-ප්‍රතිසංස්කරණ කතිකාවතින් මගහැරුණු අඛණ්ඩ අධ්‍යාපන අයිතිවාසිකම
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සම්බන්ධයෙන් මතු වූ අර්බුදය, ගෙවුණු සති කිහිපයේම රටේ ප්‍රමුඛතම මාතෘකාව විය. ඉන් පසුව ගුරු- සිසු විනය පිළිබඳ ශෘංගාරය මුසු අන්දරයකින් ඒ සංවාද අවකාශය අත්පත් කරගෙන තිබේ.
උණුසුම් සිදුවීම් ආශ්‍රිතව සංවාද දෝරේ ගැලීමත්, ඉන් පසුව ඊට වඩා උණුසුම් මාතෘකාවකින් පෙර සංවාදය යටපත් වීමත් කාලාන්තරයක් තිස්සේ අපට හුරු පුරුදු අත්දැකීමකි. එමෙන්ම, බැරෑරුම් ප්‍රශ්න කිසිදු සංවාදයකට බඳුන් නොවී සදාකාලිකවම යටපත් වී තිබීම අනෙක් ඛේදජනක යථාර්ථයයි. ‘අඛණ්ඩ අධ්‍යාපනයක් තහවුරු කිරීම’ ප්‍රමාණවත් තරමින් අවධානයට ලක්ව නොමැති එවැනි මාතෘකාවකි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු විය යුත්තේ මේ පෙනෙන- නොපෙනෙන සියලු ගැටලුවට සාධනීය විසඳුම් ලැබෙන අයුරිනි. එවැනි පුළුල් ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව හැකි ඉක්මණින් ඉටු කර ගත යුතුව තිබුණද එතෙක් පවතින අධ්‍යාපන ක්‍රමය හෝ අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කාරණාවකි. පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටු තත්ත්වය, ඒ පිළිබඳ පුළුල් වැඩපිළිවෙළක අවශ්‍යතාව ගැඹුරින් අවධාරණය කළේය.
කුණාටුවට හසු වූ අධ්‍යාපනය

2025 නොවැම්බර් 28 වනදා ශ්‍රී ලංකාවට ඇතුළු වූ දිට්වා සුළි කුණාටුව ආශ්‍රතව ඇති වූ ගංවතුර හා නායයෑම් මෑත කාලයේ රටට වැඩිම හානියක් සිදු කළ ස්වභාවික ව්‍යසනයයි. ඒ හේතුවෙන් දිස්ත්‍රික්ක 22ක් ජාතික ව්‍යසන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කෙරුණි. පුද්ගලයින් මිලියන 1.8 – 2.2 අතර ප්‍රමාණයක් බලපෑමට ලක් වූ අතර ආහාර, ඇඳුම්, නිවාස ආදී මූලික අවශ්‍යතා අහිමි වූ විශාල පිරිසක් සුරක්ෂා මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණි. පාසල් 500කට ආසන්න සංඛ්‍යාවක් තාවකාලික නවාතැන් ලෙස යොදා ගන්නා ලදි. පාසල් 1,185ත් 1,339ත් අතර සංඛ්‍යාවක් විවිධ මට්ටම්වලින් බලපෑමට ලක් වූ අතර පාසල් සහ විශ්වවිද්‍යාල 6කට දැඩි ලෙස හානි සිදු විය.
ආපදා තත්ත්වයක දී අධ්‍යාපනයට ඇති වන ප්‍රධාන අභියෝග කිහිපයක් වේ. ඒ අතරින් පාසල් භූමිය හෝ ගොඩනැගිලි විනාශ වීම නිසා සිසුන්ට ඉගෙනීමට සුරක්ෂිත ස්ථාන නොමැති වීම, ගුරුවරුන් සහ සිසුන් ආපදාවෙන් පීඩාවට පත්වීම, ඔවුන්ගේ නිවාස අහිමි වීම, පොත්පත් ඇතුළු අධ්‍යාපන මෙවලම් විනාශ වීම, මානසික ගැටලු (බිය, කම්පනය, දුක) හේතුවෙන් ඉගෙනීමට ඇති හැකියාව අඩු වීම යන කරුණු ප්‍රධාන වේ.

