ඔස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යාපනය | ආචාර්ය රසිකා කුමාරසිංහ

    0
    87

    ඔස්ට්‍රේලියානු පාසල් අධ්‍යාපනය වසර 13 ක් පුරාවට විහිදෙයි. ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට සුලු වෙනස්කම් තිබුනත්, මූලික ව්‍යූහය සෑම ප්‍රාන්තයකටම පොදුය.

    සාමාන්‍යයෙන් ප්‍රාථමික අධ්‍යාපනය, පදනම් (Foundation or Preparation year) ශ්‍රේණියේ සිට හය වැනි ශ්‍රේණිය දක්වා වෙයි. ද්විතියික හෝ උසස් අධ්‍යාපනයට 7-12 ශ්‍රේණි අයත් වන අතර, දරුවෙකු 10 වැනි ශ්‍රේණිය අවසාන කරන තුරු අධ්‍යාපනය අධ්‍යාපනය ලබා දීම අනිවාර්ය වේ.

    ඔස්ට්‍රේලියාවේ පාසල් වර්ග කිහිපයක් ඇත. ඒවානම් රජයේ පාසල්, පෞද්ගලික පාසල්, ආගමික ඇදහිලි පදනම් කරගත් පාසල් සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා ඇති පාසල්ය. ආගම් ඇදහිලි මත පදනම්වූ පාසල් අතරින්, කතෝලික, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් පාසල් ප්‍රධාන තැනක් ගනියි.

    බොහෝවිට රජයේ පාසල් මිශ්‍ර පාසල් වන අතර, ප්‍රාථමික පාසල් සහ ද්විතියික පාසල් යනුවෙන් දෙවර්ගයක් ඇත. ප්‍රාථමික අධ්‍යාපනය හයේ පන්තියෙන් අවසන් කරන දරුවන්, ද්විතියික අධ්‍යාපනය සදහා වෙනම පාසලකට යයි. සෑම ප්‍රදේශයකටම එනම් ගම් (suburbs) දෙක තුනකටම ප්‍රාථමික පාසලක් සහ ද්විතියික පාසලක් ඇති අතර එම පාසල් කලාපයට (Zone) ඇතුලත් වන දරුවන් එම පාසලට බදවාගත යුතුය. මෙම අයිතිය වර්ෂ 2006 දී එළි දැක්වූ අධ්‍යාපන පුහුණු හා ප්‍රතිසංසකරණ පනත (Education and Training Reform Act 2006) ස්ථාපිත කර ඇත. මෙම පාසල් වල ඉගෙනුම සදහා මුදල් ගෙවිය යුතු නැත.

    ප්‍රශ්නය වන්නේ, අධ්‍යාපනය සහ පහසුකම් අතින් සෑම පාසලක්ම එකම මට්ටමේ නැතිවීමය. ශ්‍රී ලංකාවේ තත්වයට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ පාසල් ඉතා ක්‍රමාණුකූලව ශ්‍රේණිගත කර ඇත. මෙම ශ්‍රේණිගත කිරීම සාමාන්‍යයෙන් තීරණය වන්නේ පාසල විසින් පෙනී සිටින විභාග සංඛ්‍යාව, විශේෂිත විෂයයන් සදහා ඉහළ ලකුණු ගන්නා සිසුන් සංඛ්‍යාව සහ පාසලේ ඇති පහසුකම් හා සම්පත් ප්‍රමාණය මතය. මෙම දත්ත Better Education වෙබ් අඩවියේ වාර්ෂිකව යාවත්කාලීන කරනු ලබයි.

    ශ්‍රේණිගත කිරීම් අනුව ඉහල පවතින පාසලකට තම දරුවා ඇතුලත් කර ගැනීම සෑම දෙමාපියාකුගේම සිහිනයයි. අවාසනාවකට, පාසල් කලාපය තුල ජීවත් නොවුනොත්, දරුවා පාසලට ඇතුලත් කර ගැනීම කිසිසේත්ම කල නොහැක. ලඟ ලඟ පාසල් පිහිටා ඇති නිසා මෙම පාසල් සදහා ඇති පාසල් කලාපද ඉතා කුඩාය. එම නිසා ඉහළ ශ්‍රේණිගත කිරීමට අනුව, හොද සහ ජනප්‍රිය පාසල් වලට දරුවන් ඇතුලත් කර ගැනීම සදහා ඇත්තේ තරඟයකි. එවැනි පාසල් කලාපවල ඇති නිවාස සදහා ඇත්තේ අධික ඉල්ලුමකි.

