රට ම කතා කරන රෝහිණී කවිරත්න ගැන ඔබ මේ තොරතුරු දන්නවද ?

    0
    77

    මේ කථාව, රෝහිණී කුමාරි විජේරත්න ගේ ඇත්ත පැටිකිරිය යි; විවාහයෙන් පමණක් නම වෙනස් වුණු රෝහිණී කවිරත්නගේ නමේ කතාව යි.

    ලග්ගල වෙස්සන්තර

    ලග්ගල ආසනයක් බවට පත් වුණේ 1960 මාර්තු ඡන්දයේ දී ය. එක්සත් ජාතික පක්ෂයේ ඒකනායක මුදියන්සේලාගේ පහුරේගෙදර මුතුබණ්ඩා 1965 ලග්ගල ආසනය එජාප නාමයෝජනාවෙන් ජයගන්නේ ය. ලග්ගල ව්‍යාසනයක දී, තමන් ඇඳගෙන හිටපු සරම හැර අන් සියල්ල මිනිස්සුන්ට බෙදා දුන් නිසා ‘ලග්ගල වෙස්සන්තර’ නම් පටබැඳුණු මුතුබණ්ඩා, එදා ලග්ගල හිටපු ප්‍රසිද්ධම මැණික් පතල්කරුවා ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී පහුරේගෙදර මුතුබණ්ඩා, නැත්තම් ‘ලග්ගල වෙස්සන්තර’ ගේ දුව සුමනා පොඩිමැණිකේ ය. ඇය විවාහ වන්නේ, ජම්බුගහ පිටියේ විජේරත්න බන්ඩා සමග ය. ඔහුත් එජාප දේශපාලන පවුලකට සම්බන්ධ කෙනෙකි. කිසි දවසක එජාපයට ජය ගත නොහැකි යැයි කියූ වාමාංශික බලකොටුවක් වූ ලග්ගල, 1977 ජූලි මැතිවරණයේ දී ජේ. පී. විජේරත්න බණ්ඩා ජයගන්නේ ය. ඔහු ඡන්ද 13,649 ක් ලබන විට ශ්‍රීලනිපයේ (හිටපු ආණ්ඩුකාර ගොපල්ලව පවුලේ) එම්. සී. ගොපල්ලවට හිමිවන්නේ ඡන්ද 10,254 කි. එතැන් පටන් විජේරත්න බණ්ඩා, අඛණ්ඩව 1994 දක්වා ලග්ගල හා මාතලේ මහජන මන්ත්‍රීවරයා වෙන්නේ ය. ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍ය, කෘෂි නිෂ්පාදන හා අලෙවි කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ද විය.

    ඒ විජේරත්න බණ්ඩා ගේ දුව වූයේ, ජම්බුගහ පිටියේගෙදර රෝහිණී කුමාරි විජේරත්න ය.

    රෝහිණී කවිරත්න නම් දේශපාලන චරිතය

    1977 මැතිවරණයෙන් ආර්.එම්. පී. බී. කවිරත්න රත්තොට එජාප මන්ත්‍රී බවට පත් විය. ජේ. ආර්. ජයවර්ධන, ආර්.ප්‍රේමදාස ආණ්ඩු සමයේ 1977-1994 දක්වා ම රත්තොට/ මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවිරත්න ය. ඔහු පෞද්ගලික ප්‍රවාහන නියෝජ්‍ය ඇමති, සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය තනතුරු දැරී ය. රත්තොට පුංචි බණ්ඩා කවිරත්න ගේ පුතා රස්නායක මුදියන්සේලාගේ සංජීව බණ්ඩාර කවිරත්න ය. ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන විට අර්ධ යෝජිත/ ප්‍රේම සම්බන්ධතාවයකින් රෝහිණි කුමාරි විජේරත්න සමග විවාහ විය.

    සංජීව එවකට ලංකාවේ ජනප්‍රියතම තරුණ දේශපාලනඥයෙකි. ඔහු 2001 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද පත් විය. රෝහිණී කවිරත්න, 2015 මැතිවරණයෙන් දිනන්නේ මාතලේ පස්වන පරම්පරාවේ පාර්ලිමේන්තු නියෝජනය ලෙසිනි.

    ලෝක වාර්තා තැබූ රෝහිණී

    මෙය රෝහිණී කවිරත්න සම්බන්ධයෙන් ලෝක වාර්තාවක් වන්නේය. රෝහිණී ගේ අත්තා, එනම් අම්මාගේ පියා වූ මුතුබණ්ඩා (1965 ලග්ගල මන්ත්‍රී) එනම් අත්තා, අප්පච්චි (විජේරත්න බණ්ඩා), මාමා (පි.බී.කවිරත්න), ස්වාමියා (සංජීව කවිරත්න) සහ රෝහිණී කවිරත්න මහජනතාවගේ ඡන්දයෙන්, එකම දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් පරම්පරා පහක්, මහජන මන්ත්‍රීවරු බවට පත් වූ තැනක් ලෝක ඉතිහාසයේ වෙන කිසිම තැනක වාර්තා වී නොමැත.

    රස්නායක මුදියන්සේලාගේ සංජීව බණ්ඩාර කවිරත්න සමග රෝහිණී කුමාරි විජේරත්න 1994 මැයි 27 පේරාදෙණිය මහකන්දේ දී විවාහයේ සාක්ෂිකරුවන් වන්නේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ගාමිණී දිසානායක දෙදෙනා ය. ජේ.ආර්. මංගල සභාවේ දී ‘අද මාතලේ ට හිරු – සඳු එක විට පායනවා’ යැයි පැවසී ය. එදා ඇය ජම්බුගහ පිටියේගෙදර රෝහිණී කුමාරි කවිරත්න බවට පත්විය. එය ලංකා සමාජයේත්, උඩරට විවාහ ක්‍රමයේත් සම්ප්‍රදායක් මිස පත්තරේපළ කර නම මාරුකරන ව්‍යවහාරයක් නොවේ ය.

    පරම්පරා පහක නොනිමි ගමන

    රෝහිණී, පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගෙන පසුව ගණිත ගුරුවරියක් ලෙස කයිකාවල මධ්‍ය මහා විද්‍යාලය, වේරගම පරාක්‍රම ඇතුළු පාසල් කිහිපයක ජනප්‍රියම විද්‍යා ගණිත ගුරුවරියක් ලෙස කටයුතු කළා ය. සිය විශ්‍රාම වැටුප පවා නැති කරගෙන එන ඇය, මාතලේ මැර දේශපාලනයේ උච්චතම අවස්ථාවක දී සිදු වූ පහරදීමකින් කොඳුඇට පෙළේ ශල්‍යකර්මයකට පවා ලක්වන්නී ය.

    පරම්පරා දේශපාලනය ලංකාවට අලුත් දෙයක් නොවේ. නමුත්, පරම්පරාවට වඩා හැකියාවෙන්, දක්ෂතාවෙන් රෝහිණී කවිරත්න මාතලේ දේශපාලනයේ ස්ථාවර වී ඇත. තමන්ගේ යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් පසෙක තබා රෝහිණී මිනිස්සුන්ගේ පැත්තේ සැබෑ නියෝජිතවරිය වූවා ය. රෝහිණී, පරම්පරාවෙන් දේශපාලනයට පැමිණි නමුත්, 2015 මාතලේ දේශපාලන රික්තකය පිර වූ චරිතය යි; මාතලේ ප්‍රභු, ධනවත් දේශපාලනය මහපොළොවට ගෙනා චරිතය යි.

    (සටහන | මාතලේ රංජය හේරත්)

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here