ආපදාවකදීත් අධ්‍යාපනය යනු අත්‍යවශ්‍ය සේවාවක් බව ජාත්‍යන්තරව පිළිගත් සත්‍යයකි. එය හුදෙක් පාඩම් ඉගැන්වීම පමණක් නොව, දරුවන්ගේ මානසික සෞඛ්‍යය, සමාජීය සබඳතා සහ අනාගතය සුරක්ෂිත කිරීමේ අංගයකි. අවතැන් වූ සිසුන්ට අඛණ්ඩ ඉගෙනුම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාම, මානසික සහන සලසා දීම සහ ඔවුන්ගේ කුසලතා වර්ධනය වැනි කාරණා ඇතුළත් වේ. මේ සඳහා ආපදාවකින් අනතුරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන, පාසල්, සහ ස්වේච්ඡා සංවිධාන එක්ව මාර්ගගත ඉගෙනුම් ක්‍රම, රූපවාහිනී හා ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන්, තාවකාලික ඉගෙනුම් මධ්‍යස්ථාන, සහ මානසික සෞඛ්‍ය සහාය වැනි ක්‍රම භාවිත කරේ.

ආපදා තත්ත්වයකදී අඛණ්ඩ අධ්‍යාපනයක් පවත්වාගෙන යාම සඳහා බහුවිධ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ලොව පුරා සිදු වන්නකි. මාර්ගගත ඉගෙනුම් ක්‍රම, අන්තර්ජාල ප්‍රවේශයට දුෂ්කරතා ඇති අය සඳහා රූපවාහිනී නාලිකා සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන ඔස්සේ පාඩම් විකාශය කිරීම, පාසල් හෝ ප්‍රජා මධ්‍යස්ථානවල ඉගෙනුම් මධ්‍යස්ථාන ඇති කොට විවිධ ඉගෙනුම් අවස්ථා සංවිධානය කිරීම, ගුරුවරුන් සහ උපදේශකයන් මගින් සිසුන්ට මානසික සහනය සලසා දීම, ප්‍රජා සහභාගීත්වය (දෙමාපියන්, ප්‍රජාව සහ ස්වේච්ඡා සංවිධානවල සහාය ලබා ගැනීම.) යනාදී උපායමාර්ග ඒ සඳහා යොදා ගැනේ. ආපදා තත්ත්වයකදී අධ්‍යාපනය යනු හුදෙක් පාඩම් ඉගැන්වීම පමණක් නොව, එය සිසුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වැදගත් අංගයකි. තිරසාර සංවර්ධනය ඉලක්ක යටතේ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම සඳහාද එය අත්‍යාවශ්‍ය වේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ මෙහෙවරවල නිරත සංවිධාන රැසක් නියෝජනය කරන අධ්‍යාපන සංවර්ධන සන්ධානය, මෙම විෂය පිළිබඳව කලක සිට කටයුතු කරන සංවිධානයකි. ආපදා අවස්ථාවකදී අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකාරිකයින් දැනුවත් කිරීම සඳහා එමගින් විවිධ වැඩසටහන් පවත්වා තිබේ. අධ්‍යාපන සංවර්ධන සන්ධානයේ ජාතික සංවිධායක ශාන්ත කුලතුංග පෙන්වා දෙන්නේ, ආපදා අවස්ථාවලදී අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කිරීම පිළිබඳ විවිධ සැලසුම් මීට ඉහතදී රජය මගින් නාමමාත්‍රිකව හඳුන්වා දී ඇති නමුත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ බරතළ සීමාවන් පවතින බවයි. එම සැලසුම්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වැනි යාන්ත්‍රණයකින් අධීක්ෂණයට ලක් වන ක්‍රමවේදයක් ඇති කිරීම මේ සඳහා සුදුසු විසඳුමක් බව ඔහු පෙන්වා දෙයි.