    මෙම කලාපවල නිවාස මිලදී ගැනීමට සහ බද්දට ගැනීමට ඇත්තේ විශාල තරඟයකි. ඒ නිසාම එම ප්‍රදේශවල නිවාසවල දේපල වටිනාකම ඉතා ඉහල අගයක් ගෙන ඇත. අනෙක් ප්‍රදේශ තුල පිහිටා තිබෙන සුව පහසු විශාල නිවාසයක් මිලදී ගැනීමට හෝ බද්ධට ගැනීමට යන මුදල්, මෙම කලාප වලින් ඉතා කුඩා ඒකක නිවාස හෝ, තට්ටු නිවාසයක් මිලදී ගැනීමට හෝ බදු ගැනීම සඳහා ගෙවීමට සිදුවේ. සමහර දෙමාපියන්, එම කලාපවල නිවාස හිමි කරුවන්ට මුදල් ගෙවා, තම ලිපිනය එම නිවාස ලිපිනයට මාරු කර ගනියි. එම නිවාස වල විදුලි බිල්පත්, ජල බිල්පත් යනාදිය තම නමින් ගෙවා එම ලිපිනයේ ජීවත්වන බවට ඔප්පු කර දරුවා පාසලට ඇතුලත්කර ගැනීමට උත්සහ දරයි.

    ද්විතියික පාසල් වලට ඇතුලත් කර ගැනීම සදහා වන තරඟය මීටත් වඩා ඉහලය. ඒ, ද්විතියික අධ්‍යාපනය අවසානයේ දරුවන් උසස් අධ්‍යාපනය සදහා විශ්වවිද්‍යාල වලට ඇතුලත් කර ගැනීමේ විභාගය නිසාය.

    ද්විතියික පාසලේ අවුරුදු 12 සම්පූරණ කරන විට, සිසුන් විභාගයක් සදහා පෙනී සිට ජේෂ්ඨ ද්විතියික සුදුසුකම් පිළිබද නිල සහතිකයක් ලබා ගනී. එලෙසම, මොවුන්ගේ විභාග ලකුණු මත ඔවුනට ATAR (Australian Tertiary Admission Rank – ඔස්ට්‍රේලියානු තෘතියික ප්‍රවේශ ශ්‍රේණිගත කිරීම) අගයක් ලැබෙයි. මෙම අගය බිංදුව සහ 99.5 අතර අගයක් ගන්නා අතර, මෙම අගයෙන් කරනු ලබන්නේ, ශිෂ්‍යයෙකුගේ අධ්‍යන ප්‍රතිඵල ඔවුන්ගේ වසර කණ්ඩායමේ අනෙක් අයට සාපේක්ෂව ශ්‍රේණිගත කිරීමයි.

    උසස් අධ්‍යාපන පාඨමාලා සදහා ඇතුලත් කර ගැනීම සදහා, විශ්ව විද්‍යාල මෙම ATAR අගය භාවිතා කරයි. නිව් සවුත් වේල්ස් (New South Wales)  සහ ඔස්ට්‍රේලියානු අගනුවර (Australia Capital Territory), ATAR වෙනුවට, University Admissions Index (UAI – විශ්ව විද්‍යාල ප්‍රවේශ දර්ශකය) භාවිතා කරන අතර එහි අගය බිංදුවේ සිට 100 දක්වා විය හැක. සාමාන්‍යයෙන් ATAR 99.5 අගය UAI 100 සමාන වේ. මෙම අගය ඉතා වැඩිනම් (99.9), දරුවාට වෛද්‍ය හෝ, පශු වෛද්‍ය හෝ ඉන්ජිනේරු වැනි සමාජයේ උසස් යැයි සලකන වෘත්තියක් සදහා සුදුසුකම් ලබන පාඨමාලාවක් කිරීමට පහසුවෙන්ම විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට පුලුවන. එබැවින් දෙමාපියන් කෙසේ හෝ තම දරුවන් ඉතා ඉහල තත්වයේ පාසලකට ඇතුලත් කර ගැනීමට උත්සහ දරයි.

    පෞද්ගලික පාසල්ද මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුලත්ය. මෙම පාසල් සදහා වර්ෂයකට ඉගෙනීම සදහා පාසල් ගාස්තු ගෙවිය යුතුය. පාසලේ තත්වය අනුව මෙම ගාස්තු, වර්ෂයකට ඔස්ට්‍රේලියානු ඩොලර් 10,000 සිට 50,000 හෝ ඊටත් වැඩි විය හැක. පෞද්ගලික පාසල් සදහා පාසල් කලාප බලපාන්නේ නැත. සමහර පාසල් කීර්තිමත් පාසල් ලෙස සළකන අතර, එම පාසල් වලට දරුවන් දමා ගැනීමට නම් ඔවුන් උපතේදීම ලියා පදිංචි කල යුතුය.

