රාක්ෂාව (26 කොටස): රාසම්මාට අලුත් රැකියාවක් | ඉන්දු පෙරේරා

    0
    15

    දෙමළ හින්දු තරුණියකට විවාහ වන දින⁣යේ මනාලයා විසින් අනිවාර්යයෙන් පළඳවන ආභරණයක් නම් රත්තරන් තැල්ල ය.

    ඔවුන් මෙය හඳුන්වන්නේ තාලි යනුවෙනි. තාලියක් පැළඳවීමෙන් පසු කුමන හේතුවකටවත් එය කරෙන් ගලවන්නේ නැත. එය හින්දු සිරිතකි. (සැත්කමක් සඳහා සිහි නැති කිරීම වැනි අවස්ථාවක දී එහි ආරක්ෂාව වෙනුවෙන් වෛද්‍ය උපදෙස් මත ගලවා ප්‍රවේශමින් රැගෙන තැබීම මෙයට අදාළ නැත.) 

    මේ තැල්ල හෙවත් තාලිය ගැනත් කිවයුතුම දේවල් ටිකක් තිබේ.

    හින්දු විවාහයක්

    තාලිය දකුණු ඉන්දියාවට අයත් සංකේතයකි. කාන්තාවක් විසින් ගලවා ඉවත් නොකළ යුතු, තෑග්ගක් වශයෙන් කිසිවෙකුට ලබාදිය නොහැකි ආභරණයක් ලෙස එය සැලකේ.

    වත් පොහොසත්කම අනුව තාලියේ ප‍්‍රමාණය ද වෙනස් වනු ඇත. තාලිය සඳහා රත්තරං මිලදී ගැනීමට නොහැකි ජනයා ඒ වෙනුවට කහ කැබැල්ලක් භාවිතයට ගනු ලබයි. තාලිය අමුණන්නේ කහ පැහැති තරමක් ඝනකම ඇති සේද නූලකට ය. කහ වර්ණය හින්දූන් විසින් මංගල වර්ණයක් ලෙස සලකනු ලබයි. මේ වනවිට එම සේද නූල රත්තරං මාලයක් බවට පරිවර්තනය වී තිබේ.

    තාලිය තරුණියගේ ගෙලේ පළඳන අවස්ථාවේ දී එයට මනාලයා විසින් ගැට තුනක් යොදනු ලබයි. දෙමළ භාෂාවෙන් මෙය ”මූණමුඩිච්චි” ලෙස හඳුන්වන අතර එම ගැට තුන යෙදීමේ අර්ථ තුනක් තිබේ.

    දෙදෙනා, දෙදෙනාගේ දෙමව්පියන්ගේ ගෞරවය රැකීමට පොරොන්දු වීම     

    දෙදෙනා, දෙදෙනාගේ නැන්දම්මාවරුන්ගේ ගෞරවය රකින්නට පොරොන්දු වීම

    දෙදෙනා, දෙදෙනාගේ පවුල රකින්නට පොරොන්දු වීම

    තාලිය සෑදීම සඳහා රන්කරුවෙකුට භාර කිරීම ද හින්දූන් විසින් සිදු කරන්නේ චාරිත්‍රානුකූලව ය. මෙතෙක් කිසිදු ආභරණයක් සෑදීම සඳහා භාවිත නොකළ රන් කාසියක් තාලිය සෑදීමට භාවිතා කෙරේ.   

    මෙලෙස චාරිත්‍රානුකූලව ගෞරවාන්විතව මනාලයා විසින් මනාලියට පළඳවන තැල්ල එම කාන්තාව ජීවත්ව සිටියදී ඇගේ ස්වාමි පුරුෂයා මිය ගියහොත් එදිනට ගැලවිය යුතුය. තැල්ල මගින් දැක්වෙන්නේ හින්දු කාන්තාවකගේ සස්වාමික බවයි. අවිවාහක දෙමළ තරුණියන් නළල මැද කළු පැහැති මොට්ටුවක් තබන අයුරින් විවාහක කාන්තාවන් නළල මැද සහ නළල ඉහළ කෙළවරේ හරි මැදින් ⁣රතු පැහැති පොට්ටු තැබීමේ සිරිතක් පවතී. තැල්ලක් පැළඳ එලෙස නළලේ රතු පැහැති පොට්ටු ද තබන යම් දෙමළ කාන්තාවක් වේ නම් ඇය විවාහක සහ සැමියා ජීවත් ව හිඳින කාන්තාවක් බව සාමාන්‍ය සමාජයට හැඟවෙයි.

