අගමැතිනියට එරෙහි වෛරී ප්‍රකාශ : බරපතළ සමාජ ගැටලුවක සජීවී පිළිබිඹුවක් | සෝබා කෝලියවංශ

    0
    10

    අගමැති හා අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන අසභ්‍ය, ස්ත්‍රී විරෝධී හා වෛරී ප්‍රකාශ හෙළා දකිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විද්වත් ප්‍රජාව නියෝජනය කරන 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනවාරි මස අගභාගයේදී නිවේදනයක් නිකුත් කළේය.

    මෙය අගමැතිනියගේ කීර්තිනාමයට හානි කිරීමේ සැලසුම්සහගත උත්සාහයක් පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, කාන්තා නායකත්වය සහ පොදු ජීවිතයේ බුද්ධිමය අඛණ්ඩතාවට එල්ල කෙරුණු ප්‍රහාරයක් බවත් කියා සිටින එම විද්වත් එකමුතුව, මෙම වෛරී ප්‍රහාර වහාම නතර කළ යුතු බවද, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද තරයේ කියා සිටී.

    රටේ දෙවන පුරවැසියා මෙන්ම ඉහළම තනතුර හොබවන කාන්තාව, ශිෂ්ටත්වයේ සියලුම ඇගයුම් අභියෝගයට ලක් වන තරමේ දැවැන්ත වෛරී ප්‍රකාශ (Hate Speech) ප්‍රවාහයක වින්දිතයකු බවට පත් වීමත්, එය වැළැක්වීමට නීතියේ ආධිපත්‍යය අපොහොසත් වීමත්, බුද්ධිමය ප්‍රජාව නියෝජනය කරන පිරිසක් එම වෛරී ප්‍රහාරයට එරෙහිව සාමූහිකව ප්‍රතිචාර දැක්වීමත් (Counter speech) මේ වන විට ශ්‍රී ලාංකීය සමාජය හමුවේ ඇති බරපතළ අභියෝගයක් වන වෛරී ප්‍රකාශනය පිළිබඳ ගැඹුරු සංවාදයකට පදනම් කර ගත හැකි සංකේතීය සිදුවීම් දාමයකි.

    සමාජ මාධ්‍ය පෝස්ටුවකට කොමෙන්ටු ගතකර තිබූ වෛරී ප්‍රකාශ

    විද්වතුන්ගේ නිවේදනය එළිදකින අවස්ථාව වන විට අගමැතිනියට එරෙහි වෛරී ප්‍රකාශන ප්‍රවාහය ඇරඹී මාසයක තරම් කාලයක් ගත වී තිබුණු අතර, මේ ලිපිය ලියවෙන මොහොත වන විට මාස දෙකකට ආසන්න කාලයක් ගතව තිබියදීත්, ප්‍රමාණාත්මකව යම් පසුබෑමක් සහිතව නමුත් එය අඛණ්ඩව ඉදිරියට යමින් තිබේ. මේ කාලය පුරා, සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට එරෙහිව පළ ව ඇති වෛරී ප්‍රකාශ කොපමණක්දැයි ගණනය කර නැතත්, එය දහස් ගණනක් වනු ඇති බව නිසැකය. ඒවා ලිඛ්ත ප්‍රකාශ, මීම්, කාටූන්, ඒඅයි තාක්ෂණය උපයෝගී කරගෙන කළ නිර්මාණ ආදී වශයෙන් බහුවිධ ස්වරූපවලින් ඉදිරිපත් වූ අතර, ඇගේ ස්ත්‍රීත්වය, ලිංගික දිශානතිය පිළිබඳ අනුමානයන්, ආගමික විශ්වාසයන් පිළිබඳ අනුමානයන්, දේශපාලන ආකල්ප මෙන්ම බාහිර පෙනුම හා ඇඳුම් පැලඳුම්ද ඒවාට නිමිති වී තිබේ. මුල් පළ කිරීම් මෙන්ම  නැවත පළ කිරීම් හා බෙදාගැනීම් දසදහස් ගණනකි. වඩාත් ඛේදජනක තත්ත්වය වන්නේ, මෙම වෛරී ප්‍රචාරණය සඳහා සමාජ මාධ්‍ය ප්‍රමුඛ වුවද විවිධ සංවිධාන, පුද්ගල කණ්ඩායම් මෙන්ම සාම්ප්‍රදායික මාධ්‍යද මෙම ප්‍රවාහයට උඩගෙඩි දෙන ආකාරයේ අන්තර්ගතයන් නිරන්තරයෙන් සම්පාදනය කිරීමය.