    ඊට අමතරව, දෙමාපියන්, දෙමාපියන්ගේ දෙමාපියන් එම පාසලේ ආදි සිසුන් නම්, ඔවුනට ප්‍රමුඛත්වය ලැබේ. එපමනක් නොව, දෙමාපියන් සහ දරුවන් සම්මුඛ පරීක්ෂණයකට කැදවීමත්, එමගින් එම පවුල සහ දරුවා එම පාසලට සුදුසුද යන්න සලකා බැලීමත් සුලබය.

    පෞද්ගලික පාසල් වල, ශිෂ්‍යත්ව ක්‍රමයක්ද පවතී. සමාන්‍යයෙන්, පහ ශ්‍රේණියට, අට ශ්‍රේණියට හා දහය ශ්‍රේණියට තරග විභාග පවත්වා තෝරාගත් දරුවන් පිරිසකට 50% දක්වා පාසල් ගාස්තු වට්ටම් ලබා දේ. මෙම විභාග ඉතා අමාරු හා තරගකාරී වන අතර සිය ගනන් දරුවන්ගෙන් ඉතා සුලු පිරිසක් පමණක් තෝරා ගනු ලබයි. මීට අමතරව, සංගීතය, ක්‍රීඩා වැනි විවිධ ක්ශේස්ත්‍රයන්ගෙන් කැපී පෙනෙන සිසුන්ටද ශිෂ්‍යත්ව ලබාදී එම පාසල් වලට ගැනීම සිදු කරයි.

    ආගම් වලට අනුව පවත්වාගෙන යන පාසල් බොහොමයක් රජයට අනුබද්ධ හෝ, රජයෙන් එම පාසල් පවත්වාගෙන යාමට යම්කිසි මුදලක් ලැබෙන පාසල්ය. එම නිසා එම පාසල් පෞද්ගලික පාසල් තරම් මිල අධික නැත. නමුත් මෙම පාසල් වලට දරුවන් ඇතුලත් කීරීමටනම්, ඔවුන් එම ආගම අනුගමනය කල යුතුය. බොහොමයක් මෙම වර්ගයේ පාසල් වලට ඇතුලත් කර ගැනීම සදහා, තම පල්ලියේ පූජක තුමාගෙන් ලිපියක් රැගෙන ආ යුතුය. මෙම පාසල් වලට දරුවන් ඇතුලත් කර ගැනීමට අන්‍ය ආගම් වල දෙමාපියන් එලෙස රෙකමදාරු ලියුම් කෙසේ හෝ සකස් කරගෙන එන අවස්ථාද දුලබ නැත. ඔස්ට්‍රේලියාවේ රජයේ හා පෞද්ගලික පාසල් වල ආගම උගන් වන්නේ නැත. නමුත් මෙම පාසල්වල, එම ඇදහීමට (faith) ආගම ඉගෙනීම බොහෝවිට අනිවාර්ය වන අතර, එම ආගමට අදාල වත් පිළිවෙත් පිලි පැදීමද අනිවාර්ය වේ.

    තවත් රජයේ පාසල් වර්ගයක් වන්නේ රජයේ තෝරාගත් පාසල්ය (Selective schools). මෙම පාසල් ද්විතියික අධ්‍යාපනය සදහා වන අතර, ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉතා ඉහලින්ම ඇත. මෙම පාසල් වලට ඇතුලත්වීම සදහා තරග විභාග වලට දරුවන් සහභාගි කරවිය යුතුය. හතේ පන්තියට  ඇතුලත් වීම සදහා හයේ පන්තියේ සිටින සිසුන්ද, නමයේ පන්තියට ඇතුලත් වීමට අටේ පන්තියේ සිසුන් ආදී ලෙස මෙම විභාග වලට පෙනී සිටියි. එයින් එන් විභාගයක් වන්නේ SEHS (Selective Entry High School) විභාගයයි. සෑම වර්ෂයකදීම දහස් ගනනක් දරුවන් මෙම විභාග සදහා මුහුන දෙන අතර, ඉතාම සුලු පිරිසක් අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා තම ඉලක්ක සපුරා ගනී. මෙම තරග විභාග සදහා පාසල් විසින් දරුවන් සූදානම් නොකරයි. ඒ සදහා තමන් පෞද්ගලිකව තම වියදමින් ඉගෙන ගත යුතුය.

