වර්තමානයේ සමාජයේ බොහෝ දෙනකු බෝ නොවන රෝගවලින් පෙළෙන අතර, ඊට ප්‍රධාන හේතුවක් ලෙස අප ගන්නා ආහාරපාන හැඳින්විය හැකිය. දරුවන් පවා අඩු වයසින් බෝ නොවන රෝගවලට ලක් වීම මහත් අභාග්‍ය සම්පන්න සිදුවීමක් වන අතර, ඊට ප්‍රධාන හේතුව වන්නේ ඇතැම් මවුපියන් සමබල ආහාර වේලක ඇති වැදගත්කම නොදැන සිටීමය.
ඇතැම් මවුපියෝ දරුවාගේ කුස පිරෙන්නට මොනවා හෝ පිටි ආහාරයක්, රසකැවිල්ලක් හෝ ක්ෂණික ආහාරයක් දීමට පෙලඹී සිටිති. මේ ආහාර රටාව දිගින් දිගටම පැවතියහොත් තවත් වසර 5-10ක් ඇතුළත රටේ බහුතර පිරිස බෝ නොවන රෝගවලට ප්‍රතිකාර ගනු ඇතැයි පෝෂණවේදීහු අනතුරු අඟවති.
මේ තත්ත්වය වෙනස් කිරීමට කළ යුත්තේ පෙර පාසල් අවධියේ සිටම දරුවන්ගේ පෝෂණය සහ සෞඛ්‍ය තත්ත්වය ගැන නිසි අවධානය යොමු කිරීමය. එයින් අනාගත පරපුර බෝ නොවන රෝගීන් බවට පත් වීම අවම කරගත හැකිය.

පෙර පාසල් ගුරුවරුන්ගේ වගකීම
පෙර පාසල් දරුවන් පිළිබඳ වගකීම මවුපියන්ට මෙන්ම පෙර පාසලේ ගුරුවරියන් සහ සහායක ගුරුවරියන්ට ද පැවරී ඇත. නව වසරේ ආරම්භයත් සමඟ ඔබේ පෙර පාසලට අලුතින් පැමිණි දරුවන් ගැන විශේෂයෙන් විමසිලිමත් වන්න. ඒ සඳහා පහත සඳහන් පියවර අනුගමනය කළ හැකිය:
- ඔබේ දරුවාගේ නියපොතු නිසි ලෙස කපා, පිරිසුදුව ඇත්දැයි බලන්න.
- ඔබේ දරුවාගේ හිස පරීක්ෂා කර බලන්න. උකුණන් සිටිය හැකිය.
- දරුවාගේ මුඛය විවෘත කර බලන්න. දිරූ හෝ නරක් වූ දත් තිබිය හැකිය.
- දරුවන් ක්‍රීඩා කරන විට එක් එක් දරුවා පිළිබඳ වෙන වෙනම අවධානය යොමු කරන්න. දරුවාට අස්ථි ආබාධ තිබේනම් එහිදී හඳුනාගත හැතිය.
මෙවැනි කරුණු නොදැනුම්වත්කමින් මඟහැරුණද, මේවාට පහසුවෙන් විසඳුම් සොයාගත හැකිය.

අධ්‍යාපනය පමණක් මූලික කරගත් සමාජයක ගුණධර්මවලින් පිරිපුන් නිරෝගී දරු පරපුරක් බිහි කිරීමට පෙර පාසල් ගුරුවරුන්ගේ මහඟු සේවාවක් ඉටු වන බව මතක තබාගන්න.
පෙර පාසල් අවධියේ සිට දරුවන්ගේ පෝෂණය සහ සෞඛ්‍යසම්පන්න තත්ත්වය ගැන නිසි ලෙස අවධානය යොමු කිරීමෙන් ඉදිරි අනාගතයේදී බෝ නොවන රෝග අවම කරගැනීමේ හැකියාවද පවතී. දරුවන්ගේ වර්ධනය සඳහා ප්‍රමාණාත්මකව විටමින් හා ඛනිජ ලවණ අවශ්‍ය වේ.