    වෛරයේ නිමිත්ත

    මේ සා විසල් වෛරී ප්‍රවාහයකට මුල් වූයේ ආචාර්ය හරිනි අමරසූරිය පෞද්ගලිකව හෝ, අගමැති හා අධ්‍යාපන ඇමතිනිය ලෙස හෝ කරන ලද කිසියම් ක්‍රියාවක් හෝ ප්‍රකාශයක් නොවේ. ඇගේ සෘජු අධීක්ෂණය මත සිදු වූවක්ද නොවේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රිසි විෂය සදහා අලුතින් හඳුන්වා දුන් මොඩියුලයේ, ළමයින්ගේ පරිහරණයට නුසුදුසු වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීම, මෙම වෛරී ප්‍රකාශනයට මුල් වූ නිමිත්ත විය. 2025 වසරේ දෙසැම්බර් 30 වැනිදා හෝ ඊට ආසන්න දිනක අදාළ සිදුවීම සම්බන්ධයෙන් හෙළිදරව් වූ පසුව, අගමැතිනියගේ මෙහෙයවීමෙන් හානිය වැළැක්වීම හා වරදට හේතු අනාවරණය කර ගැනීම සම්බන්ධයෙන් අදාළ කියාමාර්ග ගනු ලැබිණි. ප්‍රශ්නගත මොඩියුලය බෙදාහැරීම අත්හිටුවීම, අමාත්‍යාංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කිරීම, අදාළ සිදුවීම වරදක් බව ප්‍රසිද්ධියේ පිළිගෙන මහජනතාවට කරුණු පැහැදිලි කිරීම ඒ අතර වෙයි.  ජාතික අධ්‍යාපන ආයතනයේ සභාපතිනිය අදාළ වරද සම්බන්ධයෙන් වගකීම භාරගෙන ඉල්ලා අස්විය.

    ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය

    අගමැතිනියට එරෙහි වෛරී ප්‍රකාශනය සමාජ මාධ්‍ය ඔස්සේ හා ඉන් බැහැරව දිගින් දිගටම රළ නගමින් පැතිර යන්නේ එබඳු පසුබිමකය. මෙය පැහැදිලිවම අදාළ ගැටලුව එහි සැබෑ සන්දර්භයෙන් බැහැර වෙනත් අරමුණු සඳහා උපයෝගී කර ගැනීමේ සංවිධානාත්මක මෙහෙයුමක් බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. විද්වතුන්ගේ නිවේදනය මගින් පෙන්වා දෙන පරිදිම, එය සාධාරණ විවේචනයේ හා ශිෂ්ටත්වයේ සීමාවන් අතික්‍රමණය කරමින් පෞද්ගලික අපහාසය අවියක් කොටගෙන අගමැතිනියගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමේ දුෂ්ට අරමුණු කරා වේගයෙන් ගමන් කළේය. ප්‍රස්තුත නිමිත්ත තුළින් මෙන්ම අගමැතිනියගේ සමාජභාවී අනන්‍යතාව පිළිබඳ ඕපාදූපවලින්ද උකහාගත් කරුණු මිශ්‍ර කොට තැනූ ආඛ්‍යානයකින් ඒ සඳහා අවශ්‍ය දහන ඉන්ධනය සකසා ගැනිණි. අගමැතිනිය සමරිසි කාන්තාවක් බවද, ඒ හේතුවෙන් පාසල් දරුවන් අතර සමරිසි සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා ඇගේ දැනුවත්භාවය ඇතිව 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාළ සමරිසි වෙබ් අඩවිය ඇතුළත් කළ බවද එම ආඛ්‍යානයයි. එය පදික වේදිකාවල, පචගස් යට හා නාන තොටුපළවල මෙන්ම ‘බුකිය’ ලෙස නාමකරණය වූ නූතන සමාජමාධ්‍ය නාන තොටෙහිද තොග වශයෙන් අලෙවි කළ හැකි, කුණුරසය මුසු ප්‍රවාදයකි. ඇතැම් මොඩියුලයක පිටකවරයේ වර්ණ රටාව, LGBT ප්‍රජාව සංකේතවත් කරන දේදුණු වර්ණයෙන් යුතු බව හිටපු ආණ්ඩුකාරවරයකු විසින් සොයා ගැනිණි. දින කිහිපයක් තුළ මහා වෛරී ප්‍රවාහයක් නිර්මාණය වූයේ එබඳු බුකිකරුවන් සිය ගණනකගේ සතදෙකේ දායකත්වයෙනි.