ප්‍රතිපත්ති සහ භූමියේ යථාර්ථය

ආපදාවෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ දින දර්ශනය වෙනස් කර පාසල් නැවත ආරම්භ කෙරුණි. ඒ අනුව බොහෝ පළාත්වල 2025 දෙසැම්බර් 16 සිට පන්ති නැවත පටන් ගත් අතර පීඩිත දරුවන්ට රු. 15,000ක සහනාධාරයක් ලබා දෙන ප්‍රතිපත්තිමය තීරණයක්ද ප්‍රකාශයට පත් කෙරිණි. එහෙත් ප්‍රකාශයට පත් කළ කරුණු ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ගැටලු පැනනැගී ඇති බව ආපදාවට පත් වූ ප්‍රදේශවලින් ලැබෙන තොරතුරු අනුව තහවුරු වේ. ව්‍යසනය සිදු වී මාස දෙකක් ගත වී තිබුණ ද ඇතැම් දෙමව්පියන් එම සහනාධාරය ගැන නිසි පරිදි දැනුවත්කර හෝ නැත.
එමෙන්ම ආපදා අවස්ථාවලදී පාසල් සුරක්ෂා මධ්‍යස්ථාන ලෙස භාවිතා වීම එක පැත්තකින් අවශ්‍ය වුවත්, අනෙක් පැත්තෙන් අධ්‍යාපනයේ අඛණ්ඩතාවයට එය බාධාවක් වේ. ඉහතදී අවධාරණය කෙරුණු පරිදි ආපදා අවස්ථාවකදීද අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් මෙන්ම අයිතිවාසිකමක් ලෙසද සැලකීමේදී මෙය ගැඹුරින් සලකා බැලිය යුතු තත්ත්වයකි.
මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු, ආපදා තත්ත්වයදී දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කළ යුතු වන්නේ ඇයිද යන කාරණාව සම්බන්ධව මෙසේ පැහැදිලි කළේය.

“සාමාන්‍යයෙන් මේක හදිසි අවස්ථාවක් නිසා හදිසියේ, කෙටිකාලීනව විය යුතු දේවල් තියෙනවා. එතකොට මම දකින විදියට අධ්‍යාපනයට සම්බන්ධව සමහර හොඳ සාධනීය ප්‍රතිපත්ති අරගෙන තියෙනවා. පොත්පත්වලට හානියක් වුණා නම් ඒකට වෙනම රුපියල් 15,000ක් එක ළමයෙක් වෙනුවෙන් දෙන්න ලෑස්තියි කියලා ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් අරගෙන තියෙනවා. ඒක හොඳ දෙයක්. මම නුවර, මාතලේ, බදුල්ල වගේ ආපදාවට ලක් වූ ප්‍රදේශවලට ගියා. ඒ දෙමාපියන්, දරුවන් මුණගැහුණා. ඒ ගොඩාක් අයට දෙනවා කිව්ව මුදල ලැබිලා නෑ. ප්‍රතිපත්තිමය තීරණය සහ එය ක්‍රියාත්මක වීම අතර විශාල කාල පරාසයක් තියෙනවා. ඉක්මනින් අධ්‍යාපනයට යොමු වෙන්න නම්, ඉස්කෝලේ යන්න නම් ඒක අනිවාර්යයෙන් ලැබෙන්න ඕන. ඒ අවශ්‍යතාව හඳුනාගෙන තමයි ප්‍රතිපත්තීමය තීරණය අරන් තියෙන්නෙ. එය වහාම ක්‍රියාත්මක විය යුතු දෙයක්. දැනුත් ඒක පරක්කු වැඩියි.”
පාසල් නිදහස් කර ගැනීම

අවතැන් ජනතාවගේ රැකවරණය සඳහා පාසල් යොදාගැනීම කලක සිට අනුගමනය කරන පහසුම පිළිවෙත වුවත්, ඒ සඳහා ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රුකී ප්‍රනාන්දු අදහස් පළ කළේය.
