ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියෙන් වැසුණු වෘත්තීය අයිතීන් | ඉෂංඛා සිංහආරච්චි

    0
    19

    නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ බලපෑම නිසා මෑත කාලීනව මාධ්‍ය ප්‍රතිසංස්කරණ ගැන අවධානයක් යොමු වුයේ 1994 දී බලයට පත්වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව යටතේය.

    එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් පත් කළ ආර්.කේ.ඩබ්ලිව්.ගුණසේකර කමිටුව හා ලේක්හවුස් ආයතනයේ හිමිකාරිත්වය පුළුල් කිරීම වෙනුවෙන් වූ සිදත් ශ්‍රී නන්දලෝචන කමිටුව එම අරගලයේ ප්‍රතිපලය.


    එම කමිටු විසින් මාධ්‍ය නීති ප්‍රතිසංස්කරණ හා රාජ්‍ය පාලිත මාධ්‍යය මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කළද මාධ්‍ය අමාත්‍යධූරය ධර්මසිරි සේනානායක වෙතින් මංගල සමරවීර වෙත මාරු වීමෙන් පසු එම නිර්දේශයන් ගැන පැවතියේ නිහැඬියාවකි. මාධ්‍ය සංවිධාන ද මෙකී කමිටු නිර්දේශ ක්‍රියාත්මක කරගැනීම ගැන දැරුවේ ඇල්මැරුණු ප්‍රතිපත්තියකි. යළිත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් කොළඹ ප්‍රකාශණය, ඊට පසුව ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ ද සහභාගිත්වය ඇතිව තෝලංගමුව ප්‍රකාශණය එළි දැක්විණි.

    මෙතෙක් බලයට පත් සෑම රජයක්ම කමිටු පත්කරමින්, ප්‍රතිපත්ති කෙටුම් පත් කරමින් මාධ්‍ය ප්‍රතිපත්තියක අවශ්‍යතාවය අවධාරණය කළේය. වත්මන් ජාතික ජනබලවේගය ආණ්ඩුව ද ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් කඩිනමින් ගෙන ඒමට සුදානමින් සිටී. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විද්වත් කමිටුවක් මගින් 2023 වසරේදී කෙටුම් පත් කළ ලියවිල්ල පදනම් කරගෙන ඊට සංශෝධන එක් කරමින් එය නැවත ඉදිරිපත් කිරීමට නියමිතය.

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මුල්‍යදායකත්වයෙන් මාධ්‍ය ප්‍රතිපත්තියක් සකසන්නට හිටපු ජනාධිපති වික්‍රමසිංහ පත්කළ විද්වත් මඩුල්ලේ සාමාජිකයන් 23 දෙනාගෙන් නිළ බලයෙන් පත්වන රාජ්‍ය නිලධාරින් 10 දෙනා වෙනස් වී ඇති අතර මාධ්‍ය සමාජයෙන් පත්කර ඇති සාමාජිකයන් 13 දෙනාගේ සුළු වෙනස්කම් කිහිපයක් කරමින් නව කමිටුව ක්‍රියාත්මකවේ. වෙබ් මාධ්‍ය වෙනුවෙන් ද නියෝජිතයෙක් නව කමිටුවට ඇතුලත් කරගෙන ඇත.  

    සංස්කාරක  මණ්ඩල ස්වාධිනත්වය, මාධ්‍ය ආචාර ධර්ම, මාධ්‍යවේදීන්ගේ පුහුණුව හා දැනුම වර්ධනය ඇතුළු  ඇතුළු භාෂණයේ නිදහසට අදාළ කරුණු රැසක් මෙහිදී අවධානය යොමු කර ඇති බව දක්කනට ලැබේ. ඒවා  2004 වසරේ සිට කෙටුම්පත් කළ සෑම මාධ්‍ය ප්‍රතිපත්ති ලියවිල්ලකම සඳහන් වන්නකි.  

