අප රටේ බොහොමයක් අගය නොකළ මහා සත්ව හිමිකම් ක්‍රියාකාරිනිය බ්‍රිජිට් බාර්ඩෝ

    0
    66

    1950 දශකයේ සිට ලෝක සිනමාවේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ ප්‍රංශ සිනමා පුරාවෘත්තයක් වන බ්‍රිජිට් බාර්ඩෝ (Brigitte Bardot) ගේ අවමංගල්‍ය උත්සවය පැවැති ඉකුත් ජනවාරි 07 වන දා ප්‍රංශයේ සෙන්ට්-ට්‍රොපේස්හි (Saint-Tropez) වීදිවල දස දහස් ගණන් ජනතාව පෙළ ගැසී සිටියහ. ඒ ප්‍රාදේශීය දේවස්ථානයක පැවැති දේව මෙහෙයකින් පසු ඇගේ දේහය සහිත දෙන ප්‍රංශයේ රිවීරා (Riviera) නගරය හරහා රැගෙන යන අතරේ ඇයට සදහටම සමුදීමට ය. ඒ අනුව වීදි දෙපස රැස්ව සිටි ශෝකී මුහුණු වලින් හා නෙත් රැඳි කඳුළු බිඳු වලින් යුතු දහස් ගණන් පිරිස් සන්සුන් රිද්මයකින් අත්පොළසන් දෙමින් ඇයට සදහටම සමු දෙනු දක්නට ලැබුණි. ඇය පිළිබඳ දේව මෙහෙයට සහභාගී වූ අමුත්තන් අතර දක්ෂිණාංශික දේශපාලන නායිකාවක වන මැරීන් ලෙ පෙන් (Marine Le Pen) සහ බාර්ඩෝ මෙන් සත්ව හිමිකම් හා අයිතිවාසිකම් ආරක්ෂා කරන්නියක වන සමානාත්මතා අමාත්‍ය ඕරෝර් බර්ගේ (Aurore Bergé) ද වූහ. පසුව බ්‍රිජිට් බාර්ඩෝගේ දේහය මධ්‍යධරණී මුහුදට ඉහළින් පිහිටි නිසංසල කඳු බෑවුමක සුසාන භූමියක තැන්පත් කරන ලදී.

    බාඩෝ ගේ අවමඟුල

    1950 ගණන්වල ප්‍රංශ සිනමාවේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ලිංගික විමුක්තියේ සංකේතයක් බවට පත් වූ බාර්ඩෝ, පසුගිය නත්තලට දින තුනකට පසු එනම් දෙසැම්බර් 28 වන දා වයස අවුරුදු 91 දී මිය ගියා ය. මරණයට හේතුව පිළිකාවක් බව අනාවරණය විය.

    බ්‍රිජිට් බාර්ඩෝගේ දෙමාපියන් සහ පළමු සැමියා වන රොජර් වඩීම් (Roger Vadim) තැන්පත් කර ඇති සුසාන භූමියට ඇයව රැගෙන යන ලද්දේ එය ඇගේ සදාතනික සාමයේ සැතපීමට සුදුසුම දනව්ව වූ බැවිනි. එසේ ගිය පිරිස අතර ඇගේ එකම පුත් නිකොලස්-ජැක් චාරියර් (Nicolas-Jacques Charrier) ද විය. ඇගේ මරණයෙන් පසු, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) පැවසුවේ ජාතිය ඇය “සියවසේ පුරාවෘත්තයක්” ගැන ශෝක වන බවකි.

