අයි.සී.සී. කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (20) ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති තියුණු තරගයෙන් ලකුණු 7ක ජයක් ශ්‍රී ලංකාවට හිමි වුණා. තරගය පුරාම දෙපිලේ ක්‍රීඩිකාවන් කිහිපදෙනකු කැපී පෙනෙන දස්කම් පෑමට සමත්වුණත් විචාරකයෝ වැඩිපුරම කතා කළේ ශ්‍රී ලංකා ඉනිමේදී පළමු ඕවරය යැවූ බංග්ලාදේශ පිලේ 20 හැවිරිදි යොවුන් වේගපන්දු යවන්නිය ගැනයි. මේ දකුණත් පන්දු යවන්නිය පළමු පන්දුවෙන්ම විශ්මි ගුණරත්න කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත්තා. කාන්තා හෝ පිරිමි ඕනෑම තරගයක ඉනිමේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට කිසිවකු හෝ සමත් වන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ පන්දු යැවීමේ හැකියාවට එය ඉහළම නිදසුනක්. චමින්ද වාස්ලා, ලසිත් මාලිංගලා පෙන්නුම් කළ එවැනි දස්කම් ගැන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අදටත් කතාබහට ලක්වෙනවා. ඒ අතර පුංචි කෙල්ලෙක් එවැනි දස්කමක් පෙන්නුම් කිරීම වැඩි අවධානයට ලක්වන්නේ නිතැතින්මයි.
බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් පිලේ අනාගත වේගපන්දු තරුව ඇය බව දැනටමත් ඔප්පු කළ මේ ක්‍රීඩිකාව මරූෆා අක්තාර්…..
කැපවීම, උනන්දුව හා දිරිය සම්පන්නභාවය වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිරතුරුවම ප්‍රගුණ කළ යුතු ගුණාංග ගැන අප කොතෙකුත් අසා තිබුණත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ හා සාර්ථකත්වය පසුපස ඇති දුක, වේදනාව, කඳුළ අසන්නට ලැබෙන්නේ කළාතුරකින්.
ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයේදී පාකිස්තානය සමඟ පැවැති තරගයේ පළමු ඕවරය යවමින් කඩුලු දෙකක්ම දවාගත් මරූෆා එදා ලෝකයා හමුවේ කීවේ ඒ කඳුළු කතාවයි. දරිද්‍රතාව අතින් අනන්තයටම ගිය දුගී දුප්පත් පවුලක උපන් මේ දිරිය තරුණිය ඒ සියලු අභියෝගවලට නොසැලී මුහුණු දී ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වීමේ කතාව පසුපස ඇත්තේ සැබැවින්ම අතිශය ශෝචනීය කතාවක්.
බංග්ලාදේශයේ නිල්පාමරි පළාතේ දුගී දුප්පත් ගම්මානයක උපත ලද ඇය එදා පාකිස්තානයට එරෙහි තරගයෙන් බංග්ලාදේශයට ජය අත්කර ගැනීමට දැක්වූයේ විශිෂ්ට දායකත්වයක්. පළමු ඕවරයේදී කඩුලු 2ක්ම දවාලමින් පාකිස්තාන පිල දැඩි පසුබැස්මකට ලක් කිරීමට මරූෆා එදා සමත්වුණා. ඇගේ පන්දු දෙකම පිතිකාරිනියන්ගේ කඩුලු බිඳ දැමූ අතර, දැවී ගියේ පාකිස්තාන පිලේ නොම්මර එකේ පිතිකාරිනියන් දෙදෙනෙක්.
මරූෆා එදා යවනු ලැබූ පන්දු ද්විත්වය කඩුල්ල තුළට දඟ කැවුණු in Swing පන්දු ලෙසයි වාර්තා වුණේ. එවැනි පන්දු යැවිමේ හැකියාවක් ක්‍රීඩිකාවන්ට පිහිටන්නේ කළාතුරකින් බවත්, අවුරුදු 20ක් තරම් ලාබාල වයසකදී මේ විරල හැකියාව පෙන්නුම් කිරීම විමතියට කාරණාවක් බවත් එදා ක්‍රිකට් විචාරකයන්ගේ අදහස වුණා.
එදා තරගයේ වීරයා සම්මානයටත් හිමිකම් කී මරූෆා සිය අතීතය සිහිපත් කරමින් ලෝකයා හමුවේ කියා පෑ කතාව අතිශය සංවේදියි.
‘අපි හරිම දුප්පත්. කොච්චර දුප්පත් ද කියනවානම් අපිට හොඳ ඇඳුම් නැති නිසා අපේ ගමේ කවුරුවත් අපිට මඟුල් ගෙයකට හෝ වෙනත් උත්සවයකට පවා ආරාධනා කරන්නේ නෑ. කොටින්ම නෝම්බි අවුරුද්දට අපිට අලුත් ඇඳුමක් අරන් දෙන්නවත් අපේ තාත්තාට සල්ලි තිබුණේ නෑ.‘ එසේ කියා සංවේදී වූ ඇය දෑසට නැඟුණු කඳුළු සඟවන්නට උත්සාහ කළේ නෑ.
‘ඒත් අද වෙද්දි අපි තත්ත්වයක ඉන්නේ මගේ ක්‍රිකට් ක්‍රීඩාව නිසයි. මට දැන් අපේ පවුලට උදව් කරන්න හැකියාව තියෙනවා. එයාලට ආපහු එයාලගේ ජීවිතය ලැබුණේ මම නිසයි. මං හිතන්නේ නෑ ඒ වගේ දෙයක් කොල්ලෙක්ටවත් ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියලා.‘ මරූෆා එසේ කියන්නේ ආඩම්බරයෙන් යුතුවයි.