ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහගේ අවසන් කටයුතු අද (25දා) සවස 3.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
අද (25දා) පෙ.ව. 8.30 සිට සවස 3.00 දක්වා ද ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ “රෙස්පෙක්ට්” ශාලාවේ තැන්පත් කර ඇත. අතීතයේ ඇය හා අප කළ පිළිසඳරින් මෙම මතකාවර්ජනය පළකරනුයේ එතුමියට ගෞරවයක් වශයෙනි.

“මම මුලින්ම ගුවන් විදුලියේ තනිවම ගීතයක් ගායනා කළේ ‘ආධුනික පැය’ වැඩසටහන සඳහායි. ඊට පස්සේ සරත් විමලවීරගේ ළමා පිටියට සම්බන්ධ වුණා. කරුණාරත්න අබේසේකර, ඇල්ෆ්‍රඩ් පෙරේරා, මඩවල එස්. රත්නායක යන අයගේ ළමා මණ්ඩපවලටත් සම්බන්ධවෙලා ගීත ගායනා ඉදිරිපත් කළා. ඊට පසුව තමයි ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් බවට පත් වුණේ.”
සෙන්කඩ ගල පුර දළදා බුදුරැස්
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන් හට සිංහල දේසේ
සරණයි දළදා සමිදුන්නේ…
සරත් දසනායකයන්ගේ සත්සර සමග මුසුවුණු අරීසෙන් අහුබුදු සූරීන්ගේ මෙම පද මාලාව මීට වසර ගණනකට පෙර අප සවන්පත් අතරට රැගෙන ආවේ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහයන්ය. ඇයගේ ගායන මාධූර්ය පිළිබඳ කියාපාන්නට මේ ගීයම පමණක් වුව ප්‍රමාණවත් වන්නේය.
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්දපුරා රුක්කඅත්තන පිපිලා
මන්ද කොහෝ හඬළනු හැංගීලා
එන්න තමා බක් මහ ළංවීලා
මේ ඇය ගැයූ තවත් අපූරු ගීතයකි. බක්මහේ අසිරිය උදාවත් සමග එදා ගුවන් විදුලියේ රැව් පිළිරැව් දුන්නේ මෙවන් වූ මිහිරි ගීතයන්ය.
රන් දොරින් එන්න ආදරේ…
කැඳවලා මල්සරා
නිල් නුවන් ඔබ මා කෙරේ
එන්න සතුටින් පුරා
ගේය පද රචනය – කරුණාරත්න අබේසේකර
සංගීතය – වික්ටර් දළුගම
අමරදේවයන් සමග ඇය ගැයූ අනෝතත්ත විල නෙළුම නෙළාලා…, පියසිරි විජේරත්නයන් සමග ගැයූ බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි… මර්වින් පෙරේරා සමග ගැයූ එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්…, ඩියුඩර් ජයශාන්ත සමග ගැයූ විලක නෙළුම් මට කුමටද…, ඒ. එල්. බී. කන්දේපොළ සමග ගැයූ ආදර චාරිකා ජීවන චාරිකා… සුනිල් ශාන්තයන් සමග සමූහ ගායනයට එක්වෙමින් ගැයූ එම්බා ගංගා නවතනු නවතිනු නවතිනු නවතිනු… ආදි ගීත රැසක් එදා අප සිත් පුරා රස වින්දෙමු.

පුතාගේ ශබ්දාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එදා සංගීත් නිපුන් සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි යුවළ ඇතුළු කලාකරුවන් රැසක් සහභාගි වී…
කොළඹ කිරුළපන ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු අමිතා වැදිසිංහ කුඩා කල පටන් කවි ගායනයට දස්කම් පෑවාය. ඒ සිය මවගේ ආභාසයෙනි. ඇගේ මව ජී. එච්. පෙරේරා කවියාගේ ගෝලයෙකි. ආනන්ද සමරකෝන් මහතාගේ සමීපතම ඥාතියකු වූ වැදිසිංහ පවුලේ සාමාණිකයන් හමුවීමට සමරකෝන් මහතාත්, සිය සොයුරු බර්ටි සමරකෝන් මහතාත් පුරුද්දක් කොටගෙන තිබිණි. ඔවුන් අමිතාගේ නිවසට පැමිණ ගී සාජ්ජ පවත්වද්දී අමිතාට යන්තම් වයස අවුරුදු හයක් හතක් පමණි. අමිතාගේ සහජ කුසලතා දුටු බර්ටි සමරකෝන් අමිතාව නිතර ගුවන් විදුලියට රැගෙන ගොස් විවිධ වැඩසටහන්වලට සම්බන්ධ කළේ ඇයගේ අනාගතය ඉවෙන් මෙන් දුටු නිසා විය හැකිය.

