අවන්හලකදී කෙටි පිළිසඳරක් පැවැත්වීම හෝ මාර්ගයේදී හමුවන අයෙකුට “හෙලෝ” යැයි ආමන්ත්‍රණය කිරීම වැනි ඉතා ම සුළු මානව අන්තර් ක්‍රියාවකින් පවා මිනිසුන් සතුටට පත් විය හැකි ය.
සමාජයීය සබඳතා මගින් මිනිසුන්ගේ ශුභසිද්ධිය වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳව ගෝලීයව සිදු කෙරෙන පර්යේෂණවලට දායක වීමට මෑතකදී තුර්කියේදී පැවැත්වුණු අධ්‍යයනයකදී හෙළිවූ කරුණු උපකාරී වී තිබේ.
“තමන්ට මානසිකව සමීප නොවන පුද්ගලයින් සමග අහඹු වශයෙන් අන්තර් ක්‍රියා කිරීම ජීවිතයේ තෘප්තිය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන බව අපි සොයාගත්තා,” යැයි එම අධ්‍යයනයේ ප්‍රධානත්වය දැරූ සබාන්සි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ එස්රා ඇස්කිගිල් පවසයි.
බසයෙන් බසින විට රියැදුරාට ස්තුති කිරීම හෝ නිතර දැක පුරුදු අයට ආචාර දැක්වීම හෝ එවැනි ක්‍රියාවන් බව ඇය පැහැදිලි කරන්නීය.
එනමුත්, අධ්‍යයනවලින් හෙළිවන කරුණක් වන්නේ, ආගන්තුකයෙකු සමග කතාබහ කිරීම අපහසු කාර්යයක් යැයි ලොව පුරා වැඩිහිටියන් බොහෝ දෙනෙකුට දැනෙන බව ය.
සතුටු සාමීචියේ යෙදීම මිනිසුන්ගේ ප්‍රීතිමත්භාවය කෙරෙහි කුමන ආකාරයේ දායකත්වයක් දක්වනවා ද? ආරක්ෂිතව කතාබහක් ඇරඹීමේ හොඳ ම ආකාරයන් මොනවා ද?

සුළු කතාබහකින් අත්වන ප්‍රතිලාභ
ආගන්තුකයෙකු සමග අන්තර් ක්‍රියා කිරීමේදී මිනිසුන්ගේ මනෝභාවය වැඩිදියුණු වන අතර තමන් වටපිටාව සමග වඩාත් සම්බන්ධ වී සිටින බවක් ඔවුන්ට හැඟී යන බව එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥ ගිලියන් සෑන්ඩ්ස්ට්‍රොම් පවසයි.
සතුටු සාමීචියෙහි නියැලීමෙන් අත්වන ප්‍රතිලාභ පිළිබඳව ගෝලීයව සිදු කෙරෙන පර්යේෂණවලට ප්‍රමුඛ දායකත්වයක් සපයන ඇය මෑතකදී තුර්කිය පැවැත්වූ අධ්‍යයනයෙහි සම-කර්තෘ ද වෙයි.
“(ආගන්තුකයෙකු සමග අන්තර් ක්‍රියා කිරීමෙන්) ඔබ අන් අය සමග බැඳී සිටින බව හා අනෙක් අය ඔබව ‘දකින බව’ ඔබට හැඟී යනවා. එය මිනිසාගේ මූලික අවශ්‍යතාවක්. සිතට දැනෙන ආකාරයට මෙන් ම අපගේ ශරීරවලට, නැතිනම් ශාරීරික නීරෝගීභාවයට, ඉන් බලපෑමක් ඇති කරනවා,” යනුවෙන් ඇය තවදුරටත් කියා සිටින්නීය.
මීට දශකයකට වැඩි කාලයකට පෙර මෙම විෂය සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වීමට පටන් ගැනීමෙන් පසුව ඇය සිය ගණනක් වූ ආගන්තුකයින් සමග පිළිසඳරෙහි යෙදුණේ, තමන් කුළෑටි සහ අඩුවෙන් කතා කරන අයෙකු බව ද නොතකා ය. අනෙක් පුද්ගලයින් ගැන තමන් දකින ආකාරය වෙනස් කිරීමට සහ අනෙක් අය වැඩියෙන් විශ්වාස කිරීමට ඉන් තමන් පෙළඹවූ බව ආචාර්ය සෑන්ඩ්ස්ට්‍රොම්ගේ අදහස ය.

“හැම විටක ම වගේ ඒක ප්‍රසන්න දෙයක් වුණා. සමහර වෙලාවට ඒක විශේෂ දෙයක් විදිහට දැනුණෙ නැහැ. නමුත්, මම බොහෝ දේ ඉගෙන ගත්තා, කවට කථා ඇහුවා, අවවාද හා නිර්දේශ ලැබුවා. මම ප්‍රජාවක කොටසක් බව මට දැනුණා. මට වඩාත් ආරක්ෂිත බවක් දැනුණා,” යනුවෙන් ඇය පවසන්නීය.
