මෙම සිදුවීම වී දශක දෙකක් පමණ ගතව තිබේ. නමුත් මෙයින් උගත හැකි පාඩම සදාකාලයටම පොදු ය.
දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා වූ අට හැවිරිදි දියණිය කැටුව ඇගේ මව රෝහලට පැමිණ තිබුණේ දැරියගේ ශරීරය කහ පැහැ වීම නිසා ය. කොළඹින් දුර බැහැර ගම්බද ප්‍රදේශයක ජීවත් වූ මේ පවුල ගත කරමින් සිටියේ කටුක දිවියකි. පියා සුළු රැකියාවක් කළ අතර මව නිවසට වී දරු තිදෙනා බලාගෙන ගෘහණියක ලෙස කටයුතු කළාය.
ඔවුන්ගේ වැඩිමහල් දියණිය මෙසේ රෝගාතුර වූයේ හදිසියේම ය. මුලින්ම ප්‍රදේශයේ වෛද්‍යවරයකු වෙත දියණිය රැගෙන ගිය විට අනෙකුත් රෝග ලක්ෂණ සමගම දැරිය පරීක්ෂා කර බැලූ එම වෛද්‍යවරයා වහාම දැරිය රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දී තිබිණි. දැරිය රෝහල්ගත කර තිබුණේ ඒ අනුව ය.
මෙම දැරියගේ රෝග ලක්ෂණ අනුව ඇයට වැළඳී තිබුණේ විල්සන් ගේ රෝගය (wilson’s desease) බව වෛද්‍යවරුන්ට තහවුරු කරගත හැකි විය. මෙම රෝගය හටගන්නේ ශරීරයේ තිබෙන තඹවල (copper) පරිවෘත්තීය ක්‍රියාවලියේ දී ගැටලු සහගත තත්ත්වයක් ඇතිවීම නිසා ය. එවිට ඒ තත්ත්වය අක්මාවට බලපෑම් ඇති කරයි. අවසානයේ සිදු වන්නේ අක්මාවේ සිරෝසිස් රෝග තත්ත්වය වැළඳීම ය. මෙම රෝගයට විල්සන් ගේ රෝගය නමින් නම ලැබී තිබෙන්නේ විල්සන් නමැති විදේශීය වෛද්‍යවරයකු විසින් මෙම රෝගය මුල් වරට අනාවරණය කර ගත් නිසා ය.
දැරියට මෙම රෝග තත්ත්වය වැළඳීමට බලපෑ හේතු කාරණා සොයා ගැනීම සඳහා වාට්ටුවේ ප්‍රධාන වෛද්‍යවරයා දැරියගේ දෙමාපියන් සමඟ සාකච්ඡා කරනු ලැබිණි. එහිදී අනාවරණය කර ගැනීමට ලැබුණු සුවිශේෂම කරුණක් වූයේ මෙම මව්පිය දෙපළ ඉතාමත් ළඟම ඥාතීන් බවයි. එනම් දැරියගේ මවගේ මවත්, පියාගේ පියාත් එකම පවුලේ සහෝදරයන් ය. ඒ අනුව මෙම රෝගී දැරියගේ දෙමාපියන් නෑණා සහ මස්සිනා ය.
ලේ ඥාතීන් අතර සිදුවන විවාහවල දී ඔවුන්ගේ දරුවන්ට වැළඳීමට අවදානම ඇති තවත් බොහොමයක් රෝග තිබේ. විල්සන් ගේ රෝගය ද එවැන්නකි. මෙය වෙනත් අයට වඩා ලේ ඥාතීන් අතර වැඩි ය.
මේ නිසාම දැරියගේ බාල සහෝදරයන් දෙදෙනා ද පරීක්ෂා කළ යුතු බව ප්‍රධාන වෛද්‍යවරයා එම දෙමාපියන්ට දන්වා තිබිණි. සිතේ හටගත් මහත් බියකින් සහ කුකුසකින් යුතුව එම දරුවන් දෙදෙනා ද රෝහලට රැගෙන ආ අතර වෛද්‍යවරයා ඔවුන් දෙදෙනා ද පරීක්ෂාවට ලක් කළේය. ඒ දරුවන් දෙදෙනාට ද විල්සන් ගේ රෝගයට අදාළ රෝග ලක්ෂණ ඒ වන විටත් පහළ වී තිබෙන බව වෛද්‍යවරයා විසින් ඉමහත් කනගාටුවෙන් යුතුව අනාවරණය කළ විට එම මාපිය යුවළට දැනුණේ තමන් පණපිටින් පිළිසෙන්නාක් බඳු දැඩි වේදනාවකි. ඉන්පසු දරුවන් තිදෙනාවම රෝහලේ නතර කරගෙන ප්‍රතිකාර ආරම්භ කරනු ලැබිණි.