    එහෙත් ප්‍රධාන ගැටලුව වන්නේ මාධ්‍ය කර්මාන්තයක් ලෙස ගත හොත් එහි නියැලී සේවකයා එහෙමත් නැත්නම් කම්කරුවා තෘප්තිමත් ද යන්නය. මුද්‍රිත, ගුවන් විදුලි, රුපවාහිනි, වෙබ් අඩවි, යු ටියුබ් චැනල් වශයෙන් මාධ්‍යයන් පුළුල් වී තිබේ. භාෂා මාධ්‍ය අනුවත්, රාජ්‍ය පාලිත හා පෞද්ගලික හිමිකාරිත්වය අනුවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රභේද දැකිය හැක. ඒ ඒ ආයතනයන්ට අනුව මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සේවකයන්ට සලකනු ලබන්නේ එකිනෙකට වෙනස් ආකාරයකටය.

    වැටුප් විෂමතා හා කුඩම්මාගේ සැළකිලි

    රාජ්‍ය පාලිත මාධ්‍යවල මාධ්‍යවේදීන්ගේ වෘත්තිමය තත්වය යම් තරමකට යහපත් වුවද පෞද්ගලික මාධ්‍ය ආයතනවල තත්වය නම් ඇත්තේ පහල මටටමකය. රාජ්‍ය පාලිත විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන්හි මාධ්‍යවේදීන්ට නිශ්චිත වැටුපක්, නියමිත දිනට ලැබෙන මුත්,  පෞද්ගලික හිමිකාරිත්වය සහිත මාධ්‍ය ආයතන කිහිපයක් හැරුණු කොට අනෙක් බොහොමයක් ඒවායේ එසේ නොලැබෙන බවට නැගෙන මැසිවිලි රාශියකි. එමෙන්ම ඉහල තනතුරු උසුලන අය විශාල වැටුප් තලයන්ට හිමිකම් කියන මුත් ඉන් පහල ශ්‍රේණිවල නිරත මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන්ට ලැබෙනුයේ සොච්චම් වැටුපකි. එමෙන්ම තවත් චෝදනාවක් වන්නේ මෙම ආයතනයන්හි සිංහල හා දෙමළ මාධ්‍ය සේවකයන්ට වඩා ඉංග්‍රීසි මාධ්‍ය සේවකයන් ඉහල වැටුප් ලබන බවය.  

    නිසි බඳවා ගැනීමේ පරිපාටියක්, තනතුරේ කාර්යයන් හා වැඩ කරන පැය ගණන්, නිවාඩු හා අනෙකුත් සහන දීමනා සහිත පත්වීම් ලිපියක් හෝ රැකියා ගිවිස ගැනීමේ සහතිකයක්, සේවක අර්ථ සාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට දායකත්වය ලබා දීම, රක්ෂණ ආවරණයක්, නිසි උසස්වීම් පරිපාටියක්, අවම වැටුපක් වැනි මාධ්‍යවේදීන්ගේ වෘත්තීය හිමිකම් කෙරෙහි බොහෝ පෞද්ගලික මාධ්‍ය ආයතන එතරම් සැලකිල්ලක් නොදක්වති.

    මෙවැනි ආකාරයේ නොසැලකිල්ල නිසා බලවත් ලෙස අසාධාරණයට හා අසරණබවට පත්වන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හා නිදහස් [FREELANCE] මාධ්‍යවේදීන් ය. මෙකී මාධ්‍යවේදීන් ද කොටස් දෙකකි. රජයේ හෝ පෞද්ගලික අංශයේ වෙනත් රැකියාවක නිරතවෙන අතරතුර අර්ධ කාලීනව ප්‍රාදේශීය මාධ්‍යකරණයේ යෙදෙන පිරිස් සහ ප්‍රාදේශීය මාධ්‍යවේදයේ පුර්ණකාලීනව යෙදෙනන් ලෙස වර්ග කළ හැක.

    එමෙන්ම නිදහස් මාධ්‍යවේදීන් ද  මෙසේ වර්ග කළ හැකි අතර රාජ්‍ය පාලිත හා පෞද්ගලික  මාධ්‍ය ආයතනයන් හි නිසි ක්‍රමවේදයක් මෙන්ම, අඩු සැලකිල්ල  නිසාවෙන් බලවත් පිඩාවට පත්වන්නේ මෙකී පුර්ණකාලිනව මාධ්‍යකරණයේ යෙදෙන නිදහස් සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ය. පුවත් වාර්තාකරණයේදී හා විශේෂාංග රචනයේදී  ලිපි,ශ්‍රව්‍ය හා  දෘශ්‍ය වාර්තා වෙනුවෙන් කෙරෙන ගෙවීම් එක් එක් ආයතනයෙන් ආයතනයට වෙනස් වේ. ඒ සඳහා වන නිශ්චිත ගෙවීමේ ක්‍රමයක් නොමැත. ඒ ඒ මාධ්‍ය ආයතන බලධාරීන් විසින් නියම කරන ගෙවීම් සම්මතය ලෙස සැලකේ.

