අර්බුධයකට ලක් වූ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණ කඩිනමින් ලබා දෙනවා – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය

0
16

අර්බුධයකට ලක් වූ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණ කඩිනමින් ලබා දෙන බවත් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩල සඳහා සම්පත්දායක සංචිතයක් සහ ප්‍රශ්න පත්‍ර බැංකුවක් ස්ථාපනය කරන බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අද (27) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇය මේ බව පැවසූවේ අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,

“පසුගිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව විභාග දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඉදිරිපත් කරන ලද පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඇතුළත්ව තිබූ ප්‍රශ්න තුනකට සංකල්පීය වශයෙන් සමානතාවයක් පෙන්නුම් කරන ප්‍රශ්න තුනක්, විභාගයට පෙර දින කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු විසින් සිය උපකාරක පන්තියට අදාළ සමාජ මාධ්‍ය සමූහය තුළ බෙදා හැර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශන මගින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් විසින් පත්කරන ලද විද්වත් කමිටුව විසින් නිර්දේශිත විසඳුම් ක්‍රියාමාර්ග තුන අතරින් එකක් ක්‍රියාත්මක කිරීමෙන් සිද්ධියට සම්බන්ධ චූදිතයන් වන පෙත්සමේ දහතුන් වන වග උත්තරකරුට රුපියල් මිලියන තුනක් සහ හයවන සහ නව වන වග උත්තරකරු ලෙස නම් කර ඇති අය විසින් රුපියල් මිලියන 2ක් රජයේ ගාස්තු ලෙස ගෙවිය යුතු බවට නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සිදු කළ විමර්ශනය මගින් අනාවරණය කරගෙන ඇති කරුණු මත පදනම්ව ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩලයක සාමාජිකයින් අදාළ ප්‍රශ්න සකස් කිරීමේ කාර්ය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය ශාඛාව තුළින් පමණක් සිදු කිරීම, එම කටයුතු වලට අදාළ රහස්‍ය ලේඛන අදාළ ශාඛාවෙන් පිටතට රැගන නොයන බවට වග බලා ගැනීම, රහස්‍ය ශාඛාව තුළට ඇතුළු වීමේදී හා ඉන් පිටතට යාමේදී සියලුම පුද්ගලයින් දැඩි පරීක්ෂාවකට භාජනය කිරීම, ‍ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩල සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීම හා පුහුණු කිරීම මගින් සම්පත් දායක සංචිතයක් සකස් කිරීම හා ප්‍රශ්න පත්‍ර බැංකුවක් ස්ථාපනය කිරීම, සදහා නිර්දේශ කර තිබෙනවා.

ඒ වගේම ඊට සම්බන්ධ වගඋත්තරකරුවෙකු වන ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසූම් අධ්‍යක්ෂකවරයා වහාම ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩලයෙන් ඉවත් කිරීම සහ ඔහුට එරෙහි විනය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා විනය බලධාරියා වෙත විමර්ශන තීරණය දැනුම් දීමටත්, වැටුප් රහිතව වැඩ තහනමකට ලක් කිරීමටත්, මූලික පරීක්ෂණයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් ආරම්භ කිරීමට මෙන්ම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධව බවට අනාවරණය වී ඇති ප්‍රාථමික විද්‍යාල ගුරුවරයා සහ ඔහුගේ බිරිඳ තවදුරටත් එකම සේවා ස්ථානයක රාජකාරි සිදු කිරීම වැලැක්වීම සඳහා ඔවුන්ගේ විනය බලධාරියා දැනුවත් කර එම ගුරුවරයා වෙත සිය රාජකාරී කාලයටම බල පැවැත්වෙන පරිදි විභාග රාජකාරී තහනමක් පැනවීම සහ ඔහුට එරෙහි විනයානුකූල කටයුතු කිරීම සඳහා ඔහුගේ විනය බලධාරියා දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ගිරිඋල්ල කලාප කාර්යාලය විසින් මේ පිළිබඳව මූලික පරීක්ෂණයක් සිදු කරමින් පවතින අතර මේ වන විටත් ඔහුගේ වැඩ තහනමකට ලක්කර තිබෙනවා. මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද පරීක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා.

ඒ වගේම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලට සමාන අනුමාන ප්‍රශ්න සිය වට්ස්අප් සමූහයට මුදා හරින ලද කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ ගුරුවරයකු මෙන්ම පෞද්ගලික උපකාර පන්ති පවත්වන අයකුට වසර පහක විභාග තහනමක් පැනවීම සහ ඔහුට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම සඳහා දැනුවත් කිරීමි සිදු කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී මෙවැනි සිද්ධීන් ඇතිවීම වලක්වා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවේ රහස්‍ය ශාඛාවන් තුළ මේ වන විට යොදවා ඇති ආරක්ෂක ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම. රහස්‍ය ශාඛාව වඩාත් සමීපව නිරීක්ෂණය කළ හැකි වන පරිදි අභ්‍යන්තරය ආරක්ෂිත කැමරා පද්ධති යාවත්කාලීන කිරීම, ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩල මඟින් ප්‍රශ්න පත්‍ර සකස් කිරීම වෙනුවට අර්ධ ස්වයංක්‍රිය පද්ධතියක් මගින් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ ක්‍රමවේද‍ නිර්මාණය කිරීම තුලින් පුද්ගල මැදිහත්වීම අවම කළ හැකි තත්ත්වයක් දක්වා එම පද්ධති සංවර්ධනය කිරීම හා වංචා සිදුවීම වලක්වා ගැනීම, විභාග අධීක්ෂණ තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධීක්ෂණයන් සිදුකරන වාරගණන වැඩි කිරීම. විභාග ශාලා තුළ ජංගම දුරකථන භාවිතය විභාග ශාලාධිපතිට පමණක් සීමා කිරීම. විභාග මධ්‍යස්ථානය සඳහා යොදවනු ලබන නිත්‍යකාර්ය මණ්ඩලයට අමතරව බාහිර අධීක්ෂකයින් පූර්ණ කාලීනව විභාග මධ්‍යස්ථාන වලට යෙදවීම මගින් ප්‍රමිතිය ආරක්ෂා කරගැනීම යන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම සිදුවීම හේතුවෙන් විභාගයට මුහුණ දුන් කිසිම අපේක්ෂකයෙකුට අගතියක් සිදු නොවන පරිදි විභාගයට පෙර සාකච්ඡා වූ ප්‍රශ්න තුන සඳහා සියළු සිසුන්ට නිදහස් ලකුණු ලබා දී ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරීමට තීරණය කළා. අගතියට පත් ⁣දරුවන්ගේ දෙමව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් කිහිපයක් ගොනු කිරීම හේතුවෙන් විභාගයේ ඇගයීම් කටයුතු අත්හිටුවා තිබු නමුත් 2024.12.31 දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව යළි ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කළ බවත් ඊට අදාළ කඩයිම් ලකුණු ඉතා ඉක්මනින් ලබා දීමට ක⁣ටයුතු කරමින් යනවා.”

lankatruth

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here