    අවාසනාවකට, ඔස්ට්‍රේලියාවට ආසියාතික සහ දකුණු ආසියාතික රටවලින් සංක්‍රමණය කල, පළමු පරම්පරාවේ සංක්‍රමණකයින් බොහොමයක් පැමින ඇත්තේ, එම රටවල පවතින බොහොමක් ගතානුගතික ආකල්ප කරපින්නාගෙනය. මෙම රටට ආ පසුවත් ඔවුන් බොහොමයකට අවශ්‍යවන්නේ තම දරුවා වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවරයෙකු කරන්නටය. යටත්විජිතයක් ලෙස අප රට පාලනය කල සුදු ජාතික ප්‍රජාවන්ගෙන් ලත් සමහර ආරෝපණ අප ශ්‍රී ලාංකීය ජන සමාජයේ තිබු ගුණාත්මක ආකල්ප වලට කල හානිය සහ බලපෑම ඉතා විශාලය. රැකියාවන් අනුව මිනිස් වර්ගයා විභේදනය කිරීම ඉන් එක් කාරණයකි.

    “සුදු කරපටි රැකියාවන්” (White Collar Jobs) යන අදහස සහ ආකල්පය මේ විභේදනය ඔස්සේ ශ්‍රී ලාංකීය සමාජයට පැමිණුන සහ අදටත් ගතානුගතික ජන සමාජය තුල ඇති මුල්බැසගිය කාරණයකි. එම අදහස ඔස්සේ, තම දරුවාව එවැනි රැකියාවක් සඳහා කෙසේ හෝ තෙරපීම මෙම අදහසේ ප්‍රායෝගික ක්‍රියාකරකමයි. ඒ සදහා ඔවුන් පිහිට පතන්නේ උපකාරක පන්ති වලිනි. මන්ද, මෙහි රැකියාවක් අරමුණු කරගනිමින් පහත්කොට සැලකීම (Discrimination), එවැනි රැකියා සඳහා සුවිශේෂී සමාජ පිළිගැනීමක් ලැබීම ඔස්ට්‍රලියානු ජන සමාජය තුල දක්නට නැත.

    උපකාරක පන්ති හෙවත් tuition දැන් ඔස්ට්‍රේලියාවේ විශාල කර්මාන්තයක් වී අවසානය. කුඩා පරිමාණ සහ මහා පරිමාණ ලෙස උපකාරක පන්ති පවත්වන ගුරුවරු සහ ආයතන ඕනෑතරම් ඇත. ද්විතියික පාසල්වල සිටින ඉහල දක්ෂතා ඇති සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් තම අර්ධ කාලීන රැකියාව ලෙසද උපකාරක පන්ති පවත්වයි. ඊට අමතරව, විශාල ආයතන ලෙස පවත්වාගෙන යන උපකාරක පන්ති ඕනෑ තරම්ය. උපකාරක පන්ති පැවැත්වීමෙන් පොහොසත් උන ලාංකිකයන් ඔස්ට්‍රේලියාවේ ඕනෑ කරම්ය. එය ඒ කරමටම කාලීන අවශ්‍යතාවයක් බවට පත්වී ඇත.

    ඔස්ට්‍රේලියාවේත් දරුවන්ට උපකාරක පන්ති පටන් ගන්නේ ප්‍රාථමික පාසල් අවදියේ සිටය. ඒ ඉංග්‍රීසි හා ගණිතය විෂයන් සදහාය. ප්‍රාථමික පාසල්වල සිටින දරුවන් බොහොමයක් මෙම උපකාරක පන්ති වලට යැවීමේ අරමුණ වන්නේ ඔවුන් පාසලේ ඇති ඉහල දක්ෂතාවයක් ඇති දරුවන් කාණ්ඩයට ඇතුලත් කර ගැනීමය. අනෙක් අවශ්‍යතාවයන් වන්නේ දරුවන් ශ්‍රේණිගත කිරීමට අනුව හොද පාසල්  ගනයේ ද්විතියික පාසලකට ඇතුලත් කර ගැනීම සදහා පවත්වන තරග විභාග සදහා සූදානම් කිරීම සහ පෞද්ගලික පාසල්වල ශිෂ්‍යත්ව ලබා දීම සදහා පවත්වන විභාග සදහා සූදානම් කිරීමටයි. මේ සදහා වෙනමම එම විභාග විෂය නිර්දේෂයට අනුව සැකසුනු උපකාරක පන්ති ඇත. ඒවායින් විෂයයන්ට අමතරව, නියමිත වේලාවට අනුව ප්‍රශ්ණ පත්‍ර වලට මුහුන දීමට සිසුන් හුරු කරවයි.