    වෛරී ආඛ්‍යානයක්

    LGBT ඇතුළු සුළුතර අනන්‍යතා සහිත වූවන්ගේ අයිතිවාසිකම් පිළිගැනීම යන කරුණු ඇය ගර්හිත තත්ත්වයට පිරිහෙළීමට වෛරී කථකයන් මෙවලම් කොටගෙන තිබේ.

    මෙම සිදුවීම වෛරී කථනයේ මූලයන් හා ඒවායේ ව්‍යාප්තිය පිළිබඳ අවබෝධ කර ගැනීමට කදිම නිදර්ශනයකි. සත්‍යය, අර්ධ සත්‍ය හෝ අසත්‍ය කරුණු මත මෙබඳු ආඛ්‍යාන ගොඩනැංවීම වෛරී කථනයෙහි මූලික ස්වරූපයක් වන අතර එය බොහෝ විට පදනම් කර ගන්නේ සමාජයේ පවතින අගතිගාමී ස්ථාපිත මතවාදයන්ය. යම් අනන්‍යතාවක් උසස් හෝ පහත් ලෙස සැලකීම ඔස්සේ ගොඩනැගෙන විභේදනය දෙවනුව වෛරී කථනයටත් තෙවනුව ප්‍රචණ්ඩත්වයටත් මග සලසයි. බොහෝවිට බහුතරය උසස් ලෙසත්, බහුතරයේ කැමැත්ත සම්මතය ලෙසත් පිළිගැනෙන අතර සුළුතරය පහත්, අසම්මත හා ගර්හාවට ලක් කළ යුතු අය ලෙස සැලකේ. ඉහත නිදර්ශනයේදී අගමැතිනිය රටේ දෙවැනි පුරවැසියා ලෙස දේශපාලන වශයෙන් ඉතා බලවත් වුවත්, කාන්තාවක වීම, සම්මත විවාහයකට ඇතුළත් නොවී සිටීම, LGBT ඇතුළු සුළුතර අනන්‍යතා සහිත වූවන්ගේ අයිතිවාසිකම් පිළිගැනීම යන කරුණු ඇය ගර්හිත තත්ත්වයට පිරිහෙළීමට වෛරී කථකයින් මෙවලම් කොටගෙන තිබේ.

    වෛරී කථනය (Hate Speech) යන්නට නිශ්චිත- එක් නිර්වචනයක් නැතත්, ඒ පිළිබඳ පොදු අදහසක් විවිධ පාර්ශ්ව විසින් ක්‍රමිකව වර්ධනය කොට තිබේ. වෛරී කථනය පිළිබඳව පොදු ජනයා දැනුවත් කිරීම සඳහා UNDP සංවිධානය ඉදිරිපත් කරන නිර්වචනයකට අනුව, “වෛරී ප්‍රකාශ යනු යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන, කිසියම් කෙනෙකු කවුරුන්ද යන කාරණාව මත පදනම්ව ඔවුන්ට එරෙහිව වෛරය ප්‍රකාශ කරන හෝ ප්‍රචණ්ඩත්වය දිරිගන්වන ඕනෑම ආකාරයක සන්නිවේදනයකි. මෙය ඔවුන්ගේ ආගම, වාර්ගිකත්වය, ජාතිය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගික නැඹුරුව, බාහිර පෙනුම හෝ වෙනත් ඕනෑම අනන්‍යතා සාධකයක් මත පදනම් විය හැකිය.”

