මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?

0
44

පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ.


එහෙත්, එම දානමය පින්කම අවසන් වන තෙක් මා සම්බන්ධ විශේෂ හැඳින්වීමක් නොකළ මගේ මිතුරිය, පින්කම අවසානයේ මගේ ජනවර්ගය සම්බන්ධයෙන් තම ඥාති මිත්‍රාදීන් දැනුවත් කළාය. එවිට ඔවුන්ගෙන් ඇතැමකු අතිශය විස්මයකින් යුතුව මා දෙස බලා සිටියේ, මගේ එම සහභාගීත්වය පිළිබඳ කිසියම් සැකයක් හෝ අවිනිශ්චිත බවක් සිත තුළ රඳවා ගත් කලෙක මෙනි. ඇතැම් විට මා ඒ පින්කම කඩාකප්පල් කිරීමට පැමිණි බවක් පවා ඔවුන් අනුමාන කරන්නට ඇත.

නමුත් තවදුරටත් මා ඔවුන් සමඟ අතිශය කුළුපග ලෙස කටයුතු කරද්දී මගේ මිතුරියගේ ඥාතිවරියක කියා සිටියේ, “අපි හිතුවේ ඔයාලා අපෙන් බොහොම ඈතයි කියලා. ඒත් දැන් බැලුවම ඔයාලා අපේම අය වගේම නේ,” යනුවෙනි.

අප රටේ මුස්ලිම් කාන්තාවන් කෙරෙහි සමාජයීය වශයෙන් බාහිර ජන කොටස්වල විශේෂ අවධානයක් යොමු වීමට බලපාන කරුණු කිහිපයක් තිබේ. මෙය ආගමික, සංස්කෘතික සහ දේශපාලනික යන අංශ රැසක එකතුවකි. පසුව එය ආර්ථික සාධක දක්වා ද පැතිර යන බවක් පෙනෙයි. විවිධ ජනවාර්ගික කොටස් එක් වී තම ව්‍යාපාරික ප්‍රදේශවලට මුස්ලිම් වෙළඳුන්ගේ පැමිණීම තර්ජනාත්මක ලෙස නවතා තැබීම ඊට එක් නිදසුනක් පමණි. නමුදු, තමන් විසින්ම තීරණය කළ යුතු, තමන්ගේ පාරිභෝගිකත්වය මත පදනම්ව ගනුදෙනු කළ යුතු වෙළඳායතන තීරණය කිරීම සඳහා වෙනත් පාර්ශ්වයකට ඉඩ දීමේ අයෝග්‍යතාව අප රටේ බහුතර ජනතාව ද නිසි ලෙස වටහාගෙන නොමැති සේ හැඟේ.

මුස්ලිම් කාන්තාවන් අතර පවතින සංස්කෘතික විෂමතා තේරුම් ගැනීමේදී, සියල්ලටම පෙර ඔවුන් සියලු දෙනා එකම ආකෘතියකට වැටෙන (Monolithic) පිරිසක් නොවන බව වටහා ගැනීම වැදගත්ය. ඉස්ලාම් ආගම ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති බැවින්, ඒ ඒ රටවල පවතින දේශීය සිරිත් විරිත් සමඟ මුසු වී විවිධ සංස්කෘතික අනන්‍යතාවන් ගොඩනැඟී ඇත. එය මුස්ලිම් කාන්තාවන්ගේ බාහිර ස්වරූපයෙන්ම ආරම්භ වන්නකි.

මුස්ලිම් කාන්තාවන් පිළිබඳ සමාජ අවධානය බොහෝ විට ගොඩනැඟී ඇත්තේ ඔවුන්ගේ බාහිර පෙනුම සහ ඔවුන්ගේ සංස්කෘතික සීමාවන් පිළිබඳ පවතින වැරදි වැටහීම් හෝ කුතුහලය මතයි. එහෙත් වර්තමානය වන විට ඔවුන් තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව සමාජයේ විවිධ තලවල කැපී පෙනෙන භූමිකාවන් ඉටු කරමින් සිටිති. මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය (Hijab), අබාය (Abaya) හෝ නිකාබය (Niqab) වැනි ඇඳුම් පැළඳුම්, සමාජය තුළ මුස්ලිම් කාන්තාවක එසැනින් හඳුනාගත හැකි සලකුණු බව විශ්වාස කෙරේ. නමුත් මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම කලාපයෙන් කලාපයට විශාල ලෙස වෙනස් වේ. මෙය හුදෙක් ආගමික අවශ්‍යතාවක්ම නොව, දේශගුණය සහ දේශීය සම්ප්‍රදායන් මත පදනම් වූවකි.