    ද්විතියික පාසල්වල සිටින ලමුන්ගෙන් බොහොමයක්ද මෙම උපකාරක පන්කි වලට සහබාගි වෙයි. මෙම උපකාරක පන්ති සදහා යන විදම්ද අධිකය. සාමාන්‍යයෙන් පැයකට ඔස්ට්‍රේපියානු ඩොලර් 30 සිට 50 දක්වා ඕනෑම ගානක් විය හැකිය. ගුරුවරයාට හෝ ආයතනයට ඇති ඉල්ලුම වැඩිනම්, ගෙවීමට සිදුවන ගානත් වැඩිය.

    බොහෝ ආකාරවලින් බලන කල, ඔස්ට්‍රේලියානු පාසල් අධ්‍යාපනයේ වැදගත්ම වසර දෙක වන්නේ අවසාන වසර තුනය, එනම් දහය සිට දොලහ දක්වාය. එම කාලය තුලදී, දරුවන්ට තමන්ගේ අනාගතය සහ වෘත්තිය පිළිබදව වගකීම භාර ගැනීමට අදාල තීරණ ගැනීමට සිදුවෙයි. ප්‍රධාන ඉගෙනුම් ක්ෂේත්‍ර නමයක් හරහා විෂයයන් 90 වකට වඩා ඇති රජයෙන් නිර්දේෂ කර ඇති අතර, තම පාසලේ කුමන විෂයයන් උගන්වනවාදැයි යන්න පාසලට තීරණය කල හැකිය. මෙම විෂයන් ජ්‍යාත්‍යන්තර දේශපාලනයේ සිට, විශේෂඥ ගණිතය දක්වාද දෘෂ්‍ය කලාවේ සිට මනෝ විද්‍යාව දක්වාද, ආර්ථික විද්‍යාවේ සිට පරිසර විද්‍යාව දක්වා ගැඹුරු සහ පුලුල් පරාසයක විහිදෙයි.

    අනිවාර්යයෙන් සෑම දරුවෙක්ම ඉංග්‍රීසි විෂය තෝරා ගත යුතු අතර, ඊට අමතරව පාසලේ එම අවුරුදු තුන සදහා පිරිනමන අනෙත් විෂයයන්ගෙන් ඉතිරි ඒකක තෝරා ගත යුතුය. සාමාන්‍යයෙන් අවුරුදු තුන ඇතුලත විෂයයන් හෝ විෂය ඒකක 16 සම්පූරණ කල යුතුය. මෙය ප්‍රාන්තයෙන් ප්‍රන්තයට වෙනස් විය හැකිය. විෂයයන් තෝරා ගැනීම තමන්ගේ කැමැත්ත, ආශාව සහ තමන් අනාගතයේ කිරීමට කැමති වෘත්තිය අනුව සිදු කිරීමට දරුවන්ට උපදෙස් ලැබෙයි. නමුත් බොහෝවිට, බොහෝ ආසියාතික සංක්‍රමණිකයන් දරුවන්ට උපදෙස් දෙන්නේ වැඩිම ලකුණු ප්‍රමාණය ගත හැකි විෂයයන් තෝරා ගන්නා ලෙසයි. ඒ, අවසානයේ 12 වසර විභාගයෙන් ලබා ගන්නා ලකුණු මත, විශ්ව විද්‍යාල පාඨමාලාව තීරණය වන නිසාය.

    දහය පන්තියේ සිට දොළහ පන්තිය දක්වා කාලය දරුවන්ටත් දෙමාපියන්ටත් වැඩ අධිකම සහ මානසික ආතතිය වැඩිම කාලය වේ. බොහෝ දෙමාපියන් එම අවුරුදු තුන ඇතුලත නිවිඩු හෝ විනෝද සවාරි වලින් වැළකීමට උත්සහ ගනී. පාසල සහ උපකාරක පන්ති අතරේ වෙන කිසිම දෙයක් කිරීමට වේලාවක් සොයා ගැනීම අපහසුය. එපමණක් නොව, උපකාරක පන්ති සදහා යන වියදමද අධික බැවින්, දරුවන් දෙතුන් දෙනෙක් සිටින සාමාන්‍ය පවුලකට විනෝද ගමන් සහ නිවාඩු ගමන් සදහා මුදල් සොයා ගැනීමද අපහසුය. දහය පන්තියේ සිට දොලහ පන්ති වල විෂයන් සදහා උපකාරක පන්ති වලට යන වියදම, පැයකට ඩොලර් 90 දක්වා වැඩි විය හැක.

