ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතාවන් සම්බන්ධ ගැටලුව පරිවර්තනයක් අවශ්‍ය වන සමාජ ගැටලුවක්

0
76

ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතාවන් සම්බන්ධ ගැටලුවලට හේතුව කාන්තාව නොව එය පොදු සමාජයේ පවතින ආකල්පමය සහ චර්යාත්මක ගැටළු හේතුවෙන් ඇතිවන්නක් බවත් එය පරිවර්තනයක් අවශ්‍ය වන සමාජ ගැටලුවක් බවත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහතික කිරීමට මෙන්ම කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමට THRIVE වැනි ව්‍යාපෘතීන් ශ්‍රී ලංකාවට වටිනා අවස්ථාවන් බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසූවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය සහ Chrysalis ආයතනය එක්ව සංවිධාන කොට තිබූ `THRIVE- Together for Her: Resilience-building, Inclusivity, and Voices for Equality in Sri Lanka’ ව්‍යාපෘතිය එළිදැක්වීමේ නිල උත්සවයට සහභාගී වෙමිනි.

මෙම ව්‍යාපෘතිය එළිදැක්වීම ඊයේ (25) කොලඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්‍යාලයේදී පැවැත්විණි.

THRIVE යනු ඕස්ට්‍රේලියානු රජයේ අරමුදලින් එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය සහ Chrysalis ආයතනය එක්ව ක්‍රියාත්මක කරනු ලබන පස් අවුරුදු ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරිත්වයට මගපෙන්වීම සඳහා සහයෝගීතා අත්සනින් 2023-2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුවේ 06 වන තිරසාර සංවර්ධන ඉලක්කය වන “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා සවිබල ගැන්වීම” සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කොට තිබේ.

විශේෂ අවශ්‍යතා ඇති කාන්තාවන්, මාතෘ මූලික පවුල් සහ මන්නාරම, කිලිනොච්චිය, නුවර එළිය, බදුල්ල සහ කොළඹ යන දිස්ත්‍රික්ක 06හි වෙසෙන වතු ආශ්‍රිත ප්‍රජාවේ කාන්තාවන් මුල් කරගනිමින් කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ආර්ථික අර්බුද තත්වයන්, අනාරක්ෂිත බව සහ දේශගුණික විපර්යාසවලින් කාන්තාවට වන බලපෑම්වලින් ආරක්ෂා කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම් ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත.

මෙම සමාරම්භක උළෙලේදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව සහතික කිරීම සහ කාන්තා හිංසනය පිටුදැකීම සඳහා ප්‍රතිපත්තිමය හා ආකල්පමය වෙනසක් අවශ්‍ය බව අවධාරණය කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,

“සාක්ෂරතාවය 92%ක් ලෙස ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකය ඉහළ අගයක් ළඟා කර ගෙන තියෙනවා. එයිනුත් විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 60%කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන්. නමුත් වැටුපක් ලබන ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය 35%ක් පමණයි. රැකියා අවස්ථා තුළින් ආර්ථිකයට දායක වීමට කාන්තාවන්ට හැකියාව ඇති බව සහතික කිරීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. කාන්තාවන් විසින් වැටුප් නොලබා සිදු කරනු ලබන ශ්‍රම සහභාගීත්වය හඳුනාගෙන, නිසි පිළිගැනීමක් ලබාදීමත්, සමාන රැකියා අවස්ථා සහ වැටුප් සමඟ කාන්තාවන්ට ආර්ථිකයට දායක වීමට අවස්ථාවන් ඇති බව සහතික කිරීමත් අත්‍යවශ්‍යයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට 2024 දී ඉදිරිපත් කෙරුණු කාන්තා බලගැන්වීමේ පනත මගින්, කාන්තා අයිතිවාසිකම් අධීක්ෂණය කිරීමට සහ කාන්තාවන් පිළිබඳ ස්වාධීන ජාතික කොමිසමක් පිහිටුවීමත්, කාන්තාවන් සඳහා ජාතික අරමුදලක් නිර්මාණය කිරීමට කටයුතු කෙරුණා.

අපි රජයක් විදිහට මෙවර ජාතික අයවැය යටතේ කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා ප්‍රතිලාභ රැසක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් මට විශ්වාසයෙන් කියන්න පුළුවන් ආර්ථික බාධාවන් නිසා කිසිම දරුවෙකුට අධ්‍යාපනය අතපසු නොවන ලෙස සියලුම දරුවන්ට නොමිලේ නිල ඇඳුම්, පාවහන්, සනීපාරක්ෂක පහසුකම්, ආහාර, පොත්පත් ලබා දීම ඇතුළු අධ්‍යාපනයට ප්‍රවේශය සහතික කිරීම සඳහා අපි මුදල් වෙන් කරලා තියෙනවා.

ඒ වගේම කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙනවා. ස්ත්‍රී පුරුෂ විෂමතා දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකයේ ඇති රටවල් 146ක් අතරින් 122 වැනි ස්ථානයේ ලැයිස්තුගත කරලා තියෙනවා. මේක ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ආගම සහ වයස ඉක්මවා යන සමාජ අභියෝගයක්.

ඊට එහා ගිහින් තවත් ගැටලු මතු වෙමින් තියෙනවා. ඩිජිටල් අවකාශයන්ඒ ව්‍යාප්තියත් එක්කම ලෝකය තාක්‍ෂණික වැඩි දියුණුවක් ලඟාකරගෙන තිබුනත්, ඒ ඩිජිටල් මෙවලම්ම කාන්තාවට හිරිහැර කිරීම සඳහා අනිසි ලෙස භාවිතා කරනු ලබනවා. ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ජාතිය, ආගම හෝ වයස් භේදයකින් තොරව සෑම කෙනෙකුටම ඩිජිටල් යුගයේ ආරක්ෂිතව කටයුතු කරගැනීමට සමාන අවස්ථා ලැබෙන ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි. ඩිජිටල් අවකාශයේත් පුරුෂ සමාජභාවය මත බෙදීම හෝ වෙනස්කොට සැලකීම නවතා දැමීමට සහ කාන්තාවන්ට, විශේෂයෙන් තරුණ කාන්තාවන්ට ඩිජිටල් අවකාශය සමග ස්වාධීනව පැවතිය හැකි බව සහතික කිරීමට රජය කැපවී ක්‍රියා කරනවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවි අසමානතා ගැටලුව කාන්තාව නිසා හට ගන්නා ප්‍රශ්නයක් නෙවෙයි, එය ප්‍රතිපත්තිමය, අධ්‍යාපන, ආකල්පමය සහ චර්යාත්මක ලෙස අවධානයක් යොමු විය යුතු සමාජ ප්‍රශ්නයක්. සියලු කාන්තාවන්ට සමාන අවස්ථා ඇති අනාගතයක් නිර්මාණය කිරීමේදී THRIVE වැනි සහයෝගී ප්‍රයත්නයන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වෙනවා” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කොට තිබිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා, ආසියා සහ පැසිෆික් කලාපය සඳහා එක්සත් ජාතීන්ගේ කාන්තා නියෝජ්‍ය කලාපීය අධ්‍යක්ෂ මරියා හොල්ට්ස්බර්ග් මහත්මිය, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, Marc-Andr Franche ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටි බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.

lankatruth

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here