වින්දිතභාවයෙන් ඔබ්බට – සලෙලු වරම’ තුළ ස්ත්‍රී ආත්මීයත්වය විසංයෝජනය කිරීම

0
20

වසන්ත ඔබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද 2002 වසරේ තිරගත වූ ‘සලෙලු වරම’ චිත්‍රපටය, ස්ත්‍රී ආත්මීයත්වය (Female Subjectivity) පිළිබඳ තීක්ෂණ ගවේෂණයක් ඉදිරිපත් කළ සිනමා නිර්මාණයකි. එහි කතාව කේන්ද්‍රගත වන්නේ සුරක්ෂිත වටපිටාවක හැ දී වැඩුණු, මධ්‍යම පාන්තික විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වන ප්‍රියංකා (සංගීතා වීරරත්න) වටා ය.

ඇගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයත් සමඟ විවිධ සංස්කෘතික හා පන්ති පසුබිම්වලට නිරාවරණය වන ඇය, ප්‍රේමය සහ සබඳතා තුළ ඇති අවිනිශ්චිතභාවය හා බිඳෙනසුලු බව හමුවේ මුහුණ දෙන අත්දැකීම් සමුදාය මෙම සිනමා කෘතියෙන් විවරණය වේ.

මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමේ දී ඔබේසේකරයන්ගේ මූලික පරමාර්ථය සැබෑ ජීවිතයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් පදනම් කරගනිමින් විශ්වවිද්‍යාල පරිසරය තුළ පවතින විනය විරෝධී උපසංස්කෘතිය පිළිබඳ අවධාරණය කිරීමයි.

කෙසේ වෙතත්, අධ්‍යක්ෂවරයා විශ්වවිද්‍යාල උපසංස්කෘතියේ පවතින ප්‍රචණ්ඩත්වය කෙරෙහි දැක්වූ දැඩි අවධානය ‘ප්‍රියංකා’ යන චරිතය හරහා දක්ෂ ලෙස නිරූපණය කරන ලද ස්ත්‍රී ආත්මීයත්වය පිළිබඳ වූ සංවාදයක් ආරම්භ කිරීමට පැවැති විභවය යටපත් කළේය. ප්‍රියංකාගේ චරිතය හරහා නිරූපණය වන ස්ත්‍රී ආත්මීයත්වයේ ලක්ෂණ වන බිඳෙනසුලු බව, පසුතැවිල්ලට තුඩු දෙන ආකාරයේ ක්ෂණික තීරණ ගැනීමේ ප්‍රවණතාව, නිතර නිතර සෘණාත්මක හැඟීම් අත්විඳීම සහ බොහෝ විට සිය ජීවිතයේ පිරිමි චරිතයක් මත දැඩි ලෙස යැපීම ඇතුළත් වේ.

ඒ බව චිත්‍රපටයේ මුල් අවධියේදීම, විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ නවක වද සමයේ දී පැහැදිලි වේ. ඇය සුරතලයට සහ සුරැකිව හැ දී වැඩුණු පවුල් පසුබිම, නවකවද සමයේ පවතින රළු සහ බොහෝ විට බියගන්වනසුලු ස්වභාවය සමඟ දැඩි ලෙස පරස්පර වේ. මෙම චාරිත්‍ර බොහෝ විට මෙහෙයවනු ලබන්නේ ග්‍රාමීය පසුබිමින් පැමිණි සිසුන් විසිනි; ඔවුන්ට මෙය හුදෙක් නවකවදයක් පමණක් නොව, නව නාගරික පරිසරයට හුරු වීමට, පන්ති පරතරය ජය ගැනීමට සහ ග්‍රාමීය පසුබිමේ සිට නගරයකට පැමිණීමේ දී ඇතිවන සංස්කෘතික කම්පනයට අනුවර්තනය වීමේ මාධ්‍යයකි.