    ද්විතියික පාසල්වල ගෙදර වැඩ සහ පැවරුම් අධිකය. දවස ගානේ විවිධ විෂයයන්ට අදාල පැවරුම් සම්පූරණ කල යුතුය. ඔස්ට්‍රේලියාවේ පාසල් වල ලංකාවේ වාගේ වාර අවසාන විභාග හෝ අවුරුද්ද අවසාන විභාග නැත. ඒ වෙනුවට අවුරුද්ද පුරා විවිධ විෂයයන්ට අදාලව පැවරුම් සහ විභාග ඇත. ඒ සෑම පැවරුමකටම සහ විභාගයකටම ලබා ගන්නා ලකුණු ප්‍රමානයට අනුව එම වසර අවසානයේ එම විෂයයන්ට අදාල ශ්‍රේණිය (grade) දෙනු ලබයි. එබැවින්, දරුවන් අවුරුද්ද පුරාම විවිධ විෂයයන් සදහා පාඩම් කල යුතුය.

    ද්විතියික පාසලේදී, බොහෝ පාසල් වලින් පාසල් නාවාඩු කාලයටද පැවරුම් ලබා දේ. සාමාන්‍යයෙන්, පාසල්වල ගෙදර වැඩ සම්පූරණ නොකරනවාට දඩුවම් කරන්නේ නැත. පැවරුම් හෝ විභාග වලින් අඩු ලකුණු ගත්තාට ප්‍රතිවිපාකයන්ද නැත. සිදුවන එකම දේ දරුවා ඉගෙනීම අතින් පහලට යාමත්, දරුවාගේ ලබා ගන්නා ලකුණු ප්‍රමාණයන් අඩු වීමත්ය. එය බලපාන්නේද දරුවාටමය. අරමුණ වන්නේ දරුවන් තමන්ගේ වගකීම් වටහාගෙන, තමන් වෙනුවෙන් උනන්දුවෙන් වැඩ කිරීමය.

    සෑම පාසල් දරුවෙකුම 3,5,7 සහ නමය වසර වලදී සාක්ෂරතාවය සහ ගණිතය සදහා වන ජාතික ඇගයීමේ වැඩ සටහනට (NAPLAN – National Assessment Program- Literacy and Numeracy) සදහා පෙනී සිටිය යුතුය. මෙම විභාගයන්හිදී දරුවාගේ මට්ටම එම වයසේ ඔස්ට්‍රේලියාවේ අනෙක් දරුවන්ට සාපේක්ෂව මනින අතර, පාසලේ තත්වය අනෙක් පාසල් වලට සාපේක්ෂව මනිනු ලබයි. මෙම දත්ත පාසල් ශ්‍රේණිගත කිරීමටද යොදාගනු ලබයි. දරුවන්ගේ උසස් පාසල් සදහා වන ඉල්ලුම් පත්‍ර සදහා මෙම NAPLAN ප්‍රතිඵලද ඉදිරිපත් කල යුතුය. එබැවින් මෙම විභාගයන් සදහා දරුවන් සූදානම් කිරීමට දෙමාපියන් වෙහෙසෙති.

    ඔස්ට්‍රේලියානු රජයේ පාසල්වල තෝරා ගැනීමට සෞන්දර්ය විශයයන් නැත. බොහෝ පාසල් වල සංගීතය සාමාන්‍ය විශයක් ලෙස උගන්වන අතර සමහර පාසල් වල චිත්‍ර උගන්වයි. පාසල තුලම මුදල් ගෙවා වැඩිදුර සංගීතය (ගායනය හෝ වාද්‍ය භාණ්ඩ) ඉගෙනීමට පහසුකම් සලසා ඇති අතර, එම අමතර පන්ති සදහා පාසලේ විවේක කාලය තුලදී හෝ අනෙක් විෂයයන් උගන්වන අවස්ථාවන් අතරේදී දරුවන් සහභාගී වෙයි. එලෙස ඉගෙන ගන්නා දරුවන්ට, පාසල් වාද්‍ය වෘන්දයේ හෝ ගායන කණ්ඩායමේ සාමාජිකත්වය ලැබේ. පෞද්ගලික පාසල් වල මීට වඩා සිසුන්ට සෞන්දර්ය විෂයයන් ඉගෙනීමට අවස්ථාව ඇත.