“මම මුලින්ම ගුවන් විදුලියේ තනිවම ගීතයක් ගායනා කළේ ‘ආධුනික පැය’ වැඩසටහන සඳහායි. ඊට පස්සේ සරත් විමලවීරගේ ළමා පිටියට සම්බන්ධ වුණා. කරුණාරත්න අබේසේකර, ඇල්ෆ්‍රඩ් පෙරේරා, මඩවල එස්. රත්නායක යන අයගේ ළමා මණ්ඩපවලටත් සම්බන්ධවෙලා ගීත ගායනා ඉදිරිපත් කළා. ඊට පසුව තමයි ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් බවට පත් වුණේ.”
රන්මුතු දූව, පාරමිතා බල පූජිත, බාඳුරා මල්, බක්මහ දීගේ, ආදරයයි – කරුණාවයි ආදී චිත්‍රපට රැසකට ගීත ගායනයෙන් එක් වූ අමිතා තම ගී තරංගා, සින්ග් ලංකා, විජිත ට්‍රේඩ් ඇතුළු ආයතන රැසකින්ම එදා අප හමුවේ තැබුවාය. ජනප්‍රිය සංගීතඥයකු වූ වික්ටර් දළුගමයන්ගේ දයාබර බිරිඳ වූ අමිතා බොහෝ කලක් සංගීත ගුරුවරියක ලෙස කටයුතු කර පසුව කළුතර දිස්ත්‍රික්කයේ සංගීත අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂරියක වූවාය. රජයේ සංගීත විද්‍යාලයෙන් 1962 දී සංගීත උපාධිය ලැබූ අමිතා 1968 දී විශාරද ජී. ඩබ්ලිව්. ජයන්ත සමග ඉන්දියාවට ගොස් ඔහු සමග සමස්ත ඉන්දීය ගුවන්විදුලියේ පැය භාගයක සංගීත වැඩසටහනකට සම්බන්ධවී ගී ගැයුවාය. ජී. ඩබ්ලිව්. ජයන්ත වාදනයේ ඇයට සහය විය. එවකට එම වැඩසටහන භාරව කටයුතු කළේ සංගීතවේදී පී. වැලිකල මහතාය.
විශ්‍රාම ගැනීමෙන් පසු නුගේගොඩ සුජාතා විද්‍යාලයේ සංගීත උපදේශකවරිය ලෙස යළිත් සුපුරුදු රාජකාරිය තම කරපිට පටවාගෙන සිටින ඇය දරුවන්ට සංගීත අධ්‍යාපනය ලබාදීමෙන් මහත් අස්වැසිල්ලක් ලැබුවාය.

“නුගේගොඩ සුජාතා විද්‍යාලය පෞද්ගලික පාසලක් වුණත් එහි බෞද්ධ වටපිටාවක් තිබෙන නිසා මම වඩාත් කැමැත්තකින් යුතුව රාජකාරි කටයුතු කරගෙන ගියා. මගේ දරුවෝ දෙන්නත් සංගීතයට බොහොම ළැදියි.
පුතාගේ වී ට්‍රැක්ස් ශබ්දාගාරයේ මගේ අලුත්ම ළමා ගී සංයුක්ත තැටියේ පටිගත කිරීම් මේ දවස්වල කරගෙන යනවා. ‘පුංචි අපට පුංචි සිංදු’ ළමා ගී එකතුව ළඟදීම මේ රටේ දරුවන් වෙනුවෙන් පිරි නැමීමට මමත් මගේ පුතාත් කටයුතු කරගෙන යනවා. අද දරුවන් සඳහා ගීත බිහිවෙන්නේ නැහැ. ළමයින්ගේ වැඩසටහන් තිබුණාට ඒවා ළමයින්ට සුදුසු බවක් පේන්න නැහැ. ළමයින්ට වැඩිහිටියන්ගේ නැටිලි දැඟලිලි හුරු කරවලා මාධ්‍ය හරහා අනෙකුත් ළමයින්ටත් ඒවා හුරු කරවනවා. ළමයි කියලා එක තැන පල්විය යුතුයි කියා මම කියන්නේ නැහැ. හැමදාම ළමයි රෝස මලේ නටුවේ කටූ ම කිය කියා ඉන්න ඕනේ නැහැ. විකල්ප ගීතවලට යා යුතුයි. නමුත් ළමයින්ට ගැලපෙන ආකාරයේ නවතම ළමා ගීත බිහි නොවීම කනගාටුයි. අද තරුණ වැඩිහිටි පරපුර වගේම ළමා පරපුරත් බටහිරකරණයට නතුවෙලා. සංගීතයත් එහෙමයි. බටහිර සංගීතය කියන්නේ උසස් සංගීතයක් බව බටහිර සංගීතයට යොමුවෙලා ඉන්න අයවත් හරියට අවබෝධ කරගෙන ඇති බවක් පේන්නේ නැහැ සංගීතයේ තියෙන සංගීතමය වටිනාකමට වඩා එහි මතුපිටින් ඇති සරල බොල් දේ පමණයි අපේ අය උපුටා ගන්නේ. එහි ගැඹුරු පතුළට ගිහින් ඒ ගැන සංවේදී වන්නට හෝ ඒ පිළිබඳ ගවේෂණාත්මක නිර්මාණවලට යොමුවීමක් හෝ සිදුවන්නේ ඉතාම අඩුවෙනුයි. මේ නිසා අද අපේ අය බටහිර රස වින්දයයි, දේශීය රසවින්දනයයි දෙකම නැතිකරගෙන කොහේටවත් නැති අච්චාරුවක් බදාගෙන ඉන්නවා. අපි හරි දේ වෙනුවෙන් තව තවත් මහන්සි විය යුතුයි. කැපකිරීම් කළ යුතුයි. ඇය එදා කීවාය.
ආදරණීය ගායනවේදිනියනි ඔබතුමියට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
තුෂාරි කළුබෝවිල
උපුටා ගැනීම – divaina.lk