    මාධ්‍යවේදී වෘත්තීය හිමිකම්

    මාධ්‍ය වෘත්තියභාවය ගැන මතුව ඇති මෙම තත්වය ගැන දැනට සාකච්ජාවෙන් පවතින මාධ්‍ය ප්‍රතිපත්ති මාලාවට ඇතුලත් කොට ඇත. ඒ මෙසේය ;

    “මාධ්‍යවේදීන්ගේ සහ සෙසු මාධ්‍ය සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය, සුදුසු වැටුප්,වෙනත් ප්‍රතිලාභ ලබාදීම,රක්ෂණ ආවරණය සහ රටේ නීතියෙන් සියලු ශ්‍රමිකයන්ට සහතික කොට තිබෙන අයිතිවාසිකම්  ප්‍රායෝගික තහවුරු කළ යුතු බවත්, මාධ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන සියළුම දෙනාට ශාරීරික,ලිංගික, මනෝ-සමාජ හෝ වාචික හිරිහැරවලින් මෙන්ම කිසිදු ආකාරයක වෙනස්කම් කිරීම් වලින් තොර පරිසරයක සේවය කිරීමට අයිතියක් ඇති බවත් මාධ්‍ය ප්‍රතිපත්තිය පිළිගනියි.

    .

    0 kQUCCCQpfK7vWZTi

    මාධ්‍ය ප්‍රතිපත්තියකට මෙකි කාරනා ඇතුලත් කළ පමණින් ඒවා ක්‍රියාත්මක කිරීමට හිමිකරුවෝ සුදානම් නොමැත. නිදසුනක් ලෙස රටේ නීතියෙන් සියලු ශ්‍රමිකයන්ට සහතික කොට තිබෙන අයිතිවාසිකම් ප්‍රායෝගික තහවුරු කළ යුතුය යන්න යටතේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සේවකයන්ට සිය ආයතනය තුල වෘත්තීය සමිතියක් ගොඩනැගීමට  හා ඒවටා සංවිධානයවීමට හැකිද යන්න ගැටලුවකි. එය පනතක් මගින් තහවුරු කළ අයිතියකි.

    රාජ්‍ය පාලිත මාධ්‍යය තුල වෘත්තීය සමිති පිහිටුවීම හා ඒ වටා සංවිධානය වීමේ අයිතිය තහවුරු වී ඇත. ඒ අතීතයේ පැවති කම්කරු සටන් වල ප්‍රතිපලයක් ලෙසිනි. එහෙත් අද වන විට එම වෘත්තීය සමිති ද කිසියම් පක්ෂයක අවශ්‍යතාවන් හා මතවාදයන් මත ක්‍රියා කරන අතකොලු වැනිය. ස්වාධීන වෘත්තීය සමිති පැවතිය ද ඒවා ද පක්‍ෂ දේශපාලනය විසින් ගිලගෙන තිබේ. බලයට පත්වන දේශපාලන පක්ෂයට හෝ හවුලකට අනුබද්ධ වෘත්තීය සමිති විසින් එකී මාධ්‍ය ආයතනයේ ලිවරය බවට පත්වීම 70 දශකයටත් පෙර සිට ඇරඹි සම්ප්‍රදායකි.

    රාජ්‍ය පාලිත මාධ්‍ය ආයතනයන් වල මෙම අපකීර්තිමත් ඉතිහාසයට ශ්‍රීලංකා නිදහස් සේවක සංගමය හා ජාතික සේවක සංගමය ප්‍රමුඛ වගකිව යුත්තන් බවට මෑත කාලින කම්කරු ඉතිහාසය පිරික්සීමේ දී සක්සුදක් සේ පැහැදිලි වනු ඇත. වත්මන් ජාතික ජනබලවේගය ආණ්ඩුවට ද මෙම ක්‍රියාවලියෙන් බැහැර වීමට අවශ්‍ය වුවද, ඉන් මිදිය නොහැකිය.

