අතුරුදන්වූවන්ට යුක්තිය ඉල්ලන අරගලය

    0
    33

    ශ්‍රී ලංකාව තුළ ‘‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්”‍ සංසිද්ධිය නිර්මාණය කර ඇත්තේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර පැවති දීර්ඝ කාලීන බෙදුම්වාදී යුද්ධය සහ ජනතා විමුක්ති පෙරමුණේ නැගිටීම කුරිරු ලෙස මර්දනය කිරීමටයි. එය කෙතරම් බරපතළද යත්, එක් කාලයක දී අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දෙවැනි වූයේ ඉරාකයට පමණකි.

    බලහත්කාරයෙන් අතුරුදන් කිරීමකට ලක් වූ පුද්ගලයකු, අතුරුදන් වූ පුද්ගලයකුට වඩා වෙනස් ය. බලහත්කාරයෙන් අතුරුදන් කිරීමක් යනු රාජ්‍ය අනුග්‍රහය ඇතිව පුද්ගලයකු පැහැරගෙන යාමෙන් පසුව, එම අතුරුදන් වූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පිළිගැනීම හෝ ඔහුගේ ඉරණම හෝ ස්ථානය හෙළි කිරීම ප්‍රතික්ෂේප කිරීමයි. මෙම දරුණු අසාධාරණය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා දිවයින විනාශ කරමින් පවතී.

    දෙමළ භාෂාවෙන් “පෝරාට්ටම්”‍ ලෙස හඳුන්වන මෙම අරගලය, පසුගිය වසර කිහිපය තුළ මෙහෙයවනු ලබන්නේ “අතුරුදන්” කරන ලද පුද්ගලයන්ගේ ඥාතීන් විසිනි. එය ස්වේච්ඡා සේවකයන්ගේ කණ්ඩායම් විසින් අඛණ්ඩව සිදු කරනු ලබන අතර, ඊට සහභාගී වන පිරිසෙන් බහුතරයක් දෙනා කාන්තාවන්ය.

    මෙම “පෝරාඅට්ටම්” ව්‍යාපාරය මුලින්ම ආරම්භ වූයේ 2017 පෙබරවාරි 20 වැනි දින කිලිනොච්චියේදීය. එය කිසිදු පූර්ව සැලසුමකින් තොරව ස්වයංසිද්ධව ආරම්භ විය. “නිලධාරීන්” තම දුක් ගැනවිලිවලට සවන් දීම පසෙක තබා, පිළිගැනීම පවා ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත් කාන්තාවන් අතලොස්සක් පාර අයිනේ වාඩි වී “එන්ගේ එන්ගල් උරවුගල්?” (අපේ ඥාතීන් කොහෙද?) යනුවෙන් කෑ ගැසීමට පටන් ගත්හ. විරෝධතාව විශාල බලපෑමක් ඇති කළේය. අතුරුදන් කරන ලද පවුලේ සාමාජිකයන් කිහිප දෙනකුගේම තවත් පිරිසක් විරෝධතාවට එක් වූහ. පසුව විරෝධතාව සංවිධානාත්මක විරෝධතාවක් දක්වා විධිමත් විය.

    දින හතරකට පසු, එනම් 2017 පෙබරවාරි 24 වැනි දින විරෝධතා ව්‍යාපාරය වවුනියාව දක්වා ව්‍යාප්ත විය. අරගලය 2017 මාර්තු 24 වැනි දින මුලතිව්හි දී ආරම්භ විය. යුද්ධය අවසන් වූ වහාම වඩාත්ම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක තුන වූයේ කිලිනොච්චි, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්ක ය.

    කිලිනොච්චියේදී, ප්‍රධාන වශයෙන් අතුරුදන් වූ ආදරණීයයන්ගේ මව්වරුන්, භාර්යාවන්, සහෝදරියන් සහ දියණියන් ඇතුළු කාන්තාවෝ සිය ගණනක් විරෝධතා පා ගමනක් දියත් කළහ. කළු සාරි ඇඳගත් සහ කළු හිස් පටි පැළඳගත් කාන්තාවන් කන්දස්වාමි (මුරුග දෙවියන්) දේවාල පරිශ්‍රයට පෙළපාළියකින් ගියේ පුවරු ඔසවාගෙන සහ නැවත නැවතත් සටන් පාඨ කියමිනි. බොහෝ දෙනෙක් හිසෙහි හෝ අත්වල ගිනි ඇවිළ වූ “‍තීච්චට්ටි” හෝ මැටි බඳුන් තිබුණි. බොහෝ මහජනතාව සහයෝගීතාවයෙන් ඔවුන් සමඟ එක් වූහ.

    බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සඳහා යුක්තිය ඉටු කර ගැනීමේ අරගලය වසර අටක් තිස්සේ අඛණ්ඩව කරගෙන යයි. එය එක්තරා ආකාරයකින් අමතක වූ අරගලයක් වුවද, ජනතාව තම විරෝධතා දිගටම කරගෙන යයි. පෝරට්ටම් සම්බන්ධයෙන් අභ්‍යන්තර බෙදීම් සහ වෙනස්කම් පැවතුණ ද, සහභාගිවන්නන් තම ආදරණීයයන් කෙරෙහි ඇති ආදරය සහ යුක්තිය සඳහා වූ පිපාසයෙන් පෙළඹ වූ අධිෂ්ඨානයෙන් ඉදිරියට යති. සහභාගිවන්නන්ගෙන් බොහෝ දෙනෙක් ආර්ථික වශයෙන් දුර්වල අය වුවද, ඔවුහු තම යටි අරමුණට ස්ථිරව බද්ධ වී සිටිති.

    මාරි වේලු‍සාමි

    මේ අවස්ථාවේ දී මා පෞද්ගලිකව යමක් කිව යුතුය. මම දශක ගණනාවක් තිස්සේ මාධ්‍යවේදියකු ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව ලියමින් සිටිමි. දිවයිනේ දේශපාලනය බොහෝ කලක සිට යටපත් වී ඇති අතර, දශක තුනක් පුරා පැවති සන්නද්ධ ගැටුමෙන් එය තවත් යටපත් වී ඇත. යුද්ධයට තමන්ගේම ප්‍රතිවිපාක සහ එහි පැහැදිලි ප්‍රතිඵල ඇත. බොහෝ විට යුද්ධයේ මුල් හේතු අමතක වී යන අතර, පරණ හේතු නව ගැටලු සහ දුක්ගැනවිලි මගින් ප්‍රතිස්ථාපනය වේ.

    තරුණ වියේ දී විශේෂයෙන් මැද පෙරදිග රටවල යුද්ධ ගැන පුවත්පත්වලින් කියැවූ විට සහ ලෝක යුද්ධ දෙකෙහි සටන් දර්ශන තිරය මත දුටු විට, මට යුද්ධය කෙරෙහි ආදර හැඟීමක් ඇති විය. එදා මා යුද්ධය සැලකුවේ උතුම් වික්‍රමාන්විතයක් ලෙසත් සටන් කිරීම වීර ක්‍රියාවක් ලෙසත්ය.

    එහෙත් යුද්ධයේ භීෂණය ශ්‍රී ලංකාවට පැමිණි විට ඒ සියලු‍ මිත්‍යාවන් බිඳ වැටුණි. යුද්ධය යනු දරුණු, කුරිරු විනාශයක් පමණි. සාධාරණ හේතුවක් ලෙස ඔවුන් සිතූ දෙයක් වෙනුවෙන් මරණයට කැමති වූවන්ගේ තනි පුද්ගල නිර්භීතකම හැරෙන්නට එහි ප්‍රශංසනීය දෙයක් නැත.

    ශ්‍රී ලංකාවේ යුද්ධයේ නොවැළැක්විය හැකි ප්‍රතිවිපාකයක් වූයේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් ය. දකුණු ආසියාවේ දීර්ඝතම යුද්ධය ලෙස එක් කාලයක සැලකූ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉතා විශාල පිරිසක් අතුරුදන් වී හෝ අතුරුදන් කර ඇත.

    “රජයේ හමුදා සහ එල්ටීටීඊ සංවිධානය අතර දශක තුනක් පුරා පැවති ගැටුමේදී අතුරුදන් වූ බවට වාර්තා වූ බොහෝ දෙනෙක් වාර්ගික දෙමළ ජාතිකයෝ වූහ. 1980 ගණන්වල අගභාගයේ දී රටේ දකුණේ බහුතර සිංහල සටන්කාමී කණ්ඩායමක් සමඟ කෙටි කාලීන නමුත් ප්‍රචණ්ඩකාරී කැරැල්ලක් ද දෙපාර්ශ්වය විසින්ම බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සහ වෙනත් අපයෝජන රැසකට හේතු විය. වින්දිතයන්ගේ කණ්ඩායම් සහ වෙනත් අයගේ බලපෑම්වලට ප්‍රතිචාර වශයෙන් අනුප්‍රාප්තික ශ්‍රී ලංකා රජයන් විසින් පිහිටුවන ලද විවිධ විමර්ශන කොමිෂන් සභා විසින් බොහෝ දුරට ප්‍රකාශයට පත් කර නොමැති වාර්තා ඉදිරිපත් කර ඇති අතර, වගකිවයුත්තන්ට විරුද්ධව අපරාධ නඩු පවරා නොමැත.”

