම ගොඩක් හිතුවේ ඒ ඔස්සේ. මගේ මුල් තෝරා ගැනීම හා යෝජනාව වුණේ තරමක් පොප්-ඔපෙරාමය ශානරයේ ගීතයක්. ඒක ලෝක ප්‍රසිද්ධLes Miserables මියුසිකලයක් වන ‘ලෙ මිසෙරාබ්ල’ (Les Miserables, සිංහලෙන් ඊරියගොල්ල මහතා, වික්ටර් හ්‍යුගෝ විසින් රචිත මුල් නවකතාව, මනුතාපය ලෙස පරිවර්තනය කළ) හී එන එක අනුවේදනීය අවස්ථාවක ප්‍රධාන නළුවා කියන “Bring him home” ගීතය.

    ගීතයේ කේන්ද්‍රය පුතෙක් (මාරියස්) උනත් ඒක කියන්නේ එයාගෙ ම අම්මා හෝ තාත්තා නොවෙයි; එයාගේ පෙම්වතිය (කොසට්, මනුතාපයේ – කිසා) දරුකමට හදාගන්න වැඩිහිටියා (Jean Valjean, මනුතාපයේ නගරාධිපති). ප්‍රංශ විප්ලවය කෙරෙන සන්දර්භයේ දිග ඇරෙන මේ මියුසිකලයේ, තරුණ මාරියස් විප්ලවවාදී ශිශ්‍ය කණ්ඩායමක සාමාජිකයෙක් ව සිට ඔහු බලධාරීන්ගේ ග්‍රහණයට හසුවීමෙන් අනතුරු ව, ඔහු නිරුපද්‍රිත ව නැවත ගෙදර එන ප්‍රාර්ථනය හා දෙවියන්ට කෙරෙන ආයාචනයයි මේ පියා නොවන පියා කරන්නේ. මගේ තේරුම් ගැනීම අනුව මෙය ගැඹුරු parental හෙවත් දෙමාපිය හැඟීමක්.

    Bring him home

    God on high
    Hear my prayer

    In my need
    You have always been there

    He is young
    He’s afraid
    Let him rest
    Heaven blessed.

    Bring him home
    Bring him home
    Bring him home.

    He’s like the son I might have known
    If God had granted me a son.
    The summers die
    One by one
    How soon they fly
    On and on
    And I am old
    And will be gone.

    Bring him peace
    Bring him joy
    He is young
    He is only a boy

    You can take
    You can give
    Let him be
    Let him live
    If I die, let me die
    Let him live
    Bring him home
    Bring him home

    මං හඳගමට කීවේ, මේ ගීතයේ කොටස් වෙනස් භාවයන් ඉස්මතු වෙන විදියට චිත්‍රපටයේ විවිධ තැන්වල පාවිච්චි කරන්න හැකියි කියලා සංගීත අධ්‍යක්ෂකවරයාට යෝජනා කරන ලෙස.

    මේ ගීතයේ ඔපෙරාමය රෙන්ඩීශන කිහිපයක් ම ප්‍රසිද්ධ ගායකයන් විසින් ගයනු ලබනවා. උදාහරණයක් ලෙස, පහත දැක්වෙන්නේ මේ මියුසිකලය අසූවේ මැද භාගයේ ලන්ඩන් හී රඟ දැක්වෙන කාලයේ, Colm Wilkinson විසින් ලෙ මිස් හී ගයන ගීතයේ වර්ශනය. එය මියුසිකලයට ඔබින ඔපෙරටික් ශෛලියකිනුයි ගැයෙන්නේ.


    ඒත් හඳගමයි මායි ගොඩනගන දර්ශනයට ඕනවට වඩා ඔපෙරාමය ශෛලියේ ගීතයක් ගැලපෙන්නෙ නැහැ කියලා මට පැහැදිලි වුණා. ඒ නිසා තරමක් වෙනස් ටෙම්පො එකක් එක්ක සහ ගිටාර් වාදනයක් එක්ක යන මේ ගීතයේ කවර් රෙන්ඩිෂනයක් මට හොයාගන්න පුළුවන් උනා.