අවම සමාජ අන්තර් ක්‍රියා ඍජුව ම අයිතිය පිළිබඳ හැඟීම ශක්තිමත් කරවන බව ජපානයේ රික්යෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන ඉටාරු ඉෂිගුරෝ පවසයි. මේ සම්බන්ධයෙන් බටහිර සමාජයෙන් පිටතදී සිදු කළ අතලොස්සක් වන අධ්‍යයනවලින් එකක් ඔහුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
“තමන් පිළිගැනීමකට ලක්වන්නේ යැයි දැනෙන හැඟීම යහපත් දිවි පැවැත්ම කෙරෙහි ධනාත්මකව බලපානවා,” යැයි ඔහු කියා සිටී.
අවන්හලකදී කෙටි පිළිසඳරක් පැවැත්වීම හෝ මාර්ගයේදී හමුවන අයෙකුට “හෙලෝ” යැයි ආමන්ත්‍රණය කිරීම වැනි ඉතා ම සුළු මානව අන්තර් ක්‍රියාවකින් පවා මිනිසුන් සතුටට පත් විය හැකි ය.
සමාජයීය සබඳතා මගින් මිනිසුන්ගේ ශුභසිද්ධිය වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳව ගෝලීයව සිදු කෙරෙන පර්යේෂණවලට දායක වීමට මෑතකදී තුර්කියේදී පැවැත්වුණු අධ්‍යයනයකදී හෙළිවූ කරුණු උපකාරී වී තිබේ.

ආගන්තුකයෙකුට කතා කිරීම එතරම් දුෂ්කර ඇයි?
සතුටු සාමීචියෙහි නියැලීමෙන් ඇති වන යහපත මිනිසුන් බොහෝවිට අවබෝධ කර නොගන්නා අතර, එය ඵලක් නොමැති ක්‍රියාවක් හෝ කාලය කා දැමීමක් ලෙසින් හෝ සලකනු ලැබේ. කෙසේ වෙතත්, ඊට එරෙහිව ඇති සුලභ ම බාධකය වන්නේ මිනිසාගේ ඇති බිය යි.
“ලැබුණු දත්තවලින් පෙනී යන්නේ, ප්‍රතික්ෂේප වීමටත් වඩා ඔවුන් අකැමති වන්නේ, නොගැලපෙන ආකාරයේ කතාබහක් සිදු කිරීමට යි,” ඇය පෙන්වා දෙන්නීය.
බොහෝ දෙනෙකු කනස්සල්ලට පත් වන්නේ සුළුවෙන් සිදු කරන අන්තර් ක්‍රියා සංස්කෘතිකමය වශයෙන් පිළිගත හැකි ද යන්න පිළිබඳව ය. ඕනෑ ම රටක් ගත්කල එවැනි පිළිගැනීමක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට පවා වෙනස් වෙයි.
“උදාහරණයක් ගත්තොත්, ජපානයේ ටොහාකු ප්‍රදේශයේ කුඩා නගරයක් වන හිරොසාකි නගරයේ පාරක මාගේ කුඩා දරුවා සමග ඇවිද ගියහොත්, බොහෝ දෙනෙකු මා වෙත පැමිණ “කොච්චර හුරතල් දරුවෙක් ද!” වැනි දෙයක් කියනවා. නමුත් මම ටෝකියෝ නගර මධ්‍යයේ සිටියොත් එවැනි දෙයක් සිදු වන්නේ බොහෝ ම කලාතුරකින්.”
ආරක්ෂිත සලකා බැලීම්
ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව පොදු ඔවදන් ද ඔවුන්ගේ ආකල්ප කෙරෙහි බලපෑමක් එල්ල කර යි. “ආගන්තුකයා අනතුරුදායක යි” යනුවෙන් වන මතයක් ඉංග්‍රීසි භාෂාව කතා කරන රටවල සමාජගත කෙරෙමින් එවැන්නන් සමග ආශ්‍රය නොකරන්නැයි දරුවන්ට අවවාද කෙරේ.
ආචාර්ය ගිලියන් සැන්ඩ්ස්ට්‍රොම් ඒ සම්බන්ධයෙන් පවසන්නේ, “ඒ අවවාදය දැන් වඩාත් වෙනස් විදියට කියවෙනවා. ඔව්, ආගන්තුකයින් අනතුරුදායක වෙන්න පුළුවන්. නමුත්, අපි උදව් ලබා ගන්න ඕන වුණා ම ආගන්තුකයින් දිහාවට හැරෙන වෙලාවල් තියෙනවා,” යනුවෙනි.
උදාහරණයක් වශයෙන්, තමන්ට විශ්වාසය තැබිය හැකි තවත් ළමුන් සමග සිටින ඔවුන්ගේ දෙමාපියන් හෝ පොලිස් නිලධාරීන් හා සුපිරි වෙළෙඳසල් සේවකයින් වැනි නිල ඇඳුමින් සිටින “ආරක්ෂාකාරී ආගන්තුකයින්” හඳුනා ගන්නා ආකාරය එක්සත් රාජධානියේ දරුවන්ට උගන්වනු ලැබේ.
