ලිවිසැරියෙන් දිවිසැරියට සවිමත් සේතුවක් බඳින අසර් නෆිසි

    0
    33

    ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරියක වන ටෙහෙරානයේ උපන් ‘අසර් නෆිසි’ ග්‍රන්ථ රැසක් රචනා කළ කතුවරියකි. වර්ෂ 2003දී ඇය රචනා කළ ‘රීඩින් ලොලීටා ඉන් ටෙහොරාන්’ (ටෙහෙරානයේ සිට ලොලීටා කියවීම) කෘතිය ඇයගේ මතක සැමරුමකි. එය ඇය ඉරානයේ ගත කළ ජීවිතයේදී මුහුණ දුන් අත්දැකීම් අලළා රචනා කළ නිර්ප්‍රබන්ධයකි. මේ කෘතියේ අන්තර්ගතය ගැන කතා කිරීමට පෙර ඊට පසුබිම් වූ රටේ තත්ත්වය පිළිබඳ අවබෝධය වැදගත්ය.

    මොහමඩ් රෙසා ෂා පාලවී ඉරානයේ අවසන් අධිරාජ්‍යයාය. ඔහුගේ පාලනය බටහිරට බෙහෙවින් සමීප විය. මෙකල ඉරාන වැසියෝ සාපේක්ෂව නිදහස් ජීවිත‍යක් ගෙන ගියහ. රෙසා ෂා කොතරම් බටහිරට ගැතිව සිටියේ ද යත්: ඉරානය යුරෝපා රටවල අතකොළුවක්ව ඇති බවක් එහි වැසියෝ කල්පනා කරන්නට වූහ. ‍ඉරානයේ කාන්තාවන් අබායා පැලඳ හිස වසාගෙන සිටීමෙන් සිය රටට අනාගතයක් නැති බව රෙසා ෂා සිතුවේය. මිනිසුන් යොදා කාන්තාවන්ගේ හිජාබ බලෙන් ඉවත් කරන්නට පවා ඔහු කටයුතු කළේය. රෙසා ෂාගේ බටහිර ළැදි චින්තනය හා ක්‍රියාකලාපය රටේ ජනතාවගේ නොසතුටට හේතු වී තිබිණි.

    අධිරාජයාගේ මරණයත් සමඟ අයතුල්ලා කුමෙයිනි රටේ නායකත්වයට පත් විය. ඉන් පසු ඉරානයේ බිහි වූයේ අන්තවාදි ඉස්ලාමීය රාජ්‍යයකි. රටේ නම පවා ඉරාන ඉස්ලාමීය ජනරජය ලෙස වෙනස් විය. කුමෙයිනි පාලනය කාන්තාවන්ගේ නිදහස දැඩි ලෙස සීමා කරන්නට විය. දැඩි ආගමික අන්තවාදය විසින් ඉරාන ජනයාගේ ඇඳුම් පැලඳුම් හැසිරීම් සියල්ල පාලනය කරනු ලැබීය. බොහෝ ඉංග්‍රීසි පොතපත තහනම් විය.

    විශ්වවිද්‍යාලවල පවා අන්තවාදි ඉස්ලාම් මත දරන කල්ලි අතර ගැටුම් ඇති විය. බොහෝ සාහිත්‍ය පොතපත ඉගැන්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. මේ හේතුවෙන් මහාචාර්ය නෆිසිට නිදහසේ සාහිත්‍යය විෂයය ඉගැන්වීම කළ නොහැකි විය. ඒ, කුමෙයිනිගේ අන්තවාදි මත දරන ජනතාව ඉංග්‍රීසි සාහිත්‍ය කෘති දැඩි ව ප්‍රතික්ෂේප කළ බැවිනි. කුමෙයිනිගේ මතවාදය විසින් මොළ සෝදන ලදුව බොහෝ ඉරාන වැසියෝ, උගත්තු පවා යුරෝපා හා අමෙරිකානු ආකල්ප, සංස්කෘතිය හා ජනජීවිතය දැඩි පිළිකුලෙන් හෙළා දුටුවෝය.

