බැක් ටු බ්ලැක් ගීතය ගැන නොදන්නෙ කවුද. නමුත් ඊටත් වඩා ජනප්‍රිය rehab ගීතය.
පුනරුත්ථාපනය ප්‍රථික්ශේප කරන මේ ගීතය මොකද්ද?
They tried to make me go to rehab
But I said: No, no, no
Yes, I’ve been black, but when I come back
You’ll know, know, know
රී හැබ්.. එහෙමත් පුනරුත්ථාපනය… මේ වචන ලියන්න.. මේ වචන ප්‍රසිද්ධියේ ගීතයක් විදිහට කියන්න තරුණියකට කොයිතරම් ශක්තියක් තියෙන්නෙ ඕනෙද.? සර්ව සාධාරණ නීති ගරුක සමාජයේ මේ ගැන හඬගා කියන එක කොයිතරම් නිවැරදිද.. සදාචාරාත්මකද? ඒ කෙසේවෙතත් රී හැබ් ගීතය ලෝකය පුරාම අදත් ජනප්‍රියයි.
රී හැබ් වගේම Back to Black.. ඒ අනුකරණය කරන්න බැරි හඬක්.

මතක විදිහට ඒ 2008 අවුරුද්දෙ අන්තිම කාලෙ. පෘතුගාලයේ ලිස්බන් නුවර පැවැත්වෙනවා රොක් ඉන් රියෝ ( Rock in RIo) කොන්සර්ට් එක. ශාලාවෙ සෙනග පිරිලා ඉතිරෙනවා. සිංදුව කියන අතරතුර ගායිකාව වේදිකාවෙන් පහලට බහින්නෙ රසිකයන්ගෙ අත් උඩින්. ශාලාව මැදින් ඇවිදගෙන යන ගමන් මේ ගායිකාව රසිකයන්ට අතට අත දෙනවා.. ඉඳහිට හග් එකක් හාදුවක් දෙනවා..නැත්තං බදා ගන්නවා. මේ විදිහට රසිකයන් මැද්දෙන් ගමන් කරන ගමන් එයා සිංදුව කියනවා.. ශාලාවෙ හිටපු දහස් ගාණක් දෙනා ඇයත් එක්කම සිංදුව කියනවා. ඒක හරි ලස්සන මොහොතක්. ඒ මොහොතෙ මැවෙන වයිබ් එක.. ශක්තිය.. කම්පනය.. රිද්මය පුදුමාකාරයි.
එක් තැනකදි තරුණ රසිකයෙක් ගායිකාවගේ කමිසය ඇතුලට අත යවනවා හෙමින් සීරුවේ.. ඉන් පස්සෙ පියයුරක් මිරිකනවා.
මේ මොහොත සටහන්වෙනවා කැමරාවේ. වේදිකාවේ විශාල තිරයේ මේ දර්ශණ සජීවීව පෙන්වද්දි රසිකයන් අතරින් ඇහෙන්නේ ඕ ඕ ඕ ශබ්දයක්.
ගායිකාව ගීතය නවත්වන්නෙ නෑ.. ගීතය කියන ගමන් ඇය ආපසු හැරෙනවා.. අර තරුණ රසිකයා දිහා බලලා කම්මුල් පාරක් දෙනවා හොඳ ජවයක් එක්ක. ඉන් පස්සෙ ගීතය කියමින් ආපහු සැරයක් මේ ගායිකාව රසිකයන් මැද්දට ගමන් කරන්නෙ කිසිම අමුතු දෙයක් සිදු නොවුනු ගානට. ශාලාවෙන් නැගෙන අත් පොලසන් නාදය පුදුමාකාරයි.
ඒ තමයි ආමි.. කිසි කෙනෙක්ට කොපි කරන්න බැරි ආමි.