    බාඩෝ ගේ එකම පුත් නිකොලස් ජැක් වාරියර් අවමඟුල් අවස්ථාවේ දී

    1950 දශකයේ සිට මෙම සුරූපී සිනමා නිරූපිකාව ඇගේ නමේ මුල් අකුරු වලින් “බී බී” (B.B.) ලෙසින් ඇගේ මව් රටේ ප්‍රසිද්ධියට පත් වූ අතර, බ්‍රිජිට් බාර්ඩෝ අනුරාගයේ ප්‍රතිමූර්තියක් ලෙස ලොව පුරා ප්‍රකට කරමින් 1956 තිරගත වූ And God Created Woman (තව ද දෙවියන් වහන්සේ ගැහැනිය මැවූ සේක) ඇතුළු චිත්‍රපට 50 කට ආසන්න සංඛ්‍යාවක රඟපෑ නමුත්, 1973 දී ඇය තම සිනමා ජීවිතයෙන් මුළුමනින් සමුගත්තා ය. ඒ සත්ව හිමිකම් හා සුභසාධනය උදෙසා තම ඉදිරි ජීවිතය මුළුමනින්ම කැප කිරීමට ය. ඒ අනුව ඇගේ නිළි භූමිකාව වසර දාහතකට සීමා වන අතර, ඉන් අනතුරුව ඇය පිවිසි සත්ව හිමිකම් හා සුබ සාධන භූමිකාව එතැන් සිට ඇගේ මරණය දක්වා වූ වසර පනස් දෙකක දීර්ඝ කාල පරාසයක් දක්වා පැතිර තිබිණි. ලොව පුරා සත්ව හිමිකම් උදෙසා බ්‍රිජිට් බාර්ඩෝගෙන් ඉටු වූ ප්‍රධාන දායකත්වයන් ගෝලීය මට්ටම තෙක් පැතිර ගිය අතර, ඉන් තමන් අපේක්ෂිත ප්‍රතිඵල බොහොමයක් නෙලා ගැනීමට ඇය සමත් වූවා ය.

    And God Created Woman චිත්‍රපටය

    එමෙන්ම තම ජීවිතයේ විජයග්‍රාහී ඡායාරූපය ලෙස එය නම් කොට තිබූ, එම ඡායාරූපය තම සොහොන් ගැබ අසල තබන ලෙස බ්‍රිජිට් බාර්ඩෝ කළ ඉල්ලීම ද එලෙසින්ම ඉටු වී තිබිණි. ඒ අතර විලාසිතා ලෝකයේ ප්‍රධාන අංගයක් වූ සත්ව ලොම් භාවිතය මිනිස් සදාචාරයට පටහැනි බව ඇය ලොවට පෙන්වා දුන් අතර, ප්‍රමුඛ පෙළේ විලාසිතා නිර්මාණකරුවන්ට සත්ව ලොම් වෙනුවට කෘත්‍රිම විකල්ප භාවිතා කිරීමට ඇය නිරන්තරයෙන් බලපෑම් කළා ය. ඇයගේ දැඩි විරෝධය නිසා ඇඟැළුම් නිෂ්පාදකයන් බොහොමයක් ඇයට එරෙහි වූවත්, වර්තමානයේ බොහෝ සුපිරි විලාසිතා සන්නාම (Brands) සත්ව ලොම් භාවිතයෙන් ඉවත් වී ඇත.

    බාඩෝ 1977 දී සීල් සතකු සමඟ ගත් ලෝක ප්‍රකට සේයාරුව

    ඒ අතරේ සිනමා ජීවිතයෙන් සමුගැනීමෙන් පසු, බ්‍රිජිට් බාර්ඩෝ සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා “බ්‍රිජිට් බාර්ඩෝ පදනම” (Fondation Brigitte Bardot) ආරම්භ කළාය. 1986 දී ඇය මෙම පදනම පිහිටුවූයේ තනි පුද්ගල සටනක් සංවිධානාත්මක වැඩපිළිවෙළක් බවට පත් කිරීමටයි. පදනමට අවශ්‍ය මූලික අරමුදල් සොයා ගැනීම සඳහා ඇය තමා සතු වටිනා ආභරණ සහ පුද්ගලික භාණ්ඩ පවා වෙන්දේසි කළා ය. 1992 දී ප්‍රංශ රජය විසින් මෙය පොදු ප්‍රයෝජනය සඳහා වූ පදනමක් (Public Utility Foundation) ලෙස පිළිගන්නා ලදී.

    මේ අතර මෙම සත්ව හිමිකම් සම්බන්ධයෙන් කළ ඇතැම් ප්‍රකාශ වල නීති විරෝධී භාවය නිසා ප්‍රංශ අධිකරණය මඟින් ඇයට පස් වතාවක්ම දඩ නියම කරන ලදී. ඒ වෛරී ප්‍රකාශ (Hate Speech) යන චෝදනාව මත ය. විශේෂයෙන් ඉස්ලාම් භක්තිකයන් විසින් කරනු ලබන ආගමානුකූල සත්ව ඝාතන වලට නිරතුරුව එරෙහි වූ ඇය වරක් කියා සිටියේ “සත්තු මගේ දරුවෝ, මගේ දරුවන්ට මුකුත් කරන්න කාටවත්ම ඉඩ දෙන්න බෑ” යනුවෙනි. ඒ අනුව මෙය හුදු ආගමික විරෝධයක් නොවන බව වටහා ගැනීමට 2013 වසරේදී ඇති වූ මෙම සිදුවීම කදිම නිදසුනකි.