ආගන්තුකයින් සමග අන්තර්ක්‍රියා සිදුකිරීම සඳහා වැඩිහිටියන්ට බොහෝ සුරක්ෂිත ක්‍රම තිබෙන බව ආචාර්ය සැන්ඩ්ස්ට්‍රොම්ගේ මතය යි.
“අඳුරු මාවතක සිටින පුද්ගලයින්ට කතා කරන්න කියලා මම කියන්නේ නැහැ. නමුත්, පොදු ස්ථානයක තවත් අය සමග සිටින විට එවැනි මානව සබඳතාවලට ඉඩකඩ තිබෙද්දී අපි හුදෙකලා වෙන්නේ ඇයි?”

පිළිසඳරක් ඇරඹිය හැකි ආකාර 5ක්
තමන් නොදන්නා අයෙකු සමග කෙටි පිළිසඳරක යෙදීමට හැක්කේ කෙසේ දැයි ආචාර්ය සැන්ඩ්ස්ට්‍රොම් පහත දැක්වෙන උපදෙස්වලින් පෙන්වා දෙයි:
*පොදුවේ කතා කළ හැකි දෙයක් නිශ්චය කර ගන්න. “කාලගුණය ගැන මිනිස්සු කතා කරන්නේ ඒ නිසා යි. එය අප සෑම දෙනාට ම පොදු යි. එහෙම නැතිනම්, ඔබ සිටින්නේ උද්‍යානයක නම්, පිපීගෙන එන වසන්ත සමයේ මල් තවත් කෙනෙකුට පෙන්වා දෙන්න පුළුවන්.”
*දැන ගැනීමට අවශ්‍ය දෙයක් ගැන ප්‍රශ්නයක් අසන්න. “බොහෝ විට මම මිනිස්සුන්ගෙන් අහනවා ඔවුන් කරන්නේ කුමක් ද කියා. කැමරාවකින් බිත්තියක ඡායාරූපයක් ගනිමින් සිටි කෙනෙකුගෙන් මම ඇසුවේ, “ඔයා මොකක් ද කරන්නේ?” කියලා යි. එහෙම නැතිනම් ඔබ සිටින්නේ දුම්රියක ගමන් ගනිමින් නම්, සූට්කේසයක් තබාගෙන සිටින කෙනෙකුගෙන් අහන්න, “ඔයා යන්නේ කොහේ ද?” කියලා. ඒ කියන්නේ, අවධානය යොමු කිරීම හා දේවල් දැකීම ගැන යි මම කියන්නේ.”
“ඔවුන්ට යම් ආකාරයක චෝදනාවක් එල්ල කරන විදියට නැතිව, ඔබ එය ප්‍රසන්න ආකාරයෙන් අසනවා නම්, මිනිස්සු සාමාන්‍යයෙන් කතාබහ කරන්න කැමති යි.”
*කෞතුකාගාරයකදී හෝ සිත් ඇදගන්නාසුලු ස්ථානයකදී: “එහි සේවකයෙකුගෙන් අහන්න ඔහුගේ කැමති ම මොනවට ද? කියලා. මීට කලින් ඔබ නොතකා හැරිය දේවලට ඔවුන් ඔබගේ අවධානය යොමු කරලා, ඒවා ගැන ලොකු කතාවක් ඔබට කිය යි.”
“ඔබ ඉල්ලා සිටිනවා නම්, උපදෙස් හා අවවාද දෙන්නත්, බෙදාහදා ගන්නත් මිනිස්සු කැමති යි. අනිත් අතට, ඔබටත් පුළුවන් කිසියම් දෙයක් ඔවුන්ට දෙන්න.
දෙගෙඩියාවෙන් ඉන්න කෙනෙකු දැක්කොත් ඔබට අහන්න පුළුවන්, “ඔයාට උදව්වක් ඕන ද?” කියලා.
මිනිසුන් වර්ණනා කරන්න. “කෙනෙකුගේ ශාරීරික පෙනුම ගැන වර්ණනා කරන්න කියලා මම කියන්නේ නැහැ. ඒක අප්‍රසන්න දෙයක් වෙන්න පුළුවන්. නමුත්, ආභරණ හරි තද කළු කෙස් වැටිය වගේ කෙනෙකුගේ තෝරා ගැනීමක් ගැන ඔබට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් කියන්න හේතුවක් නැති කෙනෙකුගෙන් ඔබට එවැන්නක් අසන්න ලැබුණොත් ඒක ඔවුන්ට හොඳින් දැනෙනවා.”
(සටහන | මර්ව් කාරා කාස්කා සහ ආන්යා ඩොරඩෙයිකෝ)
බීබීසී ලෝක සේවය
උපුටා ගැනීම – BBC සිංහල සේවය