    රාසම්මාගේ සැමියා, රාමය්යා හදිසියේ හටගත් රෝග තත්ත්වයක් මත මිය ගිය බැවින් රාසම්මාගේ විවාහ දිනයේ රාමය්යා පැළඳ වූ තැල්ල ඇගේ කරෙන් ගැලවීමට සිදුව තිබිණි. සාමාන්‍යයෙන් මෙම චාරිත්‍රය සිදු කරනු ලබන්නේ මියගිය පුද්ගලයාගේ දේහය නිවසේ තිබියදී ම ය. එනම් භූමදානය කරන දවසේ ය.   

    සිරිතට අනුව තැල්ල ගලවන්නේ නෑණා කෙනෙකි. එනම් මියගිය සැමියාගේ අක්කා කෙනෙක් හෝ නංගී කෙනෙකි. රාසම්මාගේ සැමියා ගේ සහෝදරියන් යනු ඇගේ මවගේ ද එක් කුස උපන් සහෝදරියන් ය. ඒ අනුව රාසම්මාගේ පුංචි අම්මා කෙනෙකු ඇගේ මෙම තැල්ල ගැලවීමට ඉදිරිපත් වූවාය. 

    අනෙක් විශේෂ කරුණ නම් තැල්ල ගලවනු ලබන නෑණා ද ඒ වනවිට සැමියා මිය ගොස් සිටි අයෙකු විය යුතුය. එවැනි කණවැන්දුම් නෑණා කෙනෙකු විසින් තැල්ල ගැලවීමෙන් පසු එය එළකිරි සහිත කුඩා ඇලුමිනියම් කප් එකක බහාලනු ලබයි. මිනිය භුමදානය කිරීමෙන් පසු නැවත එම තැල්ල අයිතිකාරියට ලබා දුන්නත් ඉන්පසු ඇයට එය ඒ ආකාරයෙන් පැළඳීමට අවසර නොලැබේ. මේ තැල්ල නියමාකාරයෙන් ඉන්පසු අයිති වන්නේ ඇගේ පුතෙකුට ය. පුතා එම තැල්ල රන්කරුවකුට දී එයින් වෙනත් තැල්ලක් සාදවා ඔහු විවාහ වන දිනයේ ඔහුගේ මනාලියට පළඳවයි. නමුත් රාසම්මාට දරුවන් නොසිටි නිසා ඇගේ තැල්ලට හිමිකම් කියන්නට පුතකු සිටියේ නැත. එවැනි අවස්ථාවලදී එම තැල්ල රන්කරුවකු වෙතට දී මකා වෙනත් ආභරණයක් සාදවාගෙන පැළඳිය හැකිය. රාසම්මා තමන්ගේ තැල්ලෙන් පසුකලෙක මුද්දක් සාදවා ගත්තාය. අදටත් ඇය එය පළඳින්නීය.

    රාක්ෂාව වත්ත

    අවුරුදු තිහකට ආසන්න කාලයක් “උඹ නොදකින්” කියාගෙනවත් නැතිව හරිම සාමකාමී යුග දිවියක් ගත කළ රාසම්මාට රාමය්යාගේ හදිසි මරණය නොදැරිය හැකි තරමේ වේදනාවක් විය. පවුලේ කෙනෙකු මිය ගිය පසු හින්දු ක්‍රමයට ඔවුන් විසින් සිදු කරනු ලබන දානමානාදී කටයුතුවලින් පසු රාසම්මා නිවසේ තනි කර දමා යාමට මාරිමුත්තු කැමති වූයේ නැත. ඔහු තම එකම අක්කාට සැලකුවේ මවට මෙනි. නමුත් බංගලා ලයිම දමා යන්නට රාසම්මා කැමති වූයේ නැත. සැමියාත් සමග ජීවත් වූ එම නිවස ඇයට ප්‍රිය ය. හැරත් අලගල්ල වත්තේ මාරිමුත්තුලා සිටි ගෙවල් ඊටත් වඩා කුඩා ය. ඒ වනවිට විවාහයක් කරගෙන සිටි මාරිමුත්තු අන්තිමේ සිය බිරිඳ ද සමග බංගලා ලයිමේ පදිංචි වීමට කැමති විය. එය රාසම්මාට මහත් සතුටක් සහ සැනසුමක් වී තිබිණි. 