රුක්මනී දේවිගෙ වගේ ඉහලට බැඳුනු කොන්ඩ මෝස්තරයත්.. දිගට පාට කරපු කළු පැහැති ඇස් එක්ක අමි වයින් හවුස් කියන්නෙ කිසි දවසක අමතක නොවන චරිතයක්.. අයිකොන් එකක්.
රෙගේ.. ජෑස්.. බ්ලූස්… සෞල්.. වගේ ඕනෑම රිද්මයක ගීත අමීගේ හඬින් ඇහෙද්දි දැනෙන කම්පනය බොහොම ලස්සනයි.
කළු හඬක් තිබූ සුදු ජාතික ගායිකාව.. සංගීත ලෝකය අමීව හැඳින්වූයේ ඒ විදිහටයි.
අරේතා ෆ්‍රෑන්ක්ලින්.. නීනා සිමොන්.. එල්ලා ෆ්‍රිට්ස්ජෙරාල්ඩ් වැනි ලෙජන්ඩරි ගායිකාවන්ට සමාන හඬක් එමීට තියෙන්නෙ.

ඒත් අවුරුදු 27 වෙද්දි එමී යන්න යනවා ආයෙත් නොඑන්න.
හදිසියේම ඇයි එමී ගැන ලියන්න හිතුනෙ.?
පහුගිය දවසක යූ ටියුබ් චැනල් එකක දකින්න ලැබුනා ලංකාවේ තරුණ ගායිකාවක් සහභාගිවුනු සම්මුඛ සාඛච්ඡාවක්. නිවේදක මහත්තයා අහනවා ඔබේ ප්‍රියතම ගායිකාවක් ඉන්නවද.
ගායිකාව පිලිතුරු දෙනවා.. නිසැකවම අමී වයින් හවුස්.
ඒකට විශේෂ හේතුවක් තියනවද.?
එයාගෙ හඬ.. එයාගෙ ජීවිතය.. එයාගෙ ලෙගසි එක. ඒ හැම දෙයක්ම එකතුව එමී පුදුමාකාරයි. එහෙම කියන්න තරුණ ගායිකාවට අපූරු දැනුමක් තේරීමක් ඇති බව කියන්න පුළුවන්.
එතකොට රිහානා.. ටේලර් ස්විෆ්ට්.. මැඩෝනා වැනි ගායිකාවන්.. නිවේදක මහත්තයාගෙ ඊලඟ ප්‍රශ්ණය.
ඔව්.. ඒ අයගෙ ගීතත් අහනවා..
හරි… එමී.. රිහානා.. ටේලර් ස්විෆ්ට් වගේ හැමෝටම කැමතියි ඒ කියන්නෙ… නිවේදකයා කියනවා.
තරුණ ගායිකාවට පුළුවන් කමක් නෑ නිවේදක මහත්තයාව අමාරුවේ දාන්න.. එයා ඔවු කියනවා.

ඇත්තටම අමී වයින්හවුස් සමග රිහානා හෝ ටේලර් ස්විෆ්ට් සංසන්දනය කරන්න පුළුවන්ද.?
කොහොමත් බෑ.. ඒක හරියට තරුද නිදන මහ රෑ ගීතය ඉඟි මරණ තරු රෑන ගීතයට සමාන කරනවා වගේ වැඩක්.
අවාසනාවකට නිවේදක මහත්තයා හෝම්වර්ක් කරලා නෑ. නමුත් මේ වගේ ලේබලයක් එමීට අලවන එක සාධාරණ නැහැ.
අමී ඉපදෙන්නෙ ලන්ඩන් නගරයේදී 1983 අවුරුද්දේ. එයාගෙ දෙමව්පියන් යුදෙව් ජාතිකයො.
තාත්තා ටැක්සි රථ රියදුරෙක්.. අම්මා ෆාමසි සහායිකාවක්. එක වැඩිමහල් සහෝදරයෙක් ඉන්න එමී ජෑස් සංගීතයට ආසා කරන්නෙ බොහොම කුඩා කාලෙ ඉඳලා. අපේ තාත්තා මාව උකුලට අරන් ෆ්‍රෑන්ක් සිනාත්‍රාගෙ සිංදු කියන හැටි මගේ මුල්ම මතකවලින් එකක්. එමීගෙ ලෝකයේ වීරයා එයාගෙ තාත්තා. ඒ ගැන සැකයක් නෑ. සද්දන්ත ශරීරයක්.. ගැඹුරු කටහඬක් තියන.. තමන්ගෙ මතය නොබියව කියන එමීගෙ තාත්තා තමන්ගෙ පුත්‍රයාට වඩා ආදරේ කරන්නෙ එමීට.
එමී සිංදු කියන්නෙ පුරුදුවෙන්නෙ එයාගෙ මිත්තනිය සින්තියා එක්ක. සින්තියා වගේම .. අමීගේ මාමාවරු හැමෝම ජෑස් සංගීතයට ප්‍රසිද්ධ චරිත. සංගීතයට ආසා කරනවා වගේම ජීවිතය ගැන ප්‍රශ්ණ කරන එකත් අමීගේ පුරුද්දක්.

