ගෑනුන්ට කොන්දොස්තරකම් කරන්න බෑ” කියපු අයට…

    0
    10

    අපේ සමාජයේ ඇතැම් පිරිස් තවමත් ජීවත් වන්නේ පුරුෂමූලික පටු රාමු තුළය. කාන්තාවන් මුළුතැන්ගෙයට හෝ වෙනත් සීමිත වෘත්තීන්ට පමණක් ලඝු කරමින්, ඔවුන්ගේ හැකියාවන් අවතක්සේරු කිරීමට වෙහෙසෙන අයට මේ දිරිය තරුණියන් ලබා දී ඇත්තේ කදිම පිළිතුරකි.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඉතිහාසයේ ප්‍රථම වතාවට පිරිමින්ට පමණක් සීමාවී තිබූ බස් කොන්දොස්තර වෘත්තියට කාන්තාවන් 25 දෙනෙකු එක්වී අද වන විට මාස 7ක් ගතවී හමාරය. ඒ ගමන සාර්ථකත්වයේ අභිමානවත් කඩඉමක් ස්පර්ශ කරමින් තිබේ.

    විශ්වවිද්‍යාල උපාධි අතැතිව රැකියා විරහිතව කාලය නාස්ති කරනවා වෙනුවට, නැතහොත් පොලිස් සේවයේ වැනි දැඩි විනයක් අවශ්‍ය රාජකාරිවල නිරතව සිටිමින් අලුත් අභියෝග භාරගත් දිරිය දියණියන් අද දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථවල මහත් ගෞරවයෙන් යුතුව තම රාජකාරිය ඉටු කරමින් සිටිති.

    • ක්‍රීඩා උපාධිධාරිනියක්
    • පොලිස් අත්දැකීම් සමඟින් ලංගමයට

    ශ්‍රී ලංකා පොලීසියේ වසර හතරහමාරක සේවයකින් පසු මෙම වෘත්තියට එක්වූ තරුණියක පවසන්නේ මගීන්ගෙන් ලැබෙන උණුසුම් ප්‍රතිචාර සහ ගෞරවය නිසා තව තවත් ආසාවෙන් මේ රැකියාව කරගෙන යාමට සිතෙන බවයි.

    කාන්තාව කියන්නේ සියුමැලි, බිඳෙන සුළු චරිතයක් පමණක් නොවන බවත්, ඇය තුළ ඕනෑම අභියෝගයක් දරාගැනීමේ අමතර මානසික ශක්තියක් ඇති බවත් ඔවුන් ඔප්පු කර ඇත.

    පෞද්ගලික බස් රථවල ඇතැම් විට අසන්නට ලැබෙන රළු වචන සහ අප්‍රසන්න අත්දැකීම් හමුවේ හෙම්බත් වී සිටි මගීන්ට, මෙම කාන්තා කොන්දොස්තරවරියන්ගේ කාරුණික සේවය මහත් මානසික සැනසීමකි.

    මෙම වැඩසටහන අරමුණු කරගනිමින් අදහස් දැක්වූ හිමිනමක් ප්‍රකාශ කළේ, “බොහොම සංවරව, විනීතව සහ සීලාචාරව මගීන්ට කතා කරලා, ටිකට් එක දීලා ඉවරවෙලා ‘ඔබට තෙරුවන් සරණයි’ කියලා ප්‍රාර්ථනා කරලා යනකොට හිතට දැනෙන්නේ පුදුම සැනසීමක්. මේක මුළු රටටම ලොකු ගෞරවයක්” යනුවෙනි.

    රැකියාව කුමක් වුවත් එය අවංකව, විනයගරුකව සහ කැපවීමෙන් කරන විට ලැබෙන ගෞරවය අතිමහත්ය. පිරිමි ආධිපත්‍යය රජය කළ ක්ෂේත්‍රයකට සාර්ථකව අභියෝග කරමින්, උපාධි සහතික පෙට්ටිවල සඟවා නොතබා රටේ සංවර්ධනයට උරදෙන මේ අපේ කාලයේ දිරිය දියණියන් සමස්ත කාන්තා පරපුරටම ශක්තිමත් පූර්වාදර්ශයකි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here