    ශ්‍රී ලංකාවේ දේශපාලනය හා යුද්ධය පිළිබඳව ලියන මාධ්‍යවේදියකු ලෙස මගේ වෘත්තීයමය හැකියාව අනුව, මට අතුරුදන් වූවන් ගැනද ලිවීමට සිදු විය. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඉතා ස්වල්ප දෙනෙක් අතුරුදන් කිරීම් ගැන ලියූ අතර, ඒවා ඒ දිනවල බලවතුන් කෝපයට පත් විය. මම ව්‍යතිරේක කිහිපයක් අතර එක් අයෙක් විය. අල්ලයිප්පිඩ්ඩි පල්ලියේ පූජක තිරුචෙල්වම් නිහාල් පියතුමා සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. රවීන්ද්‍රනාත් ගේ අතුරුදන් වීම් වැනි සමහරක් සිදුවීම් ගැන මම පුළුල් ලෙස ලිව්වෙමි.

    මට එතරම් සවිස්තරාත්මකව ලිවිය නොහැකි තවත් අතුරුදන් වීම් තිබුණි. කාලය, මාධ්‍ය අවකාශය සහ තොරතුරු හිඟය ඊට හේතු විය. කිසිවක් ලියා නොමැති අතුරුදන් වීම් බොහොමයක් තිබුණි. ඒවා සියල්ලම නිල සහ නිල නොවන සංඛ්‍යා ලේඛනවල කොටසක් බවට පත්ව ඇත.

    අතුරුදන් වූ පුද්ගලයකුගේ සෑම සිද්ධියක්ම පිටුපස හද කම්පා කරවන කතාවක් තිබේ. බලහත්කාරයෙන් අතුරුදන් වූ පුද්ගලයකු නිල වශයෙන් හුදු සංඛ්‍යා ලේඛනයක් ලෙස සැලකිය හැකි නමුත් ඔහුට හෝ ඇයට සිදු වූ දේ පිළිබඳ විශ්වාසදායක තොරතුරු ලබා ගැනීමට බොහෝ ආදරණීයයෝ සිටිති.

    දැනුම නොමැතිකම සහ අවිනිශ්චිතතාව යනු ඔවුන්ට දැඩි වේදනාවකි. ඔවුන්ට මරණයෙන් පසු වසා දැමීමක් නොමැත, මන්ද ඔවුන්ගේ ආදරණීයයන් මළවුන් අතර සිටිනවා ද නැතහොත් ජීවතුන් අතර සිටිනවා ද යන්න ඔවුන්ට නිශ්චිත නැත. ඔවුන්ට අවශ්‍ය හෝ අවශ්‍ය වන්නේ සැබවින්ම සිදු වූ දේ පිළිබඳ නිල ප්‍රකාශයක් පමණි.

    සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැලිගොඩ

    තම ආදරණීයයන් පිළිබඳ සත්‍යය සෙවීමේ ගවේෂණය ඉදිරියට ගෙන යාමට ශක්තිය සපයන්නේ මෙම “බලාපොරොත්තුවේ නිර්භීතකම” (බැරක් ඔබාමාගේ පොතක නමකි) ය. සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැලිගොඩ වැනි බිරිඳකට, ප්‍රසිද්ධ කාටූන් ශිල්පියකු සහ මාධ්‍යවේදියකු වන ඇගේ සැමියා වන ප්‍රගීත්ට සැබවින්ම සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ සත්‍යය සෙවීම කරගෙන යාමට බල කරන්නේ මෙම බලාපොරොත්තුවේ නිර්භීතකමයි.