යුදෙව් පව්ලක ඉපදුනත් එමී පල්ලියට එහෙමත් නැත්තං සිනගොග් දේවස්ථානයට යන්නෙ අවුරුද්දකට සැරයක් විතරයි.
ඒකත් යෝමි කිපුර් උත්සවයට.. පවුලේ අයගෙ වදෙන් බේරෙන්න බැරි නිසා.
අවුරුදු දාස් ගානකට කලින් ලියපු පොත් ගැන හිතලා වදවෙන්න මට බෑ. ඉස්කෝලෙදි වුනත් ආගම ගැන කියන කතංදර කිසි දෙයක් මට තේරෙන්නෙ නෑ. විශ්වාස ඒ අයට තිබුනාවේ එමී කියනවා.
පාසැල් වැඩවලට අමීගේ කිසිම උනන්දුවක් නෑ. නමුත් එයා පුදුම දක්ශයි ගීත ලියන්න.. කෙටි කතා ලියන්න. තමන්ගෙ ජීවිතය ගැන .. සමාජයේ බොරු ආටෝප ගැන ගීත ගණනාවක් එමී ලියන්නෙ වයස අවුරුදු එකොලහ දොලහ වයසෙදි. ඒ ගීතවලට සංගීත නිර්මාණය කරන්නෙත් එමීමයි. තමන්ගෙ දොලොස්වෙනි උපන්දිනේට තෑගි ලැබුනු ගිටාරයෙන් තමන්ම ලියපු ගීත පාසැල් වේදිකාවෙ ගායනා කරන එමී පාසැලේ බොහොම ජනප්‍රියයි. නමුත් පාසැලේ උගන්වන විශයයන් ගැන එමීගේ කිසිම කැමැත්තක් නෑ.
පාසැල් වැඩවලට කම්මැලි.. පරක්කු වෙනතෙක් නිදියන.. තමන්ගෙ අම්මත් එක්ක නිතරම වාද කරන එමී එක්තරා විදිහක මුරන්ඩු චරිතයක්.
එමීව තේරුම්ගන්න එයාගෙ අම්මට පුළුවන් වෙන්නෙ නැහැ.

ලන්ඩන් නගරේ සිල්වියා තියටර් පාසැලට ( Sylvia young Theatre School ) මේ දැරිය අයදුම්පත යොමුකරන්නෙ වයස අවුරුදු දහ තුනේදී . සිල්වියා සංගීත කලා පාසැලට තෝරාගත්බවට ප්‍රකාශ කරන ලිපිය ගෙදරට ලැබෙන තුරු ඒ ගැන නිවසේ කිසි කෙනෙක් දන්නෙ නෑ.
තමන්ගේ අයදුම්පතේ අවසානයට එමී මෙන්න මේ වගේ වැකියක් ලියනවා. මට ඕනෙ මගේ හඬ මිනිස්සුන්ට ඇහෙන්න. විනාඩි පහකට හෝ මිනිස්සුන්ගෙ දුක් කරදර අමතක කරවන්න වේදිකාවට නගින්න මට ඕනෙ. විකාර ආටෝප නෙවෙයි .. මතක හිටින සිංදුවක් කියන්න මට ඕනෙ.දැනට ඉගෙන ගන්න පාසැලේ විශයයන් කිසි කමකට නෑ. මේ පාසැලට සංගීතේ තේරෙන්නෙ නෑ.
අළුත් පාසැලේ නිර්මාතෲවරිය සිල්වියා යන්ග් එමීගෙ හඬ අහලා පුදුම වෙනවා. ජූඩි ගාලන්ඩ්.. එල්ලා ෆ්‍රිට්ස්ජෙරාල්ඩ් වගේ හඬක්.. දක්ශකමක් මේ දැරිවිට තියෙන්නෙ. සිල්වී කියන්නෙ එහෙමයි.
අළුත් ඉස්කෝලෙ සංගීතය ඉගෙන ගන්න කදිමයි. ඒත් අපොස සාමාන්‍යපෙල විභාගයට ඉගෙන ගත යුත්තේ සංගීතය විතරක් නෙවෙයි.