ඒ අතර බාහිර පෙනුමෙන් තම වාර්ගික අනන්‍යතාව පළ නොකරන මුස්ලිම් කාන්තාවෝ ද කොතෙකුත් සිටිති. නවීනත්වය හා මුසු වූ කතුන් හා විද්වත් වෘත්තීන්හි නියුතු මුස්ලිම් කතුන් ඒ අතුරින් ප්‍රධාන වන බව මගේ වැටහීමයි. මෑත කාලීනව මුස්ලිම් කාන්තාවන් අධ්‍යාපනය, වෛද්‍ය ක්ෂේත්‍රය, නීතිය වැනි වෘත්තීය මට්ටම්වලින් සහ දේශපාලනය වැනි අංශවලින් ඉදිරියට පැමිණීම දක්නට ලැබේ. සම්ප්‍රදායිකව ඔවුන් නිවෙස්වලට පමණක් සීමා වී සිටිය යුතුය යන මතය බිඳවැටෙමින් පවතින බැවින්, මෙම වෙනස කෙරෙහි සමාජයේ වැඩි අවධානයක් යොමු විය යුතුව තිබේ.

සෞදි අරාබියේ නව පරපුරේ මුස්ලිම් යුවතියක්

ගෝලීය මාධ්‍ය තුළ පවා මුස්ලිම් කාන්තාව සම්බන්ධ බොහෝ අර්ථ නිරූපණ ඉදිරිපත් වන්නේ නිරතුරු පීඩාවට පත්වන හෝ කටහඬක් නොමැති තැනැත්තියක ලෙසයි. මේ පැරණි අර්ථ දැක්වීම් නිසාම, සැබෑ ලෝකයේ මුස්ලිම් කාන්තාවන් ලබන ජයග්‍රහණ හෝ ඔවුන්ගේ දියුණුව දෙස සමාජය විශේෂ කුතුහලයකින් හෝ පුදුමයකින් බැලීමට පුරුදු වී තිබේ. ශ්‍රී ලංකාව වැනි රටවල මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) වැනි නීති ‘එක රටකට එක නීතියක්’ යන පදනම යටතේ සංශෝධනය කිරීම පිළිබඳව සංවාද පවතින විට, අනාගතයේ මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් පරාසය වඩාත් පුළුල් වන බවක් පැවසීම සාමාන්‍ය දෙයකි.

ගෝලීය වශයෙන් බලන විට පවා මුස්ලිම් කාන්තාවෝ බහුවිධ ස්වරූප ගනිති. සෞදි අරාබියේ කාන්තාවන් ප්‍රතිසංස්කරණ තුළින් ඉදිරියට එන අතර, සිංගප්පූරුවේ කාන්තාවන් බහුසංස්කෘතික නිදහස අත්විඳිති. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුස්ලිම් කාන්තාවන් සුඛෝපභෝගී සහ වෘත්තීයමය දියුණුවක් පෙන්වන අතර, මාලදිවයින් කාන්තාවන් දේශීය සම්ප්‍රදායන් සමඟ මුසු වූ නිදහසක් භුක්ති විඳිති.

ශ්‍රී ලාංකේය මුස්ලිම් කාන්තාවන් වුවද එකම සංස්කෘතික අච්චුවකට අයත් පිරිසක් නොවේ; ඔවුහු විවිධ සංස්කෘතික මූලයන්ගෙන් සහ ප්‍රාදේශීය අනන්‍යතාවලින් පෝෂණය වූ පිරිසකි. මෙම විවිධත්වය ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, භාෂාව, ආහාර සහ පවුල් පද්ධතීන් තුළින් මැනවින් පැහැදිලි වේ. ලංකාවේ මුස්ලිම් කාන්තාවන් ප්‍රධාන කාණ්ඩ කිහිපයකට බෙදා දැක්විය හැකි අතර, මා ද අයත් වන ලංකා යෝනක (Sri Lankan Moors) ජනකොටස ඉන් ප්‍රධාන වේ. මොවුන්ගේ සංස්කෘතිය අරාබි සහ දේශීය (සිංහල/දෙමළ) සිරිත් විරිත්වල මිශ්‍රණයකි. ලංකා මැලේ (Sri Lankan Malays) යනු තවත් ඉස්ලාමීය ජන කොටසකි. අග්නිදිග ආසියානු (ඉන්දුනීසියානු/මැලේසියානු) සම්භවයක් ඇති මොවුන්ටම ආවේණික භාෂාවක් සහ ආහාර සංස්කෘතියක් ඇත.