    මේ සින්දුව පාවිච්චි කරලා ඒ දර්ශනය විස්තරාත්මක ව ලියන්න මං පොඩි විශුවලයිශේෂන් එකක් එහෙමත් නැත්නම් සිමියුලේෂන් එකක් ජොලියට වගේ පාවිච්චි කළා. ඒ තමයි මාත් පොඩි ගිටාර් එකක් අරගෙන ඩ්‍රින්ක් එකක් දාන දාන ගමන් සින්දුව ප්ලේ කිරීම හා බැරි මරගාතේ (සහ වෙරිමරගාතේ) මං ම ඒ සින්දුව කීම. මං ඒ කොටස වීඩියෝ කරලා, හඳගමට ඇරියේ විඩියෝ නෝට් එකක් ලෙස.

    හඳගම හැරෙන තැපෑලෙන් ඊට ප්‍රතිචාර දක්වලා කිව්වේ, මීට වඩා අප්ලිෆ්ටින් සින්දුවක් තමයි අවශ්‍ය කියලා. මගේ සියලු හෝම්වර්ක් ගඟේ ගියා ! මට පොඩි කණගාටුවක් ඇති උනත්, ඒ ප්‍රතිචාරයේ තාර්කිකභාවය මට හොඳින් ම තේරුණා.

    මං ‘ලෙ-මිස්’ සින්දුවට ෆික්සේටඩ් හා බයස් නිසා මම වෙන කෙනෙක්ගේ යෝජනාවලට විවෘත විය යුතුයි කියලා මට හිතුනා. මට එක පාරට ම මතක් උනේ සිඩ්නි නුවර දශක ගණනාවක් ජීවත් වෙන මගේ සමීප මිතුරෙක් වන චිත්‍රන් දොරේසාමී ව.

    චිත්‍රනුයි මමයි දෙන්න ම එකම පන්තියේ ඉගෙන ගත්ත පාසැල් සගයෝ. තවත් විශේෂත්වයක් තමයි අපි දෙන්නට ම රිචඩ් ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්නලා තියෙනවා. චිත්‍රන් පොඩි කාලෙ ඉඳන්ම සංගීතයට දක්ෂ යි. නාට්‍ය රඟපෑමටත් ඒ වගේ ම දක්ෂයි. චිත්‍රන්ට තාම මතකයි එයා ඇතුළු පොඩි ඉස්කෝලේ නාට්‍ය කණ්ඩායමක් ලයනල් වෙන්ට් එකට රිචඩ් එක්කන් යනවා බස් එකේ. ළමයි සේරට ම ටිකට් ගත්තේ රිචඩ් ලු.

    චිත්‍රන් එක්ක මං සමස්ත කතාවේ හා නිශ්චිත දර්ශනයේ විස්තර කීව ම, එයා ටිකක් වෙලා අරන් සින්දුවක් යෝජනා කළා. ඒක තමයි Skeeter Davis ගේ ‘End of the World’.

    Why does the sun go on shining?
    Why does the sea rush to shore?
    Don’t they know it’s the end of the world?
    ‘Cause you don’t love me any more

    Why do the birds go on singing?
    Why do the stars glow above?
    Don’t they know it’s the end of the world?
    It ended when I lost your love

    I wake-up in the morning, and I wonder
    Why everything’s the same as it was
    I can’t understand, no, I can’t understand
    How life goes on the way it does

    Why does my heart go on beating?
    Why do these eyes of mine cry?
    Don’t they know it’s the end of the world?
    It ended when you said, “Good-bye”

    මේක ඇත්තට ම ප්‍රේම විරහ ගීතයක්. සියලු ම හැඟුම් උද්දීපනය කරන්නේ විරහවේ ප්‍රකාශන හරහා. ඩේවිස් මේ ගීතය මුලින් ම කියන්නේ 1962 දී.image ff5d70a579 එතකොට තරුණ මනෝරානි හතර හැවිරිදි රිචර්ඩ් ව් උකුලේ තියන් හුරතල් කරන කාලේ (රිචඩ් උපදින්නේ 1958 මාර්තුවේ). ඒ කාලේ මේ සින්දුව ගොඩක් ප්‍රසිද්ධ උන නිසා අපි පරිකල්පනය කළා මේක අම්මයි පුතයි කාලයක් තිස්සේ අහපු සින්දුවක් කියලා.