අනිත් සියළුම විශයයන් අමතක කරන එමී පොත් පිටු පුරා ලියන්නෙ ගීත හා තනු.
වසර දෙක තුනක් අවසානයේ එමීට සිදුවෙනවා පාසැලෙන් සමුගන්න. හේතුව සාමාන්‍ය පෙල විභාගය ලියන්න මේ තරුණිය සූදානම් නෑ. පාසැලෙන් පිටවීම වලක්වන්න සිල්වියා යන්ග් උත්සාහ කරත් ඒ වෙනකොට පරක්කු වැඩියි.
අවුරුදු දහ අට වෙනකොට එමී සුළු සුළු රැකියාවන් කරනවා ලන්ඩන් නගරයේ. රාත්‍රියේදි සමාජශාලාවල සිංදු කියනවා.
අවාසනාවකට මේ වෙද්දි එමී විශාදයෙන් එහෙමත් නැත්තං ඩිප්‍රෙශන් තත්වයෙන් පෙලෙන බවයි ඇගේ වෛද්‍යවරයා කියන්නෙ.
ඒක අද ඊයෙ සිදුවුනු දෙයක් නෙවෙයි.. කුඩා කාලෙ ඉඳලම මම ඩී ප්‍රෙස් එමී කියනව ඒ විදිහට.
මේකට හේතුව මොකද්ද.? අමීගෙ ලෝකයේ වීරයා එයාගෙ තාත්තා. නමුත් මිශෙල් වයින්හවුස් නිතරම ගෙදර නැහැ.
තමන්ගෙ බිරිඳට අමතරව මිශෙල්ට ඉන්නවා පෙම්වතියක්. ජේන්, මිශෙල්ගෙ පෙම්වතිය වගේම ලඟම මිතුරිය.
මේ නිසා එමීගෙ නිවසේ තියෙන්නෙ සාමකාමී වාතාවරණයක් නෙවෙයි.

මිනිස්සු හැමෝම වගේ එකිනෙකාට බොරු කරන්නෙ ඇයි? සමාජයට බොරු මූනක් පෙන්වන්නෙ ඇයි? ඇයි අපිට බැරි අපිම වෙන්න.. ? අවශ්‍ය විදිහට ජීවත්වෙන්න මිනිසසු බය ඇයි.? එමී ප්‍රශ්ණ කරනවා.
එමීගෙ මුරන්ඩුකම් කොයිතරම් දුරදිග ගියත් එයාගෙ තාත්තා නෙවෙයි එමීට තරවටු කරන්නෙ.
අනිත් අතින් සර්ව සම්පූර්ණ පියා දකින්න කැමති එමී තාත්තගෙ අනියම් සම්භන්ධය ගැන දුක්වෙනවා. නමුත් ඒ ගැන කතා කරන්න කිසිවෙක් නෑ.
ඒ එක්කම පාසැල් ගමන නතරවුනු එමීගෙ ජීවිතයේ එකම අරමුණ සංගීතය බවට පත්වෙනවා.
ඩී ප්‍රෙශන් කියන්නෙ මගේ ජීවිතේ කොටසක්.. ඒ හැර ලෝකය දකින්න මම පුරුදුවෙලා නෑ. එමී පසුකාලෙක කියනවා.
එමීගෙ කටහඬට වශීවුනු රසිකයෙක් එමීව හඳුන්වාදෙනවා බ්‍රිලියන්ට් 19 කියන සංගීත සමාගමට. එමීගෙ පලවෙනි සංගීත ඇල්බමය නිකුත්වෙනවා.