මෙම යුවළගේ මව්පියෝ තම මුණුපුරු මිණිපිරියන් තිදෙනාට ඇතිවී තිබෙන මෙම තත්ත්වය පිළිබඳව මහත් භීතියට පත් වූහ. මෙවැනි රෝග ජාන මගින් දරුවන්ට වැළඳිය හැකි බව කීවත් ඒවා දුරදිගට සිතා අවබෝධ කරගන්නට තරම් දැනුමක් අවබෝධයක් ඒ ගැමියන්ට නොතිබිණි. දරුවන් රෝහල්ගත කර සිටින අතරේ ඔවුන්ගේ සුවය පතා එම වැඩිහිටියෝ නිවසේ දිගින් දිගටම නොයෙකුත් ශාන්ති කර්ම සිදු කළහ.
කෙසේ වුවද අක්මාවේ සිරෝසිස් තත්ත්වය දැඩිව බලපා තිබීම හේතුවෙන් කරන ලද කිසිදු ප්‍රතිකාරයක් .චච මගින්වත් සුවයක් නොලබා වැඩිමහල් දැරිය මාස කීපයකට පසු මෙලොව හැර ගියාය. බාල පිරිමි දරුවන් දෙදෙනාට වෛද්‍යවරුන් මහත් කැපවීමෙන් යුතුව ප්‍රතිකාර ලබා දුන්නේ ඔවුන් දෙදෙනාව හෝ බේරා ගැනීමට ය. නමුත් තවත් මාස කිහිපයකට පසු ඒ දරුවන් දෙදෙනාගෙන් ද එක් අයෙක් මිය ගියේය.
මේ හේතුවෙන් එම මවුපිය දෙදෙනා පමණක් නොව ඔවුන්ගේ පවුලේ ඥාතීන්ද මහත්සේ කලබලයටත් කම්පනයටත් පත්ව ඉතිරි වී සිටින එකම දරුවා හෝ බේරා ගැනීම සඳහා නොගිය දේවාලයක්, නොගිය පන්සලක් නොමැති තරම් විය. එක් දේවාලයක සාස්තරකාරියක විසින් පවසා තිබුණේ ඔවුන්ගේ පවුලේ මියගිය ඥාතියකු භූත ආත්මයක් ලබා එම දරුවන් තිදෙනා බිලි ගැනීමට පැමිණ ඇති බවයි. මේ නිසා නිවසේ විශාල තොවිලයක් ද සිදු කර එම මියගිය ඥාතියාගේ ආත්මය බෝතලයකට සිරකොට ගඟට ගිහින් දමා තිබේ. “සියලු කරදර නිවාරණයි. දැන් දරුවා නියත වශයෙන්ම සුවය ලබනවා” යැයි පවසා තොවිලය වෙනුවෙන් සෑහෙන මුදලක්ද ගෙන කට්ටඬියා පිටව ගොස් ගතව තිබුණේ දින කිහිපයක් පමණි. තුන්වැනි දරුවාද එම රෝගයෙන් මිය ගියේය.

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙම මව්පිය යුවළට තමන්ගේ දරුවන් තිදෙනාම අහිමි වුණේ එලෙසිනි. මේවා භූත බලපෑම් නොවේ. ලේ ඥාතීන් අතර විවාහවල දී දරුවන්ට ජාන මගින් මෙබඳු රෝග හටගත හැකිය. නෑණා මස්සිනා විවාහය අප සමාජය අනුමත කළ ද ඔවුන් ද අයත් වන්නේ ලේ ඥාතීන් ගණයට ය. එනිසා නුවණැති ම පියවර වන්නේ ලේ ඥාතීන් අතර විවාහ සිදුකර නොගැනීමයි.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය සඳමාලි ජයසිංහගේ වෘත්තීය අත්දැකීමකි.
ඉන්දු පෙරේරා