“එක පැත්තකින් ගෙවල්වලට යන්න බැරි අයට ඉන්න තැනක් තියෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ළමයින්ගේ අධ්‍යාපනයටත් දිගුකාලීනව බාධාවක් නොවිය යුතුයි. ඒ වගේම මගේ අත්දැකීම තමයි ලංකාවේ විවිධ ප්‍රදේශවල මහජන බදු මුදල්වලින් හදපු, ඒත් කිසිම කාර්යයකට භාවිත නොවන රජයේ ගොඩනැගිලි තියෙනවා, සෑම දිස්ත්‍රික්කයකම මේ වගේ ඒවා විශාල සංඛ්‍යාවක් තියෙනවා. හැකි ඉක්මනින් පාසල් නිදහස් කරලා, තවදුරටත් පවත්වාගෙන යා යුතු සුරක්ෂා මධ්‍යස්ථාන සඳහා මේවා යොදාගන්න පුළුවන්. රජයට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් හෝ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ඒ වගේ රජයේ ගොඩනැගිලි හඳුනාගන්න. හදිසි අවස්ථාවක පාසලක් තුළ කඳවුරු ගත වුණත්, එවැනි විකල්ප ගොඩනැගිලි වල තිබෙන අඩුපාඩු සකස්කර අවතැන් වූ ජනතාව ඒ ස්ථානවලට යොමු කරන්න මේ ගෙවුණු කාලය හොඳටම ප්‍රමාණවත්. නමුත් එසේ නොකර පාසල් පටන් ගන්න ඕන කියලා නිවාස නැතිව අවතැන් වෙලා පාසැල්වල ඉන්න මිනිස්සු ඉවත් කරලා තවත් අවතැන් නොකළ යුතුයි. ඒක කොහෙත්ම මානුෂික නැහැ.”
කඳවුරුගතව සිටින දරුවන්ට කෙතරම් හොඳ පහසුකම් සැලසුවත්, එය නිවසේ සිටීම තරම් අධ්‍යාපනයට හිතකර නොවන බව ඔහු පැහැදිලි කළේය.

“නිවාස කියන දේ ඍජුවම අධ්‍යාපනයට බලපානවා. ඒක මම යුද්දේ තිබුණ කාලෙත් අත්දැක්කා. නිවාස නැති වුණාම හරියට වාඩිවෙලා පාඩම් කරන්න, ගෙදර වැඩ කරන්න, තමන්ට ඕන කරන පරිසරය නැති වුණාම ඒක දිගුකාලීනව අධ්‍යාපනයට බලපානවා. අධ්‍යාපනයේ නියැලෙන ළමයෙකුට අධ්‍යාපනය කියන්නෙ පාසලම විතරක් නෙවෙයි. පාසලෙන් බැහැර වූ පසුත් අපි දන්නවා ගෙදර ගිහින් කරන්නත් වැඩ දෙනවා කියලා. එතකොට කඳවුරුගත වෙලා ඉන්න ළමයෙකුට ඒ වැඩ කරන්න ලැබෙන අවස්ථාව සීමා සහිතයි. එතකොට තමන්ගේම නිවසෙ ඉඳලා එන ළමයෙකුගෙත් කඳවුරක ඉඳලා එන ළමයෙකුගෙත් වෙනසක් තියෙනවා. මේ පවතින තරගකාරී අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ පවතින්න අපහසු වෙනවා. නවාතැන අධ්‍යාපනයට සෘජුවම බලපාන නිසා ඒ ගැන තව අවධානය යොමු කරන්න ඕන.
යහපත් අධ්‍යාපන පරිසරක් කෙරෙහි සෘජු බලපෑම් ඇති කරන තවත් වැදගත් කරුණු කිහිපයක් රුකී ප්‍රනාන්දු අවධාරණය කරයි.
“දරුවන්ගේ අධ්‍යාපනය ලබන්න තියෙන අයිතියට සෘජුවම බලපාන තවත් කාරණයක් තමයි දෙමව්පියන්ගේ ජීවනෝපායන් අහිමි වීම. ජීවනෝපායන් නැවත ස්ථාවරව පවත්වාගෙන යාමට කටයුතු සලසා දීමත් දරුවන්ගේ අධ්‍යාපනයට සෘජුවම අදාළ වෙනවා. නමුත් ඒක තවමත් හරියට සිදු වෙලා නෑ. ජීවනෝපාය මාර්ගයන් නැති වුණා නම් ඒවා යථා තත්ත්වයට පත් කරගන්නා තුරු මුල් මාස තුනකට සහනාධාරයක් ලබා දෙන්න ප්‍රතිපත්තීමය තීරණයක් අරන් තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙලා නෑ.”