ඇය විසින්ම ලියපු ගීත.. ඇයගේම තනු එක්ක සටහන්වෙන මේ ඇල්බමය සාර්ථකයි.
එමී ගැන දැනගන්න එමි ( EMI) නම් සංගීත සමාගම එමී වයින් හවුස්ට අළුත් ඇල්බමයක් සඳහා ආරාධනා කරනවා.
කුඩා කාලෙ අත්දැකීම්.. ජීවිතයේ හමුවෙන ගැටළු.. හිස්බව ආදිය ගීතවල අඩංගුවෙද්දි ජෑස් .. රෙගේ.. සෞල් වැනි සංගීත ශෛලීන් ඔස්සේ එමී වයින් හවුස් තරුවක් බවට පත්වෙනවා.
ගීතවල වචනවලට තරුණ පරපුර ආකර්ශණය වෙද්දි සංගීතයට ආකර්ශණය වෙන්නේ මැදිවයසේ හෝ අවුරුදු හැටට වඩා වයසේ ඛාන්ඩය. මේ දෙපිරිසම එමීගෙ කටහඬට කැමතියි.
එමී ජනප්‍රිය වෙනවා බොහෝම වේගයෙන්. මුදල්.. ආදරය .. අවධානය ගලාගෙන ආවත් එමීගේ ඇතුලාන්තය හිස් බවින් පිරිලා.
එමී හොයනවා තමන්ගෙ තාත්තව ආදේශ කරන්න චරිතයක්. නමුත් තමන්ගෙ තාත්තා තරම් වටිනා චරිතයක් හොයන්න ලේසි නෑ.
ක්‍රිස් ටේලර් තමන්ගෙ පෙම්වතා වුනත් එයාට මිශෙල් වයින්හවුස්ගෙ පෞරුශත්වය නැහැ. ඒ නිසා සම්භන්ධයට ආයුශ නැහැ.

මේ අතරේ අමී වයින්හවුස්ට මුනගැහෙනවා බ්ලේක් ෆීල්ඩර්. බ්ලේක් කියන්නෙත් මත්පැන් උදේ හවස පාවිච්චි කරන විනෝදකාමී පුද්ගලයෙක්.
වොඩ්කා.. ජින්.. විස්කි වගේ මත්පැන් අමීට නැතුවම බැහැ.
මරිජුවානා දුම මාව සාමකාමී පුද්ගලයෙක් බවට පත්කරනවා. එහෙම නැතුව වේදිකාවට නගින්න මට බැහැ.
මෙහෙම කියන්නෙත් ඇයමයි.
කොයිතරම් ගීත නිර්මාණය වුනත් මට ඕනෙ විදිහේ සිංදුවක් තවම හදන්න බැරිවුනා.. මොකක් හෝ ලොකු අඩුවක් තියනවා… එමී නිතරම කියනවා.
මේ අතරෙ අමීගෙන් වෙන්වෙන බ්ලේක් තමන්ගෙ පරන පෙම්වතිය හොයාගෙන යනවා.
වේදනාව දරාගන්න බැරි එමී මත්පැන්වලට වඩ වඩාත් යොමුවෙනවා.
ඒත් වේදනාවත් විශාදයත් අතරින් නිර්මාණයවෙනවා Back to Black ගීතය. ඒ 2006 අවුරුද්ද. සංගීත දර්ශකවල ඉහලටම නගින බැක් ටු බ්ලැක් ගීතය ලෝකය පුරාම ජනප්‍රියවෙන්නෙ පුදුමාකාර වේගයකින්. මේ තමා මම හොයමින් හිටපු නිර්මාණය.. මේ තමා මට ඕනෙ වුනු ගීතය ආමී සතුටුවෙනවා. ඒත් ඒ නිර්මාණය කරන්නෙ ජීවිතයේ ලොකුම වේදනාවට ..තනිකමට මූන දෙන්න මේ තරුණ නිර්මාණකාරියට සිදුවෙනවා. මාස කීපයක් අඳුරේත් තනිකමේත් ගෙවපු ජීවිතේ ප්‍රතිඵලය බැක් ටු බ්ලැක්. මේ ගැන බහුතරයක් රසිකයන්ට තේරුම් ගන්න බෑ. මාධ්‍යයටත් රසිකයන්ටත් ඕනෙ සර්ව සම්පූර්ණ සාර්ථක කලාකාරියක්.