    බාඩෝ නිසා දිවි රැකුණු අලි දෙදෙනා

    බාර්ඩෝ සිය තර්ජනය එල්ල කළේ තමන් ද එම ආදර්ශය අනුගමනය කරන බව පවසමිනි. කෙසේ වෙතත්, පසුව එමඟින් එම ඇතුන් දෙදෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ අතර, බාර්ඩෝ දිගටම ප්‍රංශයේම රැඳී සිටියා ය. මේ අතර බ්‍රිජිට් බාර්ඩෝ පදනම ආරම්භ කිරීමෙන් පසු තම කාර්ය භාරය වඩාත් විධිමත් හා ශක්තිමත් කළ ඇය ආසියාවේ සුනඛ මස් වෙළඳාම නැවැත්වීමටත්, අප්‍රිකාවේ වන අලින් ආරක්ෂා කිරීමටත් මෙම පදනම මඟින් මූල්‍ය සහ තාක්ෂණික සහය ලබා දීම අරඹා තිබේ.

    බ්‍රිජිට් බාඩෝ පදනමේ ලාංඡනය

    විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල වීදි සුනඛයන් සහ බළලුන් මරා දැමීම වෙනුවට, ඔවුන් වන්ධ්‍යාකරණය (Sterilization) සහ එන්නත් කිරීමේ වැදගත්කම ඇය ලෝකයට හඳුන්වා දුන්නා ය. ඇය පවසන්නේ “මරා දැමීම විසඳුමක් නොවන” බවකි. ඒ අතරේ ඇය තම පදනම මඟින් ලෝක නායකයන් වෙත සෘජුවම ලිපි ලියමින් සහ සාකච්ඡා කරමින් සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි අතර, විද්‍යාත්මක පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීමට එරෙහි වීම, ගොවිපළ සතුන් ප්‍රවාහනය කිරීමේදී සහ මරා දැමීමේදී සිදුවන අමානුෂික ක්‍රියා නතර කිරීමට නීති සම්පාදනය කිරීම ඇය ලත් විශිෂ්ඨ ජයග්‍රහණ විය.

    බ්‍රිජිට් බාර්ඩෝගේ මෙම පදනම මේ වන විට ප්‍රංශයේ පමණක් නොව ලොව පුරා රටවල් 70කට අධික සංඛ්‍යාවක ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. පදනම සතුන් සඳහා නවාතැන්පොළවල් (Animal Shelters) කිහිපයක් පවත්වාගෙන යන අතර, වඳවී යන සතුන් ආරක්ෂා කිරීමට ද සහාය වේ. එමෙන්ම මෙම පදනමේ ක්‍රියාකාරීත්වය තම මරණයෙන් පසු ද එලෙසම ක්‍රියාත්මක විය යුතු බව පවසමින් ඒ සඳහා අවශ්‍ය සියළු කටයුතු සම්පාදනය කිරීම ද ඇගේ චරිතයේ අති උදාරත්වය හෙළිකරවන්නකි.

    නමුත් ඒ සම්බන්ධ තවත් ශෝචනීය තත්වයක් වනුයේ සතුන් ගේ ජීවත්වීම සම්බන්ධයෙන් ඇය කළ මෙම උදාරතර මෙහෙවර අප සමාජයේ සත්ව ලෝලීන් වෙතින් නිසි අගැයුමට ලක් නොවීම ය. එහෙත් එක් අතකට ඒ සඳහා ඔබ හෝ මා ළත විය යුතු ද නැත. ඒ එම කාරිය සඳහා මෙතැන් සිට සදා කාලය තෙක් බොහෝ ඉඩ ප්‍රස්ථා ඇති බැවිනි.

    Screenshot 2024 12 25 at 10.13.44 copy 1

    (සටහන | රීටා ජෙනට් පෙරේරා)

    [email protected]

    උපුටා ගැනීම – vinivida

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here