    අනිත් එක, අපේ දර්ශනයට මේක ගිටාර් එකක් එක්ක හොඳට යනවා. එතන ඉන්න දෙන්නා තුන්දෙනාට මේක ලස්සනට හාමනි එකක් එක්කත් කියන්න පුළුවන්. මේ කරුණු අඩංගු යෝජනාවලිය හඳගමට යැව්ව ම, එයා විදුලි වේගයෙන් මට වට්සැප් කළා “පර්ෆෙක්ට් – දිස් සූට්ස් වෙල්” කියලා. ඒ සන්තෝසෙට මං සීන් එකේ ඉතුරු ටික ලියලා ඉවර කරලා, සන්තෝසෙට තව දෙකක් ගහලා නිදා ගත්තා.

    මේ දර්ශනයේ සින්දුව එන කොටස, single-take / direct-sound ක්‍රමයට තමයි කැමරාගත කරලා තියෙන්නේ. ඒ කියන්නෙ පස්සෙ වෙලාවක හරි බරි ගැහිලා රෙකෝඩ් කරපු සින්දුවක් ඩබ් කරන්න බෑ. ඇත්තට ම මෙතන තියෙන්නේ, එක විදිහක වේදිකා නාට්‍ය ම ය කොන්දේසියක්. අදාළ නළුවා, වරද්දන්නේ නැතුව ගිටාරය වයන ගමන් සින්දුව පර්ෆෙක්ට් එකට කියන එක. මේ වගේ වැඩක් දෙන්න කෙනෙක් එක ලෙස දක්ෂ නළුවෙක්, වාදකයෙක් හා ගායකයෙක් වෙන්න ඕනේ.

    මේ අභියෝගය, මගේ ඇස්තමේන්තුවෙන් නම්, අති සාර්ථක ලෙස ඉෂ්ඨ කරන්නේ, රිචඩ් ගේ මිතුරා, ගයාන්ගේ හා රිචඩ්ගේ චරිත නිරූපණය කරන සජිත ඇන්තනි සහ රෙහාන් අමරතුංග. සජිතගේ වගකීම ටිකක් වැඩි වෙන්නේ ඔහු ගිටාරයකුත් වාදනය කරන නිසා. සජිතගේ ස්වභාවික කෞශල්‍යයට අමතර ව, මේ ගීතයේ කොටසට පමණක් කොපමණ කාලයක් වාදන හා ගායන අභ්‍යාස කරන්න ඇද්ද යන්න වටහා ගැනීමට අප සංගීතඥයින් විය යුතු නෑ. මෙතෙක් වේදිකා නළුවෙකු ලෙස අප දැන සිටි රෙහාන් ද මේ කෙටි ගායන ඛණ්ඩයකින් තමන් සතු සංගීතමය කුසලතාවය ද පෙන්නුම් කරනවා. ඇත්තෙන් ම පහුගිය වසර දෙක තුන තුළ ඔහු වෘත්තිය වශයෙන් ප්‍රාමාණික ලෙස කටයුතු කර ඇත්තේ සංගීත නිර්මාපකයෙකු ලෙස යි. සජිත්ට සහ රෙහාන්ට මෙතරම් සංගීතමය පසුබිමක් නොතිබුණා නම්, මේ දර්ශනය තාක්ෂණික ව සින්ගල්-ටේක් / ඩිරෙක්ට් සවුන්ඩ් ආකාරයෙන් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නෑ.

    චිත්‍රපටියේ මේ දර්ශනයට අමතර ව, මේ ගීතය අඩංගු කොටසක් රාණි එකේ එක ට්‍රේලර් එකකත් පාවිච්චි කරනවා. ඒක ඉතාමත් ලස්සනට හා අතිශය සීරුවට එඩිට් කරල තියෙනවා.

    Why does the sun go on shining?
    Why does the sea rush to shore?

    එන්ඩ් ඔෆ් ද වර්ල්ඩ් ගීතයේ රාණි රෙන්ඩීශනය අහද්දී ගීතයේ ඉහත ඇති පළමු පේළි දෙකට නැවුම් අර්ථයක් ආරෝපණය කරන්නේදැයි මට විටෙක සිතෙන්නේ ‘සන්’ ලෙස අපට කණට ඇහෙන වචනය sun (හිරු) පමණක් නොව, son (පුතු) ද විය හැකි නිසාත් මුහුදු රැල්ල මෙතරම් හදිසියකින් වෙරළට ගොඩ ගසන්නේ ඇයි ද යන ප්‍රශ්නය නිසාත් ය.

    (සටහන | ආචාර්ය උදන් ප්‍රනාන්දු)
    සමාජ හා දේශපාලන විශ්ලේෂක
    [email protected]

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here