තනිකම ගැනත්.. ජීවිතයේ හිස්කම ගැනත් ලියන එමීගේ ජීවිතය ගෙවෙන්නෙ මත්පැන් හා මත්ද්‍රව්‍ය අතරෙ.
එමීගෙ කලමණාකරු වගේම මිත්‍රයනුත් එමීව මානසික ප්‍රථිකාර සඳහා යොමුකරන්න උත්සාහ කරනවා.
මම පරන ඉස්කෝලෙට අයිති කෙනෙක්.. ඒ කියන්නෙ මම විශ්වාස කරනවා මගේ ගැටළු මම විසින්ම විසදාගත යුතුයි කියලා.
මට මේ ප්‍රශ්ණ විසඳගන්න බැරිද.. එහෙමනම් ඒක විදිහයි.
බීමතින් රිය පැදවීම.. අවන්හල්වල රන්ඩු සරුවල් .. පොලීසිය සමග ප්‍රශ්ණ ඇතිකරගැනීම ආදිය ගැන අමී වයිහවුස් ප්‍රසිද්ධ වෙන්නෙ ඉක්මනින්. සම්මාන ගණනාවක්ම හිමිවුනත් එමී වයින් හවුස් කියන්නෙ සම්මාන.. තෑගි.. නම්බු නාම සතපහකට මායිම් කරන චරිතයක් නෙවෙයි.
බොහොමයක් සම්මාන උත්සව අමී මගාරිනවා. තවත් සම්මාන උළෙලවලට එන්නෙ පරක්කු වෙලා.
සංගීත සංදර්ශණ වේදිකාවට එමී ගොඩවෙන්නෙ බීමතින්.
අන්තිමේදී මිත්‍රයන්ගෙ බලකිරීමට පුනරුත්ථාපන කඳවුරකට ඇතුල්වෙන්න එමී වයින්හවුස් තීරණය කරනවා.
මිශෙල් වයින්හවුස්ගෙ මතය වෙන්නෙ එමීට පුළුවන් තමන්ගෙ ප්‍රශ්ණවලින් ගොඩ එන්න. ඒකට රී හැබ් වෙන්න ඕනෙද කියන්න මම දන්නෙ නෑ.
එමී කොයිතරම් ජනප්‍රිය වුනත්.. ධනවත් වුනත් මිශෙල් වයින්හවුස්ගෙ ලෝකයේ එමී තවම තමන්ගෙ කුඩා දියණිය විතරයි.

රිහැබිලිටේශන් කෑම්ප් එකට එමී වයින්හවුස් ඇතුල්වෙන්නෙ මාස තුනකට. ඒත් පැය හතරකට පස්සෙ එමී එතනින් පිටවෙනවා.
මේ මොන කුණු ගොඩක්ද..? රවුමට ඉඳගෙන අනිත් මිනිස්සුන්ගෙ කුණුගොඩවල්වලට මම ඇහුම් කන් දෙන්නෙ ඇයි.? මට මගේම ප්‍රශ්ණ තියෙද්දි මේ විකාරවලට ඇහුම්කන් දෙන්න මට උවමනාවක් නෑ.
ඊට වඩා මට වටිනවා මගේ පූසො තුන්දෙනාට වෙලාවට කෑම ටික දෙන්න.
එමී කියන්නෙ ඒ වගේ කතාවක්.
පුනරුත්ථාපනය එහෙමත් නැත්තං රිහැබිලිටේශන් ගැන රී හැබ් ගීතය ලියවෙන්නෙ ඒ ආකාරයටයි.
They tried to make me go to rehab
But I said: No, no, no
Yes, I’ve been black, but when I come back
You’ll know, know, know