බොහෝ දරුවන්ට සමබල ආහාර වේලක් මඟින් ප්‍රමාණවත් පෝෂක ලැබුණත් ඇතැම් විශේෂ තත්ත්වවලදී දරුවන්ට විටමින් හා ඛනිජ ලවණ බාහිරින් ගැනීමට සිදු විය හැකිය.
ආහාර පමණක් නොව, ආහාර සඳහා ගන්නා ද්‍රව්‍ය, ඒවා සකස් කරන උපකරණ, පරිභෝජනයට භාවිත කරන උපකරණ ආදි සියල්ල ආහාර පරිහරණට සුදුසු විය යුතුය. පෙර පාසල් දරුවන් ඉතා ක්‍රියාශීලී බැවින් දිනකට කැලරි 1200-1600ක් පමණ ප්‍රමාණයක් වැය වන අතර, මේ කැලරි ප්‍රමාණය සපයා ගැනීමට සමබල ආහාර වේලක් ගැනීම අත්‍යවශ්‍ය වේ.
එහෙත් වර්තමානයේ දරුවන්ට කෘත්‍රිම ආහාර, ක්ෂණික ආහාර, ආකලන යොදන ලද ආහාර, ජාන විකෘති කරන ලද ආහාර, වර්ණ ගන්වන ලද ආහාර වෙළෙඳසල්වල බහුලව දක්නට ලැබේ. වැඩිහිටියන්ගේ නොදැනුම්වත්කම නිසා සහ සමහර වැරදි සන්නිවේදන සහ වෙළෙඳ ප්‍රචාරණ නිසා දරුවන්ට මෙවැනි විවිධ ආහාර වර්ග ලබා දෙති.

සුදුසු සහ නුසුදුසු ආහාර
උදාහරණ ලෙස: සත්ත්ව පීකුදූ වැනි දේ තුළ බහුලවම අන්තර්ගත වන්නේ විෂ ද්‍රව්‍ය වේ. (සතුන්ගේ අක්මාව, වකුගඩු, පෙණහලු ආදි අවයවවලින් ශරීරයේ විෂහරණ කටයුතු සිදු වන බැවින් ඒවායේ විෂ තැන්පත් විම සිදු වේ) එබැවින් ඔබ දරුවන් වෙනුවෙන් ආහාර තෝරාගැනීමේදී ඉතා සැලකිලිමත් විය යුතුය.
වයසට අනුව අවශ්‍ය වනක්ෂුද්‍ර පෝෂක (විටමින් හා ඛනිජ ලවණ) වර්ග කිහිපයක්
- විටමින් D 600mg, විටමින් A 200 mg, කැල්සියම් 600 mg, යකඩ 06mg- 08mg, විටමින් C 15mg- 20mg, විටමින් B12 0.7 mg
වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට ද මේ ක්‍ෂුද්‍ර මූල පෝෂක අවශ්‍ය වුවත්, අවශ්‍ය වන්නේ ඉතා කුඩා ප්‍රමාණවලිනි. උදාහරණ ලෙස, කැල්සියම් සහ විටමින් අස්ථිවල ශක්තිමත් වර්ධනයට ඉවහල් වන අතරම යකඩ, සින්ක්, අයඩින්, විටමින් A , B3 , B12 , Vit B මොළයේ වර්ධනයට ඉවහල් වේ. විශේෂ රෝග තත්ත්වවලදී හැර අනෙක් දරුවන්ට විටමින් විශේෂයෙන් දිය යුතු නොවන නමුත්, පහත අවස්ථාවලදී දරුවන්ට විටමින් හා ඛනිජ ලවණ ඌනතාවක් ඇතිවීමේ අවදානමක් පවතී. ඒ අවස්ථා වන්නේ ශාකමය ආහාර පමණක් ගැනීම, ආන්ත්‍රික හෝ ආමාශයේ ශල්‍යකර්ම, අන්ත්‍රවල රෝග තත්ත්ව, අන්තකවල ප්‍රදාහමය තත්ත්ව නිසා විටමින් අවශෝෂණයට බලපෑම් ඇති වේ.

ශාකමය ආහාර පමණක් ගන්නා අයට කැල්සියම්, අයඩින්, සින්ක්, විටමින් B12 , විටමින් D ඌනතාව ඇති වීමේ අවදානම වැඩිය.