    වෛරයට එරෙහි පෙළගැස්ම


    වෛරී කථනය හා සමාජ මාධ්‍ය පිළිබඳ සංවාදය ලෝකයට අලුත් එකක් නොවේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ මෑතක් වන තුරුම එය බුද්ධිමය සුළුතරයකට පමණක සීමා වූ මාතෘකාවක් විය. ලංකාව තුළ සමාජමාධ්‍යවල වේගවත් ව්‍යාප්තියත් සමග වෛරී කථනය බරපතළ සමාජ ගැටලුවක් ලෙස ඉස්මතු වූ අතර විශේෂයෙන් බේරුවල, අම්පාර හා දිගන ආදී ඛේදජනක සිදුවීම්වලට වෛරී කථනය සෘජු ලෙස පදනම් වූ බව පැහැදිලි වීමත් සමග ඒ පිළිිබඳ සංවාදයක් ගොඩනැගිණි. දුස්තොරතුරු හා වෛරී කථනය පිළිබඳ සමාජ අවබෝධය පුළුල් කිරීමේ විවිධ උත්සාහයන් ක්‍රියාත්මක විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම යුරෝපා සංගමයද ඒ සඳහා දායක විය. යුරෝපා සංගමය විසින් අරමුදල් සපයනු ලබන “ශ්‍රී ලංකාවේ සාවද්‍ය තොරතුරු වලට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම” ව්‍යාපෘතිය මෙම විෂය පිළිබඳ පුළුල් සමාජ සංවාදයක් ගොඩනැගීමට දායක වෙයි.

    වෛරී කථනයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා පවතින නීතිමය රාමුව ශක්තිමත් කළ යුතු බව, ඒ සම්බන්ධ සංවාදයේදී නිතර ඉස්මතු කෙරෙන කාරණයකි. එමෙන්ම, පවතින නීතිමය ප්‍රතිපාදන ඒ සඳහා හොඳටම ප්‍රමාණවත් බවත්, ගැටලුව ඇත්තේ එම නීති ප්‍රකාශිත අරමුණු උදෙසා ක්‍රියාත්මක නොවීම බවත් ඊට ප්‍රතිපක්ෂව ගොඩනැගෙන තර්කයයි. වෛරී ප්‍රකාශවලට එරෙහි නීති ප්‍රතිසංස්කරණය සහ විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින්ද අවධාරණය කොට තිබේ. 2019 වසරේදී, එවකට කොමිසමේ සභාපතිනිය වූ ආචාර්ය දීපිකා උඩගම මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හා නීතිපතිවරයා වෙත මාර්ගෝපදේශ ලබා දී තිබේ. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනතේ 3 වන වගන්තිය වෛරී ප්‍රකාශවලට එරෙහිව කටයුතු කිරීම සඳහා වැදගත් නීතිමය මෙවලමක් බවද ඇය පෙන්වා දී තිබිණි.

    ආචාර්ය ගෙහාන් ගුණතිලක

    එහෙත්, වෛරී කථනය සඳහා නීතිමය පාලනයන්හි අඩුපාඩු පිළිබඳව පුළුල් ලෙස අදහස් පළ කරන නීතිඥ ගෙහාන් ගුණතිලක පෙන්වා දෙන්නේ, වෛරී ප්‍රකාශ යන අර්ථකථනය තුළට- රාජ්‍යයට අහිතකර හෝ විවේචනාත්මක විය හැකි ප්‍රකාශද ඇතුළත් කරන අධික පොලිස්කරණයක් ක්‍රියාත්මක වන බවයි. නීතිඥයින් සහ කවියන් අත්අඩංගුවට ගැනීමේ මෑත කාලීන අවස්ථා, ICCPR පනත භීෂණයේ මෙවලමක් ලෙස භාවිතා කරන ආකාරය පිළිබිඹු කරන බවද ඔහු පෙන්වා දෙයි. අන්තර්ජාලය සාම්ප්‍රදායික රාජ්‍ය ව්‍යුහයන්ගෙන් ඔබ්බට ඇති අවකාශයක් වන අතර එය පාලනය කිරීම රාජ්‍යයේ අභිලාෂය බවත්, නීතිය හරහා වෛරී ප්‍රකාශ නියාමනය කිරීම යනු එම අවකාශය පාලනය කිරීමේ වෙස්වළාගත් ආකාරයක් බවත් ප්‍රකාශ කරන නීතිඥ ගුණතිලක අවධාරණය කරන්නේ ‘නරක චේතනාවෙන් ක්‍රියා කරන රාජ්‍යය සන්නද්ධ කිරීමට වඩා භාෂණයේ  නිදහස ආරක්ෂා කිරීම වඩාත් වැදගත්’ බවයි. (Countering Hate Speech: Towards safer digital spaces – ICES)

