අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර සැකකරු වහා ම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අද (මාර්තු 12) නියෝග කළේ ය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිසානි සෙනවිරත්න යන නිලධාරීන් වෙත ය.
වෛද්‍යවරිය දූෂණය කිරීමෙන් පසුව සැකකරු සොරා ගෙන ගොස් ඇති ඇයට අයත් ජංගම දුරකතනයෙන් ලබා ගෙන ඇති සහ ඊට ලැබී ඇති දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ දුරකතන සමාගමේ කළමනාකාරීත්වයට නියෝග කළේ ය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂක ඒ.සී දයානන්ද බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන
එම අවස්ථාවේදී මෙම අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද පැවසුවේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක සිය නිල නිවස තුළදී, පිහියක් පෙන්වා බිය ගන්වා බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල් පොලිසිය මගින් මූලිකව දැනුම් දීමක් කළ බව ය.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහා ම විමර්ශන අරඹා අදාළ හිංසන සිදුවීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි වෛද්‍යවරියගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අධිකරණයට දැනුම් දුන් උපපොලිස් පරීක්ෂකවරයා එම ප්‍රකාශවලින් හෙළි වූ කරුණු පදනම් කරගෙන අපරාධය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කළ බව ද පැවසීය.
මෙම අපරාධය සම්බන්ධයෙන් සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේ සහ තවත් අංශ කිහිපයක් ඔස්සේ පුළුල්ව විමර්ශන සිදු කෙරෙන බව ද ඔහු අධිකරණයට දැනුම් දුන්නේ ය.
දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ඉල්ලයි
වෛද්‍යවරිය බරපතළ දූෂණයට ලක් කිරීමෙන් අනතුරුව සැකකරු සොරා ගෙන ගොස් ඇති වෛද්‍යවරියට අයත් ජංගම දුරකතනය සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් නොපමාව පොලිසියට ලබාදෙන ලෙස අදාළ සමාගමේ කළමනාකාරිත්වයට නියෝග කරන ලෙස ද උපපොලිස් පරීක්ෂකවරයා ඉල්ලා සිටියේ ය.
අපරාධයට සම්බන්ධ සැකකරු අධිකරණයට නොපමාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ඔහු අධිකරණයට තවදුරටත් දැන්වීය.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණගේ ඍජු අධීක්ෂණය යටතේ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.කේ. ජයවීරගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිසානි සෙනවිරත්නගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ ය.
යුද්ධ හමුදාවෙන් පළා ආ සෙබළෙකු බව කියන සැකකරු
මෙම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන යුද්ධ හමුදාවෙන් පළා ආ සෙබළෙකු බව කියන සැකකරු අද (මාර්තු 12) ගල්නෑව පොලිසිය මගින් ගල්නෑව හෙළබදුගමදී අත්අඩංගුවට ගත් අතර අපරාධය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අද පස්වරුවේ අධිකරණයට කරුණු වාර්තා කරන තුරු ම සැකකරු ගල්නෑව පොලිසිය මගින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත භාර දී නොතිබිණි.
සැකකරුගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ගල්නෑව පොලිසිය තුළදී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර පොලිසියට භාර දීමට නියමිතව තිබිණි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළු වූ අයෙකු එහි සිටි වෛද්‍යවරියක දූෂණය කර තිබුණේ, මාර්තු 10 වන දින රාත්‍රියේදී ය.
අදාළ පුද්ගලයා මෙම වෛද්‍යවරිය සිය රාජකාරිය නිමවා වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට පැමිණෙමින් සිටි අවස්ථාවේදී පිහියක් පෙන්වා ඇය නිල නිවස තුළදී ම දූෂණය කර, පසුව ඇය සතුව තිබූ ජංගම දුරකතන දෙකෙන් එකක් සොරා ගෙන ගොස් තිබිණි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබුණු අතර අද (මාර්තු 12) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ ය.
ඒ, ගල්නෑව ප්‍රදේශයේදී ය.
ස්ත්‍රී දූෂණයකදී දැනුම් දෙන්න
ස්ත්‍රී දූෂණයක්, කාන්තා හෝ ළමා හිංසනයක් පිළිබඳව දැනුම් දීම සඳහා ගාස්තු රහිත ක්ෂණික දුරකතන අංක කිහිපයක් හඳුන්වා තිබේ.
එම අංක මෙසේ ය.
109 – පොලිස් ළමා හා කාන්තා කාර්යංශය
1929 – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
1938 – කාන්තා කටයුතු අමාත්‍යංශය