2007 අවුරුද්දේ රී හැබ් ගීතය ගීත දර්ශකවල ඉහලම ස්ථානවල රැඳෙනවා. 2008 2009 වසරවලත් එමී වයින්හවුස් බොහොම ජනප්‍රියයි.එමීට ලැබෙන සම්මාන.. සංගීත සංදර්ශණ.. ලෝක සංචාර නිමක් නෑ. නමුත් ඒ අතරෙම මත්පැන් කියන්නෙ එමීගෙ ජීවිතයේ අංගයක්. හදිසියේ විවාහවීම.. වෙන්වීම.. රන්ඩු සරුවල් කිරීම ආදිය වාර්ථා වෙන්නෙ මේ අතරෙමයි. එමී දැනගෙන හිටියා මේ විදිහට ගියොත් එයාට වැඩි කාලයක් ජීවත්වෙන්න ලැබෙන්නෙ නෑ කියලා. එයා කීවෙ ..” ඒකට මොකද..ජීවත් වෙන්න ඕනෙ කාලෙ මට ඕනෙ විදිහට ජීවත්වෙනවා.. මිනිස්සු කියන විදිහට ..සර්ව සම්පූර්ණ ආදර්ශමත් චරිතයක් වෙන්න මට බෑ. මට වෙහෙසයි මේ කෘතිම සමාජයේ ජීවත්වෙලාම.
ඒක ඒ විදිහයි.. මම අයිති පරන ඉස්කෝලෙට”
2010 හා 2011 අවුරුදුවලත් අමීගේ වැඩසටහන්වල වෙනසක් සිදුවෙන්නෙ නෑ.. ලෝක සංචාර.. සංගීත සංදර්ශණ අතරතුර අමීගේ ජීවිතේ මත්පැන් නැතුවම බැරි දෙයක් බවට පත්වෙනවා.
පැපරාසි ඡායාරූප ශිල්පීන් එක්ක කීප සැරයක්ම ගැටෙන එමී පොලීසිය එක්කත් කීපවරකදිම ගැටෙනවා.
මේ මගේ ජීවිතේ.. මට ඕනෙ විදිහට ජීවත්වෙන්න ඉඩ දෙන්න බැරි ඇයි.. ඇය ප්‍රසිද්ධියේම පැපරාසීන්ටත් මාධ්‍යවේදීන්ටත් කියනවා.
2011 ජූලි මාසෙ 23 වෙනිදා එමීගෙ ආරක්ශක නිලධාරියෙක් විසින් හොයාගන්නවා එමී වයින්හවුස්ගේ පන නැති සිරුර.
ඇල්කොහොල් විස වීම මරණයට හේතුව.
ඒ වෙද්දි අමී වයින්හවුස්ට වයස අවුරුදු 27යි.

එමී සත පහකට මායිම්කරේ නෑ සම්මාන හෝ නම්බුනාම. එක්තරා විදිහකට ජනප්‍රියත්වය එයාට කරදරයක්. අනිත් අතින් වේදිකාව හෝ සංගීතය නැතුව එමීට ජීවත්වෙන්නෙ බෑ. නමුත් ලෝකය බලාපොරොත්තු වෙන්නෙ ලස්සන .. දිලිසෙන.. සරුව පිත්තල චරිත. සමාජයට ඕනෙ ප්‍රථිරූප පවත්වාගෙන යන කෘතීම ගායක ගායිකාවො. තමන්ට ඕනෙ විදිහට ජීවත්වෙන සතුටත් වේදනාවත් ඒ විදිහට විඳින සාමාන්‍ය මිනිස්සුන්ට ජනප්‍රිය ලෝකයේ ඉඩක් නැතිවෙන්නෙ ඒ නිසා විය යුතුයි.
අමී වයින්හවුස්ගෙ චරිතයෙන් ඉගෙන ගන්න පුළුවන් මොකද්ද.. මගේ මිත්‍රයෙක් අහනවා.
ඉගෙන ගන්න අවශ්‍ය නෑ.. එමී වයින්හවුස් කියන්නෙ ලෙජන්ඩරි චරිතයක්.. පුදුමාකාර දක්ශ ගායිකාවක්.. එයාගෙ තනු වගේම කටහඬත් අනුකරනය කරන්න බෑ.

අමී වයින්හවුස් ලෙජන්ඩරි චරිතයක්. එයා කියපු විදිහට එයා ජීවත්වුනා. එමී කීවෙ මගෙ දිහා නෙවෙයි මගේ ගීත.. මගේ නිර්මාණ දිහා බලන්න කියලයි.
විනිශ්චයකින් තොරව අමී දිහා බලන්න අපිට පුළුවන් වුනොත් එයාගෙ සංගීතය රස විඳින්න අපිට පුළුවන්.
ඒ වගේ දක්ශ ගායිකාවන්.. චරිත බිහිවෙන්නෙ කලාතුරකින්.
මගේ උත්තරය ඒ වගේ එකක්.
Amy Winehouse 1983 -2011.
සටහන | Malcolm Sang මුහුණු පොතෙනි