    වෘත්තීය සමිති භීතිකාව

    පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින මාධ්‍ය ආයතන තුල පවතින්නේ වෘත්තීය සමිති භිතිකාවකි. පාලකයන් විසින් වෘත්තීය සමිති කෙරෙහි ඇති කර තිබෙන වැරදි ආකල්පයන් නිසා මෙම තත්වය පැන නගී. එහෙත් වෘත්තීය සමිතියක වැදගත්කම දන්නා හිමිකරුවන් ඊට අවශ්‍ය පහසුකම් සලසනු නියතය. සිය ආයතනය තුල වෘත්තීය සමිතියක් ගොඩනැගීම හෝ ඒ වටා සංවිධානය වීම   මාධ්‍ය ආයතනවලට පමණක් නොව පෞද්ගලික අංශයේ සෑම ක්ෂේත්‍රයකම  කම්කරුවන්ට ඇති  ජය ගතයුතු අභියෝගයකි.

    ඉකුත් දශක කිහිපය තුල එවැනි ප්‍රයත්නයන්  කිහිපයක් මාධ්‍ය ක්ෂේත්‍රයෙන් දක්නට පැවතිය ද, ඒවා ව්‍යර්ථ වුයේ  හිමිකරුවන්ගේ බලපෑම මෙන්ම ඊට මුල්වූ මාධ්‍යකරුවන්ගේ අත්දැකීම් මදකම,පාවාදීම්  හා අතිධාවනකාරී බව  හේතුවෙනි. මේ නිසා මාධ්‍යවේදීන්/ වේදිනියන් රැසක් දඩයමට ලක්වුහ. කෙසේ වෙතත්  විජය පුවත්පත් සමාගම, උපාලි පුවත්පත් සමාගම හා ස්වර්ණවාහිනිය වැනි ආයතනයන් තුල දරන ලද මෙකි  ප්‍රයත්නයන්  මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන්ගෙන්  පැත්තෙන්  ගත්තොත් ඉතාමත් ප්‍රශස්ත කාර්යයකි.

    වෘත්තීය සමිතියක් තුල සංවිධානය වීම සේවකයන්ගේ අනුලන්ඝනිය අයිතියකි. ඇත්තටම ඒ තුලින් සිදුවන්නේ ආයතනය තුල සාමකාමී පරිසරයක් නිර්මාණය වීමයි. ආයතනයේ තීන්දු තීරණ ගන්නා ක්‍රියාවලියට සේවකයා ද සම්බන්ධ කරගැනීම මේ ඔස්සේ සිදුවෙන බැවින්  ඔවුන් ආයතනයේ කොටස්කරුවන් වැනි හැඟීමක් ඇතිවේ. එමෙන්ම සේවකයන්ගේ එසේ නැතහොත් කම්කරුවන්ගේ ගැටළු වෘත්තීය සමිතිය හරහා හිමිකරුවන්ට සාකච්ජා කළ හැකිය. වැටුප් සහ අනෙකුත් දීමනා, වැඩ කොන්දේසි ඇතුළු සියලු ඉල්ලීම් වෘත්තීය සමිතිය හරහා සාකච්ජා කොට වසරකට හෝ දෙවසරකට වතාවක් අලුත් කෙරෙන සාමුහික ගිවිසුමකට දෙපාර්ශවයටම එළඹීම මෙහි වඩාත් යහපත් කටයුත්තකි. ඒ තුලින් ආයතනයේ සේවාවන්ගේ හෝ නිෂ්පාදනයේ ප්‍රගතියක් පෙන්නුම් කරනු නියතය.

    එමෙන්ම ආයතනය ලාභ ලබන විට සේවකයන්ට වැඩි වැටුප් හා  දීමනා ලබා දීම ගැනත්  පාඩු ලබන්නේ නම් ඒවා මගහරවා ගන්නා තෙක් සේවකයන්ගෙන් පැත්තෙන් යම් කැප කිරීමක් ඉල්ලා සිටීමට ද හිමිකරුවන්ට වෘත්තීය සමිතිය හරහා සාකච්ජා කළ හැකිවේ.  මෙවැනි ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීමට නම් වෘත්තීය සමිති කෙරෙහිවූ බිය සැක දුරු කර ඒ කෙරෙහි නම්‍යශීලි ප්‍රතිපත්තියක් හිමිකරුවන් විසින් ගත යුතුය. තම ඉල්ලීම් වලට සවන්දෙන, ඔවුන් සමග සාකච්ජා කරන ආයතන වල සේවකයෝ වෘත්තීය ක්‍රියා මාර්ග වලට එළඹෙන්නේ නැත. වඩා වැදගත් වන්නේ සේවකයන්ගේ තෘප්තිමත්බවයි.