    ක්‍රීඩා සදහාද න්‍රියා පටි පාටිය එලෙසය. සෑම දරුවෙකුටම පාසලේ සතියකට වතාවක් වෙන් කරන ලද කාලය තුලදී එම පාසලේ ඇති ක්‍රීඩා කිරීමට අවම්ථාව ලැබේ. එනමුත් ක්‍රීඩා වලින් ඉදිරියට යාමට නම්, පෞද්ගලික පුහුණු කරුවන් මාර්ගයෙන් හෝ, ක්‍රීඩා සමාජ හරහා පුහුණු විය යුතුය. සමහර ප්‍රාතමික පාසල්වල කුඩා ක්‍රීඩා උළෙලවල් වසරකට වරක් පවත්වයි. ද්විතියික පාසල්වල වාර්ෂික ක්‍රීඩා උළෙලවල් නැත. ක්‍රීඩා වලට දක්ෂ, පෞදිගලික පුහුණුවීම් කරන දරුවන්ට පාසල වෙනුවෙන් තරග වලට පෙනී සිටීමේ අවස්ථාව ලැබෙයි.

    රජයේ පාසල් වලට පාසල් ගාස්තු නොගෙව්වාට, පොත් පත් සදහා වාර්ෂිකව ගෙවිය යුතුය. මෙය සියලුම පාසල් වලට යන දරුවන්ට අදාලය. ප්‍රාතමික පාසල්වල එම මුදල වර්ෂයකට ඔස්ට්‍රේලියානු ඩොලර් 300-400 අතර අගයක් වේ. මෙම පොත් ලයිස්තුවට පෑන් පැන්සල්, පාට පැන්සල්, අඩි රූල්, මැලියම්, පැන්සල් පෙට්ටිය සහ එකී මෙකී නොකී සියල්ල අයත් වේ. එම නිසා එම මුදලට එය සාධාරණයයි සිතේ. වර්ෂය අවසානයේදී ඉතිරි සහ පාවිච්චි කරන ලද පෑන් පැන්සල් සහ පොත් සහ ලිපි ද්‍රව්‍ය දරුවාට ගෙදර රැගෙන ඒමට දෙයි. මෙම ඉතිරි ලිපි ද්‍රව්‍ය නැවත ඊලග වසරට පාවිච්චි කල නොහැක. අලුත් වසරේ පොත් පත් ලිපි ද්‍රව්‍ කට්ටලය සදහා නැවත මුදල් ගෙවිය යුතුය.

    ද්විතියික පාසල් වලට වාර්ෂිකව පොත් සහ ලිපි ද්‍රව්‍ය කට්ටලය සදහා වැයවන මුදල ඉතා වැඩිය. එය ඔස්ට්‍රේලියානු ඩොලර් 1500 – 2000 අතර මුදලක් විය හැක. මෙයට හේතුව විෂයානුබද්ධ පෙළ පොත් සදහාද ගෙවීමට සිදුවීමයි. මීට අමතරව ද්විතියික පාසල් සිසුන් සදහා laptop පරිඝණකයක් ගත යුතුය. ඒ ඔවුන්ගේ පාසල් ක්‍රියාකාරකම් බොහොමයක් පරිඝණක භාවිතයෙන් සිදුකරන නිසාය. මෙම පරිඝණක පාසල හරහා පාසල අනුමත කරන පිරිවිතර සහිතව, පාසල නිර්දේශ කරන අලවිකරුවන්ගෙන් මුදල් ගෙවා ඇනයුම් කල යුතුය. අවුරුදු දෙකක් හෝ තුනකට වරක් අලුත් පරිඝණකයක් මිලදී ගත යුතුය.

    ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත වල පාසල් සදහා නිල ඇදුම් දෙවර්ගයක් ඇත. ඒ වර්ෂයේ සෘතුවට ගැලපෙන ලෙසටය. වික්ටෝරියා ප්‍රාන්තය එවැනි ප්‍රාන්තයකි. නිල ඇදුම් ලබා ගැනීමට පාසලේ හෝ එම ප්‍රදේශයේ අවසර ලත් නිල ඇදුම් කඩ ඇත. පාසල් ලාංචනය සහිත නිල ඇදුම් විකිණිය හැක්කේ එම කඩවලට පමණි. පාසලෙන් පාසලට පාසල් වර්ණ, නිල අරදඅමේ විලාසිතාව වැනි දේවල් වෙනස් වේ. සීත සෘතුවේදී සහ සරත් සෘතුවේදී සීත සෘතුවට අදාල නිල ඇදුම් (Winter uniform) ඇදිය යුතු අතර ගිම්හාන හා වසන්ත මාස වලදී ගිම්හානයට අදාල නිල ඇදුම් (Summer uniform) ඇදීම අනිවාර්ය වේ. මෙම ඇදුම් සාමාන්‍යයෙන් ඩොලර් හතලිහේ සිට ඉහල අගයක් ගනී. ඊට අමතරව ක්‍රීඩා සදහාද වෙනම ක්‍රීඩා නිල ඇදුම් ඇදිය යුතුය. තවද පාසලට අදින කබා (Jackets), තොප්පි, පාසල් බෑග් යන සියල්ල මෙම නිල ඇදුම් කඩයෙන් අදාල පාසලට අයත් ඒවා මිලට ගත යුතුය.