    රාමය්යාගේ මරණයෙන් පසු රාසම්මා තවදුරටත් වත්තේ දළු කඩන්නට ගියේ නැත. ඇය සිටියේ කුමක් කරන්නටවත් සිත එකඟ කරගත නොහැකි තත්ත්වයකිනි. දවස් කීපයක්වත් රෝගාතුරව සිටියේ නම් මෙවැනි දෙයක් ගැන සිතන්නටවත් ඉඩ තිබිණි. නමුත් එහෙම දේකුත් නැත. දළු ලොරියෙන් මක්කානිගම රෝහලට යනවිටත් ඔහු කතාබහ කළේය. ඒ කතාබහ තුළ මහ විශාල වේදනාවක සලකුණක්වත් තිබුණේ නැත. රාමය්යාට කුමක් වීද? හරියට හොරු අරන් ගියා සේ ය. 

    රාසම්මා ඇගේ නිවසේදී

    තම ජීවිතයෙන් හරි අඩක්ම නැතිවී ගොස් ඇතැයි රාසම්මා සිතුවාය. එවැනි ස්වාමි පුරුෂයකු ලැබෙන්නේ එසේ මෙසේ පිනකට නොවේ. ඇයට සුළු අසනීපයක් වුණත් රාමය්යා ඇයට උයා පිහා කන්නට දුන්නේය. ⁣තේ එක සාදා ඇඳ ළඟටම ගෙනැවිත් දුන්නේය. දිවා කාලයේ තේ වත්තේ දළු කඩා හැන්දෑවට ගෙදර ආපසු ඇගේ වේදනා දෙන දෙපා ඔහු හොඳින් පිරිමැද්දේය. කැක්කුම වැඩිපුර ඇති දිනවල තෙල් ගා සම්බාහනය කළේය. එතරම් ආදරයකින් බැඳී සිටි ඔහු තමා හැරදා ගියේ කොහොමද?

    රාක්ෂාව තේ කම්හල

    රාසම්මා ඔහු ගැන කියමින් දිවා රෑ වැළපෙන විට වඩාත් හිත රිදවා ගත්තේ මාරිමුත්තු ය. රාමය්යා මාමා පහසුවෙන් හමු නොවන තරම් යහපත් මිනිසකු බව මාරිමුත්තු දනී. ඔහු මිය ගියේ ජීවත් ව සිටින හැමදෙනාගේ ම අවාසනාවට ය. මාරිමුත්තු සේම ඔහුගේ බිරිඳත්, ලෙච්චමීත් ඇගේ සිත හදන්නට කොතෙක් දේ කීවත් රාසම්මාගේ සිත සුවපත් කළ හැකි ඔසුවක් ඒ කිසිවකු සන්තකයේවත් නොතිබිණි. ලෙච්චමී රාසම්මාව දළු කඩන්නට එක්කරගෙන යාමට උත්සාහ කළත් එය ද සාර්ථක වූයේ නැත. ටික කලක් ගතවනවිට රාමය්යාට කෙරෙන කෘතගුණ සැලකීමක් ලෙස රාසම්මාට රාක්ෂාව තේ කම්හල මගින් එහි කම්කරු රැකියාවක් පිරිනමා තිබිණි. සැම දෙනාගේම ඉල්ලීම මත රාසම්මා එම රැකියාව භාර ගත්තාය. 

    තවත් කොටසක් ලබන සතියේ 

    ස්තුතිය – මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, සමාජ ක්‍රියාකාරී වීරේ වීරසිංහම්, පන්විල පත්මසීලන්, මයුරන් සුරේෂ් යන මහත්වරුන් ට සහ පන්විල සූරිය කුමාරි මහත්මියට 

    ඡායාරූප – ඉන්දු පෙරේරා, මයුරන් සුරේෂ් සහ අන්තර්ජාලය   

    සටහන : ඉන්දු පෙරේරා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here