    අමෙරිකාවේ උසස් අධ්‍යාපනය හදාරා පැමිණි නෆිසි නිදහස් ජීවිතය බෙහෙවින් ප්‍රිය කළ, නිදහස් මතධාරිනියකි. විශ්වවිද්‍යාලයේදී නිසි ලෙස සාහිත්‍යය ඉගැන්වීමට නොහැකි වූ නිසා සාහිත්‍යය විෂයයට රුචි, දක්ෂ විශ්වවිද්‍යාලයීය ගැහැනු ළමයින් හත්දෙනකු සිය නිවෙසට හොරරහසේ කැඳවූ ඈ රටේ තහනමට ලක් වූ බටහිර සාහිත්‍ය කෘති පිළිබඳ සාකච්ඡා පැවත්වීමට තරම් නිර්භය වූවාය. බලෙන් තමන් මත පැටවූ හිජාබය හා අබායා ගලවා, තමන් කැමැති වර්ණවත් ඇඳුම් හැඳ, එම නිවෙස තුළ ඔවුහු නිදහසේ සිය සාකච්ඡා පවත්වාගෙන ගියෝ ය.

    ඇයට වුවමනා වූයේ තමන් ජීවත් වන සිරගත ලෝකයෙන් එපිට වෙනත් ලොවක් ඇති බව පෙන්වා දීමටය. නෆිසි, ‘රීඩින් ලොලීටා ඉන් ටෙහෙරාන්’ කෘතියේ මේ බව සඳහන් කරන්නේ සිසුවියන් හත්දෙනා හා තමා එක්ව වර්ජිනියා වුල්ෆ් අදහස් කළාක් බඳු ‘ඔවුන්ගේම ඉඩක්’ ඒ කුඩා නිවෙස තුළ ගොඩනඟාගත් බවයි.

    නෆිසිගේ කෘතියේ අන්තර්ගතය ඇයටම සුවිශේෂ එකක් වීම විශේෂත්වයකි. ඒ සඳහා ඇය ලෝ ප්‍රකට ලේඛක ලේඛිකාවන් සිව් දෙනකුගේ කෘති තෝරාගනිමින්, ඒ කෘති හා ඉරාන ජනජීවිතයේ යථාර්ථය පිළිබඳ සමාන්තර කියවීමක යෙදෙන්නීය. ඇයගේ කෘතියේ මුල් කොටස ලොලීටාය. එහිදී ඈ ලොලීටා ඇතුළු නබකෝව්ගේ සෙසු කෘති තම ජීවිතය හා සසඳයි. මේ කෘතිය පුරා ඇයගේ සිසුවියන් හත්දෙනාගේ ජීවිත, ඔවුන්ගේ පවුල් පරිසරය හා ඔවුන් මුහුණ දෙන ගැටලු ගැන සාකච්ඡා කෙරේ. කෘතියේ ඉතිරි කොටස්වල හෙන්රි ජේම්ස්ගේ ‘ඩේසි මිලර්’, ‘වොෂින්ටන් ස්ක්වෙයා’ ආදි කෘතිවල ඇති සිදුවීම් හා ඔවුන්ගේ ජීවිතවල යථාර්ථය ඇය ගෙනහැර දක්වන්නීය. ඉතිරි පරිච්ඡේදවලදී එෆ්. ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ්ගේ ‘ග්‍රේට් ගැට්ස්බි’ හා ඔස්ටන්ගේ කෘති සිය ජීවිත හා සසඳමින් තම ජීවිත යථාර්ථය කෙලෙස වේදැයි ඈ සන්සන්දනාත්මක විමසුමක් කරන්නීය.

    කිසියම් අර්බුදකාරි අවස්ථාවක ඒ පීඩනය දරාගැනීමට සාහිත්‍යයෙන් ඉඩක් සලසාගත හැකි බවත්, සාහිත්‍යයට ඇති බලයත් නෆිසි මේ කෘතියෙන් කදිමට පෙන්වන්නීය. එසේම, පොත්පත් මිනිස් ජීවිතවලට කොතරම් වැදගත් වන්නේදැයි තහවුරු කරන අතරම, විවිධ අර්බුදකාරි අවස්ථාවල මිනිසුන් එක්කිරීමට සාහිත්‍යය හේතු වන බවද නෆිසි, ‘රීඩින් ලොලීටා ඉන් ටෙහෙරාන්’ කෘතියෙන් මනාව ගෙනහැර දක්වයි. පාඨකයකු ලෙස සාහිත්‍ය කෘතියක් රසවිඳීමේදී එක් එක් චරිතවලට ආකර්ෂණය නොවී මධ්‍යස්ථ ආස්ථානයක සිට සෑම චරිතයක්ම දෙස සාධාරණ කෝණයකින් බැලිය යුතු බව සිහිපත් කරන නෆිසිගේ ‘රීඩින් ලොලීටා ඉන් ටෙහෙරාන්’ පාඨකයාට ජීවන අද්දැකීම් රැසක් ගෙන දෙන්නකි.

    සේනානී ධර්මරත්න පරිවර්තිකා/ ලේඛිකා

    silumina

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here