    මා පහුගිය අවුරුදු දහඅට පුරාවට ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන ප්‍රාන්තය (Education state) ලෙස අන්වර්ථ නාමයෙන් හැදින්වෙන වික්ටෝරියා ප්‍රාන්තයේය. ඉහත දක්වා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය පිළිබදව මාගේ දැනුමෙන් සහ අත්දැකීමෙන් ස්වල්පයකි. මෙය අඩු වැඩි වශයෙන් සෑම ප්‍රාන්තයකටම පොදුය. ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව හොදම අධ්‍යාපන ක්‍රම තුන අතරින් එකක් ලෙස පිලි ගැනේ.

    මගේ වැටහීම සහ අවබෝධය අනුව, දරුවන්ට මෙම අධ්‍යාපන ක්‍රමයේ නියම පල නෙලා ගැනීමට ඉඩ නොදෙන්නේ දෙමාපියන්මය. සංක්‍රමණිකයන් ලෙස ඔස්ට්‍රේලියාවට ආ ආසියාතිකයන් බොහොමයක් නිසා, ඔස්ට්‍රේලියාවේද ඉගෙනීම සහ පාසල් සදහා ඉතා තරඟයක් ඇතිවී ඇත. තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් කිරීමට ඇති අශාව නිසාම, දරුවන්ට හිමි විය යුතු ළමා කාලය ඔවුන්ගෙන් ගිලිහී යමින් පවතී. ලංකාවේ ශිෂ්‍යත්ව විභාග, ජනප්‍රිය පාසල් සදහා ඇති තරග, ටියුෂන් මාෆියාවෙන් දරුවන් ගලවා ගැනීම පිනිස සංක්‍රමණය වන  බහුතරයක් දෙමාපියන්ට, ඔස්ට්‍රේලියාවේදීත් එම ක්‍රියා පටි පාටිම අනුගමනය කිරීමට සිදුවීම ඛේදවාචකයකි.

    තම දරුවා හොඳම පාසලකට ඇතුලත් කරගැනීම ඕනෑම දෙමව්පියන්ගේ කැමැත්ත වුවද, ඒ සඳහා තම දරුවන්ව හුදු ආත්මාර්ථකාමී තරඟයකට යොමු කිරීම ඔස්ට්‍රේලියාව වැනි සංවර්ධනයවූ රටක වුවද දකින්නට ලැබීම කණගාටුවට කාරණයකි. මාගේ දැනුමට සහ අවබෝධයට අනුව, දරුවන්ගේ ඇති කුසලතාවන්ට සහ දක්ෂතාවයන්ට අනුව එම දරුවා අනාගතයේ නියැලෙන රැකියාව තීරණය කරන්නේ නම් එය ඔවුන්ගේ දියුණුවට මනා රුකුලක් වනු ඇත.

    අද ලෝකයේ විවිද වූ ක්ෂේත්‍ර සඳහා ඉතා දියුණු මට්ටමින් මංපෙත් විවර වූ අවධියක, තවදුරත් තම දරුවන් “සුදු කරපටි” රැකියා සඳහා ඇති ආත්මාර්ථකාමී තරඟයට යොමු කිරීම වෙනුවට, තම දරුවාගේ දක්ෂතාවය සහ නුපුනතාවය හිමි ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ගෙන එම දරුවාව එම ක්ෂත්‍රයේ ප්‍රවීණයන් කිරීමෙන් අප සමාජ ප්‍රගමනය උදෙසා ලබා දෙන දායකත්වය ඉතා වැඩිය. තමන් කැමති දෑ තම රැකියාව ලෙස කිරීමෙන් සමාජයට තවදුරටත් වෛර නොකරන, සමාජයට ආදරය කරුණාව පතුරුවන යහපත් මිනිසුන් දායාද කිරීම දෙමාපියන්ගේ අද දවසේ වගකීම බැව් මාගේ පෞද්ගලික මතවාදයයි.

    (සටහන | ආචාර්ය රසිකා කුමාරසිංහ)

    ඔස්ට්‍රේලියාවේ Peter MacCallum Cancer Centre හි පර්යේෂණ ආචාරධර්ම ජේෂ්ඨ කළමණාකාරිනී
    මෙල්බර්න් විශ්ව වීද්‍යාලයේ බාහිර කථිකාචාර්ය

    [email protected]

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here