    නීතියේ රැකවරණය කාටද?


    කෙසේ වෙතත්, අන්තර්ජාල ක්‍රියාකාරකම් පාලනය කිරීමට නව නීති ගෙන ඒම පසුගිය රජයන්ගේ න්‍යායපත්‍රවල ප්‍රමුඛ කාරණයකි. අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය විසින් සිවිල් සමාජයේ දැඩි විරෝධතා මධ්‍යෙය් සම්මත කර ගැනුණු  2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ආසන්නම උදාහරණයයි. බලයට පත් වීමට පෙර එම පනතට දැඩි ලෙස විරුද්ධ වූ ජාතික ජන බලවේගය, තුනෙන් දෙකකට අධික බලයක් සහිතව රාජ්‍ය බලය හිමි කරගත් පසුව එය අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් තබා නැත.

    උත්ප්‍රාසය දනවන කරුණ නම්, එතරම් දැඩි නීති තිබියදීත් රටේ දෙවන පුරවැසියා වෛරී ප්‍රකාශනවලින් දරුණු අගතියකට ලක් වීමෙන් ආරක්ෂා කිරීමට, පවතින කිසිදු යාන්ත්‍රණයක් අසමත් වීමය. පුරවැසියන්ගේ ආරක්ෂාව සඳහා යැයි ව්‍යාජ හේතු දක්වමින් ප්‍රකාශනය සීමා කිරීම සඳහා සම්මත කරගෙන ඇති අණ පනත් හා ඒවායින් බලගැන්වෙන යාන්ත්‍රණ වත්මන් පාලන තන්ත්‍රය යටතේ පවා මර්දන අවි ලෙස යොදාගැනෙන බව රහසක් නොවේ. අඩු තරමින් රටේ දෙවැනි පුරවැසියා වෙනුවෙන් වත්, ප්‍රකාශිත අරමුණු උදෙසා ක්‍රියාත්මක වීමට ඒ කිසිදු යාන්ත්‍රණයක් සමත් නොවූයේ ඇයි? එම නීති සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්ෂාව උදෙසා තවදුරටත් අර්ථවත් වනු ඇතැයි සිතිය හැකිද?

    වෛරී කථනය පිළිබඳ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වෛරී කථනයට එරෙහිව පවතින නීතිමය ප්‍රවේශය මෙන්ම, පුරවැසි මැදිහත්වීමද වැදගත් වන බවයි. ප්‍රති කථනය (Counter speech) යනු වෛරී හෝ හානිකර අන්තර්ගතයන්ට එරෙහිව සෘජුව ප්‍රතිචාර දැක්වීමයි. එය වෛරී කථනයේ බලය අඩපණ කරන අතර ප්‍රති බලයක් ගොඩනගයි. වෛරී ප්‍රකාශ පළ කෙරෙන සමාජ මාධ්‍ය වේදිකා තුළ මෙන්ම ඉන් බැහැරවද ඒ සඳහා ක්‍රියාත්මක විය හැකිය. අගමැතිනියට එරෙහි වෛරී ප්‍රකාශ හෙළා දකින විද්වතුන්ගේ නිවේදනය ඒ අර්ථයෙන් වැදගත් ප්‍රවේශයකි.

    (සටහන | සෝබා කෝලියවංශ)
    මාධ්‍යවේදීනී
    [email protected]

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here