ප්‍රියංකාගේ සුරැකිව හැ දී වැඩීම සහ නවකවදයේ පවතින අසීරු වටපිටාව අතර පවතින මෙම පරස්පරතාව, මෙම නුහුරු පරිසරය තුළ ඇයගේ අනාරක්ෂිත බව සහ අපහසුව අවධාරණය කරයි. මෙය ඇයගේ, විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුවකු වන සුරේන් (කමල් අද්දරාරච්චි) සමඟ ඉක්මනින් සමීප සබඳතාවක් ගොඩනඟා ගැනීමට පෙළඹවූ අතර, අසීරු නවකවද සමයේ දී ඇය ඔහුව දුටුවේ තමාගේ ආරක්ෂකයා ලෙසයි.

ආරම්භයේ සිටම සුරේන්ගේ ආදරය ඇය කෙරෙහි පැහැදිලිව පෙනෙන්නට තිබුණද, එකළ විදේශගතව සිටි සුනිල් සමඟ ඇයගේ විවාහය හෙළි නොකරමින් ඇය නිහඬව සැබෑ හැඟීම් රහසක්ව තබා ගනී. සුනිල් ඇය සමඟ කලාතුරකින් සන්නිවේදනය කළ බැවින් ඔහුගේ නැවත පැමිණීම පිළිබඳ ප්‍රියංකා තුළ අවිනිශ්චිතතාවයක් තිබුණි. මීට අමතරව, සුනිල් මීට පෙර වෙනත් කාන්තාවක් සමඟ විවාහ වී සිටි බව ඇයට දැනගන්නට ලැබෙන අතර, ඇය ඒ පිළිබඳ සත්‍යය සොයා ගැනීමේ ගවේෂණයක නිරත වේ.

මෙම ව්‍යාකූල තත්ත්වය තුළ ඇය තම හැඟීම් සැමගෙන් සඟවා ගනී. ඇය සිය දින ගත කළේ කනස්සල්ලෙන් සහ තනිවම තම ගැටලු විසඳා ගැනීමට උත්සාහ කරමිනි. සුනිල් තමා අතහැර දමනු ඇතැයි ද ඇය බිය වෙයි.

ඇයගේ මෙම බිදෙනසුලු, ව්‍යාකූල ස්වභාවය අධ්‍යක්ෂවරයා ග්‍රහණය කරගත් එක් ප්‍රබල දෘශ්‍ය මොහොතක් ඇත. එනම් ප්‍රියංකා සිය කාමරයේ සිට සුනිල්ගේ ඡායාරූපයක් දෙස බලා හඬමින් සිටියි. හදිසියේම, ඇය කෝපයෙන් එම ඡායාරූපය කැබලිවලට ඉරා කුණු කූඩයට දමයි. කෙසේ වෙතත්, තත්පර කිහිපයක් ඇතුළත ඇය එම ඉරා දැමූ කැබලි නැවත ගෙන රූපය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කරයි. මෙමඟින් ඇගේ කැළඹීම සහ තීරණ ගැනීමේ නොහැකියාව විචිත්‍රවත් ලෙස නිරූපණය කරයි.

සුනිල්ගේ නැවත පැමිණීම පිළිබඳ ප්‍රියංකා අවිනිශ්චිතව සිටින අතරතුර, ඇය සුරේන්ගේ ඇසුරෙන් සහනයක් ලබන අතර, එය ඇයට විශ්වවිද්‍යාල පරිසරය තුළ ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ලබා දෙයි. එසේම ඇයට සුනිල් පිළිබඳ ඇගේ මතකයන් ගේ වේදනාවෙන් මිදීමට උපකාරී වේ. කෙසේ වෙතත්, සුනිල්ගේ හදිසි පැමිණීම ඇය අලුතින් සොයාගත් ස්ථාවරත්වය අඩාල කරන අතර, එය ඇයව සුරේන්ගෙන් ඈත් වීමට සහ සුනිල් සමඟ සමාදාන වීමට උත්සාහ කිරීමට පොළඹවයි; මෙයින් සුරේන් දැඩි ලෙස සිත්තැවුලට සහ කෝපයට පත්වේ.