ශාකමය ආහාර පමණක් ගැනීමේ අවාසිය වන්නේ, එහි විටමින් B නැති වීමයි. විටමින් B ඇත්තේ සත්ත්වමය ආහාරවල පමණක් බැවින්, ඒවා ගැනීමට කටයුතු කළ යුතුය. මෙහිදී ආහාරය පිළිබඳව දැනුම්වත් විය යුතුයි.
විටමින් සහ ඛනිජලවණ
අවුරුදු 05 -10 දක්වා දරුවන්ට විටමින් D හා ෆෝලේට් ඌනතාව වැඩි වශයෙන් ඇති වේ. මේ ඌනතාව මඟහැරීම සඳහා ක්ෂුද්‍ර පෝෂක ලෙස සෑම දරුවකුටම ලබාදීම වැදගත් වේ.
ඒ අනුව දරුවාට වැදගත් වන පෝෂ්‍ය පදාර්ථ සහ ඒවා අඩංගු ආහාරපාන වර්ග මොනවාදැයි විමසා බලමු. * විටමින් B1 – ඌරු මස්, මුහුදු ආහාර, සූරියකාන්ත ඇට, ධාන්‍ය වර්ග
- විටමින් B2 – මස්, පියලි කළ ධාන්‍ය, කිරි ආහාර, බිත්තර, බිම්මල්, මුහුදු ආහාර, කුකුළු මස්
- විටමින් B3 – එළු මස්, කුකුළු මස්, කුළුකුං මස්, මුහුදු ආහාර, හරක් මස්, පියලි කළ ධාන්‍ය, රටකජු, කැකිරි ඇට, සූරියකාන්ත ඇට
- විටමින් B5 – බිම්මල්, මස් වර්ග, ඇලිගැටපේර, සූරියකාන්ත ඇට, මුහුදු ආහාර, අල, බිත්තර, යෝගට්, පිසූ ධාන්‍ය
- විටමින් B6 – හරක් මස්, කුකුළු මස්, කෙසෙල්, අල, මුහුදු ආහාර
- විටමින් B7 – බිත්තර, මුහුදු ආහාර, අවයව සහිත මස්, බතල, නිවිති
- විටමින් B9 – අවයව සහිත මස්, නිවිති, බෝංචි, අලිගැටපේර, බ්‍රොකොලි
- විටමින් B12 – මුහුදු ආහාර, අවයව සහිත මස්, කිරි නිෂ්පාදන, බිත්තර, කුකුළු මස්
- විටමින් C – ගම්මිමිරිස්, පැඟිරි කුලයේ පලතුරු, ගෝවා, ගෝවා මල්, අල
- විටමින් A – සත්ත්ව ආහාර, චීස්, මස් වර්ග, බිත්තර
- ප්‍රෝ විටමින් A – බතල, නිවිති
- විටමින් D – තෙල් සහිත මාළු, හරක් මස්, පීකුදු, කිරි
- විටමින් E – සූරියකාන්ත ඇට,
- රටකජු, බටර්, නිවිති, බ්‍රොකොලි
- විටමින් K – සත්ත්ව ආහාර
පාසල් දරුවන්ට සතියේ දිනවලදී වට්ටෝරුවකට අදාළව ආහාර දීම ඉතා වැදගත් වේ.
කුඩා දරුවන්ට පහසුවෙන් ක්‍රියාකාරකම් හුරු කිරිමට හැකි බැවින් කුඩා කල සිටම පරිසරය පිරිසුදුව තබා ගැනීමට, ආහාර සහ ජලය ආහාර නාස්ති නොකිරීමට, අන් අයට උදවු කිරීමට පුරුදු කළ හැකිය.
රෝගි තත්ත්වයන් නැතිනම් නැවුම් පලතුරු සහ එළවළු වැඩිපුර ආහාරයට දෙන්න.
හැකි සැමවිටම දරුවන්ට නිවෙසේදී පිරිසුදුව සකස් ගත් ආහාර පමණක් දීමට කටයුතු කරන්න.
පෙර පාසල් ගුරුවරුන් ලෙස ජාතික වගකීමක් ලෙස සලකා නිරෝගී දරු පරපුරක් බිහි කිරීමට අවැසි අඩිතාලම සකස් කිරීමට ඔබත් එකතු වෙන්න.