    සාමුහිකව කේවල් කිරීම

    කම්කරු කොමසාරිස්වරයා යටතේ ලියාපදිංචි කිරීමෙන් පමණක් වෘත්තීය සමිතියක් ලෙස සැලකිය නොහැක. සාමාජික මුදල් නිසිලෙස ගෙවන රැස්වී තීන්දු ගන්නා කිසියම් ක්‍රියාකාරී සාමාජිකත්වයක් තිබිය යුතුය. වඩාත් වැදගත් වන්නේ සාමුහිකව කේවල් කිරීමේ බලයයි. සාමුහික ගිවිසුමකට එළඹීමට නම් මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට හතලිහක වැනි ප්‍රමාණවත්  සේවක සංඛ්‍යාවක් නියෝජනය කළ යුතුය. මේ අභියෝගය ජයගත හැක්කේ, ආයතනයේ මාධ්‍යවේදීන් පමණක් මේ කාර්ය කිරීමට සමත් නොවන බැවින් සියලු උස් මිටිකම් ඉවත හෙළා මාධ්‍ය සේවකයන් ද, නිදහස් හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ද  ඒකරාශී කර ගැනීම මගිනි. වෘත්තීන් හා ශ්‍රේණි අනුව සේවකයන් සංවිධානය වීම තුල සාමුහිකත්වයට දැඩි බලපෑමක් එල්ල වනු ඇත.

    ශ්‍රමයට සරිලන වැටුපක් ලැබීම තුල මාධ්‍යවේදියා මෙන්ම මාධ්‍ය සේවකයා ද තෘප්තිමත් වනු ඇත. කෙතරම් මාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම් පත් කළ ද ඒ කෙරෙහි ඇත්තේ අඩු අවධානයකි. මාධ්‍ය නිදහස, පුහුණුව, අලුත් දැනුම, ආචාර ධර්ම වැනි කාරණාවන් නැවත නැවතත් අවධාරණය කළ ද  ශ්‍රමයට සරිලන වැටුපක් ලැබෙන තෙක් මාධ්‍ය කර්මාන්තය පවතින තත්වයෙන් ගොඩ ගත නොහැකි වනු ඇත.

    ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ “නිදහස් ජනමාධ්‍ය කර්මාන්තයක්- සමබර තොරතුරු සමාජයක් “ නමින් මාධ්‍ය ගැන සඳහන් පරිච්ජේදයේ මාධ්‍යකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන සඳහන් කර නොමැත. එබැවින් යෝජිත මාධ්‍ය ප්‍රතිපත්තිය තුල විශේෂයෙන් පද්ගලික මාධ්‍ය ආයතනවල මාධ්‍යකරුවන්ට වෘත්තීය සමිති ගොඩනගමින් ඒ තුල සංවිධානය වීමේ අයිතිය තහවුරු කිරීම අත්හළ නොහැකි කාර්යකි. ඒගැන මාධ්‍ය හිමිකරුවන් සමග ප්‍රතිපත්ති සම්පාදකයන්ට සාකච්ජා කළ හැකිය. එවිට වෘත්තීය සමිතිය ඔස්සේ  තමන්ගේ ඉල්ලීම් හා ගැටළු ඉදිරිපත් කරමින් පාලකයන් සමග සාකච්ජා කොට එකඟතාවකට පැමිණීමේ හැකියාව මාධ්‍යකරුවන්ට හිමිවෙනු ඇත.  කම්කරු කොමසාරිස්වරයා එහි පාර්ශවකරුවෙකු ලෙස මැදිහත්වීම මේ එකඟතා තවත් ශක්තිමත් කිරීමට හේතුවේ.

    (සටහන | ඉෂංඛා සිංහආරච්චි)
    නිදහස්  මාධ්‍යවේදිනි
    [email protected]

    මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here