සුරේන් සහ සුනිල් අතර පවතින ගැටුම හේතුවෙන් සුරේන් විසින් ප්‍රියංකාට පිහියෙන් ඇනීමෙන් ඇය වින්දිතයකු බවට පත්කරමින් ‘සලෙලු වරම’ චිත්‍රපටය සම්ප්‍රදායික ආකාරයෙන් අවසන් වුවද, චිත්‍රපටයේ සැබෑ අවසානයට මොහොතකට පෙර සැලකිය යුතු රැඩිකල් හැරවුමක් යෝජනා කරයි. එනම් සුනිල් විසින් සුරේන්ට පහර දීම සම්බන්ධ පැමිණිල්ලකට ප්‍රතිචාර වශයෙන් පොලිසිය ප්‍රියංකාගේ නිවසට පැමිණීමයි. මෙම අනපේක්ෂිත තත්ත්වය ප්‍රියංකා පුදුමයට පත් කරන අතර, ඇගේ කාමරයේ දී සුනිල් සමඟ ඇති වන බහින්බස්වීමක දී, තමාට තනිවම දෙපයින් නැඟී සිටීමට හැකි වන තෙක් ඔහු සමඟ රටින් පිටව නොයන බව ඇය නිර්භීතව ප්‍රකාශ කරයි.

මෙම තීරණය ඇගේ ආත්මමූලිකත්වයේ රූපකමය සංක්‍රාන්තියක් සනිටුහන් කරයි; එනම් බිඳෙනසුලු සහ හැඟීම්බරව යැපෙන කාන්තාවකගේ සිට සිය ජීවිතයේ තෝරා ගැනීම ගැන කල්පනා කිරීමට කිරීමට කාලය ගන්නා ස්වාධීන පුද්ගලයකු දක්වා වූ ඇයගේ පරිණාමයයි. මෙම දර්ශනයේ දී කැමරාව ප්‍රියංකා වෙත සමීප (Zoom in) වන අතර, චිත්‍රපටයේ රැඩිකල් අවසානය සඳහා මා යෝජනා කරන්නේ, මෙම ඇය විසින් අලුතින් සොයාගත් ස්වාධීනත්වය සහ ආත්ම විශ්වාසය ඉන් අවධාරණය කෙරේ.

සලෙලු වරම’ චිත්‍රපටය බොහෝ විට මතකයේ රැඳෙන්නේ කැළඹිලි සහිත විශ්වවිද්‍යාල උපසංස්කෘතිය නිසා වුවද, එහි වඩාත්ම වටිනා නිරූපණය වන්නේ ප්‍රියංකාගේ චරිතයේ ඇති මෙම සූක්ෂ්ම පරිණාමයයි. ඔබේසේකරයන් “වින්දිතයා” යන සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස් ස්ත්‍රී ආත්මමූලිකත්වය පිළිබඳ නවීන අධ්‍යයනයක් ඉදිරිපත් කරයි. එය බිඳෙනසුලු බව සහ හැඟීම්බරව යැපීමේ සිට අමාරුවෙන් දිනාගත් ස්වයං-අවබෝධය දක්වා ගමනක් සනිටුහන් කරයි.

කතාව ඛේදවාචකයකින් අවසන් නොකර, පිරිමින්ගේ අහංකාරය මත පදනම් වූ ගැටුම්වල රූකඩයක ලෙස රැඳී සිටීම ප්‍රියංකා විසින් නිර්භීතව ප්‍රතික්ෂේප කිරීමෙන් අවසන් කිරීම හරහා චිත්‍රපටය ප්‍රබල ස්ත්‍රීවාදී මූලාශ්‍රයක් දක්වා ඔසවා තැබීමට අවස්ථාව තිබුණි. මෙම චිත්‍රපටය ඔබේසේකරයන්ගේ සිනමාකරුවකු ලෙස පවතින සැබෑ හැකියාවට සාක්ෂියකි. ස්ත්‍රී අභ්‍යන්තතර ලෝකය මෙතරම් සහකම්පනයකින් සහ නිරවද්‍යාවකින් ග්‍රහණය කර ගත හැකි මෙරට සීමිත අධ්‍යක්වරුන්ගෙන් කෙනකු ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි.

silumina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here