    කෙසේ වෙතත්, ඔවුන් ඉදිරියට යන්නේ ඔවුන්ගේ ආදරණීයයන් කෙරෙහි ඇති ආදරය හා භක්තිය නිසා පමණි. “බලාපොරොත්තුව මිනිස් පපුවේ සදාකාලිකව හට ගනී” යනුවෙන් වරක් ඇලෙක්සැන්ඩර් පෝප් ලිව්වේය. සිසෙරෝ පැවසුවේ, “ඩම් ස්පිරි ස්පෙරෝ” (මම හුස්ම ගන්නා අතරතුර, මම බලාපොරොත්තු වෙමි) යනුවෙනි.

    දශක ගණනාවකට පෙර අතුරුදන් වූ තම පුතා ගැන සොයා බැලීමට දිගින් දිගටම උත්සාහ කරන්නේ මන්දැයි මම වරක් මහලු‍ මවකින් ඇසුවෙමි. ඇය මට දෙමළ භාෂාවෙන් පිළිතුරු දුන්නේ මෙසේය, “මෝනේ (පුතා), නී කානාමාප් පොනා, උන්ඩයි “කොම්මා“ (අම්මා) උන්නයි ඉප්පඩි තේඩා මාත්තාවේ? ” (ඔයා අතුරුදන් වුවහොත් ඔයාගේ අම්මා මේ විදිහට ඔයාව සොයන්නේ නැද්ද?)”.

    “කොහොම හරි, එයා කොහේ හරි ඉන්නවා කියලා මට විශ්වාසයක් තියෙනවා. එයාව හොයාගන්න පුළුවන් කියලා මට හිතෙනවා” යැයි ඇය දුක්බරව පැවැසුවාය. බලාපොරොත්තුවේ නිර්භීතකම යනු එයයි.

    මාධ්‍යවේදියකු ලෙස, ජීවිතයේ සෑම තරාතිරමකම පුද්ගලයන් සමඟ අන්තර් ක්‍රියා කිරීම මගේ රාජකාරිය වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස බලයේ සහ අධිකාරියේ සිටින අය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට මෙන්ම බල රහිත සාමාන්‍ය ජනතාවට ප්‍රවේශ වීමට මට හැකිය. එය භූමිය සමඟ ගමන් කරයි. අභියෝගය වන්නේ පොදු ජනතාව සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් “සත්‍යය” දැන ගැනීම සහ එම “සත්‍යය” බලයට පැවසීමයි. හැඟීම් සහ සංවේදනය ඇති මාධ්‍යවේදීන්ට බොහෝ දුක්බර අවස්ථා තිබේ.

    මාධ්‍යවේදීන් වශයෙන් අප සත්‍යය සෙවිය යුතුය. එහෙත් මෙවැනි අවස්ථාවල දී කෙනකු කරන්නේ කුමක්ද? මෙම පවුල්වලට ඔවුන්ගේ අතුරුදන් වූ ආදරණීයයන් පිළිබඳව ලබාදිය හැකි නිශ්චිත පිළිතුර කුමක් ද? වඩාත් වැදගත් දෙය නම්, මෙම ප්‍රශ්නවලට රාජ්‍යයේ හෝ බලයේ සිටින අයගේ ප්‍රතිචාරය කුමක් ද? යන්නයි.

    කලින් සඳහන් කළ පරිදි, බලහත්කාරයෙන් අතුරුදන් කරන ලද අයගේ ආදරණීයයන්ගේ විරෝධතාව මැයි මාසයේදී දින 3,000 සම්පූර්ණ කිරීමට නියමිතය. වර්තමානයේ දී බල ආසනයේ අසුන් ගෙන සිටින්නේ නව පාලනයක්ය. ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ දී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ගොදුරු වී ඇත. එවැනි තත්වයන් යටතේ නව ජනාධිපතිවරයාගෙන් සහ ඔහුගේ රජයෙන් වෙනස් ප්‍රවේශයක් අපේක්ෂා කිරීම ස්වාභාවිකය.

    “ශෝකය හෝ බලාපොරොත්තු සුන්වීම මධ්‍යයේ කුඩා සැනසීමක්”

    එබැවින්, ජනාධිපති දිසානායක සහ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය, බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ආදරණීයයන් කෙරෙහි සුවපත් කිරීමේ ප්‍රවේශයක් අනුගමනය කර, වසර අටක් පුරා පැවති පෝරට්ටම්/අරගලය දින 3,000 ක සන්ධිස්ථානයට ළඟා වන විට ඔවුන්ට යම් සැනසීමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.


    “ඩේලි එෆ්ටී” පුවත්පතේ පළ වූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ
    අනිල් කරුණාරත්න

    උපුටා ගැනීම – lankadeepa.lk

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here