මේමන් (Memons) සහ බෝරා (Bohras) යනු ඉන්දියාවේ ගුජරාට් සහ සින්ද් ප්‍රදේශවලින් සංක්‍රමණය වූ පිරිසකි. මොවුන් නාගරිකව ජීවත් වන අතර ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් හා සිරිත් විරිත් ඉතා විචිත්‍රවත්ය. එමෙන්ම අප රටේ මුස්ලිම් කතුන්ගේ ඇඳුම් පැළඳුම් සහ විලාසිතා ද විවිධත්වයෙන් යුතුය. නැගෙනහිර පළාතේ කාන්තාවන් බහුලව සාරිය භාවිතා කරන අතර, සාරි පොටින් හිස ආවරණය කිරීම (Head-drape) ඔවුන්ගේ සාම්ප්‍රදායික විලාසිතාවයි. අප රටේ මැලේ කාන්තාවෝ උත්සව අවස්ථාවන්හිදී තවමත් ‘සැරොන්ග් සහ කෙබායා’ (Sarong & Kebaya) ඇඳුම භාවිතා කරති. අප සමාජයේ ප්‍රධානතම පිරිමි ඇඳුමක් වන සරම, මේ ‘සැරොන්ග්’ ඇඳුම මුල් කොට බිහි වූවක් සේ සැලකෙයි.

මේ අතර කොළඹ, මහනුවර වැනි නගරවල මුස්ලිම් කාන්තාවන් අතර කළු පැහැති හෝ වර්ණවත් අබාය සහ නූතන පන්නයේ හිජාබ් විලාසිතා බහුලව දක්නට ලැබෙන අතර, විශේෂයෙන් කිව යුත්තේ මේ වන විට තම ජනවාර්ගික හා සංස්කෘතික අනන්‍යතාව ඇඳුම් පැළඳුම් මඟින් සමාජගත නොකරන තරුණියන්ගේ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි. නව ගෝලීය සංකල්ප තුළ වේගයෙන් ව්‍යාප්ත වන විලාසිතාකරණය දෙස බලා ඇස් කන් පියාගෙන සිටීමට ඔවුන්ට නොහැකි සේය. බොහෝ මුස්ලිම් කාන්තාවන්ගේ මව්බස දෙමළ වුවද, මන්නාරම, මඩකලපුව, කොළඹ ආදී වශයෙන් එහි උච්චාරණය ප්‍රදේශය අනුව විශාල වශයෙන් වෙනස් වේ. එමෙන්ම ඒ අතර භාෂාත්මක වෙනස්කම් ද දක්නට ලැබේ.

සෞදි අරාබියේ නව පරපුරේ මුස්ලිම් යුවතියක්

ඒ අතර සිංහල බහුතරයක් වෙසෙන මහනුවර, කුරුණෑගල ආදී ප්‍රදේශවල වෙසෙන කාන්තාවන් සිංහල භාෂාව ඉතා චතුර ලෙස හසුරුවන අතර ඇතැමුන්ගේ ගෘහස්ථ භාෂාව ද සිංහලයි. මෙවන් තත්ත්වයන් තුළ ජනවාර්ගික සමඟිය නම් වූ මානුෂීය ශිෂ්ටාචාරයක තිබිය යුතු විශිෂ්ටතම ලක්ෂණය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීමට තරම් සවිමත් ක්‍රියාකාරී වැඩපිළිවෙළක් තාමත් දියත්ව නොමැති බවක් පෙනේ.

ඒ අනුව නවීන සමාජමය ආකල්ප ප්‍රවර්ධනයක් මඟින් පවත්නා තත්ත්වයන් යාවත්කාලීන නොකළහොත්, මේ වන විට යටපත්ව සිටින ගෝත්‍රික මානසිකත්වයක් සහිත පිරිස් විසින් මුස්ලිමුන්ගේ ‘වඳ කොත්තු’, ‘වඳ බ්‍රෙසියර්’, ‘වඳ ටොෆි’ වැනි සමාජමය හිස් පඹයන්, යකුන් රකුසන් සේ සමාජය හමුවේ යළි ඉදිරිපත් නොකරනු ඇතැයි සහතික වීමට මට නම් නොපුළුවන.

(සටහන | ෆාතිමා හලල්දීන්)

උපුටා ගැනීම – vinivida.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here