“ඒ වගේම අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් ඒ සඳහා ඇති කැමැත්ත, වුවමනාව ප්‍රවේසම් කර ගත යුතුයි. ඒ සඳහා ඇති දීර්ඝකාලීන පිළියමකට උදාහරණයක් විදිහට මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මඩුව කියන දුෂ්කර ගමේ තියෙන පාසල පෙන්වාදෙන්න පුළුවන්. ඒ පාසල තවදුරටත් පවත්වාගෙන යන්න බෑ කියලා රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කරනවා. ගමත් ඉවත් කරන්න වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ පාසල අවුරුදු 99ක් පරණයි. 2026දි අවුරුදු 100 සමරන්න අදහස් කරගෙන ඉඳලා තියෙන්නෙ. ඒ ගමේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒක ගම්මඩුව දෙමළ මහා විද්‍යාලය නමින්ම වෙනත් තැනකට ගෙනියන්න.”
ආපදා ගැන ඉගෙනීමට අවස්ථාවක්

”අධ්‍යාපනයේ අන්තර්ගතය ගැන හිතන්න මේක හොඳ අවස්ථාවක්. ආපදා තත්ත්වයන් ගැන ගැඹුරින් අධ්‍යනය කරන්නත් මේක හොඳ අවස්ථාවක්. එක් එක් වයස් කාණ්ඩවලට අයත් දරුවන්ට ගැළපෙන ආකාරයට ඒ අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන්. උසස්පෙළ හදාරන සිසුන් පර්යේෂණ කටයුතුවලට දායක කරගන්න පුළුවන්. ඒ වගේම ඒ අයට ආපදා තත්ත්වයක් හඳුනා ගන්නේ කොහොමද? ආපදාවකට මුහුණ දෙන්නේ කොහොමද? ආපදා තත්ත්වයක් කළමනාකරණය කරගන්නේ කොහොමද වගේ කරුණු පැහැදිලි කරන්න පුළුවන්. ඒක ඉදිරි ආපදා තත්ත්වයකදී සෑහෙන ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම ඒ වෙනුවෙන් ඇති ජාතික ප්‍රතිපත්ති මොනවද අන්තර්ජාතික ප්‍රතිපත්ති මොනවද කියන එක අධ්‍යාපනයේ කොටසක් කරන්න ඕන. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් කරගන්න ඕන.”
පවතින අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් විය යුතුය යන්න දීර්ඝකාලයක් තිස්සේ සාකච්ඡාවට ගැනුණද සාර්ථක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මෙතෙක් සිදු වී නැත. කවදත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දේශපාලන කඹ ඇදිල්ලේ ගොදුරක් වීම රටේ අවාසනාවකි. අවධානයට ලක් විය යුතු කරුණු බොහෝ තිබුණද දින 60කට ආසන්න කාලයක් ගෙවී ඇතත් තවමත් ඇතැම් ගැටලු දෙස හැරී බලා හෝ නැත. සමාජ ක්‍රියාකාරීන් පවසන සාධනීය කාරණා බොහෝ බලයේ සිටි ආණ්ඩුවලට මෙන්ම පවතින ආණ්ඩුවටද මගහැරී යාම ඛේදනීය කරුණකි.
ආපදා තත්ත්වයක් තුළ දී විශේෂයෙන් ආබාධිත දරුවන්ට, ඉගෙනුම් අපහසුතා ඇති දරුවන්ට අධ්‍යාපනය අඩාළ වීමට, අධ්‍යාපන පද්ධතියෙන් දරුවන් ගිලිහීමට වැඩි අවදානමක් ඇති බවත් අවදානයට ලක් කළ යුතුය. ව්‍යසනයකට පසු දරුවන්ට ලැබෙන සහයෝගය ඔවුන්ගේ සිහින නැවත ගොඩනැගීමේ පළමු පියවරයි. ආපදාවකදී අධ්‍යාපනය නැවතීම යනු දරුවන්ගේ අනාගත ප්‍රගතිය නැවතීමයි. ආපදාවකදීත් අධ්‍යාපනය ආරක්ෂා කිරීම වෙනුවෙන් බැරෑරුම්ව සලකා බැලිය යුත්තේ ඒ නිසාය.





